2024 මැයි 04 වන සෙනසුරාදා

රනිල් හිතවාදීනුත් පොහොට්ටු වේදිකාවේ

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 285

බස් කෝච්චිවල නැගගත් ජනයා කොළඹ බලා ආවෝය. දස දහස් ගණනින් හිස් ගෙඩි දුටු නායක කාරකාදීන් සිය වේදිකා මතට ගොඩ වී උදාන වාක්‍ය පවසනු දැකගත හැකි විය. කෙසේ වෙතත් ඇතැමකු පාරම්බෑ තරම් විසල් පිල් මාරු සංදර්ශන මැයි දින වේදිකාවල දැකගත නොහැකි විය. එහෙත් ප්‍රකට දේශපාලන චරිත කිහිපයක් රහසේ මැයි දිනයේදී මුළුගැන්වී සිටියහ.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන කඳවුරු වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙන් වෙන්ව සිය මැයි රැලි සංවිධානය කළේය. පොහොට්ටුවේ මැයි රැලිය පැවතියේ බොරුල්ලේ කැම්බල් පිටියේය. 

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, මන්ත්‍රී සංජීව එදිරිමාන්න ආදී චරිත කිහිපයක් මෙම සංවිධාන කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කළෝය. විවිධ ප්‍රදේශවලින් බස් රථ සිය ගණනක් කොළඹට රැගෙන ඒමේ වගකීම ආසන සංවිධායකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවරා තිබුණි.

ඒ අනුව අධික ජනකායකගේ සහභාගිත්වයෙන් පොහොට්ටු මැයි රැලිය ඇරඹුණු අතර ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර ආදී රනිල් වික්‍රමසිංහ හිතවාදී කඳවුරේ පිරිස්ද රැලියට පැමිණියහ. ඔවුනට ද වේදිකාවේ ඉඩහසර වෙන් කිරීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කර තිබුණි.

“රනිල් ළඟට තාම ඒගොල්ලො යන්නෙත් නෑ. පොහොට්ටුවෙන් එයාලව ලේසියෙන් අතහරින්නෙත් නෑ."

පොහොට්ටුවේ ලොක්කන්ගේ කල්ක්‍රියාව දැක පොඩ්ඩෝ කථිකා කරන්නට වූහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම මැයි රැලියේ මුලසුන දෑරීය. ඔහු සිය කතාවේදී ජනාධිපතිවරණය පිළිබඳ ඉඟි කිහිපයක්ද සැපයීය.

“කිසියම් කලකිරීමක ඉන්න අපේ පාක්ෂිකයෙක් ඉන්නවා නම් අද ගමට ගිහින් බය නැතිව කියන්න එළැඹෙන ජනාධිපතිවරණය ජයගන්නේ අපේ පක්ෂයේ ආශීර්වාදය තියෙන අපේක්ෂකයා විතරයි කියලා. සමහරු බයයි අපි මේ තරම් විශ්වාසයෙන් ඇයි මෙහෙම කියන්නේ කියලා. වෙලාව ආවම අපි අපේ තීරණය රටට දැනුම් දෙන්නම්. එතකම් සූට් මහගත් අයට තැන දී ඉන්න. ඒ අය හරි ආසයි මහලා තියෙන සූට් එක දිහා බල බලා ඉන්න. මේ දවස්වල එයාලා විවාදයකින් හරි වැඩිම කයියනායක වෙලා හරි සූට් එක ඇඳගන්න පුළුවන්ද කියලා බල බලා ඉන්නෙ."

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්, නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම රුස්වීම ඇමැතූහ. 

පොහොට්ටුවේ මැයි රැලියට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් නොපැමිණීම කාගේත් අවධානය දිනා ගත්තේය. කෙසේ වෙතත් මෙම රැලිය සඳහා සහභාගි වීමට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැමිණ තිබේ. එහෙත් ඔහුට එහි රුඳී සිටීමට අවස්ථාවක් සැලසී නොමැත.

“තාත්තට අසනීපයි, ඒ නිසා යන්න වෙනවා."

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් බැසිල් රාජපක්ෂ වෙත එලෙස පවසමින් රැලියට සහභාගි නොවී පිටත්ව ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප මැයි දින රැලිය පැවතියේ මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිටයි. එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රවාහන මාධ්‍ය ලෙස කලකට පසුව දුම්රිය තෝරාගෙන තිබීම මෙවර කැපීපෙනෙන සිදුවීමක් විය. එසේම එජාපයේ නැවත නැගිටීම ප්‍රදර්ශනය කරන්නට විශාල ජනකායක්ද සිය මැයි රැලිය වෙත එකතු කරගැනීමට එම පක්‍ෂය කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එජාපයට සහාය පළ කරමින් මැයි දින රැලියට එක්වීමද විශේෂත්වයක් විය. කෙසේ වෙතත් සමගි ජන බලවේගයෙන් එක්සත් ජාතික පක්ෂයට කිහිප දෙනකු එකතු වන බවට පැතිර ගිය ආරංචි මෙහිදී යථාර්ථයක් බවට පත් නොවුණි.

මෙම රැලියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කී අපූරු රහස කාගේත් අවධානය දිනා ගත්තේය.

“මම රහසක් කියන්නම්, දැනගන්න කැමැතිද? ඩී.එස්. සේනානායක අගමැතිතුමා හොඳම නැකැත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න. සැප්තැම්බර් 09 වැනිදා. උදේ ගත්තේ නෑ, හැන්දෑවේ රුස්වීම ගත්තේ. ඒ වගේම හොඳ වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබා දෙන්න. අනිත් එක හොඳට මතක තියාගන්න, ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුණේ."

එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නිසාවෙන් යම් ගැටලුවක් නිර්මාණය වී ඇතැයි දේශපාලන කරළියේ කතා පැතිර යයි. එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීමේ වගකීම රවී කරුණානායක මහතා වෙත පවරා ඇතත්, අවසන් මොහොතේ ඔහු එය පැහැර හරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් පසුව කතා කිරීමට තීරණය කර ඇතැයි කියැවේ. ආරංචිය අනුව මේ හේතුවෙන් රැලියේ කථික ලැයිස්තුවේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට මහ ලේකම්වරයාට සිදුව තිබේ.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන මැයි රැලිය ලෙස සමගි ජන බලවේගයේ මැයි රැලිය කොළඹ චතැම් වීදියේ දී සංවිධානය විය. මේ සඳහා ද විශාල ජන සහභාගීත්වයක් දැකගත හැකි විය. සමගි ජන බලවේගය කල් ඇතුවම කියා තිබුණේ ලක්ෂයකට ආසන්න ජනතාවක් තමන්ගේ රැලියට සහභාගි වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දිනය වෙනුවෙන් සූදානම් කොටගෙන තිබුණේ තරමක වෙනස් කතාවකි. එම කතාව තුළදී කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයකු ඍජුව විවේචනය නොකිරීමට ඔහු වගබලා ගත්තේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙය කල් ඇතිවම සකසාගත් දේශපාලන උපායක් බවයි.

“මම ආරාධනා කරනවා, ආයාචනා කරනවා අපත් සමඟ සම්බන්ධ නොවූ අයට. මතක තියාගන්න අපි ප්‍රතිපත්තිගරුකයි. මුදලට ගන්න බෑ මාව. මගේ පක්ෂයේ අය මුදලට, වරදාන වරප්‍රසාදවලට ගන්න බෑ. ප්‍රතිපත්තිගරුකව සමගි ජන බලවේගයේ දෑත් දිගු කරනවා. මිත්‍රත්වයේ හස්තය දිගු කරනවා. ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එකතු වෙන්න. මම පොරොන්දු වෙනවා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් 24 පැයේම දවස් 365ම රට ගොඩනගනවා කියලා."

මේ අතර සමගි ජන බලවේගයේ තවදුරටත් සාමාජිකත්වය දරන නමුත් පසුගිය දිනවල තරමක් වික්‍රමසිංහ හිතවාදීන් ලෙස ඇතැමුන් නම් කළ චරිත කිහිපයක් මැයි රැලිය තුළ දැකගත නොහැකි වීමද තරමක විශේෂිත සිදුවීමක් විය.

එසේම සජබ මැයි රැලියේදී සජබ සභාපති සරත් ෆොන්සේකා වෙත කතාවක් නොලැබුණි. ආරංචි මාර්ග තහවුරු කළ පරිදි ආරම්භයේ සිටම ඒ හා සම්බන්ධයෙන් ඔහු තරමක් කිපී සිටියේය. කෙසේ වෙතත් සජබ ජ්‍යෙෂ්ඨයන් බහුතරය ඔහුව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා සජබ මැයි රැලිය අවසන් වීමට පෙර නික්ම ගොස් තිබේ. ඊට අමතරව සමගි රැලියට නොපැමිණි පිරිස් අතර තලතා අතුකෝරළ, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන් යන අයගේ නම් කියැවේ. එම පිරිස අතරින් රිෂාඩ් සහ තලතා විදේශගත වී ඇතැයි කියැවෙන අතර රාජිත සේනාරත්නගේ නොපැමිණීමට හේතුව පැහැදිලි නොමැත.

මේ අතර සමගි ජන බලවේගයේ වතුකර මැයි රැලියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සහභාගි වීම පිළිබඳ දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබුණි. 

“අර්ජුන සමගි ජන බලවේගයට එකතුවෙලා"

පුවත් පැතිර යන්නට විය.

පසුගිය සිකුරාදා මේ හා සම්බන්ධව පැහැදිලි කිරීමක් අර්ජුන රණතුංග විසින් සිදුකොට තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම රැලියට සහභාගි වූ අතර එය සමගි ජන බලවේගයට එක්වීමක් නොවන බව ඔහු කියා සිටියේය.

“රට හදන විසඳුමට ජන බලය එක පෙළට* මැයෙන් ජාතික ජන බලවේගය විසින් කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර නගරවලදී මැයි රැලි හතරක් පැවැත්වීමට කටයුතු කළේය. ඒ අනුව ජාතික ජන බලවේගය කොළඹ මැයි රැලිය පස්වරු 3.30ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට කටයුතු කළේය.

මෙහිදී රැලිය ඇමතූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊළඟ මැයි රැලිය සිය ආණ්ඩුවක් යටතේ පවත්වන බව කීවේය. 

“මේ දූෂිතයන් යටතේ, මේ දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ එක මැයි දිනයක්වත් මේ රටේ තව තියෙයිද? නැහැ. ඒ වගේම එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ කියන එකත් අපි මතක් කරන්න කැමැතියි.
අපි දන්නවා අද මෙතැනට ලක්ෂයට වැඩි පිරිසක් එක්රුස් වෙලා මේ මැයි දිනය පවත්වනවා. කොළඹත් එහෙමයි. අනුරාධපුරයෙත් එහෙමයි. යාපනයේත් අද මැයි රැලියක් පැවැත්වෙනවා. මේ මැයි රැලිවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගිවෙලා ඉන්නවා."

ජාතික ජන බලවේගය ද ගම් මට්ටමෙන් බස්රථ විශාල ප්‍රමාණයක් රුගෙන ඒමට කටයුතු කර තිබුණි. බොහෝ දෙනකු ජාතික ජන බලවේගයේ මැයි රැලි දෙස විශේෂ අවධානයක් යොමු කර තිබුණි. 

මේ අතර ආන්දෝලනයට තුඩ දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී පැවැත්වුණි. නිදහස් සේවක සංගමය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් ගුරු සංගමය ඇතුළු පක්ෂයේ සියලු වෘත්තීය සමිති විසින් මෙම මැයි දින රැලිය සංවිධානය කර තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය මෙම රැලිය සංවිධානය සඳහා මූලිකත්වය ගත්තේය. ඒ අනුව මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක්ව සිටියහ. 

ඒ අනුව විවිධ  පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් එක්ව මැයි රැලි සංවිධානය කර තිබුණි. ප්‍රධාන දේශපාලන පක්ෂ කියා සිටියේ තමන්ගේ මැයි රැලිවලට ලක්ෂයකට අධික ජනකායක් පැමිණි බවකි. කෙසේ වෙතත් බුද්ධි අංශ විසින් ආණ්ඩුවේ ඉහළ පාර්ශ්ව වෙත ලබා දී ඇතැයි කියන වාර්තාවලට අනුව, ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි රැලිවල  ජන සහභාගිත්වය පනස්දහස ඉක්මවා නොමැති බව කියැවෙයි. ඒ අනුව පිළිවෙළින් හතළිස් අටදහසක්, හතළිස් පන්දහසක්, තිස්පන් දහසක් සහ දොළොස් දහසක් බැගින් ප්‍රධාන දේශපාලන පක්‍ෂවල මැයි රැලි සඳහා සහභාගි වී ඇතැයි කියැවේ.

මෙරට ජාතික චින්තනය සම්බන්ධ තීරණාත්මක කාර්යභාරයක් සිදු කළ විද්වතකුගේ අහිමිවීම පසුගිය සතිය තුළදී මැයි රැලි උණුසුමක් සමඟ තරමක් මගහැරී ගියේය. මෙලෙස සිය දිවිසැරිය නිමා කර තිබුණේ මෙරට ප්‍රකට විද්වතකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතාය. ඇමෙරිකාවේ සිටින තම පුතුගේ සුවදුක් බැලීමට ගොස් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වෙද්දී ඒ මහතා 79 වැනි වියේ පසුවිය.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු, දාර්ශනිකයකු සහ දේශපාලන විශ්ලේෂකයකු ලෙස කීර්තියක් ඉසිලූ විද්වතෙකි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ ඔහු විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද දැරීය. නලින් ද සිල්වා මහතා කලක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලාංකීය දේශපාලනයේ තීරණාත්මක පරිසරයක් වූ ජාතික චින්තනය පදනම් කරගත් නූතන ජාතිකත්ව ව්‍යාපාරය ආරම්භ කිරීමෙහිලා ඔහු දැක්වූ දායකත්වය සුවිසල්ය.

පසුගිය සතිය තුළ තවත් දේශපාලන කණ්ඩායම් කිහිපයක්ම ඉදිරි මැතිවරණය අරමුණු කර ගනිමින් තමන්ගේ දේශපාලන ව්‍යාපාර සක්‍රීය කිරීම අරඹා තිබුණි. ලංසා කඳවුරේ නව සන්ධානය සිය දේශපාලන ක්‍රියාන්විතය හම්බන්තොට දිස්ත්‍රික්කය මූලික කොටගෙන අරඹන බව ආරංචි මාර්ග තහවුරු කළේය. 

නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පසුගිය මැයි දිනයෙන් පසු ඔවුන්ගේ විධායක සභාව රුස්වී මැයි දින රැලිවල තත්ත්වය පිළිබඳ යම් තක්සේරුවක නිරත වී තිබේ. 

මෙහිදී මැයි රැලි පිළිබඳ කතාව නිර්මාණය කර ඇත්තේ සුගීෂ්වර බණ්ඩාර විසින් බව කියැවේ.

“යූ.එන්.පී. මැයි රැලියට සෙනග හිටපු එක ගැන මිනිස්සුන්ගේ හොඳ ප්‍රතිචාරයක් තියෙනව." සුගීෂ්වර බණ්ඩාර පවසා තිබුණි.

“වතු කම්කරු වැටුප් වැඩි කරපු නිසා සජිත්ගේ නුවරඑළියේ රැලියට එච්චර සෙනග හිටියේ නෑ."

යනුවෙන් පවසමින් සමගි ජන බලවේගයේ මැයි රැලිවල අඩුපාඩු සඳහන් කොට ඇත්තේ නිමල් ලංසා මන්ත්‍රීවරයාය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය අසාර්ථක බවද මෙම පිරිස පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ජනපති හිතෛෂීන් මෙම පිරිස එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය පිළිබඳ කතා කර ඇත්තේ ධනාත්මක අයුරිනි.

වයස අවුරුදු 75 සම්පූර්ණ වීමෙන් පසුවත් කාදිනල් තනතුර දැරීමට අවස්ථාව දෙන්නැයි කාදිනල් හිමියන් වතිකානුවෙන් ඉල්ලීමක් කළ බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගියදාක පවසා තිබුණි. මෙය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වූ අතර ඊට ප්‍රතිචාර දැක්වීමට පසුගිය සතියේ කතෝලික සභාව කටයුතු කළේය.

තමාගේ වයස 75ක් බව කාදිනල් හිමියන් වතිකානුවට ලිඛිතව දැනුම් දුන් බවත්, තවදුරටත් කාදිනල් තනතුරේ රුඳී සිටීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් නොකළ බවත් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කළේය.

“කාදිනල් හිමියන් තවදුරටත් ‍රාජකාරි කළ හැකි මට්ටමක සිටින නිසා එම තනතුරේ රුඳී සිටින ලෙසට කාදිනල් හිමිගේ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් වතිකානුව දන්වා තිබෙනවා.”

මේ අතර තරමක් භයානක දේශපාලන අනාවැකියක් කියා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාය. 

“ඉදිරි ජනාධිපතිවරණය වෙනකොට රට තුළ බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා."

ඔහුගේ මෙම අනාවැකිය සමඟ කලබල වූ රහස් පොලීසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු කැඳවා ප්‍රශ්න කොට තිබේ. මේ පිළිබඳ පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පවත්වමින් පාඨලී චම්පික රණවක මහතා කරුණු දැක්වීමක් සිදු කළේය. අද වන විට ලංකාවේ සමාජ පාතාලයට අමතරව දේශපාලන පාතාලයක්ද පවතින බව ඔහු පවසා තිබුණි.

මේ අතර ඉදිරි මැතිවරණවලදී පාඨලී චම්පික රණවක වැනි චරිතවල දේශපාලන ස්ථානගත වීම පිළිබඳවද දේශපාලන කරළියේ තිරය පිටුපස කතාබහ ඇතිව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ජාතිකවාදී කඳවුර නව දේශපාලන ව්‍යාපෘතියකට සූදානම් වන බවට ද ආරංචි ලැබෙමින් තිබේ.

මේ අතර පසුගිය සතියේ දේශය අනාවරණය කළ පරිදි ආණ්ඩුකාර මාරුව පසුගිය සතියේදී සිදු විය. වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාතටත්, වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස නසීර් අහමඩ් පත් කිරීමටත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

I  චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00