2024 මැයි 25 වන සෙනසුරාදා

ස.ජ.බ - එ.ජා.ප එකතුවකට රාජිතගෙන් කපුකමක්

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 737

කාලගුණය එන්න එන්නටම අයහපත් වූ අතර සුළං මෙන්ම වැසි ද ජන ජීවිතය කෙරෙහි ඇති කළේ පීඩාවකි. කාලගුණය සේම දේශපාලනයේ ද වෙනස්කම් සිදුවන බවට ලකුණු පෙනෙන්නට තිබුණි. එය ජන ජීවිත කෙරෙහි මෙන්ම දේශපාලනඥයන්ගේ ජීවිත කෙරෙහිද තීරණාත්මක වනු ඇතැයි පෙනී ගියේය. ඉකුත් සතියේ මහා වර්ෂාවකට පෙර මෙන් දේශපාලන කරළියද තරමක් අඳුරු ස්වභාවයක් ගත්තේය.

පසුගිය සතියේ ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තමාගේ දේශපාලන කමිටුව හමුවිය. බැසිල් රාජපක්ෂ, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. නිමල් ලන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායම මෙම රුස්වීම නැවතත් වර්ජනය කර තිබුණේ රාජපක්ෂ විරෝධය උපුටා දක්වමිනි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කරුණු කිහිපයක් අවධාරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

“මම අපේක්ෂකත්වය නියම වෙලාවට නිවේදනය කරන්නම්. කලින් ප්‍රකාශ කළාම සංවර්ධන වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා."

ස්ථිර ලෙසම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සනාථ නොකළ ද මැතිවරණය ඉලක්ක කරගෙන මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා දේශපාලන කමිටුව වෙත සඳහන් කොට තිබේ.

මේ අතර පසුගිය සඳුදා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ආණ්ඩුවේ කැබිනට් ඇමැතිලාට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සාකච්ඡාවක් සහ රාත්‍රී භෝජනයක් සඳහා ආරාධනා කොට තිබුණි. මෙය තරමක් රහසිගත ස්වරෑපයෙන් පැවති හමුවක් වූ අතර, ප්‍රචාරය කොට තිබුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ ද අවසරය සහිතව හමුව සංවිධානය වන බවයි.

මෙහි පැමිණ සිටි සියලු දෙනාම මැති ඇමැතිවරුන් වූ අතර, ඇමැති ධූර නොදරන්නකු ලෙස පැමිණ සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ පමණි. සාකච්ඡාව සහ සම්භාෂණය ආරම්භ වූයේ රාත්‍රී හතට පමණය.

“ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි. අපි එතුමාට උදව් කරන්න ඕනෑ."

ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට හේතු සාධක උපුටා දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කතාව පටන්ගෙන තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම කතාව සම්බන්ධයෙන් පළමුව ප්‍රතිචාර දක්වා ඇත්තේ විදුර වික්‍රමනායකයි. 

“ආයෙත් වැඩ වරද්ද ගන්නද යන්නෙ? තාමත් ජනාධිපතිතුමා අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රකාශ කරලා නෑ. මම කියන්නේ මෙතැන ඉන්න අයට ඉස්සෙල්ලම නැවත පාර්ලිමේන්තු එන්නේ කොහොමද කියලා බලන්න. මම නම් බලන්නෙ ඒ ගැන. ඒ ගැන කතා කරනව නම් කතා කරමු."

එතරම් පැහැදීමකින් තොර වූ ප්‍රකාශයක් විදුර වික්‍රමනායක කෙරෙන් පළ වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම මොහු වැඩි කාලයක් මෙහි රුඳී නොසිටි බවද කියැවේ.

මේ අතර සීතා අරඹේපොළ රාජ්‍ය අමාත්‍යවරිය ද පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා අපේක්ෂකත්වය ප්‍රකාශ කරන තුරු බලා සිටිය යුතු බවයි. 

“ජනාධිපතිතුමා අඩුම තරමේ අපිටවත් කියන්න ඕනෑ ඉදිරිපත් වෙනවද නැද්ද කියලා."

දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාද මෙසේ ප්‍රශ්න කර සිටින විට ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයායි

“නෑ නෑ එතුමා ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙන එක සම්බන්ධව කිසිම අවුලක් නැහැ."

ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය පිළිබඳ ඉතාම ස්ථිර ස්වරයෙන් ඔහු කතා කළ බව කියැවේ. මෙහිදී අරුන්දික ප්‍රනාන්දු ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකුම සඳහන් කර ඇත්තේ ඉක්මන් තීරණයක් අවශ්‍ය බවයි.

මේ අතර ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන විවිධ වෘත්තීය සමිති සහ සංගම් පිළිබඳ සමීපව සොයා බැලීමේ වගකීමද මෙම රාජ්‍ය අමාත්‍යවරුන් අතර බෙදා දීමට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම සම්භාෂණය සඳහා විජිත බේරුගොඩ, තේනුක විදානගමගේ ආදී අමාත්‍යවරුන් කිහිප දෙනකු සහභාගී වී නොමැත.

මේ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන මට්ටමේ රුස්වීම් මාලාවක් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම රුස්වීම් මාලාවේ පළමු රුස්වීම තලාව ප්‍රදේශයෙන් පටන් ගැනීමට සූදනම් වන බව කියැවේ. එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ ක්‍රියාකාරී නායකයෝ මෙම රුස්වීම් මාලාව සංවිධානය කිරීම සඳහා පෙරමුණ ගෙන සිටිති.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම රුස්වීමට සහභාගි නොවන බව කියැවෙයි. ආසන රුස්වීම් ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම යටතේ සංවිධානය වන අතර, මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව ඇත්තේ දිස්ත්‍රික් මට්ටමේ රුස්වීම්වලට පමණක් බව දැනගැනීමට ලැබේ.

සමගි ජන බලවේගයේ සමගිය තහවුරු කර ගැනීම සහ බලය වර්ධනය කර ගැනීම සඳහා වන සාකච්ඡාව වඩාත් සක්‍රීය කිරීමට එම පක්ෂය තීන්දු කර ඇති බව පසුගිය සතියේ පෙනී ගියේය. ඒ අනුව ලැබුණු එක්තරා දේශපාලන ආරංචියකට අනුව කියැවුණේ සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සහ සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර හමුවක් ඉකුත් දා පැවති බවකි.

මෙහිදී පක්ෂය හා සමගි වීම සඳහා සරත් ෆොන්සේකා මහතා කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි කියැවේ.

“එක කොන්දේසියක් තිබෙනවා"

මේ වන විටත් පැතිරෙන ආරංචි අනුව ඔහු සඳහන් කර ඇති කොන්දේසි අතිශය බරපතළය.

“ජනාධිපති අපේක්ෂකත්වය මට ඕනෑ"

සරත් ෆොන්සේකා මහතා එවන් කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවට පැතිර යන දේශපාලන කතා අනුව අපට දැනගැනීමට ලැබෙයි. එය එසේ නම් බරපතළ තත්ත්වයකි. සජබ මේ වන විටත් සිය අපේක්ෂකයා ප්‍රකාශ කොට හමාරය. ඒ අනුව සරත් ෆොන්සේකා ස්ථිරවම සමගි ජන බලවේගයෙන් බිඳී යාමට නියමිතය.

මේ අතර සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු වන ඉම්තියාස් බාකීර් මහතා බේරුවල ආසන සංවිධායක ධූරය ඉල්ලා සිටීම හරහා ද සමගි ජන බලවේගය යම් ගැටලුවකට මැදිව ඇතැයි කියැවේ. හිටපු පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් අහමඩ් දැනට බේරුවල ආසන සංවිධායක ධූරය දරන බැවින් එම තීන්දුව ගැනීම සමගි ජන බලවේගයට අපහසු වී ඇතැයි දැනගැනීමට ලැබෙයි.

මෙය පවුල් අතර යම් ගැටලුවක් ද වන බව සජබ ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ. 

“අපි ඔබතුමාට පානදුර ආසනය ලබා දෙන්නම්"
“මට පානදුර වැඩක් නැහැ. බේරුවල තමයි අවශ්‍ය"

අවසානයේ බේරුවල ආසනය තමාට ලබාදිය නොහැකි නම් තම පුත්‍රයාව මහනුවර සංවිධායක ධූරයකට පත් කරන ලෙස ඉම්තියාස් බාකීර් මහතා ඉල්ලා ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මහනුවර ආසනය සඳහා සම සංවිධායකවරුන් ලෙස පත් කිරීම ප්‍රායෝගික නොවන බව සජබ නායකත්වය පවසා තිබේ. ඒ අනුව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වන ඉම්තියාස් බාකීර් මහතාට නැවතත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ම ලබාදීමට මේ වනවිට කටයුතු සකස් වෙමින් ඇතැයි දැනගැනීමට ලැබේ.

පසුගිය සතියේ කලක සිට සංදර්ශනාත්මකව දෙපසට ඇදුණු සජිත් - අනුර විවාදය පැවැත්වීම සඳහා ජාතික ජන බලවේගය එකඟ විය. 

“පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය සඳහා මෙම මස 27 වැනිදා සහ 31 වැනිදා අතර දිනයක්ද පක්ෂ නායකයන් අතර විවාදය සඳහා ජූනි 3 වැනිදාත් 7  වැනිදාත් අතර දිනයක්ද වෙන් කරන්න."

බොහෝ හැලහැප්පීම් අවසානයේ සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ජාතික ජන බලවේගය කටයුතු කළේය.

“විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජූනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා බාරගත්තා."

ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. මෙය තරමක් අස්වැසිල්ලක් වූ නමුත් මෙය ජවනිකාවන්ගේ අවසානය නොවුණි

ආර්ථික කමිටු අතර විවාදය සඳහා ජාතික ජන බලවේගය එකඟතාව පළ කර නොතිබුණි.

“නායකයන් දෙදෙනා අතර විවාදය අපි මුලින්ම කරමු. ඊට පස්සේ අනෙක් විවාදය කරමු."

ජාතික ජන බලවේගය කෙරෙන් ප්‍රකාශ වූයේ එවන් යෝජනාවකි. එහෙත් ආර්ථික කමිටු විවාදයට වැඩි බරක් ලබා දී සිටින සජබ මන්ත්‍රී කණ්ඩායම මෙයින් එතරම් සතුටු වූ බවක් නොපෙනුණි. එසේ හෙයින් තවදුරටත් ඉතිරිව ඇත්තේ විවාදය පැවැත්වේද නොපැවැත්වේද යන සැකයයි.

මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කළේ සජිත් ප්‍රේමදාස - රනිල් වික්‍රමසිංහ නැවත එක්විය යුතුයි යන ස්ථාවරයේ සිට කටයුතු කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සජබ අභ්‍යන්තරයේ සිටින බවකි.

“දැන් නං එහෙම දේකට කිසිම අවස්ථාවක් නෑ"

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස හිතවාදී ජ්‍යෙෂ්ඨයෝ නිතර ප්‍රකාශ කළහ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් නිරන්තර එක්වී මේ දිනවල සාකච්ඡා පවත්වමින් ඇතැයි කියැවේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවාදී යම් දේශපාලන තීන්දුවක් හෝ උපායක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඇතැම්හු සැක පළ කළහ.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම පිරිස් අතරින් කිහිප දෙනකුටම පෞද්ගලිකවම කතා කොට ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වූ තාමත් ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් සමඟ තනි තනිව සහ සාමූහික වශයෙන් සමගි ජන බලවේගය සාකච්ඡා ආරම්භ කර ඇති බවටද දේශපාලන කරළියේ කතා පැතිර යමින් තිබේ. ඩලස් අලහප්පෙරුම, ලලිත් එල්ලාවල ආසන්න වශයෙන් සමගි ජන බලවේගය සමඟ එක්වීමේ ඉහළ අවස්ථාවක් ඇතැයි අදාළ තොරතුරු මූලාශ්‍ර සඳහන් කරයි.

මේ අතර සිංහල බෞද්ධ නායකත්වය පිළිබඳව වන විශ්වාසය සජිත් ප්‍රේමදාස වෙත තහවුරු කිරීමටද දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි කියැවේ. 

නිමල් ලංසා ප්‍රමුඛ නව සන්ධානය සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය දැවැන්ත වැඩකට අතගසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නව සන්ධානය ජූනි 8 වැනිදා සංවිධානය කිරීමට සූදානම් වන පළමු මැතිවරණ ඉලක්කගත ජන රැලියේ වැඩි බරක් එම පාර්ශ්වය කරට ගෙන තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එම වාර්තා අනුව මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පැවැත්වීමට නියමිත රැලිය පිළිබඳ මහින්ද අමරවීර ඇමැතිවරයා මෙහිදී දීර්ඝ ලෙස පැහැදිලි කොට ඇත.

“ඔබතුමාල කවුරුත් පාක්ෂිකයන් එක්ක එන්න එපා. මේකට එන්නෙ හම්බන්තොට මගේ පාක්ෂිකයෝ විතරමයි."

හම්බන්තොටින් මෙහි වැඩි බරක් කරට ගෙන සිටින මහින්ද අමරවීර එලෙස ස්ථිර ලෙසම පවසන විට ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපාය.

“එහෙනම් ඉතින් අපට තියෙන්නෙ ඇවිත් සහභාගී වෙන්න විතරයිනෙ."

රැලිය පවත්වන ස්ථානය පිළිබඳවද මෙහිදී ප්‍රශ්නගත වී තිබේ. නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී එම තොරතුරු විමසා ඇත.

“දැන් රැලිය තියන තැන ගැන තීරණයක් අරගෙනද තියෙන්නෙ?" 

“කොහෙ තිබ්බත් අපි මේක තියන්නෙ එක්කො සජබෙ තිබ්බ තැනක, නැත්නම් මාලිමාව තිබ්බ තැනක, එතකොට බලන්න පුළුවන් කාටද වැඩිම සෙනග කියල." 

නිමල් සිරිපාල පාර්ශ්වයෙන් එවන් අභියෝග බාරගැනීමක් සිදුවන අතරේ, නව සන්ධානය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයාගේ දේශපාලන කමිටුව සහ මැතිවරණ කමිටුවලට සහභාගී වන අවස්ථා දිගින් දිගටම වර්ජනය කරන බව ආරංචි මාර්ග තහවුරු කළේය.

නව සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔවුන් සතුව හතළිහකට ආසන්න මන්ත්‍රී කණ්ඩායමක් සිටින බවකි. තම පිරිසේ සහයෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත ඉදිරි ජනාධිපතිවරණයේදී ලබාදෙන්නේ පොහොට්ටුව සමඟ එක්ව නොව වෙනම කණ්ඩායමක් ලෙස බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පිළිබඳව මේ වන විට දේශපාලන ආරංචි ලැබෙමින් පවතී. ඔවුන් ද එකතු වී දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමින් පසුවන බව ඒ අනුව කියැවේ.  ඒ අනුව මෙම පිරිස දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායම සමඟ එකතු වීමට සූදානම් වන බවට ආරංචි පැතිර යයි.

පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගය පසුගිය සතියේ සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම පනත පිළිබඳ දැඩි විරෝධයක් ඉදිරිපත් කොට තිබුණි.

“ශ්‍රී ලාංකික ජනතාව කිසි කෙනෙක් උද්ඝෝෂණ කළේ නෑ ආයෝජන මණ්ඩලය අහෝසි කරන්න කියලා. කවුරු හරි උද්ඝෝෂණය කළාද අපට ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලයක් දියව් කියලා? එහෙම නැත්නම් කවුරු හරි අපේ රටේ කෑගැහුවද ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවන්න කියලා? නමුත් මේ හදිසියේ පාර්ලිමේන්තුව රුස් කරවලා දැන් මේ හදිසි පනතක් හැටියට පාර්ලිමේන්තුවට ගේනවා මේ ආර්ථික පරිවර්තන පනත. හැබැයි කවුරුත් ඉල්ලපු එකක් නෙවෙයි."

වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනත් කෙටුම්පතක් ඉතාමත්ම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් එමඟින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

I චමිඳු නිසල් ද සිල්වා

 

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00