සඳ රාහු ඇල්ලූ කලක පරිද්දෙන් පසුගිය සතියේ දේශපාලන කරළිය මැතිවරණ කල් දැමීමේ භීතිකාව හේතුවෙන් අඳුරු විය. දේශපාලන කරළිය හරහා හමා යාමට නියමිත චණ්ඩ මාරුතයක් පිළිබඳව ද අනාවැකි පළවෙමින් තිබුණි. උදා වෙමින් ඇත්තේ එතරම් සුව පහසු කාලයක් නොවන බව අවබෝධ කරගන්නට දේශපාලනඥයන්ට ඕනෑවටත් වඩා ඉඟි ලැබී තිබුණි. එනිසාම සියල්ලන්ම සූදානම් ශරීරයෙන් පසුවන බව පෙනී ගියේය.
ජනාධිපතිවරයාගේ ධූර කාලය නිමාවන දින වකවානුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරෑපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය සතියේදී ගොනු විය. 19 ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය ආදී කරුණු රුසක් ප්‍රශ්න කරමින් ගොනුකර තිබූ මෙම පෙත්සම හේතුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලන කඳවුරු කැළඹී ගියේය. මොරටුවේ නීතිඥයකු බව කියැවෙන සී.ඩී. ලේනව නම් තැනැත්තකු විසින් මෙම පෙත්සම ගොනුකොට තිබුණි.
“කවුද මේක කළේ?”
“මොකක්ද මේකේ අරමුණ?"
“මේකෙ පිටිපස්සේ ඉන්නේ කවුද?"
මෙයාකාරයේ ප්‍රශ්න රුසක් දේශපාලන කරළියේ තැන තැන අසන්නට ලැබුණි.
මේ එක්සත් ජාතික පක්ෂය හෝ ඊට සම්බන්ධ අයකුගේ සැලසුමක් බවට බොහෝ දෙනා සැක කළහ. කෙසේ වෙතත් මෙම පෙත්සම ඉදිරිපත් වී මෙම අලකලංචිය සිදුවී දිනක් ගතවීමට මත්තෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළේය.
“ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරයයි."
පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබාගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේය.
මෙම ප්‍රකාශයත් සමඟ මෙම පෙත්සම ප්‍රාදුර්භූත වූ ආකාරය පිළිබඳව නොයෙක් සැක සංකා මතුවන්නට විය. තවදුරටත් ආණ්ඩුවේ පාර්ශ්වකාරයකුව සිටින පොහොට්ටුව මෙම පෙත්සම හේතුවෙන් තරමක් නොරුස්සුම්සහගත හැසිරීම් ප්‍රකාශ කළ බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි.
“මොකක්ද මේවායේ තේරුම? කවුද මේ විකාර කරන්නේ? ඡන්දෙ තියන්න වෙනවා කියලා ඕනෑම කෙනෙක්ට තේරෙනවා"
මේ අතර පොහොට්ටුව මැතිවරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමට සූදානම් වී සිටියේය. පසුගිය සිකුරාදා ඔවුහු එම කටයුත්තට අත ගැසූහ.
“වෘත්තීයවේදීන්ගේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය"
මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයට නම ලැබී තිබුණේ ඒ අයුරිනි. මෙම අවස්ථාවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බව කියැවෙන ධම්මික පෙරේරාට ද විශේෂ ආරාධනයක් ලැබී තිබීම තරමක් සුවිශේෂී විය.
පොහොට්ටුවට සම්බන්ධ නීතිඥ, ඉංජිනේරු, වෛද්‍ය වෘත්තිකයන් සහ තරුණ වෘත්තීයවේදීන් එක්ව රොක්ස්මිඩ් පෙදෙසේ මෙම කාර්යාලය සක්‍රීය කර ඇතැයි පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ධම්මික පෙරේරා මෙම අවස්ථාවට සහභාගි වෙමින් සිදු කළ ප්‍රකාශය දේශපාලන කැළඹීමක් නිර්මාණය කළේය. ඔහු කීවේ තමා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සූදානම් බවයි.
“මම පක්‍ෂයේ තීරණය බලාපොරොත්තුවෙන් ඉන්නවා. මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතුවලත් මම නිරත වෙනවා. ඊට අමතරව ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් මම කටයුතු කරනවා."
මේ අතර ධම්මික පෙරේරා පසුගිය සතියේ දී යාපනයේ දැවැන්ත උත්සවයක් සංවිධානය කොට තිබුණි. දහස් සංඛ්‍යාත පිරිසක් එකතු කර ගනිමින් ඩී.පී. එඩියුකේෂන් ආයතනය හරහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි. ඩි.පී එඩියුකේෂන් ආයතනයේ පරිගණක තාක්ෂණ අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියෝ මෙම උත්සවය සඳහා එක්ව සිටියහ.
මුත්තුවේල් ක්‍රීඩාංගනයේ පැවති මෙම රුස්වීම සඳහා දේශපාලනඥයන් නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් පැමිණ සිටියේය. මෙය කලකින් යාපනයේ දැකගත හැකිවූ දැවැන්ත රුස්වීමක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගැටුම් පිළිබඳ අනාවරණය කරන තවත් සිදුවීමක් පසුගිය සතියේ වාර්තා විය. මෙම සිදුවීම සිදුව තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ආසන බල මණ්ඩලය රුස්වීමේදීය. අමාත්‍ය ප්‍රසන්න රණවීර මෙම කටයුත්ත සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන සිටියේය.
කෙසේ වෙතත් මේ සඳහා පොහොට්ටුවේ ප්‍රබලයෝ ද පැමිණ සිටියහ. පොහොට්ටුවේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි, ඩී. වීරසිංහ ආදී චරිත ඒ අතර වූහ.
වර්තමාන ජනාධිපතිවරයාට හිතෛෂී අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය පළාතේදී ජනපතිට හිතෛෂී කතාවක් සිදු කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පොහොට්ටුවේ සහාය ලැබෙන කෙනා ජනපති විය හැකි බව ඇමැති ප්‍රසන්න මෙහිදී අනියමින් පවසා තිබුණි. කෙසේ වෙතත් ඔහුගේ කතාවෙන් අනතුරුව මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සභාවේ කතා කොට තිබේ. ඔහු පක්ෂ අභ්‍යන්තරයේ වික්‍රමසිංහ විරෝධී කඳවුර නියෝජනය කරන බව පොහොට්ටුවේ ඇතැම් ආරංචි මාර්ග කියා සිටියි.
“අපි වෙන අයට සහයෝගයක් දෙන්නේ නෑ. අපි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවා."
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි තිස්ස එවැනි කතාවක් කියා ඇත්තේ එනිසාම විය යුතුය.
තිස්ස කුට්ටිආරච්චිගේ කතාව පිළිබඳ ප්‍රසන්න රණතුංග එතරම් සතුටු වී නොමැත.
“මල්ලි පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ.. මොකද්ද බං අර කියපු කතාව. දැන් උඹ මට කියපන් පොහොට්ටුවෙ අපේක්ෂකයා කවුද කියලා"
කෙසේ වෙතත් මෙම විමසීම හමුවේ තිස්ස කුට්ටිආරච්චි ජනපති හිතෛෂී ලෙස කතා කළ බව ප්‍රසන්න රණතුංග පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නිමල් ලන්සා ප්‍රමුඛ නව සන්ධානයේ මෙහෙයුම් කමිටුවද ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹදී රැස්වූ බව එම කඳවුරේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුවේ සූදානමක් පවතින බවට වන කතාව පිළිබඳ මෙහිදී ඔවුන් දීර්ඝව සාකච්ඡා කර ඇතැයි කියැවේ.
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි කතාවට මුල පුරා ඇත්තේ ලසන්ත අලගියවන්නය.
“හුඟාක් අය කතා කරනව දැන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දාන්න හදනව කියල"
“ජනාධිපතිවරණය කල් දාන්නෙ නෑ කිසිසේත්ම. මේ වෙලාවෙ එහෙම එකක් කරන්න ජනාධිපතිතුමාට කිසිම උවමනාවක් නෑ. මැතිවරණ කොමිසම ඒක නියමිත දිනයට අනිවාර්යෙන් තියනව."
ජනාධිපතිවරයා කිසිසේත්ම ජනාධිපතිවරණය කල් නොදමන බවට කැට තබා යන්නට නිමල් ලන්සා එලෙස ඉදිරිපත් වී ඇතැයි එම පාර්ශ්වයේම ආරංචි මාර්ග සඳහන් කරයි.
“හුඟාක් අය හිතන්නෙ මේ නඩුව ෆයිල් කළේ ආණ්ඩුවේ උවමනාවට කියල. ජනාධිපතිතුමා මේක ප්‍රතික්ෂේප කරල නිවේදනයක් නිකුත් කරපු එක හොඳයි"
අනුර යාපා එලෙස පවසන විට මෙය ජනාධිපතිවරයා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදු කරනු ලැබූ කුමන්ත්‍රණයක් විය හැකි බව නිමල් ලන්සා පවසා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණෙන් ඉදිරිපත් වූ පෙත්සම හේතුවෙන් සමගි ජන බලවේගය තුළ ද යම් කැළඹීමක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. කරළියට පැමිණි සජබ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රසිද්ධියේම මේ කුමන්ත්‍රණයක් බව පවසමින් චෝදනා කළහ.
බ්‍රහස්පතින්දා මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවා මේ පිළිබඳ දැනුවත් කිරීමට සමගි ජන බලවේගය කටයුතු කළේය.
“හිතවතෙක් ලව්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරලා තියෙනවා මේ මැතිවරණය නොපවත්වන්න. මේකෙ තියෙන ලස්සනම දේ තමා, එතුමා කොච්චර දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ද කියන කාරණාව. එතුමා මේක ඉදිරිපත් කරලා දැන් කියනවා අනේ නෑ, මං දන්නෙ නෑ, මං විශ්වාස කරනවා ධුර කාලය අවුරුදු පහයි කියලා."
මෙලෙස කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාය. ඒ අනුව දිගින් දිගටම මෙය ජනපතිගේ උපක්‍රමයක් බව සජබ චෝදනා කරන්නට විය
මේ අතර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ කියැවෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ පිළිබඳව ඉහළ නිලධාරීන්ගෙන් විමසා ඇති බවකි. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ අරමුණෙන් දියත් වන කුමන්ත්‍රණයක් බවත් ඊට හසු නොවන ලෙසත් වගකිවයුතු නිලධාරීන්ගෙන් ඔහු පෞද්ගලිකවම ඉල්ලා ඇතැයි ඇතැම් තොරතුරු වාර්තා පවසයි.
මේ අතර සමගි ජන බලවේගයේ පිරිස් ආණ්ඩුවට එකතු වීම පිළිබඳව සහ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව ද ආරංචි පැතිර ගියේය. මේ පිළිබඳව ද පසුගිය අඟහරුවාදා පැවති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවකදී දීර්ඝව සාකච්ඡා වී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් එවන් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බවට යෝජනා ස්ථිරත්වයක් එහිදී සිදුව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි
පසුගිය සිකුරාදා වන විට දැන ගැනීමට ලැබුණු පරිදි ජනාධිපතිවරණයේ කල් දැමීම පිළිබඳ ඉදිරිපත් වූ පෙත්සමට අතරමැදි පාර්ශ්වයක් ලෙස එක්වීමට ජාතික ජන බලවේගය සූදානම් වෙමින් සිටියි. ඒ අනුව වාර්තා වී ඇති පරිදි විජිත හේරත්, හරිනි අමරසූරිය, එරංග ගුණසේකර ආදීන් සඳහා අවසර ඉල්ලා පෙත්සම ගොනු කරනු ඇත.
මේ අතර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලය පිළිබඳ ඉකුත් සතියේ අදහස් දක්වා තිබුණි. මෙම කුමන්ත්‍රණයට එරෙහිව මැදිහත් වන බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ජාතික ජන බලවේගයේ විද්වත් කණ්ඩායම් සඳහා වන විශේෂ හමුව සංවිධානය කිරීමට ඉකුත් සතිය පුරා කටයුතු කර ඇති බව පෙනී ගියේය. විවිධ සමාජ කණ්ඩායම් අරමුණු කර ගනිමින් එසේ ප්‍රචාරණ වැඩසටහන් මෙහෙයවීමට ජාතික ජන බලවේගය සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. විද්වත් වෘත්තිකයන්ගේ ඉලක්කගත වැඩසටහන්වලට ඔවුන් ප්‍රමුඛතාවයක් ලබා දී ඇතැයි කියැවේ.
ශ්‍රී ලාංකීය දේශපාලනයේ එක්තරා පරිච්ඡේදයක නිමාව සටහන් කරමින් ශ්‍රී ලංකාවේ දමිළ දේශපාලනයේ කීර්තිමත් දේශපාලනඥයකු වූ ආර්. සම්පන්ධන් ජූනි 30 වැනිදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. පාර්ලිමේන්තුවෙන් මාස තුනක නිවාඩු ලබා ප්‍රතිකාර ගනිමින් සිටියදී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ නෑසියෝ දැනුම් දුන්හ.
1933 වසරේ පෙබරවාරි 05 වැනිදා උපත ලැබූ රාජවරෝදියම් සම්පන්ධන් අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසු විය. වෘත්තියෙන් නීතිවේදියකු වූ පසුව වෘත්තීය දේශපාලනඥයකු බවට පත්වූ ආර්. සම්පන්ධන් ගේ දේශපාලන ජීවිතය ආරම්භ වන්නේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛත්වය ගත් දේශපාලන නායකයා වූ එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් ආරම්භ කරන ලද ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) සාමාජිකයකු බවට පත්වීමත් සමඟය.
1977 මහ මැතිවරණයේදී පළමුවරට එක්සත් විමුක්ති පෙරමුණ (TULF) නියෝජනය කරමින් ආර්. සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවට තේරීපත් විය. අනතුරුව විටින් විට අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දෙමළ පක්ෂ රුසක් එකතු කර සන්ධානයක් නිර්මාණය කර ගැනීමට ඔහු සමත් විය. බෙදුම්වාදී දේශපාලනඥයන් හරහා රට දෙකඩ කිරීමට නොව පෙඩරල් විසඳුමක් සඳහා ගමන් කිරීමට ඔහු උත්සාහ දැරෑ බව මෙරට ඉහළ පෙළේ සිංහල දේශපාලනඥයන් අතර විශ්වාසයක් පවතී. එම නිසාම ඔහු මෙරට කීර්තිමත් දේශපාලනඥයකු ලෙස නිරන්තර පිදුම් ලැබීය.
2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2018 දෙසැම්බර් මාසය වනතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ආර්. සම්පන්ධන් මහතා අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්ගෙන් පසු මෙරට විපක්ෂ නායක ධුරයට පත්වූ දෙවැනි දෙමළ දේශපාලනඥයා ලෙස ඉතිහාසගත විය.
මේ අනුව අභාවප්‍රාප්ත ආර් සම්පන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව කොළඹ පෞද්ගලික මල් ශාලාවකදී උද කර දී තිබුණි. එසේම පාර්ලිමේන්තුවට ද දේහය රුගෙන ගිය අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රුසක් අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වූහ. යාපනයේදීද මහජනතාව සඳහා දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව උදා කර දී තිබුණි. කෙසේ වෙතත් රාජ්‍ය ගෞරව සහිතව ආර්. සම්පන්දන් මහතාගේ අවසන් කටයුතු සිදු වූයේ ත්‍රිකුණාමලයේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්ව අර්බුදය දස අත කැරකී දයාසිරි ජයසේකර අභිමුව නතර විය. ලැබුණු නව අධිකරණ තීන්දුවත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදයේ පළමු සිද්ධිය බවට පත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමය.
එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂය ගත් තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.
අධිකරණ නියෝගය නිකුත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගනු ලැබීය. ඒ, පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වය දරන බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් මෙම අත්හිටුවීම නොතකමින් ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට සිකුරාදා පැමිණි දයාසිරි ජයසේකර නැවත මහලේකම් ධුරයේ කටයුතු ආරම්භ කළේය. ඇතුළට යාමට ඉඩ නොලැබීම නිසා එළියේ දී අත්සන් කර වැඩ බාරගත් බවද වාර්තා විය. මෙය තරමක් කලබලකාරී සිදුවීමක් වූ අතර කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය මේ වන විට දයාසිරි ජයසේකරට සහාය පළ කරමින් සිටියි.
• චමිඳු නිසල් ද සිල්වා