2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

පොහොට්ටු අපේක්ෂකයා ගැන මහින්ද රනිල්ට කියූ කතාව

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 3320

සැණකෙළිය ඇරඹුණා පමණි. මුල්ම අංගය ලෙස මෙලෙස සභාගත වී ඇත්තේ රිලා නැටුම්ය. උඩු පිනුම්, යටි පිනුම් සමඟ කරණම් ද ගසන්නන් වෙත, මායා යෂ්ටියෙන් මඟ කියා දෙන්නේ ඔවුන්ගේ හිමිකරුවන් විය යුතුය. මේ අතර මොනරුන් කිහිප දෙනකු සිය රංගනය සඳහා පිල් සකසමින් සිටිනු දැකගත හැකිය. අලි ගාලේ ද වෙනදා නැති තදබදයකි. කල් ඇතුවම රේස් දිවූ හාවුන් නිදිවදින අතරේ ඉබ්බෝද තරගයට අවතීර්ණ වෙමින් සිටිති.  

සැණකෙළියේ පළමු සංදර්ශනය අවසන් වූ බව බොහෝ දෙනකු සිතා සිටියද ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ 07 ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නිවෙසේදී ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවූ සාකච්ඡාව තීරණාත්මක එකක් විය.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ සාකච්ඡාව ඇරඹියේ රාත්‍රී 7.30 ට පමණ බව ආරංචි මාර්ග සඳහන් කරයි. සාකච්ඡාව පිළිබඳ ලැබෙන අභ්‍යන්තර ආරංචි අනුව සිදුවීම් පෙළ ගැසී ඇත්තේ මේ අයුරිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සාකච්ඡාව සඳහා ආරාධනා ලැබී තිබුණ ද ඔහු සහභාගිත්වය ප්‍රතික්ෂේප කර ඇති බව කියැවේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ ලේකම් ගාමිණී සෙනරත් මහතා මෙම සාකච්ඡාවට එක්ව ඇත.
“ඇයි ඔබතුමා මාව හම්බවෙන්න ඕනෑ කියලා කිව්වේ”

මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාව ආරම්භයේදීම හේතු කාරණා විමසා තිබේ.

“මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා අවසාන වතාවටත් ඔබතුමාලගේ සහයෝගය ඉල්ලා සිටින්න තමයි නැවත හමුවෙන්න ආවේ.”

ඉතා සුහදශීලී සිනහවකින් සංග්‍රහ කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දක්වා ඇතැයි කියැවේ.

“මේක මගේ තීරණයක්, පෞද්ගලික තීන්දුවක් නෙවෙයි, පක්ෂය ගත්ත තීරණයක්නෙ. ඒ තීන්දුව මට වෙනස් කරන්න අමාරුයි.”

ජනපතිට මෙහිදී කරුණු කාරණා පහදා දෙමින් ඔහුට සහයෝගය දැක්වීමට පවතින නොහැකියාව පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. අවසානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවන් පැනයක් ද විමසූ බව ආරංචි මාර්ග කියා සිටියි.
“එතකොට දැන් ඔබතුමාලා කාවද ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නෙ.”

මේ වන විට යෝජනා වී ඇත්තේ ධම්මික පෙරේරාගේ නම බව මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජනපතිට දන්වා ඇතැයි කියැවේ.

“ධම්මික පෙරේරා මහත්මයාව මමත් දන්නවා. එයා එන එක ගැටලුවක් නෑ. මට මන්ත්‍රීවරු කිව්වා අවසාන වතාවටත් ඔබතුමාව හම්බවෙලා නැවතත් මේ ගැන සාකච්ඡා කරන්න කියලා.”

තමන් සමඟ එක්වූ පොහොට්ටුවේ පිරිස වෙනුවෙන්ද මෙහිදී ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතාබහ කොට තිබේ. ඉදිරියේදී මහ මැතිවරණයක් පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බැවින් මෙම මන්ත්‍රී කණ්ඩායමේ අනාගතය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇත.

“මාත් එක්ක ආපු පිරිසට මොකද වෙන්නේ? දැන් ඔබතුමාලා ඒ අයට විරුද්ධව විනය පියවර ගන්නවද?”

ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිනාසී පිළිතුරක් ලබාදුන් බව ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අනුව සාකච්ඡාවේ අවසන් අදියර වෙන් වී ඇත්තේ ජනපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ පළාත්වල ඡන්දය භාවිත වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. කුලමල ආගම් ලෙස ඡන්ද බෙදී යාම පිළිබඳව සහ විවිධ ආසනවල පවතින ගැටලු සහ තත්ත්වයන් පිළිබඳව මෙහිදී ඔවුන් දෙදෙනා සාකච්ඡා කොට තිබේ. ඒ අනුව මෙම සාකච්ඡාව අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගත්තේ නැත.

දින දින පමා වෙමින් තිබූ පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳ සංවාදය පසුගිය සතියේ එක්තරා කෙළවරක් වෙත පැමිණියේය. ස්ථිර වශයෙන්ම වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට පොහොට්ටුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණයට එළැඹී තිබුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුවය. මෙම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් 82දෙනකු සිටි අතර ආරංචි මාර්ග සඳහන් කළ පරිදි සාමාජිකයන් 79 ක් රැස්වීමට එක්ව සිටියහ. කෙසේ වෙතත් දේශපාලන මණ්ඩලය පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සැදුම්ලත් එකක් නොවූ අතර එහි පොහොට්ටුවට සම්බන්ධ වෙනත් පිරිස් ද වූහ.

මෙහිදී යෝජනා ද්විත්වයක් ස්ථිර වී ඇතැයි කියැවේ.

“ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනාවට විරුද්ධ වූයේ පැමිණ සිටි සාමාජිකයන්ගෙන් 11 දෙනෙක් විතරයි.”

මෙම රැස්වීම සම්බන්ධව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එවන් කතාවකි. කෙසේ වෙතත් මෙහිදී පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සඳහා සහාය දෙන අයට විරුද්ධව විනය පියවර ගත යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
“පිට කෙනකුට සහයෝගය දක්වන අයට විනය පියවර ගන්න යෝජනාවට විරුද්ධ වූයේ 06 දෙනෙක් විතරයි.”

මෙම තොරතුරු අනුව මෙම දේශපාලන මණ්ඩල හමුවෙන් පසු පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

“අපිට පක්ෂයෙන් පක්ෂයේ ලකුණ යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න යෝජනාවක් ඉදිරිපත් වුණා. විශාල බහුතරයකින් ඒ යෝජනාව සම්මත වුණා. පක්ෂයට විරුද්ධව වෙනත් අය වෙත සහාය පළ කරන පක්ෂ සාමාජිකයන්ට විරුද්ධව විනය පියවර ගන්නවා.”

මේ අතර මෙම තීරණයට විරෝධය පෑ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ පිරිස් ද ඉකුත් සතියේ අවස්ථා කිහිපයකදීම එක්ව සාකච්ඡා කොට ඇති බව දැනගැනීමට ලැබේ.

“අපි සාකච්ඡා කරලා තියෙන්නෙ. මේ තීරණය ගත්තට පස්සේ අපි ඊළඟ පාර්ලිමේන්තුවට තරග කරන එක ගැනත් සාකච්ඡා කළා. අපි එක සන්ධානයක් හදාගෙන ඒ හරහා ඊළඟ මහ මැතිවරණයටත් තරග කරනවා. ඒ සඳහාත් සියලු කටයුතු සූදානම් කරගෙන තමයි අවසන් තීරණයට ආවේ.”

ජනපතිට හිතවත් බව ප්‍රකාශ කළ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතරින් මෙම තොරතුරු දැන ගැනීමට ලැබුණි.

මේ අතර ජනපති සමඟ එක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන් සමඟ ගනුදෙනුව තමා වෙත පවරා ගැනීමට, නිමල් ලංසා ඇතුළු නව සන්ධානය කටයුතු කරමින් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“ඔබතුමාලා එන්න, අපිත් එක්ක එකතු වෙන්න. ඇයි නිහඬව ඉන්නේ, තේරුමක් නෑ තවදුරටත් ඒ අයත් එක්ක ගමනක් ගිහිල්ල.”

ආදි වශයෙන් තවදුරටත් ස්ථිර අදහසක් පළ නොකරන පොහොට්ටුවේ පිරිස් වෙත ලංසා කඳවුරෙන් පණිවිඩ සම්ප්‍රේෂණය වෙමින් ඇතැයි ද තොරතුරු වාර්තා වෙමින් තිබේ. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ද ජනපතිට සහයෝගය දක්වන මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල සම්බන්ධීකරණය කර ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අනුව නාමයෝජනා බාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පළමු රැස්වීම අනුරාධපුරේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇතැයි ද ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.

ඉකුත් සතියේ ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 ක් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත සහයෝගය පළ කර ඇති බවකි. එහෙත් මෙම වාර්තාව නිකුත් වීමත් සමඟම තවත් පිරිසක් හෙළිදරව් කර සිටියේ මෙම පිරිස අතරින් පොහොට්ටුවෙන් අලුතින් බිඳී ගිය පිරිස 58 දෙනකු පමණක් බවයි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත තවත් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

“ජනාධිපතිතුමා, මහින්ද මහත්තයත් එක්ක තව එකපාරක් කතා කරලා බලන්න. අපි කතා කළා. උත්සාහ කළා. ඒක හරි ගියේ නෑ. නමුත් ඔබතුමා තව එක වතාවක් උත්සාහ කරල බලන්න.”
මෙම යෝජනාව හමුවේ ජනාධිපතිවරයා තව වරක් සාකච්ඡා කර බැලීමට එකඟත්වය පළ කර ඇතැයි කියැවේ. ඒ අනුව යටකී ලෙස එම සාකච්ඡාව ද ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැත්විනි.
මේ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයේ පැහැදිලි බෙදීම නිරූපණය වන්නට පටන්ගත් බව පැහැදිලිය.

“වෙන අපේක්ෂකයෙක් දානවට විරුද්ධයි. ඒත් පක්ෂය අතහරින එක ගැටලුවක්.”

“අපි රමේෂ් පතිරණ වගේ කෙනෙක්ව දැම්මොත් එකඟ වෙන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් මෙතැන වෙන්නේ වෙන වැඩ වැඩක්. ඒකයි අපි ගියේ.”

මේ ආදී විවිධ අදහස් පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් අතරින් අසන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම බෙදීම සම්බන්ධව ඉදිරි සති දෙකක කාලය තුළදී පැහැදිලි චිත්‍රයක් ඇඳෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
නිල මට්ටමෙන් ප්‍රකාශ නොකළද පොහොට්ටුවේ අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා බව කියැවේ. අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ කටයුත්ත පිළිබඳව ද මේ වන විට පොහොට්ටුව සාකච්ඡා කොට ඇතැයි පොහොට්ටු ආරංචි මාර්ග සඳහන් කරයි.

“අපි අපේක්ෂකතුමාට අවස්ථාවක් දෙමු. එතුමට සුබ, එතුමා කැමති දිනයක් තෝරගෙන අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරන්න.”

යනුවෙන් පොහොට්ටු ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදී සිය අපේක්ෂකයාව දැනුවත් කර ඇති බවද කියැවේ. ඒ අනුව ධම්මික පෙරේරාගේ කැමැත්ත සහිතව ඔහු සුබ දිනයක් ලෙසින් අගෝස්තු 7 වැනිදා තෝරාගෙන ඇති බවත්, එදිනට පක්ෂ සමුළුවක් කැඳවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම අපේක්ෂකත්වය ප්‍රකාශ කරනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම නාමයෝජනා බාරදීමෙන් අනතුරුව මහනුවරදී හෝ අනුරාධපුරේදී පොහොට්ටුවේ පළමු රැස්වීම පැවැත්වෙනු ඇතැයි දැන ගැනීමට ලැබේ.

මේ අතර පොහොට්ටුවේ මැදිහත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තවදුරටත් ජනපති - අගමැති අපේක්ෂකත්ව බෙදා ගැනීමේ පදනමක් මත රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සහ ධම්මික පෙරේරා පෙරටු කොටගත් රාජපක්ෂ පාර්ශ්වය එකඟතාවකට පැමිණීමේ සුළු සම්භාවිතාවක්ද පවතින බවකි.

ආණ්ඩුවේ මෙවන් අර්බුද හමුවේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සිය මැතිවරණ යාන්ත්‍රණය දියත් කිරීමට පිඹුරුපත් සකසමින් සිටියි. මැතිවරණ මෙහෙයුම් සම්බන්ධ විවිධ කමිටු පත් කරමින් වගකීම් බෙදා දීමට එම පක්ෂය කටයුතු කරමින් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව බදාදා සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පක්ෂ නියෝජිත කණ්ඩායම සිදු කළහ. සමගි ජන සන්ධානය පිහිටුවීම එළැඹෙන අගෝස්තු 8 වැනිදා සිදු කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“කලින් ආණ්ඩුවේ හිටපු පර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිහක් විතර ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසය, වතුකර දමිළ පක්ෂ ඇතුළු කණ්ඩායම් දොළහක් විතර අපිත් එක්ක එකතු වෙනවා. මේක දැවැන්ත සන්ධානයක්.”

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු නව සන්ධානය පිළිබඳව සඳහන් කළේ එවන් කතාවකි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් සහාය පළ කිරීමත් සමඟ සමගි ජන බලවේගය තුළ ද යම් කැළඹීමක් ඇතිවූ බව දේශපාලන වාර්තා කිහිපයක් හෙළිදරව් කොට තිබුණි. ඒ අනුව සිය සන්ධානයේ හවුල්කරුවන් සහ තවදුරටත් පූර්ණ සහාය පළ නොකරමින් සිටින පිරිස වික්‍රමසිංහ පාර්ශ්වය වෙත ඇදී යාම වළක්වා ගැනීම සඳහා ඔවුන් වැඩපිළිවෙළක් සකසමින් ඇතැයි ද කියැවෙයි.

මේ හා සම්බන්ධව දේශපාලන කරළියේ පැතිරෙමින් ඇත්තේ මෙවන් කතාවකි.

“හදිසි සාකච්ඡාවක් කැඳවලා තියෙනවා සහයෝගය ලබාදෙන පක්ෂ නායකයන්ගේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගෙන් වෙනම සහයෝගය පළ කිරීම් ස්ථීර කරගන්නත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.”

එවන් ප්‍රකාශ අසන්නට ලැබුණ ද තවත් පසෙකින් කියැවෙන්නේ එසේම පොහොට්ටුවේ බිඳී යාමත් සමඟ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමගි ජන බලවේගය සමඟ එක්වන්නට ඉඩ ඇති බවය.

කෙසේ වෙතත් පළමු ජන රැලිය අගෝස්තු 16 කුරුණෑගල දී පැවැත්වීමටත් සමගි ජන බලවේගය සැලසුම් කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරුව ජන රැලි සියයක වැඩසටහනකට සමගි ජන බලවේගය අවතීර්ණ වීමට නියමිතය.
මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම ජනාධිපතිවරණය මත සලකුණු කිරීම ද සිදු වූයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව 31වැනිදා පස්වරුවේ රැස්වූවේ ජනාධිපතිවරණය පිළිබඳ අවසන් තීරණය ගැනීමටය. මේ වන විට පක්ෂයේ බලය අත්පත් කරගෙන සිටින නිමල් සිරිපාල පාර්ශ්වය අවසාන තීරණයට එළැඹියේ එහිදීය.

“අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි.”

ජනපතිට සහාය පළ කිරීමට පෙරම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එලෙස සඳහන් කර තිබුණි.

අනතුරුව ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ද පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත මහලේකම් ධුරයට හිමිකම් කී දයාසිරි ජයසේකර මෙම තීරණය විවේචනය කළේය. සිය X ගිණුම වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“බලහත්කාරයෙන් ශ්‍රීලනිපය රඳවාගෙන සිටින නිමල් සිරිපාල ඇමැතිවරයා, ජනාධිපති වික්‍රමසිංහ මහතාට පක්‍ෂයේ සහයෝගය ප්‍රකාශ කර ඇත. මධ්‍යම කාරක සභාවේදී ඕනෑම තීරණයක් ගත යුතු බැවින් අධිකරණය විසින් පිළිගත් පක්‍ෂයේ මහලේකම්වරයා ලෙස මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමි.”

මේ අතර මෛත්‍රීපාල සිරිසේන කඳවුරේ සහයෝගය ලබන විජයදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඉකුත් සතියේදී ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප ද තැන්පත් කළේය.

ජාතික ජන බලවේගය ද පසුගිය සතියේ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වේගවත් කරමින් සිටියේය. බිම් මට්ටමේ වැඩි වැඩියෙන් රැස්වීම් සංවිධානය කරන්නට ඔවුන් වෙහෙසෙන බව පෙනී ගියේය.
“පොහොට්ටුව අපි මුලින් කරපු කැම්පේන් එකම තමයි දැන් මාලිමාවත් කරන්නේ.”

පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයෝ මැසිවිලි නගමින් සිටියහ.

මේ අතර ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සිය මැතිවරණ යාන්ත්‍රණය දියත් කළ යුතු ආකාරය ගැන පාක්ෂිකයන්ට උපදෙස් ලබා දී තිබුණි.

“අපිට දිනන්න පුළුවන් ඡන්දයක් මේක. ජයග්‍රහණය කළ යුතුම ඡන්දය තමයි 2024 සැප්තැම්බර් මාසේ 21 දින පැවැත්වෙන්නේ. අපි අපේ වැඩ කොටස කරන්නම්. මහන්සි වෙන්නම්, කතා කරන්නම්, සැලසුම් හදන්නම්. හැබැයි ජයග්‍රහණයේ ප්‍රධානම වැඩ කොටස තිබෙන්නේ ඔබලා අතේ. ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතිරෙ ගහලා පිරවීමට අවශ්‍ය සැලසුම හදන්න ඕනෑ. ගමේ මෙහෙයුම් කමිටු තව ලොකු කරන්න. හැම ගෙදරකටම යන්න. හැම ඥාතියාම හමුවෙන්න.”

මේ අතර දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ ජාතික ජන බලවේගය සිය මැතිවරණ යාන්ත්‍රණය සඳහා අවශ්‍ය මුදල් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහායෙන් සම්පාදනය කරමින් සිටින බවකි.

• චමිඳු නිසල් ද සිල්වා