ජනාධිපතිවරණය මහා වැස්සක් නම් මේ දිනවල ඒ පිළිබඳ පළවෙන කාලගුණ අනාවැකි එතරම් යහපත් නොවේ. එහෙයින් මහ වැස්සට පෙර සිය ගුල් තුළට රිංගා ගන්නා කුහුඹුවන් මෙන්ම සිංදු කියනා පළඟැටියන් ද නිතර අප නෙත ගැටේ. මේ අතර වැසි පමා කරනු සඳහා රහසේ බලි තොවිල් නටන යකැදුරන්ද මෙහි අඩු නැත. එහෙත් බහුතරය වැසි පිරිත් කියමින් වැසි වැටෙනතුරා අහස දෙස බලා සිටිති.
ජනාධිපතිවරණය ප්රමුඛ දේශපාලන මාතෘකාව වී ඇති අතර සියලු දේශපාලන පුවත් එය වටාම නිර්මාණය වී තිබේ. ජනාධිපතිවරණය අභිමුව ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා පොහොට්ටුවේ පිරිසක් එකතු වීමට යන බව පසුගිය සතියේ වාර්තා වූයේ ඒ අනුවය.
“ඇමැතිවරු හතර පස් දෙනෙක් රාජ්‍ය ඇමැතිවරු හය හත් දෙනෙක් ඇතුළු 15 කට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට ඍජුවම සහයෝගය පළ කරන්න යනවා."
ලැබී තිබුණේ මෙවන් දේශපාලන ආරංචියකි. මෙම පිරිස වෙත ඉකුත් සමයේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සැලකිය යුතු අනුග්‍රහයක් ලැබී ඇතැයි ද ඇතැම් ආරංචි මාර්ග කියා සිටියි. මෙම පිරිසට අමතරව තවත් බොහෝ දෙනකුට ජනපති සමඟ එක්වී ගමනක් යාම සඳහා ආරාධනා ලැබී ඇතැයි ද කියැවේ.
කෙසේ වෙතත් පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව කියැවෙන මතවාදය ද එම පක්ෂය අභ්‍යන්තරය තුළ නිරන්තර සාකච්ඡාවට ලක්වෙන බව දැන ගැනීමට ලැබේ. මෙම මතවාදය පෙරටු කරගෙන ඉදිරියට පැමිණීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම කටයුතු කරමින් සිටින බව පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා මෙම මතය කොතරම් ප්රබලව නැගී ඇත්දැයි පැහැදිලි කෙරෙන ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් සිදුකොට තිබුණි.
“පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඊළඟ ඡන්දේ බැලට් පේපර් එකේ ඉන්නවා. රටේ ජනාධිපති කෙනෙක් එක්ක හැපිලා, ආණ්ඩුවක් එක්ක හැපිලා, අවුරුදු හතරහමාරක් නොවිඳිනා දුක් විඳලා හදපු පක්ෂය අවුරුදු හත අටකින් අතහැරලා දාන්න, මේ වෙනුවෙන් කැපකිරීම් කරපු මිනිස්සු සියදිවි නසා ගනියි. පොහොට්ටුවේ ලකුණින් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ බැලට් පේපර් එකේ ඉන්නවා යාළුවා.”
එහෙත් සිදුවීමට නියමිත දේශපාලන විපර්යාස රුසක් පමාවෙමින් පවතින්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු බවද දැනගන්නට ලැබේ. මැතිවරණ කොමිසම පාර්ශ්වයෙන් ලැබෙන ආරංචි අනුව කියැවෙන්නේ මෙම මස 30 හෝ 31 මැතිවරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.
මේ අතර මැතිවරණයට පෙර සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ද වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම තවමත් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කිරීම සිදුවෙනු ඇතැයි කියැවේ.
“ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කෙරෙනවා. එම තනතුර පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකුට ලබාදීමට තමා තීරණය කරලා තියෙන්නෙ."
මේ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩල රුස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බවත් බොහෝ විට නව සභාපතිවරයා සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන කබීර් හෂීම් මහතා විය හැකි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණය අවසන් වනතුරු පක්ෂයේ නීතිමය ගැටලුවලට මැදිවිය යුතු නැති බව ජ්‍යෙෂ්ඨයන් පෙරදී විශ්වාස කළද, සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදීද පක්ෂ නායකත්වය විවේචනය කරමින් කළ කතාවද හේතුවෙන් සමගි ජන බලවේගය මෙම තීරණය වෙත එළැඹ ඇතැයි කියැවේ.
මේ වන විටත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රුස්වීම් සහ උත්සවවලටත් අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර අවසන් බව ඉකුත් සතියේ වාර්තා විය.
කෙසේ වෙතත් පසුගිය දිනවල පොහොට්ටුවෙන් බිඳී ස්වාධීන වූ පිරිස් අතරින් සමගි ජන බලවේගය වෙත එක් වූ දේශපාලනඥයන් වෙත තනතුරු වරප්‍රසාද ලැබෙන අයුරුද දැකගත හැකි විය. ඒ අනුව කැලණිය ආසන සංවිධායක ධුරය පොහොට්ටුවේ සිට පැමිණි ආචාර්ය නාලක ගොඩහේවාට හිමිවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. අලුතින් සමගි ජන බලවේගය වෙත එකතු වූ තවත් කිහිප දෙනකු සඳහා එවන් තනතුරු ලැබීමට නියමිතය.
පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට අම්බානි පවුලේ මංගල උත්සවය සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබීම පිළිබඳව ද දේශපාලන කරළියේ කසුකුසුවක් ඇතිවුණි. මෙම සිදුවීම පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අප වෙත කරුණු කිහිපයක් අනාවරණය විය.
“නාමල් රාජපක්ෂ සහ අම්බානි පවුල අතර අවුරුදු 15 ක විතර සම්බන්ධයක් තියෙනවා. ඔය සම්බන්ධය ඇති කරලා දුන්නේ සල්මන් ඛාන්."
නාමල් රාජපක්ෂගේ ඉන්දියානු මිත්‍රයකු වන ජනප්‍රිය නළු සල්මන් ඛාන් සිය නිවෙසේ දී අනන්ත් අම්බානි පළමුවරට හමුවී ඇතැයි කියැවේ. ඒ ආසන්න කාලයේ සිට රාජපක්ෂ පවුල සහ අම්බානි පවුල අතර සමීප සම්බන්ධතා පැවතුණු බවද ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම විවාහ මංගල්‍යය සඳහා නාමල් රාජපක්ෂට ආරාධනා ලැබී ඇත්තේ ඒ අනුවය.
නාමල් රාජපක්ෂට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ සනත් ජයසූරිය වෙත මෙම විවාහ මංගල්‍යය සඳහා ආරාධනා ලැබී තිබිණි. සිය මවගේ වියෝව හේතුවෙන් ආසන්න දිනවල එම ආරාධනාව සඳහා සහභාගි වීමට නොහැකි බව සනත් ජයසූරිය මහතා දන්වා ඇතැයි ද දැනගැනීමට ලැබේ. කෙසේ වෙතත් මෙම විවාහ මංගල්‍යය සඳහා මහේල ජයවර්ධන පවුල සහ නාමල් රාජපක්ෂ පවුල එක්ව සිටියහ.
මෙම ආරාධනාවට අදාළ දිනයේදී නාමල් රාජපක්ෂ ද යොදාගත් රුස්වීම් කිහිපයක් අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක වූ බව කියැවේ.
“සහභාගි වෙන්න අපහසු වෙයි. මම යොදාගත්ත රුස්වීම් වගයක් තියෙනවා."
නාමල් රාජපක්ෂ තමන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත බව අම්බානි පවුලට කල් ඇතුවම දන්වා තිබූ නමුත්, ඔහුගේ සහභාගිත්වය තමා අපේක්ෂා කරන බව අනන්ත් අම්බානි පවසා ඇතැයි ආරංචි මාර්ගයක කියා සිටියි.
මෙම ගැටලුව විසඳීමට මුකේෂ් අම්බානි ඉදිරිපත් වූ බව දැනට පැතිරෙන තොරතුරු අනුව කියැවෙයි.
“රාජපක්ෂ පවුල නියෝජනය කරලා ඔබ අනිවාර්යෙන්ම සහභාගි වෙන්න. ශ්‍රී ලංකන් ගුවන් යානයක එන්න. ප්‍රමාද වන නිසා යනකොට අපේ පෞද්ගලික ජෙට් යානයකින් ඔබව නැවත ලංකාවට යවන්නම්."
මහින්ද රාජපක්ෂ සමඟ සබඳතා පවත්වන මුකේෂ් අම්බානි ගැටලුව මෙලෙස විසදා තිබේ. ඒ අනුව නාමල් රාජපක්ෂ සහ බිරිඳ විවාහ මංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව පෞද්ගලික ජෙට් යානයෙන් නැවත ශ්‍රී ලංකාව වෙත ඔවුන් පිටත් කර යැවීමට අම්බානි පවුල කටයුතු කර ඇතැයි කියැවේ.
රියැලිටි ටීවී තරුවක් වන කිම් කඩෑෂියන් සහ එක්සත් රාජධානියේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් වැනි චරිත මෙම විවාහ මංගල්‍යය සඳහා සහභාගි වී සිටියහ. මෙම විවාහ මංගල උත්සවය ලොව පුරා විශේෂ අවධානයක් ලබා ගත්තේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති හිතෛෂී කඳවුර සහ ලංසා කණ්ඩායම එක්ව ගොඩනගා ගත් මව් සන්ධානය සිය දේශපාලන මෙහෙයුම් වේගවත් කරමින් සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ තෙවැනි රුලිය බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රීලනිප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මෙම රුලිය සංවිධානය කිරීමේදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කොට තිබේ.
මෙම රුලියෙන් අනතුරුව නව සන්ධානයේ නායකයන් එක්වී සිදුකළ සාකච්ඡාවක් පිළිබඳ එම කඳවුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
බදුල්ලේ ජන සහභාගිත්වයෙන් පිරිස සතුටු වූ බව කියැවෙයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පෞද්ගලික මට්ටමින් සිදුකළ සමීක්ෂණයක් පිළිබඳ අපූරු තොරතුරක් පවසා තිබේ.
“මම මේ ඊයේ පෙරේදා මගේ ප්‍රධාන පාක්ෂිකයන් ටිකක් ගෙනල්ල පොඩි ඡන්දයක් තිබ්බ. ඒකෙන් සීයට අනූ පහක් කිව්වේ මේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ එක්ක යමු කියල."
ජනපතිගේ තත්ත්වය යහපත් බව කියන්නට නිමල් ලංසා ද මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.
“ඕක අපි විතරක් නෙමෙයි කියන්නෙ, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ප්‍රසාදය වැඩිවෙලා කියල ‘වෙරිටේ රිසර්ච්’ කරපු සමීක්ෂණයෙන්ම හෙළිවෙලා තියෙනව."
මේ අතර පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් සමඟ හමුවක් ද නව සන්ධානය සංවිධානය කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී සන්ධානයේ අනාගතය පිළිබඳ නිමල් ලංසා සිදුකර ඇත්තේ මෙවන් හෙළිදරව්වකි.
“අපි ඉතා ඉක්මනින්ම පොදුජන එක්සත් පෙරමුණ, එහෙම නැත්නම් පුටුව ලකුණ යටතේ සන්ධානගත වෙනවා."
මේ අතර ජාතික ජන බලවේගය ද සිය මැතිවරණ මෙහෙයුම් වේගවත් කිරීමට කටයුතු කරමින් සිටියේය. ජාතික ජන බලවේගය සියලු ප්‍රචාරණ කටයුතු සඳහා සමාජ මාධ්‍ය භාවිතය ප්‍රවර්ධනය කරමින් සිටින බව නිරීක්ෂණය විය. ඒ අතර අනුර කුමාර දිසානායක යූටියුබ් නාළිකාවක් හරහා පසුගිය සතියේ නව ව්‍යාපෘතියක්ද අරඹා තිබුණි.
මේ අතර පසුගිය සතියේ දී මහනුවර දිස්ත්‍රික් සමුළුව, ජාතික ජන බලවේගය සංවිධානය කොට තිබුණේ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී පැතිරෙමින් පවතින අපරාධ රුල්ල පිළිබඳවද අනුර කුමාර දිසානායක කතා කොට තිබුණි.
“යළි නීතියේ විධානයේ ආධිපත්‍යය ශක්තිමත් ලෙස තහවුරු කරන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි. එසේ කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට පමණයි. මේ සමාජයේ අපරාධ රුල්ලක්, මත්කුඩු රුල්ලක් තිබෙනවා. මේවායින් අපේ රට මුදාගත යුතුයි. මේ අපරාධ නිර්මාණය කළේ, අපරාධ ආරක්ෂා කළේ, දේශපාලකයන්. මේ දේශපාලකයනුයි, අපරාධකරුවනුයි ඉන්නේ එකට. අපරාධ කරන්නේ පාතාලයන් විතරක් නොවෙයි. දේශපාලකයනුත් අපරාධ කරනවා.”
ජාතික ජන බලවේගය ආරංචි මාර්ග අනුව ඉදිරි සතියේදී අනුර කුමාර දිසානායක මහතා ජපන් සංචාරයකට එක්වීමටද නියමිතය.
පසුගිය සතිය කැළඹී යාමට හේතු වූ තවත් පුවතක් වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වන බවට පැතිර ගිය ආරංචියයි. නිල වශයෙන් මෙම ආරංචිය කරළියට පැමිණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙනි.
“අද විශේෂ හෙළිදරව්වක් කරන්න තිබෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය කල් දමාගැනීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා."
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සැලැස්ම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රයද මේ වන විටත් සකස් කොට අවසන් බව මේ අනුව කියැවිණි.
කෙසේ වෙතත් මෙම කරුණු දැක්වීමට සමගාමීව තිරය පිටුපස ද තවත් කතා බොහෝ විය. ඊට අනුව ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය බලාපොරොත්තුවෙන් සිටියදී පැතිර ගිය කතාවක් මීට හේතු වූ බව කියැවේ.
“පොහොට්ටුවේ අපේක්ෂකයා ලබන සතියේ වගේ ප්‍රකාශයට පත් කරන්න ඉඩ තියෙනවා. බොහෝ දුරට ධම්මික පෙරේරා අපේක්ෂකයා වෙයි. ධම්මික පෙරේරාත් එක්ක මේ වෙනකොටත් පොහොට්ටුව එකඟතාවයකට ඇවිල්ලා."
දේශපාලන කරළියේ ඉහළ තැන් හරහා හමා ගිය මෙම ආරංචියත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිස් ද කනස්සල්ලට පත්වුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය සමයේදී පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවල මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය තැබීමට යෝජනා කර ඇතැයිද ඇතැම් පාර්ශ්ව සඳහන් කරයි.
“අපි බලමු. ජනාධිපතිවරණය තියන්න ඕනෑ"
රාජපක්ෂගේ යෝජනා හමුවේ මෙවන් අදහසක් පවසමින් ජනාධිපතිවරයා ඒ සඳහා එකඟතාවයක් පළ නොකර මගහැර සිටි බව එම පාර්ශ්ව කියා සිටියි.
කෙසේ වෙතත් පෙර නොසලකා හැරුණු මෙම යෝජනාව පිළිබඳ හදිසියේම කතාබහක් ඇතිවීම පිළිබඳව මේ වන විට විවිධ පාර්ශ්ව අදහස් දක්වා ඇත.
“පාර්ලිමේන්තුව විසුරුවා හරින කතාව බය කරන්න කියපු කතාවක්. අපිට සහයෝගය ලබා දෙන්නේ නැත්නම් අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා තමයි ඔය කියන්න හදන්නෙ."
පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම මෙම අදහස මතු කොට තිබේ.
“ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය ලබන සතියේ වගේ නිකුත් වෙන්න ඉඩ තියෙනවා."
මෙවන් කතාවක්ද දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා වන සිය අභිප්‍රාය නිල වශයෙන් තවමත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත්කොට නොමැත.
එහෙත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ කැම්පේන් එකක් ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලිය. ආරංචි මාර්ග පවසන පරිදි බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ ඩේවිඩ් නැමැති විශේෂඥයකු ද මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට පැමිණ ඇතැයි පැතිර යන ආරංචිය අනුව කියැවේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු කී බව කියැවෙන කතාවක්ද දේශපාලන කරළියේ පැතිර යමින් තිබේ.
“ජනාධිපතිතුමාට ඔප්ෂන් එකක් නෑ දැන්, පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා ඇරෙන්න"
කෙසේ වෙතත් ජනාධිපතිවරණය නිශ්චිත දින වකවානුවලදී පැවැත්වෙනු ඇති බවත්, ඇතැම්විට ජනාධිපතිවරණයට පූර්වයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද සිදුවිය හැකි බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මැතිවරණ දෙකක් එකපිට පැමිණියහොත් රට තුළ ඉතා සංකීර්ණ දේශපාලන තත්ත්වයක් නිර්මාණය වීමට ඇති අවස්ථාව ඉහළය.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉකුත් බ්‍රහස්පතින්දා දැනුම් දුන් බවට ද වාර්තා පළ විය.
මෙම සංශෝධනය කුමන්ත්‍රණයක් බවත් ඒ හරහා ජනාධිපතිවරණය කල් දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවටත් චෝදනා එල්ල වෙමින් තිබූ පසුබිමක මෙම තීරණය පිළිබඳ ආරංචිය ලැබීම තරමක් සුවිශේෂී විය. එහෙත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා පළ වී තිබුණි. ඒ අනුව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශ සහ නියෝග නොතකමින් සිකුරාදා 22 වැනි සංශෝධන ගැසට් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණි.
• චමිඳු නිසල් ද සිල්වා