2024 මැයි 11 වන සෙනසුරාදා

ඩයනා යයි: මුජිබර් එයි

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 230

බක්මහ සැණකෙළි අවසන් වුවද ග්‍රීස් ගහේ කොඩිය සඳහා වන තරගය තවත් නිමා වී නොමැත. සාමූහික සමගි සන්ධාන සැකසිම්, පැති මාරු කිරීම්ද ග්‍රීස් ගහ පාමුල සිදුවූයේ නිතැතිණි. වැටෙන උන් දැක සිනාසීමත් නගින උන්ගේ කකුලෙන් ඇදීමත් දේශපාලන ග්‍රීස් ගහේ තරගයේදී අතිශය සාමාන්‍ය තත්ත්වයන් වී තිබේ. මැතිවරණයක් අවසන මෙම කොඩිය කිසිවකු අත දැරුවද නැවත මෙම තරගය නොබෝ කලකින් ඇරුඹේ. මෙලෙස එම තරගය උණුසුම් මුහුණුවරක් ගන්නේ මැතිවරණය අබියසදීය. ජනපතිවරණයට දින සති ළං වන විට තරගය තව තවත් උණුසුම් වී ඇත්තේ එබැවිනි.

පොහොට්ටුව දේශපාලන වශයෙන් ඓතිහාසික තීරණයක් ගත යුතු මොහොතක් කෙමෙන් එළඹෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් පසුගිය සතියේ තීරණය ගැනීමට පූර්වයේ වන සූදානමක් ලෙසින් පොහොට්ටුවේ අධි තාක්ෂණික කාර්යාලයක් බත්තරමුල්ල රජමල්වත්ත මාවතේදී ආරම්භ කෙරිණි. මෙහි ආරම්භක අවස්ථාවට පොහොට්ටුවේ අපේක්ෂකයා වෙතැයි සැලකෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා ද සහභාගි විය.

“පොහොට්ටුවේ සංවිධායකවරු ඉන්න එක ආසනයකට එක පරිගණකයක් සහ සම්බන්ධීකාරකවරයෙක් සහිතව තමා මේ කාර්යාලය ආරම්භ කළේ.”

පොහොට්ටුවේ ලොකු තැන්වල කතා වූ පරිද්දෙන් මෙම කාර්යාලය ඉදිරි ජනාධිපතිවරණයේදී මැතිවරණ මෙහෙයුම් සඳහා වන තීරණාත්මක මධ්‍යස්ථානයක් වනු ඇත. මෙම කාර්යාලය සම්බන්ධීකරණයෙන් දැනටමත් දේශපාලන කටයුතු ආරම්භ වී ඇතැයි කියැවේ.

“අපි ඉදිරි සතිවලදී පක්ෂයේ ප්‍රාදේශීය බල මණ්ඩල සහ තවත් රැස්වීම් ැසක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා."

ඉදිරි මාසයක පමණ කාලය තුළ තීරණාත්මක දේශපාලන ක්‍රියාන්විතයක් රට පුරා ඇරඹීමට පොහොට්ටුව සූදානමින් සිටින බව පැහැදිලිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපතිවරණයට තම පක්ෂයේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට අදහස් පළ කර ඇතැයි පොහොට්ටුවේ ඇතැම් පාර්ශ්ව තහවුරු කළේය.

කෙසේ වෙතත් පසුගිය සති අන්තයේදී පැවති සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ පාර්ශ්වය විසින් ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ඉල්ලා තිබේ. 

“ව්‍යවස්ථාව අනුවත් මේ වෙලාවෙ තියන්න ඕනෑ ජනාධිපතිවරණයක්."

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය එතරම් සුබදායක නොවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ජූලි මුල සතියේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ තීන්දුවට සමගාමීවම පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙනු ඇතැයි දැනගැනීමට ලැබේ. මේ වන විටත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ වැඩි පිරිසක් කැමැත්ත දක්වමින් ඇතැයි ද වාර්තා වේ. 

මේ අතර 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදන කළේය. නාමයෝජනා බාරගන්නා කාලය ඉදිරියේ දී නිවේදනය කරන බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

පසුගිය සතියේ සමගි ජන බලවේගයට ප්‍රීතිදායක ආරංචියක් ලැබුණි. ඒ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට සිය පාර්ලිමේන්තු අසුන අහිමි කළ නඩු තීන්දුවයි. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඕෂල හේරත් අභියාචන අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවද මුල් අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප විය. 

කෙසේ වෙතත් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළ පසු මෙම තීන්දුව ලැබුණි. ඩයනා ගමගේගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බව විනිසුරුවරුන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබිණි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බවත් විනිසුරුවරු පෙන්වා දුන්හ. ඒ අනුව පාර්ලිමේන්තුවේදී කතානායකවරයා අදාළ මන්ත්‍රී ධූරය පුරප්පාඩු වූ බව නිවේදනය කළේය. මැතිවරණ කොමිසමටද අදාළ දැනුම් දීම සිදුකොට තිබුණි.

ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසය. එම නිසාම මෙම මන්ත්‍රී ධූරයට අනුප්‍රාප්තිකයා බවට පත්වීමට බොහෝ දෙනකු උත්සාහ දරමින් සිටි බව ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. 

සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සැලකිය යුතු පිරිසක් මෙම මන්ත්‍රී අසුන ලබා ගැනීමට උත්සාහ දරා තිබේ.

“මට මන්ත්‍රී ධූරය ලබා දෙන්න."

යන ඉල්ලීම ඍජුව හා වක්‍රව ද සජබ නායකත්වය වෙත ඉදිරිපත් වී තිබේ. 

පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදය ද මෙම ගැටලුවට මැදිහත් විය. එම සංසදයේ සභාපති මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හදිසියේම සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් ලීවේය.

“අපි අධිකරණ තීන්දුවට ගරු කරනවා. නමුත් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා කාන්තාවක් පත් කරන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා."

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබඳ සැලකිලිමත් වෙමින් ලියා තිබුණු මෙම ලිපියේ අන්තර්ගත වී තිබුණේ එවන් අදහසකි.

මෙවන් ඉල්ලීම් මහ ලේකම්වරයා ඇතුළු නායකත්වය වෙත නිරන්තරයෙන් ලැබුණද ඔවුන් මේ හා සම්බන්ධව කල් ඇතිවම තීරණයක් ගෙන සිටි බව ආරංචි මාර්ග තහවුරු කළේය.

“කුමන හෝ අවස්ථාවක් ලැබුණොත් අපි මුජිබර් රහුමාන්ට ඒ අවස්ථාව ලබා දෙන්න තීරණය කරලා තිබුණේ."

පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවට සමුදුන් මුජිබර් රහුමාන් ඒ අනුව ඩයනා ගමගේගේ පුරප්පාඩුව පත් කරන බව සමගි ජන බලවේගයේ ප්‍රබල ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් පසු ස්ථිර වශයෙන්ම මහ මැතිවරණයක් පැමිණීමට නියමිත වුවද ඉතිරි ටික කාලය සඳහා වුව මුජිබර් පත් කළ යුතුය යන්න සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබුණි. 

මේ අතර පසුගිය බදාදා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. රටේ ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය මූල්‍ය ආයතන ද සමාන පුරෝකථන ඉදිරිපත් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

“මෙම වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට තුනක්වත් වේ යැයි අප අපේක්ෂා කරනවා. විවිධ දේශීය හා විදේශීය මූල්‍ය ආයතන විසින් ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත් කර තිබෙනවා. උද්ධමනය දැන් සියයට 1.5 තරම් පහළ වැටිලා. අවුරුදු ගණනාවක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවෙලා.

දශක ගණනාවකට පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 දී ඇතිවෙලා. පොලී අනුපාතය සියයට 10-13 තරම් පහළට වැටිලා."

සංචාරක කර්මාන්තය නැගීම, විදේශ විනිමය ගලා ඒමෙන් ඩොලරයේ අගය පහත වැටීම ආදිය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු සඳහා වන කමිටුව ද පසුගිය සතියේදී රැස්විය. ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපතිවරණ මෙහෙයුම සිදු කිරීම මෙම පිරිසේ අරමුණ විය. 

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම දේශපාලන කමිටුවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, ටිරාන් අලස් මෙන්ම මන්ත්‍රීන් වන නිමල් ලංසා, අනුර යාපා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

“ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ලබන ජූනි මාසයේදී ආරම්භ කරන්න ඕනෑ."

කඩිනමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මෙම පිරිස අවධාරණය කොට ඇතැයි කියැවේ. තරමක් කල් මරමින් සිටියද බොහෝ දුරට ජනාධිපතිවරයා මෙම යෝජනාව අනුව ඉදිරි මාසයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩ තිබේ.

“ඉක්මනින්ම පොහොට්ටුවේ සහයෝගය ලබාගන්න වැඩ කටයුතු අවසන් කරන්න ඕනෑ."

අමාත්‍ය හරින් ප්‍රනාන්දු මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසට පෙන්වා දී තිබේ.

මීට අමතරව මාතර දී පනස්දහසක පමණ ජන සහභාගිත්වයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් දැවැන්ත රුලියක් සංවිධානය කිරීමේ වගකීම අමාත්‍ය කාංචන විජේසේකරට පැවරී ඇතැයි කියැවෙයි. ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් සඳහා ආරම්භයක් ලබාදෙන දැවැන්ත ව්‍යාපෘතිය මෙය විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතියේදී නව දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරය. 

“හදවත ලකුණින් ඡන්දය ඉල්ලන්න දයාසිරි සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණයටත් එයි." යන ආරංචිය දින කිහිපයක සිටම දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණි. සිකුරාදා නව සන්ධානය ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාව වෙත බාරදීමට දයාසිරි ජයසේකර කටයුතු කර තිබුණි. 

“පක්ෂ විසි තුනක් සමඟ සන්ධානගත වෙලා මානුෂීය ජනතා සන්ධානය ඉදිරියේදී ඕනෑම මැතිවරණයක් සඳහා ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා."

මෙම නව සන්ධානය සමඟ ජාති ආගම් භේදයකින් තොරව ඉදිරියට පැමිණෙන බව දයාසිරි ජයසේකර පැවසීය. එසේම ඔහු පැවසූ පරිද්දෙන් මේ දිනවල ආසන සංවිධායකයන් පත් කිරීම සඳහා ද කටයුතු සිදුවෙමින් පවතී.

රට තුළ නිර්මාණය වී ඇති නවතම දේශපාලන වාතාවරණය සමඟම විවිධ පුද්ගලයන් සමගි ජන බලවේගය සමඟ සම්බන්ධ වී අපේක්ෂකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය. දේශය සිදු කළ විමසීමකදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එය තහවුරු කළේය.

“කලාකරුවන් ව්‍යාපාරිකයන් විවිධ වෘත්තිකයන් ඇතුළු චරිත රුසකින් ඉල්ලීම් ලැබෙමින් තිබෙනවා."

මහ ලේකම්වරයා අදාළ පුවත පිළිගත් අතර මෙම ලැබෙන ඉල්ලීම් සියල්ලම සලකා බලා සුදුසු අය පමණක් පක්ෂය සමඟ කටයුතු කිරීමට තෝරාගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණයකදී අපේක්ෂකත්වය ලබාදීම සඳහා මෙම නව පිරිස් සඳහා අනුමැතිය ලබාදීමට කටයුතු කරනු ඇත්තේ සමගි ජන බලවේගය දේශපාලන මණ්ඩලය විසින් බව තවදුරටත් දැනගන්නට ලැබේ. ඇතැම් චරිතවල නම් ගම් දැනටමත් ඔවුන් සාකච්ඡාවට ගෙන ඇතැයි කියැවෙයි.

මේ අතර පසුගිය සතියේ නව සටනකට පණ දෙන්නට ජාතික ජන බලවේගය තීරණය කොට තිබුණි. ඒ විදුලි පනතට එරෙහිව සටනයි. ඒ අනුව බ්‍රහස්පතින්දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික ජන බලවේගයේ  වෘත්තීය සමිති නියෝජනය කරන පිරිස් සිය විරෝධය ඉදිරිපත් කළහ.

“විදුලිබල මණ්ඩලය ඍජුවම මහජන උපයෝගීතා කොමිසමට ගැටගැසී තිබෙනවා. විදුලි බලයේ මිල තීරණය කිරීම සඳහා වාසිය හෝ අවාසිය සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තේ සිට බලන්නේ මහජන උපයෝගිතා කොමිසමෙන්. නමුත් නීතියෙන් ස්ථාපිත මේ ආයතනයේ නිර්දේශ පවා නොතකා හරිමින් යන යකා කොරහත් බිඳගෙන යන ආකාරයට මේ පනත හදිසියේ ගෙනැවිත් තිබෙනවා. මේ රටේ මහජනතාව හෝ වෘත්තිය සමිති හෝ විදුලිබල තොග වෙළෙඳපොළක් ඉල්ලා කිසිම තැනක උද්ඝෝෂණය කර නැහැ."

පසුගිය වර මර්දනය කෙරුණද ජාතික ජන බලවේගයේ සහාය ඇතිව නැවතත් විදුලි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී පැමිණිය හැකි බවට අනතුරු ඇඟවීමක් මේ සමඟම ලැබුණි.

මේ අතර ජාතික ජන බලවේගය නායකත්වය තවදුරටත් ජාත්‍යන්තර සබඳතා තර කර ගැනීමට කටයුතු කරමින් සිටියේය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් (Marc-Andrew Franche) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වුණි. මෙම හමුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමය සහ සංවර්ධනය පිළිබඳ උපදේශක පැට්‍රික් මැකාතී (Patrick McCarthy) මහතා, සාමය සහ සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක නෙත්මිණී මැදවල මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක්ව සිටියහ.

පසුගිය සතියේ පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින ධම්මික පෙරේරා තවත් අමුතු වැඩකට මුල පුරා තිබුණි. සිය සමාජ සත්කාරයක් ලෙස කාන්තා හිංසනය වළක්වා ගැනීම වෙනුවෙන් සංඥා භාෂාවක් හඳුන්වා දීමට ඔහු පියවර ගත්තේය.

පසුගිය සිකුරාදා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේය. පොදු මගී ප්‍රවාහන සේවා භාවිතයේදී සහ මග තොටේදී කාන්තාවන්ට සිදුවන හිංසන වළක්වා ගැනීම සඳහා මෙම නව ක්‍රමවේදය සකසා ඇත්තේ ඇමෙරිකානු විශේෂඥයන්ගේ ද සහාය ලබා ගනිමින් බව කියැවෙයි.

මෙම සංඥා හරහා හිංසන වළක්වා ගැනීම සඳහා කාන්තාවන්ට සහාය ලබා ගැනීමේ හැකියාව පවතී. එසේම යම් පීඩාවක් සිදුවන විට ඒ කෙරෙහි අකැමැත්ත ප්‍රකාශ කිරීමේ හැකියාව ද මෙම ක්‍රමවේදය යටතේ කාන්තාවන් වෙත සකසා දී තිබේ.
පසුගිය සතියේ කලකට පසුව අතුරලියේ රතන හිමිද කරළියට පැමිණ තිබුණි. පසුගිය බදාදා දින කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණයෙන් අතුරලියේ රතන හිමි ප්‍රධාන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ සිවිල් සංවිධාන සමඟින් එක්ව තිරසර ලංකා ජාතික ව්‍යාපාරය නමින් නව ජාතික ව්‍යාපාරයක් ඇතිකර එහි ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදු කෙරිණි.

ජාතිකවාදී කඳවුරේ දේශපාලන පරිහානියත් සමඟ එම හිස්තැන පිරවීමේ අපේක්ෂාව සහිතව නව ව්‍යාපෘතිය දියත් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු  අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ හා කොළඹ තරුණ බෞද්ධ සංගමය වෙනුවෙන් එහි සභාපති මහින්ද ජයසේකර යන අය මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

I චමිඳු නිසල් ද සිල්වා

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00