2024 ජුනි 08 වන සෙනසුරාදා

විවාද වාදය

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 233

අඬුව අතැති විට අත පුච්චා නොගන්නා ශාස්ත්‍රයෙන්ද  බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා ශාස්ත්‍රයෙන්ද කෙළ පැමිණි දේශපාලන ලොකු ලොක්කන් මේ දවස්වල ශිල්ප දැක්වීමට තෝරාගෙන ඇත්තේ මුට්ටිය දමා බැලීමේ ශාස්ත්‍රයයි. ගෙවී ගියේ මැතිවරණ කල් දමන කතා, නව සන්ධාන කතා මෙන්ම අභ්‍යන්තර අර්බුද පිළිබඳ කසුකුසුද නිතර අසන්නට ලැබුණු සතියකි. මතුපිටින් පෙනුණු සිදුවීම් බොහොමයක් පිටුපස යම් දේශපාලන ගැඹුරක් සැඟව ඇති බව හැඟී ගියේ නිරායාසයෙනි.
ජනපතිගේ දේශපාලන කමිටුව ඉකුත් සඳුදා සුපුරුදු පරිදි රුස්විය. දේශපාලන කමිටුව වෙත බැසිල් රාජපක්ෂට ආරාධනා ලැබීම සති කිහිපයක සිට නොවැරදීම සිදුවෙමින් තිබුණි. 

“ඔබතුමා කමිටුවට සහභාගි වෙන්න. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ ගෙදර පොඩි ඩිනර් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒකටත් සහභාගී වෙන්න."
ආරංචි මාර්ග හෙළිදරව් කරන පරිදි ජනපති පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ වෙත ලැබී තිබුණේ ළෙන්ගතු ආරාධනයකි. 
මේ අනුව එදින පැවැති දේශපාලන කමිටුව විවිධ මාතෘකා සාකච්ඡාවට ගත් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.
“අපි ජනාධිපතිවරණ කැම්පේන් එක කරන්නේ කොහොමද?”

ආදී ප්‍රශ්න පිළිබඳව පිරිස දිගින් දිගටම සාකච්ඡා කළෝය. සෙස්සන් එලෙස සාකච්ඡා කළද බැසිල් රාජපක්ෂ උපක්‍රමශීලී ලෙස එම සාකච්ඡාවට එතරම් විශාල දායකත්වයක් නොදක්වා ඇතැයි කියැවේ. බැසිල් රාජපක්ෂ ජනපති වෙත ඉදිරිපත් කර ඇත්තේ සුපුරුදු ප්‍රශ්නමය.

“ඔබතුමා කවදද ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශයට පත් කරන්නේ?"

ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබා නොදුන් බව කියැවේ.
“අපි ඉස්සෙල්ල සංවර්ධන වැඩ ටික බලලා ඉන්න ඕනෑ. ඊට පස්සේ බලමු" 
මෙම සාකච්ඡාව අවසානයේදී රාත්‍රී භෝජනය සඳහා ජනාධිපතිවරයා සමඟ බැසිල් රාජපක්ෂද එක්ව ඇත. එම අවස්ථාවට හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද එක්ව ඇතැයි දැනගැනීමට ලැබේ. මෙහිදී වැඩිදුර දේශපාලන තොරතුරු සාකච්ඡා නොවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍ය වගකීම් පවරන ආකාරය පිළිබඳ සංවාද මෙහිදී හටගෙන ඇතැයි කියැවේ.
කෙසේ වෙතත් මැතිවරණය පවත්වන ආකාරය, මැතිවරණය පවත්වන දිනය ආදිය පිළිබඳ මෙතෙක් ආණ්ඩුව අභ්‍යන්තරයේ නිසි සංවාදයක් හටගෙන නොමැති බව මේ අනුව දැනගැනීමට ලැබේ. 
“ආර්ථිකය ස්ථාවර වනතුරු පාර්ලිමේන්තු මැතිවරණය අවුරුද්දකට කල් දාන්න යනවා." 

පැතිර යමින් පවතින ආරංචි අනුව ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳ එවන් කතාද අසන්නට ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරයකගේ කැමැත්ත සහිතව මෙවන් ව්‍යාපෘතියක් සිදුකිරීමට සැලසුම් සකස් වන බවට ඇතැම්හු සැක සංකා පළ කරති. කෙසේ වෙතත් මෙයාකාරයේ ආරංචි රුසක් දේශපාලන කරළියේ පියඹා යමින් ඇති නිසාවෙන් මේ කිසිවකගේ සත්‍යතාව තහවුරු කිරීමට නොහැකිය.
මේ අතර දේශපාලන කමිටුවට බැසිල් රාජපක්ෂ කැඳවීම හේතුවෙන් නිමල් ලන්සා, අනුර යාපා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම අදාළ කමිටුව වර්ජනය කරමින් සිටියහ. එහෙත් ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසගේ ස්ථාවරය ඊට ඉඳුරා වෙනස් විය.

“බැසිල් නැතුව මේ වැඩේ කරන්න බැහැ. බැසිල් ඉන්නම ඕනෑ අපිත් එක්ක." 
මේ අනුව ජනපති හිතවාදීන් වූ ලන්සා කඳවුර සහ ප්‍රසන්න රණතුංග යන කඳවුර අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ලන්සා ඇතුළු පිරිස කියා සිටියේ පොහොට්ටුවේ බැසිල්ලා සමඟ නැවතත් කටයුතු කිරීමට තමන් කිසිසේත්ම සූදානම් නැති බවකි.

මෙම මත ගැටුම පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද අවධානය යොමුව ඇතැයි කියැවේ. ජනාධිපතිවරයා නිමල් ලන්සා මන්ත්‍රීවරයා අමතා උපදෙස් ලබා දී තිබේ.
“ඔහොම හරියන්නෑ. අපි කවුරුත් එකතුවෙලා තමයි ජයග්‍රහණය කරන්න ඕනෑ. ඔයා ගිහිල්ලා බැසිල් රාජපක්ෂව හම්බවෙන්න."
පැතිර යන ආරංචි අනුව ජනාධිපතිවරයා ලන්සා වෙත ලබා දී ඇත්තේ එවන් උපදෙසකි.

“හම්බවෙන එක නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මගේ ස්ථාවරය නම් මම වෙනස් කරන්නේ නෑ. අපිත් ඔය රාජපක්ෂ කඳවුරත් එක්ක එකතු වෙන්නේ නැහැ."
ලන්සා පාර්ශ්වයෙන් මෙවන් ප්‍රතිචාරයක් ලැබුණද ලන්සා සහ බැසිල් සංවාදය සඳහා වූ කපුකම වජිර අබේවර්ධන බාරගත් බව ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබේ. ඒ අනුව ඉදිරි සතියේ දිනක වජිර අබේවර්ධනගේ නිවෙසේ බැසිල් රාජපක්ෂ සහ ලන්සා  හමුවී සාකච්ඡා කරනු ඇතැයි දේශපාලන අනාවැකි පළව තිබේ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ඉලක්ක කරගත් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ස්ථීර කර නොමැති පසුබිමක මෙම කාර්යාලය විවෘත කිරීම තරමක සුවිශේෂී සිදුවීමක් විය. එක්සත් ජාතික පක්ෂයද මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත්කොට තිබේ. ඒ අනුව ඉදිරියේදී මෙම සියලු කඳවුරු මෙම ස්ථානයේ සිට ජනාධිපතිවරණ මෙහෙයුම දියත් කරනු ඇතැයි කියැවේ.
ඉකුත් සතියේ අසල්වැසි ඉන්දියාවේ දේශපාලනය කෙරෙහි ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ අවධානයක් යොමුවිය. ඊට හේතු වූයේ ඉන්දීය මහ මැතිවරණයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වයෙන් යුතු සන්ධානය ජයග්‍රහණය කිරීමයි. ආසන 543ක් සහිත ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 293ක් දිනා ගැනීමට මෝදිගේ නායකත්වයෙන් යුතු සන්ධානය සමත් විය. ඒ අතරින් ඍජුවම 240ක් භාරතීය ජනතා පක්ෂයට හිමි විය. 

මෙම ජයග්‍රහණයත් සමඟම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදිට ලොව පුරා රාජ්‍ය නායකයෝ සුබ පැතුම් එක් කරන්නට වූහ. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතා සුබ පැතුම් එක් කළේය. එම සුබ පැතුම් බාර ගනිමින් සෙනසුරාදා පැවැත්වෙන සිය දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද ආරාධනා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබුණි.

සිය එක්ස් ගිණුම් හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු ශ්‍රී ලාංකික දේශපාලනඥයන් රුසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළහ. මේ අතරින් කිහිප දෙනකු වෙත ප්‍රතිචාර දැක්වීමටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබුණි.

පසුගිය සතියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටියහ. පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලකයන් දැක්වූයේ දැඩි උනන්දුවකි. මැතිවරණ සමයක් එළැඹීමට ඇති බැවින් ඇතැම් දේශපාලකයෝ දියකාවන් මෙන් දියට බටහ. මේ අතර ගංවතුර ආපදා සෙවීමට ගිය ආණ්ඩුවේ ලොකු ලොක්කන් කිහිප දෙනකුට ' සංග්‍රහයක් ලැබුණු පුවතක්ද දේශපාලන කරළියේ ආරංචි අතර දැනගැනීමට ලැබුණි.

එක්සත් ජාතික පක්ෂය ඉකුත් සතියේ තරමක් අමුතු කටයුත්තක නිරත විය. තම පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගය සමඟ එක්ව සිටි කිහිප දෙනකුම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල කමිටු වෙත පත් කිරීමට එජාපය කටයුතු කර තිබුණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් දේශපාලන සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කිරීමට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ නම ඇතුළත් කර තිබුණි.

වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් පත්කළ මෙම කමිටුවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් නම් කොට තිබුණි. කෙසේ වෙතත් සමගි ජන බලවේගය මෙය විහිළු සහගත තත්ත්වයක් බව කීවේය. 

“කිසි තේරුමක් නෑ. ඔය වගේ වැඩ කරලා රනිල් හරියට සතුටු වෙනවා. ඔලුවක් තියෙන ඕනෑ කෙනෙක්ට තේරෙනවා මේක මහා මෝඩ වැඩක් කියලා. නිකම් පොඩි කතාබහක් නිර්මාණය කරගන්න කරගත්ත වැඩක්."
අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව එලෙස අප සමඟ පැහැදිලි කළේය.

සජිත් අනුර විවාදයේ නාටකීය කතාන්දර ඉකුත් සතියේ එක්තරා කෙළවරකට පැමිණියේය. එකඟ වූ දින අවසන් වෙමින් පැවති අතර සජිත් - අනුර විවාදය වෙනුවෙන් ස්වාධීන රෑපවාහිනිය මැදිහත් විය. එහි සභාපතිවරයා ඒ පිළිබඳ සජබ හා ජාජබ නායකයන් වෙත ලිඛිත දැනුම්දීම් කිරීමට කටයුතු කළේය.

“තුලාව වැඩසටහන බ්‍රහස්පතින්දා රාත්‍රියේ විවාදය සඳහා වෙන් කිරීමට සූදානම්."
යනුවෙන් සඳහන් කර තිබූ අතර ඒ වෙනුවෙන් ස්වාධීන රෑපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකයන් වෙනුවෙන් සභාපතිවරයා සජබ හා ජාජබ නායකයන් වෙත ලිඛිත දැනුම්දීම් කරමින් ආරාධනා කර තිබුණි.
රාජ්‍ය නාළිකාවක් වූ ස්වාධීන රෑපවාහිනී සේවයේ ආරාධනය ජාතික ජන බලවේගය පිළිගත්තේය. 

“අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම වැඩසටහන සඳහා පැමිණෙනවා."
ජාතික ජන බලවේගය වෙනුවෙන් විවාදයේ කටයුතු සම්බන්ධීකරණය කළ නලින්ද ජයතිස්ස අයි.ටී.එන් වෙත දන්වා යැවීය.
මේ සමඟ රෑපවාහිනී නාළිකාව විවාදය පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නට විය. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් නොවීය. කෙසේ වෙතත් අවසන් මොහොතේ සජබ වෙනුවෙන් විවාදය සම්බන්ධීකරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින් බණ්ඩාර ලිපියක් යොමු කරමින් පැහැදිලි කිරීමක් සිදු කළේය. තම පක්ෂය මුලින් ආර්ථික කමිටු විවාදයක් ඉල්ලා සිටි බවත් නායක විවාදයකට තම පක්ෂය දෙවනුව එකඟ වූ බවත් කියමින් මෙම වැඩසටහනට කිසිවකු සහභාගී නොවන බව දැන්වීය. 

එහෙත් වැඩසටහන සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටියේය. ඔහු සඳහන් කළේ තමා ලබාදුන් දින සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කළ බවයි. අවසානයේ තමා ඔහු ලබාදුන් දින එම විවාදය පැවැත්වීමට පැමිණි බවද අනුර කුමාර දිසානායක මහතා සිහිපත් කළේය.
“එතුමගේ පැත්තෙන් දින පහක් ආවා 3, 4, 5, 6, 7 වගේ. මගේ පහසුව මත 6 වැනිදා තෝරගත්තා. ඒත් මේ මම ලබා දුන්න දිනයක් නෙවෙයි. මේක එතුමගෙ දිනයක්."

මෙහිදී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ පළමුව නායකත්ව විවාදය සිදුකොට එහිදී සඳහන් වන ආර්ථික ප්‍රතිපත්තීන් මත පදනම් වී දෙවනුව ආර්ථික කමිටු විවාදය සිදු කළ යුතු බවකි.
නිෂ්පාදකයන් විවාදය සඳහා දෙදෙනාටම අසුන් පනවා තිබුණි. කෙසේ වෙතත් තවදුරටත් විවාදයක් නොමැති බැවින් වැඩසටහන සංවාදයක් බවට පරිවර්තනය කරගැනීමට වැඩසටහන මෙහෙයවූ සුධර්මන් රදලියගොඩ සහ අනුර කුමාර දිසානායක එකඟ වූහ. 
“තව දින නම් විවාදවලට ඕනෑ නැහැ. මම කියන්නේ අද තව මොහොතකින් හරි එන්න. එළිවෙනකම් හරි මම ඉන්නම්. දැන් වැඩ නම් පාන්දර හරි එන්න. මං දැක්කා එතුමා කියලා තියෙනවා එතුමා නොනිදන නායකයෙක් කියලා අවස්ථා ගණනාවකදී. මම නම් හොඳට නිදාගන්න කෙනෙක්. කොහොම වුණත් මම කැමතියි මේක මෙතැනින් ඉවර කර ගන්න. ආයේ මේ ඉස්කෝලවලට ගිහිල්ලා, බයද සැකද චණ්ඩිද කියලා පාට් දාන්න නම් එපා. මම මේ කරුණාකරලා කියන්නේ, මේක වදයක්, මේක ලෙඩක් වගේ. මට අවශ්‍ය මේ ලෙඩේ අවසන් කර ගන්න. විවාදයට එන්නේ නෑ. දිනයක් කිව්වම එන්නෙ නෑ. ඉස්කෝලවලට ගිහිල්ලා මොන මොනවදෝ කියව කියවා දඟලනවා. මෙතැනින් පස්සේ නම් එතුමා එක්ක මගේ විවාදයක් නැහැ."

කෙසේ වෙතත් අනික් පුටුව එතැනින් ඉවත් කළ යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව ඔහු ගැන කතා කිරීම සදාචාරාත්මක නොවන බවත් අනුර කුමාර දිසානායක කියා සිටියේය.
මේ අතර තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් පසුගිය බදාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබා දුන්නේය.

මේ අතර ලංසා කඳවුර අම්බලන්තොටදී සංවිධානය කළ සෙනසුරාදා ජන රුලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය හැඳින්වීමට කටයුතු කරමින් සිටින බව පෙනී ගියේය. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම ජනගත කරන ප්‍රධානතම අවස්ථාව බව ඔවුහු කීහ.

අලුතින් පිහිටුවාගත් "සර්වජන බලය" එකමුතුව දේශපාලන වශයෙන් සක්‍රීය වීම ඉකුත් සතියේ ඇරුඹුණි. ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සර්වජන බලය සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

මේ හරහා යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බව ඔවුහු කියා සිටියහ. මේ තුළින් පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් මෙම පෙත්සම හරහා චෝදනා කර තිබේ.  මෙයින්ද නොනැවතුණු සර්වජන බලය එකමුතුව විදුලිබල පනතට එරෙහිව වීදි බැසීමට කටයුතු කළේය. ඔවුන් පාර්ලිමේන්තු වටරවුමේ සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූයේ පසුගිය බදාදාය. නව විදුලි පනත මගින් විදුලිබල මණ්ඩලය අහෝසි කෙරෙන බවත් බාහිර රටවලින් විදුලිය මිලදී ගැනීම සඳහා එම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇති බවත් ඒ අනුව ඉන්දියාවේ බලශක්ති පද්ධතිය සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හැකියාව ලැබෙන බවත් එවිට ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතියට ඉන්දියාවේ අනුකම්පාවට යටත්ව ක්‍රියා කිරීමට සිදුවන බවත් එම උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ පෙන්වා දුන්හ.

“සර්වජන බලය” එකමුතුවේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙම සාමකාමී උද්ඝෝෂණයට එක්ව සිටියහ.

•  චමිඳු නිසල් ද සිල්වා

 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00