2024 ජුලි 27 වන සෙනසුරාදා

පොලිස්පති අර්බුදයෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 270

ගෙවී ගියේ ඉතා තීරණාත්මක දේශපාලන සතියකි. නටපු නැටුම කෙසේ වෙතත් බෙරයේ පළුව රැක ගැනීමට ඇතැමෙක් උත්සාහ දරමින් සිටියහ. තවත් පිරිසක් කස්තුරන් එල්ලීම සඳහා බලාපොරොත්තුවෙන් තානම කියන්නට වූහ. සංදර්ශනය නිල වශයෙන් ඇරඹුණේ සති අන්තය උදාවන විටයි. උදා වී ඇත්තේ ජනාධිපතිවරණ සමයකි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව ලැබුණු නඩු තීන්දුව ඉකුත් සතියේ දේශපාලන කරළිය කැළඹීමට සමත් වූයේය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පාමින් පෙත්සම් නවයක් ඉකුත් සමයේ අධිකරණය වෙත ඉදිරිපත්ව තිබුණි. එම පෙත්සම් විභාගය ඇරඹූ අධිකරණය මෙම පත්වීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් සිදු කරනු ලැබූ පත්වීම අධිකරණය විසින් තහනම් කිරීමත් සමඟ උද්ගත වූයේ දේශපාලන විද්‍යාවේ එන සෛද්ධාන්තික ගැටලුවකි.

පෙත්සම් විභාග කිරීම අවසන් වනතුරු නොවැම්බර් මාසය දක්වා ලැබුණු අතුරු තහනම් නියෝගයත් සමඟ ජනාධිපතිවරයා පළමුව කළේ කැබිනට් මණ්ඩලය කැඳවීමයි.
"සිදු කළ යුත්තේ කුමක්ද?"

සංවාදයේ තේමාව එසේ වෙද්දී පැමිණ සිටි කැබිනට් අමාත්‍යවරුන් අතරින් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ මෙවන් මතයක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

"අධිකරණයේ තීරණය නම් අපි ඒක පිළිගමු. අධිකරණයත් එක්ක ගැටෙන්න යන්න හොඳ නෑ. කොහොමත් මැතිවරණයක් අත ළඟ තියාගෙන ගැටුමකට යන එක සුදුසු නැහැ"

බහුතරයක් එසේ සඳහන් කරන විට ජනාධිපතිවරයා ද ඊට විරෝධය නොපෑ බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි. එලෙස ජනාධිපතිවරයා තීන්දුව සම්බන්ධව අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මේ හා සම්බන්ධ ආන්දෝලනය තීව්ර කළේය.
"මම නම යෝජනා කළාම මේ පත්වීම කළේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒත් දැන් මේ නියෝගය දීලා තියෙන්නේ මට. දැන් මේක ව්‍යවස්ථාදායක සභාවට දාලා ඒගොල්ලන්ගේ මතය අහන්න වෙනවා."

ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරුන් හමුවේ මෙවන් මතයක් ප්‍රකාශ කළ බවක් දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි. කෙසේ වෙතත් මෙම තීන්දුව පිළිබඳ අධ්‍යයනය කිරීමට කැබිනට් අතුරු කමිටුවක් ද පත් කළ බව පසුගියදා වාර්තා විය. 
මෙම පුවතත් සමඟ බොහෝ පාර්ශ්‍ව කැබිනට්ටුවේ අධ්‍යයනය පිළිබඳ ඇති කරගත්තේ කුකුසකි.

"මේ වැඩේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. විධායකය අධිකරණය එක්ක ගැටෙන්න යන්නේ. මේක නරක ආදර්ශයක්. කුමන්ත්‍රණයක් වෙන්නේ."

මෙවැනි අදහස් අතරේ පොලිස්පතිවරයා රාජකාරි කටයුතුවලින් තරමක් ඈත් වී සිය නිල නිවෙසේ රැඳී සිටින බව ආරංචි මාර්ග කියා සිටියේය. මේ අතර නව ‍පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා ද යෝජනා ඉදිරිපත් වී ඇතැයි දැන ගැනීමට ලැබුණි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ලලිත් පතිනායක එම තනතුරට යෝජනා වී ඇතැයි ආරංචි මාර්ග කියා සිටියි. කෙසේ වෙතත් ඒ හා සම්බන්ධ නිල තොරතුරු තවදුරටත් වාර්තා නොවේ.

එහෙත් සිකුරාදා වන විට පොලිස්පති අර්බුදය අතිශය බරපතළ තත්ත්වයකට පැමිණ තිබුණි. ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට තමන්ට නීති උපදෙස් ලැබී ඇතැයි ද, ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බවද ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දැනුම් දී ඇති බවට පළමුව වාර්තා පළ වූයේය. 

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩ බලන පොලිපතිවරයකු පත් නොකරනු ඇති බවත් තවමත් පොලිස්පති ධුරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවත් එම ධුරය හිස්ව නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.

මෙම ප්‍රකාශය සමඟ පාර්ලිමේන්තුව කැළඹී ගියේය. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය අතර ගැටුමකට මෙය මුලපිරීමක් බව පෙනී ගිය අතර විපක්‍ෂයෙන් මේ ප්‍රකාශය සම්බන්ධව එල්ල වූයේ දැඩි විරෝධයකි.  
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ හා සම්බන්ධ විවාදයට එක්වෙමින් කියා සිටියේ මෙවන් කතාවකි.

"පොලිස්පති කෙනෙක් පත් කරන්න බැරි නම් ජනපති ඉල්ලා අස්වෙන්න"

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කළ නොහැකි බව පැවසීම පිළිගත නොහැකි තත්ත්වයක් බවයි.
විවාදය දැඩිව උණුසුම් වූ අතර විපක්ෂය පාර්ශ්වයෙන් පොදුවේ කියැවුණේ මෙය ඉතාම වැරදි තීන්දුවක් බවයි. මෙම පූර්වාදර්ශය අනාගතයට ඉතා අහිතකර ලෙස බලපානු ඇති බවද දයාසිරි ජයසේකර සහ රවුෆ් හකීම් වැනි චරිත කියා සිටියහ. එසේම මීට එකඟත්වය පළ කිරීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අපහසුතාවට ලක්වෙන බව කියැවිණි.

පසුගිය සතියේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව උද්ගත වූ අර්බුදය ද සුළුපටු එකක් නොවේ. පොහොට්ටුව සහයෝගය පළ කරන්නේ කා හටද යන්න පිළිබඳ නිර්මාණය වූයේ දැවැන්ත කුතුහලයකි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ කැමැත්තෙන් පසුවන බව තවදුරටත් රහසක් නොවුණි. එහෙත් ඔහු වෙත පොහොට්ටුව ඍජුව සහයෝගය පළ කරයි ද යන්න පිළිබඳ නිර්මාණය වූයේ ගැටලු සහගත තත්ත්වයකි.

මේ අනුව ආණ්ඩුවට සහ පොහොට්ටුවට සම්බන්ධ පිරිස් අතර රහස් සාකච්ඡා රැසක් පසුගිය සතිය පුරා පැවති බව ආරංචි මාර්ග සඳහන් කළේය. මෙයින් එක් සාකච්ඡාවක් පැවතියේ කොළඹ හතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවෙසේය. ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු සහ අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙම සාකච්ඡාවට එක්ව ඇතැයි කියැවෙයි.
"අපි මේ වෙලාවේ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න ඕනෑ"

"පක්ෂයේ මොනව කළත්, මොන තත්ත්ව වුණත් අපි ජනාධිපතිතුමාට සහයෝගය ලබා දීම තමා සිදු කරන්න ඕනෑ. වෙන කරන්න දෙයක් නැහැ"

"ඔව් අපේ පිටුපස්සේ තව මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. ඒ අයත් ආරක්ෂා කරගෙන පරිස්සමට තමා මේ වැඩේ කරන්න ඕනෑ"

උද්ගතව පවතින තත්ත්වය හමුවේ කණ්ඩායමක් ලෙස එකට සිටිමින් ජනාධිපතිවරයා වෙත සහාය දැක්වීමටත් තමන් ආරක්ෂා වීමටත් මෙහිදී මෙම පිරිස සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පසුගිය කාල වකවානුවේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව නිල මට්ටමේ සාකච්ඡා නියෝජනය නොකළ නාමල් රාජපක්ෂ ද නැවත කරළියට පැමිණෙමින් ප්‍රධාන භූමිකාවකට පණ පොවමින් සිටියේය. ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතුව සාකච්ඡා කිහිපයක්ම පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය. ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා සිදුකළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණි.

මේ අතර මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ ක්‍රියාකාරී ප්‍රධානීන් ඉකුත් සතියේ අවස්ථා කිහිපයකදීම එක්වී සාකච්ඡා කළ බව කියැවේ.
මේ අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බව කියැවෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා වට කිහිපයකටම සම්බන්ධ වී ඇතැයි කියැවේ.
"මැතිවරණය මෙහෙයවන්න ඕනෑ කොහොමද?"

"ශාඛා සමිති සහ ඡන්ද පොළ නියෝජිතයන් පත් කරන්නේ කොහොමද?"

ආදී කාරණා පිළිබඳව මෙන්ම ඉදිරි මැතිවරණයේදී සිදු කළ යුතු මෙහෙයුම් සහ ආර්ථිකමය කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇතැයි කියැවෙයි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයාගේ කැඳවීමෙන් ඔහු හා සාකච්ඡා කළ බවද ඇතැම් දේශපාලන වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ප්‍රධාන කණ්ඩායම් කිහිපයක් පක්ෂයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට සිදු කරන යෝජනාව එන්න එන්නම ප්‍රබල වී ඇතැයි කියැවේ. ඒ අනුව පොහොට්ටුවෙන් ලැබෙන ඇතැම් දේශපාලන ආරංචි ස්ථීර වශයෙන්ම තහවුරු කොට සිටින්නේ ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වනු ඇති බවකි. 

ජනපති කෙරෙහි පවතින විරෝධය එළිපිටම ගෙනහැර පෑමට පසුගිය සතියේ නාමල් රාජපක්ෂ කටයුතු කිරීම ද මීට හේතුවක් වී තිබේ.

"රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා. අපිට නොගැලපෙන දේවල් කළත් අද වෙනකම් අපි වචනයකින්වත් මුකුත් කළේ නැහැ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක. ඉතින් ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගමු. හැබැයි අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා. එතුමා එහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි. පුරුද්දට. එතුමාව ගේනකොටත් අපි ඒක දන්නවා. එජාපය කැඩුවා, ශ්‍රීලනිපය, යහපාලන ආණ්ඩුව, ජවිපෙ කැඩුවා, LTTE එකත් කැඩුවා."  

"රනිල් වික්‍රමසිංහ මහතා එක්ක අපි අදටත් සාකච්ඡා කරනවා. ගැලපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම්."

"ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව නිවේදනය කළ හැමෝමත් එක්කම අපි සාකච්ඡා කරනවා. ඉන් පස්සේ අවසන් තීන්දුවක් ගන්නවා."

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ උද්ගත වෙමින් පැවති කැළඹිලි සහගත තත්ත්වය හමුවේම ඉකුත් සිකුරාදා 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙම ගැසට් නිවේදනය නිකුත් වීම පිළිබඳ බොහෝ දෙනකු අවධානයෙන් සිටි බව නොරහසකි. ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15 වැනි දින ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා දිනය ලෙස නම් වූ අතර රාජගිරිය - සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාරගන්නා ස්ථානය ප්‍රකාශයට පත් විය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වූ විගස ජනාධිපතිවරයා වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප තැන්පත් කිරීමට පිරිසක් කටයුතු කිරීමද විශේෂිත තත්ත්වයක් වූයේය. ඒ අනුව ජනාධිපතිවරණය වෙනුවෙන් පළමුව ඇප තැන්පත් කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙනි.  නීතිඥ රෝලන්ඩ් පෙරේරා ඇතුළු පිරිසක් මෙලෙස  මැතිවරණ කොමිසම වෙත සිකුරාදා පෙරවරුවේ පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබේ.

මේ අතර සේවාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් කීර්තිරත්න සහ ජන සෙත පෙරමුණ නියෝජන කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමිද සිකුරාදා ඇප තැම්පත් කළහ.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ කවර ලකුණකින්ද යන්න පිළිබඳව ද ජනාධිපති හිතෛෂී පාර්ශ්ව අතරේ කතාබහක් නිර්මාණය වී තිබුණි.

"ලකුණ දැනටමත් තීරණය කරලා ඉවරයි"

එහිදී ප්‍රකාශ වී ඇති බවත් බොහෝ විට එම ලකුණ "හදවත" විය හැකි බවත් ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

මේ අතර පොහොට්ටුව ස්ථිරවම ධම්මික පෙරේරා සිය අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන බව සිකුරාදා වන විට තීන්දු කර ඇතැයිද  එම පාර්ශ්වය වෙතින් ලැබෙන ආරංචි තහවුරු කර සිටියේය. ඒ පිළිබඳ මෙම සතියේදී නිවේදනය කරනු ඇතැයි ඔවුහු සඳහන් කළහ.
සමගි ජන බලවේගය ජනාධිපතිවරණය උදෙසා වන සිය දේශපාලන ක්‍රියාකාරීත්වය තීව්ර කරමින් සිටියේය. අගෝස්තු 8 දා වන විට දැනට තමන් සමඟින් සාකච්ඡා කරමින් සිටින සියලු පාර්ශ්ව එකතු කර ගනිමින් සන්ධානය ප්‍රකාශයට පත් කිරීම සජබ සැලසුම වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගය හෙළි කළේය.

මෙම කටයුත්ත සඳහා පෙරමුණ ගෙන සිටියේ සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාය. 

"රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති මාලාවත් එළි දක්වන්න කටයුතු කරනවා. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකථනය ලකුණින්. සමගි ජන බලවේගය ගොඩනගන සන්ධානය සඳහා දූෂණයෙන් තොර, අත්දැකීම් තිබෙන විශාල නායකයන් පිරිසක් සහ දමිළ, මුස්ලිම් පක්ෂ එකතු වීමට නියමිතයි. මන්ත්‍රීවරුන් 30 කට වැඩි ප්‍රමාණයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වීමට නියමිතයි."

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ සමගි ජන බලවේගය සමඟ එකතු වීමට බලාපොරොත්තුවෙන් මන්ත්‍රීවරුන් වෙත ආසන සංවිධායක ධුර සහ පක්ෂයට අදාළ වෙනත් තනතුරු ලබාදීම පිළිබඳ මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් ඇති බවකි. 
මේ අතර සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ඇරඹුම සටහන් කරමින් රට පුරා දැවැන්ත පෝස්ටර් ව්‍යාපෘතියක් දියත් කිරීමටද ඉකුත් සතියේ සමගි ජන බලවේගය කටයුතු කොට තිබුණි. "දිනන සජිත්" යන මෙම පෝස්ටරය එක් රැයක් තුළ රට පුරා ඇලවීමට ඔවුහු කටයුතු කළහ.

සමගි ජන බලවේගයේ සිට එයින් වෙන් වූ චරිත කිහිපයක් ද ඉකුත් සතියේ පුවත් මැවීමට සමත් විය. ඒ අතර එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇතැයි බොහෝ දෙනකු අපේක්ෂා කළ සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සුවිශේෂී විය.

"මගේ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රකාශ කිරීමට මම කැමැත්තෙමි. වසර 76ක් තිස්සේ අපව බංකොළොත්භාවයට ඇද දැමූ අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අපව මෙහෙයවීය. ශ්‍රී ලංකාව සංවර්ධනය වීමට නම් දූෂණය මර්දනය කළ යුතුය. 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙය මගේ විධිමත් සහ නිල නිවේදනයයි.

ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් හා එක්වන ලෙස සෑම ශ්‍රී ලාංකිකයකුටම ආරාධනා කරමි."

සිය එක්ස් ගිණුම හරහා සරත් ෆොන්සේකා මහතා සිදුකර තිබුණු ප්‍රකාශය තරමක දේශපාලන කැළඹීමක් ඇති කළේය. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ දේශපාලන කරළියේ පැතිර ගියේ මෙවන් කතාවකි.
"පොත එළිදැක්වුවෙත් ජනාධිපති කාර්යාලය සහයෝගයෙන්. ජනාධිපතිතුමා කළුතර පොහොට්ටුවේ රැස්වීමට ගියපු නිසා එයා කලකිරිලා ඉන්නෙ. රාජපක්ෂවරු ඉන්න තැන දේශපාලනය කරන්න බැරි නිසා තමයි තනියම ඉල්ලන්න තීරණය කරලා ඇත්තේ"

මෙම සිදුවීම් පෙළත් සමඟ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් ඉවත් වුවද කිසිදු ගැටලුවක් නොමැති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

පසුගිය සතියේ ජාතික ජන බලවේගය ද මැතිවරණය ඉලක්ක කරගත් සුවිශේෂී වැඩසටහනක් දියත් කළේය. ජනාධිපතිවරණය අරමුණු කරගෙන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කෙරිණි. 
නව මධ්‍යස්ථානය බත්තරමුල්ල ජයන්තිපුරයේදී  විවෘත වූ අතර ජාතික  ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මේ සඳහා පෙරමුණ ගෙන තිබුණි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඇතිවන බාධා වළක්වා ගැනීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ බව මීට මූලිකත්වය ගත් පිරිස සඳහන් කළහ.

මේ අතර ජපානයේ සංචාරය අතරතුරදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE Yoshifumi මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී පැවැති බව බවද වාර්තා වී තිබුණි. 

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙසින් කලඑළි දකිමින් සිටින පිරිස අතරේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද කැපීපෙනෙන චරිතයක් විය. ඔහු පසුගිය සතියේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සිය අපේක්ෂකත්වය නිවේදනය කර සිටියේය. 
"ඔබගේ ඡන්දය මාතෘ භූමියේ පැවැත්ම හෝ වැනසීම තීරණය කරනු ලබන සාධකය වනු ඇත. ඔබේ ඉරණම විසඳීමට ඇති අයිතිය දේශපාලකයන්ට බාර දී ඔබ බලා සිටීම නිසා අද අප සැමට දුක්ඛිත තත්ත්වයක් උදා වී ඇත. මේ ලෝකය වෙනස් වෙනවා දැකීමට ඔබ කැමති නම් එම වෙනස කළ හැක්කේ අන් කවරකුටත් නොව ඔබටමය. ඊට සූදානම් වන්න. මා මෙම ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ  ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ශ්‍රී ලාංකීය ජාතියේත් විජයග්‍රහණය උදෙසාමය."
විජයදාස රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වයේ සහයෝගය පළ විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා යොදා ගැනීම ගැටලු සහගත වී තිබුණි.

මෙවැනි පුවත් සිය ගණනක් ඉකුත් සතිය අවසානයේ මැවෙන්නට පටන් ගත්තේය. මෙම සැණකෙළි සියල්ල එලෙස ආරම්භය විය. ඉදිරි සතිය දේශපාලනිකව තවත් උණුසුම් විය හැකි බවට ඕනෑ තරම් ඉඟි පළ වෙමින් තිබුණි.

• චමිඳු නිසල් ද සිල්වා