2024 ජුනි 29 වන සෙනසුරාදා

සජබ මහලේකම්ට ජනපති කාර්යාලයෙන් අමුතු ඇරයුමක්

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 350

ගෙවී ගියේ ඉතා කලබලකාරී දේශපාලන සතියකි. හනි හනික ඉත්තන් කපා ගැනීමටත් ඉත්තන් ඇදීමටත් දේශපාලන දාම් ලෑල්ල වටා සිටි ලොකු ලොක්කෝ කටයුතු කළෝය. ජනාධිපතිවරණය දිනෙන් දින ළංවෙමින් ඇති නිසා කල දුටු කල වළ ඉහ ගැනීම ඇතැමුන්ගේ අභිප්‍රාය විය. වර්ජන ගංගාවක් ද දේශපාලන කරළිය හරහා ගලා යන්නට වූයේ තරමක් ප්‍රචණ්ඩ ලෙසය. ඒ අනුව වර්ජන තර්ජන ගර්ජන සහ මර්දන නොඅඩුව දක්නට ලැබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීම පසුගිය සතියේ කාගේත් අවධානය දිනාගත් සිදුවීමක් විය. "සුභ ආරංචියක්" නමින් ජනපතිගේ ජාතිය ඇමතීම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීමට ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කටයුතු කළහ. මේ සඳහා හිටපු අමාත්‍යවරයකු වන රවී කරුණානායක ප්‍රධානත්වය ගෙන සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාව තුළ ආර්ථික කාරණාව ප්‍රධාන විය.

“මම වෙහෙසෙන්නේ නැවත කිසි දිනෙක IMF යන්න වෙන්නේ නැති ශක්තිමත් හා විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමට. ඒ සඳහා මම වැඩ කරනවා. 

ප්‍රතිඵල පෙන්වූ මා සමඟ ඉදිරියට යනවාද? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? නිවැරුදි තීරණය ගන්න. ඔබ ගන්නා තීරණයෙන් තීරණය වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙමෙයි. රටේ අනාගතය."

ජනාධිපතිවරයා විසින් මෙම කතාව සැලකිය යුතු තරම් සංස්කරණයන් රුසකට භාජනය කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම කතාව වෙනදාට දකින සාමාන්‍ය ස්වරෑපයේ ජාතිය ඇමතීමකට වඩා වෙනස් වූ අතර එය සිනමාරෑපී දර්ශනවලින් සමන්විත විය.

“මම මෙතෙක් ආරක්ෂිතව ලංකාව කියන දරුවාව වැල් පාලමෙන් ඉදිරියට රුගෙන ආවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින් දැන් දරුවාව ලබාගන්න ගොඩක් අය වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට අදිනවා. ඒත් දරුවාව සැබෑ මව් ගුණය ඇති අම්මාට ලැබෙනවා."

ජනපතිගේ ජාතිය ඇමතීම සැමරීමට ද කොළඹ ඇතැම් ප්‍රදේශවල එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් කටයුතු සංවිධානය කොට තිබුණි. කෙසේ වෙතත් බොහෝ දෙනකු බලාපොරොත්තු වූ පරිදි ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට වන ඍජු ප්‍රකාශය මෙම කතාවේ අන්තර්ගත නොවුණි.

මෙම ප්‍රකාශය සිදුවන දිනවලට සමගාමීව කොළඹ පුරා "පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්" යනුවෙන් පෝස්ටරයක් අලවා තිබෙනු දැකගත හැකි විය. මේ පිළිබඳව අප කළ සොයා බැලීමේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු කියා සිටියේ වෙනස්ම කතාවකි.
“අපි නම් දන්නෙ නැහැ. මේක අපි කරපු වැඩක් නෙවෙයි"

එසේ නම් මේ පෝස්ටර ඇලෙව්වේ කවුරුන්ද? පොහොට්ටුවේ පාර්ශවයක් විසින්ද? විරුද්ධවාදීන් විසින්ද? එහි දේශපාලන අරමුණ කුමක්ද? ප්‍රශ්න රාශියක් දේශපාලන කරළිය තුළ මතු විය.

මේ සමඟම කොළඹ පුරා තවත් පෝස්ටරයක් දක්නට ලැබුණි. "මේ වෙලාවේ රනිල් තමයි" යන පාඨයයි. මෙම පෝස්ටරය ද කාගේත් අවධානය දිනා ගත්තේය. ආරංචි මාර්ග සඳහන් කළේ මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් බවය. 

මේ අතර පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක සිදුවීම් පෙළක් සිදුවූයේ ව්‍යවස්ථාදායක සභාව තුළයි. මීට හේතු වී තිබුණේ නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා දැරෑ උත්සාහයයි. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 31 ක සේවා කාලයකට හිමිකම් කියනු ලැබූ ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා කීර්තිමත් නිලධාරියෙක් විය. නීතිපතිවරයා ලෙස නීතිඥ සංජය රාජරත්නම් විශ්‍රාම ගන්නා විට ඔහුට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේය.

ඒ අනුව ජනපති සතියකට පූර්වයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙම සේවා දිගුව පිළිබඳ දන්වා එවා තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේවා දිගුවක් සඳහා මෙම සභාවේ අනුමැතිය අවශ්‍ය විය. මෙම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාකච්ඡා කළ අතර අවසානයේ ඡන්ද විමසීමක් පවත්වා තිබේ. ආරංචි මාර්ග තහවුරු කරන පරිදි සේවා දිගුව ලබාදීමට විපක්ෂව ඡන්ද 5 ක්ද පක්ෂව ජන්ද 3 ක්ද ලැබී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තිදෙනා මෙම යෝජනාවට විපක්ෂ වී ඇති අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙම යෝජනාවට පක්ෂ වී ඇති බව කියැවේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිගේ යෝජනාවට අනුමැතිය ලැබී නොමැති අතර, පසුව මේ පිළිබඳ ජනාධිපතිවරයාට දන්වා යැවීමට කතානායකවරයා ප්‍රමුඛ සභාව කටයුතු කොට තිබේ.

අදාළ නිල දැනුම් දීමෙන් සතියකට පසු ‘ප්‍රතික්ෂේප කිරීම ප්‍රතික්ෂේප කරමින්’ ජනාධිපති කාර්යාලයෙන් ව්‍යවස්ථාදායක සභාව වෙත පිටු අටකින් යුතු ලිපියක් ලැබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යවස්ථාවේ අන්තර්ගතයන් උපුටා දක්වමින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කළේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙස ජනාධිපතිවරයා මෙම ලිපිය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නැවත රුස්වීමට තිබුණේ ජූලි 9 වැනිදාය. එහෙත් නැවත සලකා බලන ලෙසට ජනාධිපතිවරයා සිදු කරනු ලැබූ දැන්වීම අනුව හදිසියේම ඉකුත් බදාදා නැවතත් සභාව කැඳවීමට කතානායකවරයා කටයුතු කොට තිබුණි. වෙනත් වැඩ රාජකාරි යොදාගෙන තිබුණද සාමාජිකයෝ කෙසේ හෝ නැවත ඉකුත් බදාදා රාත්‍රී හතට පමණ රුස්වූහ. පැය දෙක තුනක දීර්ඝ සාකච්ඡාවක් මෙම පිරිස අතර සිදුව ඇතැයි කියැවේ.

“මේ ජනාධිපතිතුමා යවපු ලිපිය. මේක බලලා ඒ සඳහා පිළිතුරු සැපයීමට සූදානම් වෙන්න"

කතානායකවරයා කල් ඇතිව පිරිසට දන්වා තිබුණි. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා ඇතුළු මීට විරෝධය පෑ කණ්ඩායම කියා සිටියේ සිය තීරණය වෙනස් නොකරන බවයි.

“අපි අපේ ස්ථාවරය වෙනස් කරන්නෙ නෑ. අපි මේ ස්ථාවරයේම ඉන්නවා"

ව්‍යවස්ථාවේ අන්තර්ගත වගන්ති උපුටා දක්වමින් මෙහිදී තර්ක විතර්ක ගොඩනැගී තිබේ. කතානායකවරයා ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මෙම පත්කිරීම සිදුකරගත හැකි බව කියා සිටියහ.

“වයස සලකා බලන්නෙ නැතුව පිටින් කෙනෙක්ව ජනාධිපතිතුමාට පත්කර ගන්න පුළුවන්. රාජ්‍ය සේවයේ නොසිටි ආනන්ද තිස්ස අල්විස් මහත්මයා 1965 දී රාජ්‍ය අමාත්‍යංශ ලේකම් විදිහට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පත්කර ගත්තා"
උදාහරණ ද ලබාදෙමින් කතානායකවරයා කරුණු පැහැදිලි කළේය.

මෙවන් තර්ක විතර්ක අවසානයේ ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාට දන්වා යවා තිබුණේ මෙවන් කතාවක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“මෙතැන ඉන්නේ වයස අවුරුදු 60 ට වඩා වැඩි අය. අවුරුදු 60 ට වඩා වැඩි අයෙක් රාජ්‍ය සේවකයෙක් විදිහට සලකන්න බෑ. ඒ සඳහා අපට බලයක් නැහැ"

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි පසුව ජනාධිපතිවරයා නීතිපතිවරයාට වැඩ බලන පත්වීමක් ලබාදීමට උත්සහ දැරෑ බව කියැවේ. මෙවන් ආරංචි පැතිර ගියද සංජය රාජරත්නම් මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු දේශයට පැවසුවේ එවන් ලිඛිත දැනුම්දීමක් තමාට ලැබී නොමැති බවකි. එසේම තමා දැන් විශ්‍රාම ගිය නිලධාරියකු බවත් ඔහු පැවසීය.

පසුගිය සතිය සමගි ජන බලවේගයට තරමක් සුවිශේෂී සතියක් විය. සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත් වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් අතර තරමක ප්‍රබල සාකච්ඡාවක් තිරය පිටුපස නිර්මාණය වී තිබුණි. විපක්ෂ මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට එක් කර ගැනීමේ අරමුණින් මෙය සංවිධානය විය.

“මේ සාකච්ඡා මෙහෙයවීමේ සම්පූර්ණ බලතල විපක්ෂ නායකතුමා මහලේකම්තුමාට පවරලා තියෙන්න"

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් සමඟ මේ වන විට සාකච්ඡා මෙහෙයවමින් ඇතැයි කියැවේ. විපක්ෂයේ සිටින ජනාධිපති ධුරයට තරග කළ අපේක්ෂකයකු සහ හිටපු ප්‍රබල පක්ෂ මහ ලේකම්වරුන් දෙදෙනකු සජබ සමඟ සම්බන්ධ වීමට සූදානමින් පසුවන බව කියැවේ.

නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි දයාසිරි ජයසේකර, දුෂ්මන්ත මිත්‍රපාල, ගාමිණී වලේබොඩ, රොෂාන් රණසිංහ, ගුණපාල රත්නසේකර, තිලක් රාජපක්ෂ ආදී පිරිස්වල නම් කියැවේ. කෙසේ වෙතත් මේ හා සම්බන්ධව කිසිදු පාර්ශවයක් නිල තහවුරු කිරීම් සිදුකර නොමැත.

පසුගිය සතියේ සමගි ජන බලවේගයේ ප්‍රබල කාන්තා ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ලැබුණු නඩු තීන්දුව ද කාගේත් අවධානය දිනා ගත්තේය. ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරනු ලැබීය.

මෙම තීන්දුවට එරෙහිව විත්තිකාරිය අභියාචනයක් ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ මැද්දේගොඩ අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව දඬුවම් නියම කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ පසුවන්නීය.
පසුගිය සතියේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලැබුණු අපූරු ඇමතුමක් පිළිබඳව ද අපට දැන ගැනීමට ලැබුණේ සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග ඔස්සේය. මෙම ඇමතුම ලැබී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බව කියැවෙයි.

“අපි ජනාධිපති ලේකම් කාර්යාලෙන් කතා කරන්නේ"

“මොකක්ද කාරණාව?"

“සරත් ෆොන්සේකා මහත්මයාගේ පොතක් එළි දක්වනවා නෙළුම් පොකුණේ. ඔබතුමා ඒකට සහභාගී වෙනවද?”

මෙම ඇමතුමෙන් සජබ මහලේකම්වරයා අන්දමන්ද වී ගිය බව අසන්නට ලැබෙයි. තවදුරටත් සජබ සභාපති ධුරයේ කටයුතු කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහලේකම්වරයා වන තමාට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මෙලෙස ආරාධනා කිරීම පිළිබඳ ඔහුම මවිතයට පත්ව ඇතැයි කියැවෙයි.

මෙම පොත එළිදැක්වීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන බව දැන ගැනීමට ලැබීමත් සමඟ ඊට සහභාගි වීම රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කොට ඇතැයි දැනගැනීමට ලැබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමට කටයුතු කොට තිබුණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිවෙසේ මෙම හමුව සංවිධානය වූ අතර බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයන් රුසක් ඊට එක්ව සිටියහ. සාමාජිකයන් හත්සිය විස්සක් පමණ සිටින සමස්ත ලංකා කාරක සභාවේ සාමාජිකයන් පන්සිය පනස් දෙනකු පමණ මෙදින පැමිණ සිටි බව පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

පක්ෂයේ නව කැඳවුම්කරු ලෙස පත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ පත්වීම පිළිබඳ නිවේදනය කිරීම මෙහිදී සිදුවූයේය. එසේම මෙම පත්වීම අනුමත කරගැනීම ද මෙම සභාවේදීම සිදුවිය. පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පළමු වරට සමස්ත ලංකා කාරක සභාව ඇමතීය.

“අපි සටන් කරන්න ඕනෑ නැවත පක්ෂයක් ලෙස බලයට පත් වෙන්න. හැම පක්ෂයකම සහයෝගය ලබාගන්න කතා කරන්න ඕනෑ. එය සිදුකර ගමේ ශාඛා සහ පාක්ෂිකයන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්නත් අවශ්‍යයි"
මේ අතර නාමල් රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව ද මෙහිදී අදහස් දක්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

“මහින්ද චින්තනය අනුමත කරන අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න පුළුවන් අපේක්ෂකයෙක්ට තමයි අපි සහයෝගය ලබා දෙන්නෙ. එහෙම නැති කෙනෙක්ට සහයෝගය ලබා දෙන්න අපිට හැකියාවක් නැහැ"

මෙහිදී ප්‍රාදේශීය සභා, නගර සභා හිටපු සභාපතිවරු ද අදහස් දැක්වූහ. සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන අදහස මෙම හමුවේදී වැඩිදුරටත් ඉස්මතු වූ බව පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කරයි.

“අපි අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්න ඕනෑ"

පළාත් පාලන ආයතන ප්‍රධානීන් ලෙස කටයුතු කළ දඹුල්ලේ ජාලිය ඕපාත, රත්ගම  ටී. නිමල් ආදී පිරිස් මෙහිදී අදහස් දැක්වූ බව දැන ගැනීමට ලැබේ.

පසුගිය සතියේ උද්ඝෝෂණ වැඩවර්ජන රුල්ලක් නිර්මාණය වූ අයුරු දැකගත හැකි විය. ආණ්ඩුව සඳහන් කළේ මෙම වැඩවර්ජන පිටුපස දේශපාලන අරමුණු පවතින බවයි.

ඒ අතර පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ගොස් තිබුණි. එහිදී මහනායක හිමියෝ ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළහ.

ඒ අනුව උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකර ඒ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහනාහිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී ජනාධිපතිවරයා මහනාහිමියන් හමුවේ කරුණු පැහැදිලි කළේය.

“ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදි. ඒ පිළිබඳ අපි ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා"

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ මහනුවර දිස්ත්‍රික් සමුළුවට සහභාගී වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පොහොට්ටුවේ ඇතැම් පිරිස් නිල වශයෙන් නොවුණත් දැන් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන බව කියා සිටියේය.

මහනුවරින් මහින්දානන්ද අලුත්ගමගේ ජනපතිට සහයෝගය දක්වන බව එළිපිටම කියා ඇතැයි ඔහු සඳහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ මේ පණ දෙමින් ඉන්නේ රාජපක්ෂලාගේ පැරණි ත්‍රාඩ දේශපාලනයටමයි. ඒ නිසා තමයි ලන්සලා මහින්දානන්දලා ප්‍රසන්නලා රත්වත්තේලා වැනි දේශපාලකයන් රනිල්ට සහය පළ කරන්නේ"

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම දැන් දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වී ඇතැයි ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

“රනිල්ගේ 2015-2019 පාලන කාලේ ලබාගත් ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ක් පමණ තවමත් ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න බැරිවෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ IMF ක්‍රියාවලියම තමන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් බවට පත්කර ගත්තා. ඒ නිසා තමයි සිරිකොතේ රතිඤ්ඤා පත්තු කරන්නේ"

පසුගිය සතියේ ලංසා කඳවුරේ නව සන්ධානයේ සාකච්ඡාවකදී කොළඹ කැළඹවූ පෝස්ටර් ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ඇතිව ඇතැයි එම කඳවුරේ ආරංචි මාර්ග කියා සිටියි.

“සුබ ආරංචිය පෝස්ටරය හොඳටම කතාබහට ලක්වන වැඩක් වුණා"

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම සංවාදයට මුල පුරා ඇත්තේ පියංකර ජයරත්නය. ඊට පිළිතුරු බැඳ ඇත්තේ අනුර යාපා ය.

“ඒකට මඩ ගහන්න තව පෝස්ටරයකුත් කොළඹ වැදිල තිබුණා. කඩාකප්පල්කාරයන්ට හොඳටම වැදුණා. ඒකනේ එහෙම පෝස්ටරයක් ගැහුවේ"

මෙහිදී ලසන්ත අලගියවන්න ඇමැතිවරයා මෙම පෝස්ටර් ව්‍යාපෘතිය දියත් කරන්නට ඇත්තේ කවුරුන්දැයි නිමල් ලන්සාගෙන් ප්‍රශ්න කොට තිබේ.

“කවුද? ඉතින් කුහක විපක්ෂයේ කට්ටිය" 

කෙසේ වෙතත් මෙහිදී විශේෂ අවධානය යොමුවූයේ වැල්ලවායේදී පවත්වන රුලිය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩනැගෙන සන්ධානය පුළුල් කරමින් විවිධ පක්ෂ හා කණ්ඩායම් සමඟ එකඟතා ඇති කරමින් යන අතරතුර උත්තම ලංකා ජාතික පෙරමුණ හා සාකච්ඡාවක් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන්, පක්ෂයේ අනුශාසක වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි, නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග, මහලේකම් ගයාන් අත්තනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා රාජගිරිය නව සන්ධාන කාර්යාලයේ දී පවත්වා තිබේ.

ඒ අවස්ථාවේදී සුගීෂ්වර බණ්ඩාර මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩපිළිවෙළ පෙළගැසෙන ආකාරය ගැන පැහැදිලි කළ අතර නව සන්ධානය එළඹෙන 29 වැනිදා වැල්ලවායේ දී පවත්වනු ලබන රුලිය පිළිබඳව ද කරුණු පැහැදිලි කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව්දින නිල සංචාරයක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා චීනය බලා පිටත්ව ගියේය. ඔහු එම සංචාරය අතරතුර චීන අග්‍රාමාත්‍ය Li Qiang සහ විදේශ අමාත්‍ය Wang Yi හමුවීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවට වාසිදායක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍ය Li Qiang සහ අමාත්‍ය Wang Yi සමඟ සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමටත්, චීනය සහ චීනයේ Exim බැංකුව ලබාදුන් ආධාරවලට කෘතඥතාව පළ කිරීමටත් නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

•   චමිඳු නිසල් ද සිල්වා

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00