2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

නඩු තීන්දුවෙන් පසු හරීන් කිව්ව කතාව

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 239

 

“ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි ඡන්දෙ ළඟා වෙනවා... සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොක්කන් කැරකෙනවා... රට ද පක්ෂ ද පාට ද අමතක කොට ගන්ධබ්බයකුව අහසට වී බලා සිටීමට හැකි නම් කොතරම් අපූරුද? එවන් විටෙක සියල්ල දෙස ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව බලා විනෝද වීමට අප සැමට අවකාශය සැලසෙනු නිසැකය.

වසර කිහිපයකට ඉහත ලොක්කන්ගේ කියුම් කෙරුම් ද මේ මැතිවරණය අබියස ලොක්කන්ගේ කියුම් කෙරුම් ද සසඳා බැලීම ඔබගේ විනෝදාස්වාදය දෙගුණ තෙගුණ කරනු ඇත. මේ මොහොතේ දේශපාලන කරළියේ දේශපාලක පාත්‍ර වර්ගයා රටට සපයමින් සිටින්නේ ගුවන්විදුලි විනෝද සමය ද පරයන රජ ආතල් එකකි.

ඉකුත් සතිය ඇරඹුණේ පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව ඇතිවූ අලකලංචියත් සමඟයි. මේ පිළිබඳ වූ කතාව පොහොට්ටුවේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා වී තිබුණේ මේ අයුරිනි.
පසුගිය සති අන්තය වන විටත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමට ධම්මික පෙරේරා සූදානමින් පසුවිය. පොහොට්ටුව සඳහන් කරන පරිදි මේ අතර කාලයේ ධම්මික පෙරේරාට විවිධ බලපෑම් එල්ල වී තිබේ.
“ධම්මිකට බලපෑම් ටිකක් එල්ල වෙලා තියෙනවා අපේක්ෂකත්වය බාරගැනීම ගැන”

“ව්‍යාපාර කටයුතුවලටත් බලපෑමක් තිබුණු බව තමා කියන්නේ”

කනින් කොණින් පොහොට්ටුවේ ලොකු ලොක්කන් අතර මෙවන් කතා ද හුවමාරු වෙමින් ඇති බව දැනගැනීමට ලැබේ. එසේම රාජපක්ෂ පවුලට සමීප ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වෙතින් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාට වඩා ව්‍යාපාර කරගෙන පසෙකට වී සිටීම උචිත බවට ධම්මිකට උපදෙස් ලැබී ඇතැයි අප ආරංචි මාර්ග කියා සිටියි.

කෙසේ වෙතත් අවසාන මොහොත දක්වාම ධම්මික පෙරේරා අපේක්ෂකත්වය බාරගැනීමට සූදානමින් සිටි බව ආරංචි මාර්ග තහවුරු කරයි. අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමට නැකැත් බලා සුබ දිනයක් තීරණය කිරීමේ අවස්ථාව ද පොහොට්ටුවේ නායකත්වය ඔහුට ලබා දී තිබුණි. ඒ අනුව ධම්මික පෙරේරා ලබාගත් නැකැත පැවතියේ පසුගිය 7 වැනි බදාදා උදෑසන 8 හෝරාවේදීය.

“උදේ 8යි ගාණට තමයි නැකැත තියෙන්නේ”

“ඒ වගේ වෙලාවට සෙනග ගෙන්න ගන්න එක නම් ටිකක් අමාරුයි. ටිකක් දවල් වෙලා වැඩේ කරන්න පුළුවන් නම් හොඳයි”

“ඒත් මේක තමා හොඳම නැකැත”

කෙසේ හෝ සැලකිය යුතු පිරිසක් උදෑසන ගෙන්වා හොඳම නැකැතට ප්‍රකාශය සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් එම අවස්ථාව ධම්මිකට සලසා දීමට ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කර තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස සියලු කටයුතු සංවිධානය කොට තිබියදී 6 වැනි අඟහරුවාදා පෙරවරු 11.00 ට පමණ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගේ දුරකථනය නාද වූයේ ධම්මික පෙරේරාගේ නමිනි.
ආරංචි මාර්ග පැවසූ පරිදි එම දුරකථන ඇමතුමේ සංක්ෂිප්ත අදහස මෙවැන්නකි.

“අපේ අම්මා මේ දේශපාලන කටයුතු නිසා ටිකක් කලබල වෙලා. පොඩි ස්ට්‍රෝක් එකක් එන්න යනවා වගේ. මූණත් පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා. මම අම්මව අරගෙන කොළඹ පෞද්ගලික රෝහලකට ආවා. දැන් එතැන ඉන්නේ. අම්මා කියනවා මේ දේශපාලන වැඩ කරන්න එපා කියලා. මේ ව්‍යාපාරයක් කරගෙන ඉන්න පුතේ කියලා අම්මා කියනවා. අම්මා කියන එක මට කරන්න වෙනවා සාගර.”

හිටිහැටියේ පොහොට්ටුවේ ලේකම්වරයාගේ හිස මත හෙණ පදිත වූවා මෙන් විය. පෙර දිනයේ ද ඔහු ධම්මික හා මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ කතාබහ කර තිබුණි.
“මොකක්ද ඔබතුමා මේ කියන්නේ. මේ වැඩවලින් අයින් වෙනවා කියලද?”

“ඔව් සාගර මට මේ සම්පූර්ණ වැඩෙන් අයින් වෙන්න වෙනවා”
සියල්ල සැලසුම් කිරීමට නැවතත් ඉතිරි වී තිබුණේ පැය විසි හතරකට අඩු කාලයකි. පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් හනික පක්ෂ කාර්යාලය වෙත ගොස් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු පළමුව පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිටින ස්ථානය සොයා බලා ඇති අතර, රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැඳී සිටින බව ඔහුට දැනගැනීමට ලැබී ඇත.

ඒ අනුව සාගර කාරියවසම්, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ඉතිරි වී සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

“අපි දැන් මොකද කරන්නේ?”

“විකල්පයක් නෑ. මෙච්චර දුර ඇවිල්ලා, දැන් අපි අපේ කෙනෙක්ව දාන්න ඕනෑ”

“ඔව් මේක කවුරු හරි ගහපු ගේම් එකක්. අපි එක එක්කෙනාගේ ගේම්වලට අහුවෙන්න ඕනෑ නෑ. අපි කාව හරි දාමු”

“දැන් නාමල් රාජපක්ෂ තමයි මෙතැනට දාන්න වෙන්නේ. වෙන කවුරුත් නැහැ. නාමල් තමයි ජාතික සංවිධායක”

මේ වන විටත් නාමල් රාජපක්ෂ අනුරාධපුරේ දිස්ත්‍රික් නායකත්වය ලැබීමෙන් අනතුරුව ප්‍රදේශයේ මැතිවරණ සංවිධාන කටයුතුවල නිරත වෙමින් රැස්වීම් පවත්වමින් සිටි බව කියැවේ. ඔහු ද අමතා සම්බන්ධ කොටගෙන තත්ත්වය පැහැදිලි කොට ඇත්තේ සාගර කාරියවසම්ය.

“ඔබතුමා ඔය වැඩේ නවත්තලා ඉක්මනට කොළඹ එන්න. අපි කතා කරගන්න ඕනෑ”

ඒ අනුව තමන්ගේ එදින වැඩ කටයුතු අහෝසි කළ නාමල් කඩිමුඩියේම නැවත කොළඹ පැමිණ තිබේ.

“ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මගේ සූදානමක් නැහැ. මට තව කල් තියෙනවා. ඒත් කාට හරි ඕනෑ අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නවත්වන්න. තාත්තා නිර්මාණය කරපු ජාතිකත්ව දේශපාලන කඳවුර අපෙන් කෙනෙක් ඉදිරිපත් නොවුණොත් මේ පාර බිඳ වැටෙනවා. ඒක වෙන්න දෙන්න බැහැ”

කොළඹ පැමිණෙන විටත් අවසන් තීරණය වෙත නාමල් එළැඹ සිටි බව ආරංචි මාර්ග සඳහන් කරයි. පසුව නාමල් ඇතුළු පිරිස අවසන් සාකච්ඡාව පැවැත්වූයේ නෙළුම් මාවතේ පොහොට්ටු මූලස්ථානයේදීය.
“කමක් නෑ. මම මේක බාරගන්නම්. මේ කඳවුර නිර්මාණය කරපු තාත්තා මහින්ද රාජපක්ෂත් පක්ෂය නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂත් පක්ෂයේ දේශපාලන මණ්ඩලයත් එකඟ නම් මං මේ අභියෝගය බාර ගන්නවා. මම මේකට එන්න එකම හේතුව ජාතිකත්ව දේශපාලන කඳවුර බේරගන්න. එකඟ නැත්නම් මං මේකට ඉදිරිපත් වෙන්නේ නෑ”

පොහොට්ටුවේ දේශපාලන ආරංචි මාර්ග ලබාදුන් තොරතුරු අනුව මෙම කතාව දිගහැරී ඇත්තේ මෙලෙසය. නාමල් කොළඹ පැමිණි පසුව බැසිල් රාජපක්ෂ ඇතුළු සියලු දෙනා මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කොට, බදාදා උදෑසන 7.30ට පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැඳවා අනුමැතිය ද ලබා ගැනීමට තීරණය කර තිබේ. අනතුරුව උදෑසන සැලකිය යුතු පිරිසකගේ සහභාගිත්වයෙන් දේශපාලන මණ්ඩලය රැස්වී ඇති අතර එහිදී නාමල්ගේ නම ස්ථිර වූ බව කියැවෙයි. ඒ අනුව ධම්මිකගේ නැකැත අමතක කොට නිදහසේ වෙනත් සුබ මූර්තියකින්  නාමල් පොහොට්ටුවේ අපේක්ෂකයා බවට ප්‍රකාශයට පත් විය.

පසුගිය සතිය සමගි ජන බලවේගයට ද ඓතිහාසික දේශපාලන සතියක් වූයේය. නොබෙදුණු රටක, නොබෙදුණු අනාගත සුබ සිහින සැබෑ කරන ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සන්ධානය නමින් සමගි ජන සන්ධානය බිහිකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය බ්‍රහස්පතින්දා කටයුතු කළේය.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ දී මාධ්‍ය සමඟ සබඳතා තර කර ගැනීමට කටයුතු කරනු දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා කලකින් මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙත ඉහළ පිළිගැනීමක් ලබා දුන්නේය. ‘රට වටා මාධ්‍යවේදීයෝ සංවිධානය’ විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර තිබූ ගෞරවාර්ථ හරසර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සුවිශේෂී කතාවක් සිදු කළේය.
ඒ අනුව ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනපතිවරයා පැවසීය.

“රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරියට ගෙන යෑමට නම් වගකිව යුතු පක්ෂවලින් සමන්විත නව දේශපාලන ක්‍රමයක් ද ඇති කළ යුතුයි. ඒ නිසයි මෙවර ජනාධිපතිවරණයට මා ස්වාධීනව ඉදිරිපත් වීමට තීරණය කළේ. එදා මා තනිවම ආණ්ඩුවක් ගොඩනැගුවේ මේ රට බේරාගැනීමට හැකි බව මා විශ්වාස කළ නිසයි. තනි ආසනයක් තිබෙන මන්ත්‍රීවරයකු ජනාධිපති වුණේ කොයි රටේද? ඒ නිසා මම ගිනස් වාර්තාවට ඇතුළත් වෙනවා. නව දේශපාලන ක්‍රමයක් නැතිව මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පොහොට්ටුවෙන් එක්වූ කණ්ඩායම් මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට තිබුණි. ඒ අනුව පසුගිය 8 වැනිදා ‘එක්ව ජයගමු’ තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡා අරඹමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරි වාරය සඳහා ද තෝරාගත යුත්තේ ඇයිදැයි පැහැදිලි කර සිටියේය.
ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණු සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩු බාරගත් බව ඒ මහතා සඳහන් කළ අතර ඉන්න හිටින්නට පුළුවන් රටක් ගොඩනගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන්නැයි එජාප පාක්ෂිකයන්ට ආරාධනා කරන බවද එජාප නියෝජ්‍ය නායකවරයා මෙහිදී පැවසීය. විජයවර්ධන මහතාගේ සහ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මෙහෙයවීම යටතේ ඉකුත් සතිය වන විට දිවයින පුරා එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අරඹා තිබුණි.

මේ අතර ජනපති පාර්ශ්වය නියෝජනය කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර වෙත ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව ද සතියේ දේශපාලන කැළඹීමක් නිර්මාණය කළේය. සමගි ජන බලවේගය සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතිවිරෝධී බව හා එම තීරණය බල රහිත කිරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

පෙත්සම් විභාගයට ගත් විනිසුරු මඩුල්ල පැවසුවේ, පෙත්සම්කරුවන් විසින් පෙත්සම් මගින් ඉල්ලා සිටි ඉල්ලීම් ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි. විජිත මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු විය. ඒ අනුව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.

මේ සමඟ ඔවුන්ගේ මන්ත්‍රී ධුර අභියෝගයට ලක්වූ අතර, සමගි ජන බලවේගය ඔවුන් දෙදෙනා වෙනුවට නව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පත් කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය. ජාතික ලැයිස්තුව නියෝජනය කළ හරින් ප්‍රනාන්දු වෙනුවට බොහෝ දුරට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත්විය හැකි බව කියැවිණි. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර වෙනුවට බන්දුලාල් බණ්ඩාරිගොඩ ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙසින් පත්වීමට නියමිත බවද කියැවුණි.
මේ සමඟම පසුගිය සිකුරාදා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ධුරයන්ගෙන් ඉවත් වන බව සංචාරක අමාත්‍යාංශයේ දී නිල වශයෙන් නිවේදනය කළේය.

“මේක තමයි වැඩ පෙන්නලා අයින් වෙන්න හොඳම වෙලාව”

අභියෝග බාරගැනීම තම ජීවිතයේ අලුත් දෙයක් නොවන බවත්, රටට අවශ්‍ය මොහොතේ දී අභියෝග බාරගැනීම තමන් විසින් සිදු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
මට අද කොන්ද කෙළින් තියාගෙන ආඩම්බරයෙන් යන්න පුළුවන්. මම මාව විශ්වාස කළා. මම ඒ අවදානම දැනගෙන තමයි තීරණය ගත්තේ. මම ඒ වෙලාවේ ගියේ රටේ ප්‍රශ්නය මගේ පැත්තෙන් විසඳන්න පුළුවන් දේ කරන්න. මමම තමයි සර් ෆේල් කිව්වේ. මමම තමයි ඒ කතා ඔක්කොම හැදුවේ. අධිකරණයට මම කිසිම දෙයක් කියන්නේ නැහැ. මම ඒ තීන්දුව පිළිගන්නවා.”

මෙම අවස්ථාවට ඔහුගේ අමාත්‍යංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ. සියල්ලන්ට ස්තූති කරමින් ඔහු අමාත්‍යංශ පරිශ්‍රයෙන් නික්ම ගියේය.

පසුගිය සතියේ වඩාත් තීරණාත්මක දේශපාලන සන්ධානය බිහි කරන ලද්දේ සමගි ජන බලවේගය විසිනි. ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 8ක් එකතුවෙන් සමගි ජන සන්ධානය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පසුගිය බ්‍රහස්පතින්දා නිර්මාණය විය.

“විශේෂයෙන්ම සමගියෙන් බිහිවූ සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය විවිධ කුමන්ත්‍රණ හරහා විනාශ කරන්න, බෙදන්න ජනාධිපති ඇතුළු ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. ඒ අය හිතනවා වයින් ස්ටෝර්ස්වලට, බියර් පර්මිට්වලට, වරදසාන වරප්‍රසාදවලට අපේ ආත්ම ගරුත්වය පාවා දෙන්න සූදානම් කියලා. නමුත් අපේ රටේ ජනතාවට මා පොරොන්දු වෙනවා, මේ ජරාජීර්ණ වූ අසික්කිත වූ බංකොලොත්භාවයේ පතුලටම ඇදවට්ටවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, බල තණ්හාව, කෑදරකම කේන්ද්‍ර කරගත් මේ දේශපාලන රටාව අපි සහමුලින්ම වෙනස් කරනවා. අපි ළඟ බියර් බලපත්‍රවලට, තමන්ගේ අම්මා තාත්තා වුණත් පාවාදෙන කිසිම මහජන නියෝජිතයෙක් නෑ.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී මෙලෙස අදහස් දැක්වූ අතර සෙසු පක්ෂ සහ කණ්ඩායම් නායකයෝ ද එසේ අදහස් දැක්වීම සිදු කළහ.

සමගි ජන සන්ධාන සම්මුතියට සන්ධානගත වීම සඳහා අදාළ ගිවිසුමට ජනපති අපේක්ෂක, සමගි ජන සන්ධාන නායක සජිත් ප්‍රේමදාස සහ එම සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පළමුව අත්සන් තැබූහ. ‘සමගි රටක් සැමට ජයක්’ යන තේමාව පෙරටු කරගත් මෙම සම්මුතිය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණ, නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග, රාමසාමී රාජේන්ද්‍රන්, ඊ.එල්.බී. සබීල්, විජය සුරේන්ද්‍රම් රමේෂ්, ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරු සහ දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද අත්සන් තැබූහ.

මේ අතර සන්ධානය ගොඩනැගීම සඳහා සහාය දක්වන බවට පොරොන්දු වූ කිහිප දෙනකු මෙහි නොපැමිණි බව කියැවෙන වීඩියෝපටයක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පැවතුණි. ඒ අනුව යම් පුද්ගලයකු හෝ දෙදෙනකුගේ නම සඳහන් නොකරන ලෙසට යමකු උපදෙස් ලබා දෙන හඬක් සහිත වූ මෙම වීඩියෝ පටය සජබ විරෝධී පිරිස්වල ඉහළ අවධානයක් දිනාගෙන තිබුණි.

මේ අතර ජාතික ජන බලවේගය ගැටලුවකට මැදිව තිබුණේ ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙනි.

“ගෝල්ෆේස් එකෙන් ගෝඨා එලව්වට පස්සේ වහාම ඒ ජනතා නැගිටීමයි අරගලයයි හරවන්න තිබුණේ පාර්ලිමේන්තුවට. අපි හරවන්න ගියා, අපි ඒ වැඩේට බැස්සා, අපි එතැනට ගියා. විසිරිච්ච පැතිරිච්ච පොදුජන අරගලයේ තැන් තැන්වල හිටපු ගෝල්ෆේස් නායකයෝ කියන අය ඒ වැඩේ බ්ලොක් කළා.”
මෙම ප්‍රකාශයත් සමඟ ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතු යැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රකාශ කළහ. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රබලව නැගී සිටි චරිතයක් විය.
“ලාල් කාන්ත මහතා යෝජනා කරපු ආකාරයට අද බංග්ලාදේශයේ මහ පාරේ නඩුව අහනවා. අහලා මිනිසුන් මරා දමනවා. අද බංග්ලාදේශය අරාජික වී ලේ ගංගාවක් බවට පත්වෙලා. රටම මිනී කඳු ගොඩ ගැහිලා. එවැනි තත්ත්වයක් ඇති කිරීමට සිටියා කියලා ලාල් කාන්ත ප්‍රකාශ කරනවා. අනුර එක්ක ඩීල් එකක් නැත්නම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධයක් කිරීමට තැත් කිරීමත් වරදක්.”

ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතු බව ගම්මප්පිල සඳහන් කොට තිබුණි. පසුව ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක ද කටයුතු කළේය. තැන තැන ප්‍රකාශ නොකොට අවශ්‍ය නම් නීති ක්‍රියාත්මක කරන ආයතන වෙත ඔවුනට යා හැකි බව ඔහු සඳහන් කළේය. ඔහු ලාල් කාන්තගේ ප්‍රකාශය වැරදි බව නොකීය.

මේ අතර නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්වීමත් සමඟ රාජපක්ෂ පවුලේ ද අභ්‍යන්තර අර්බුදයක් ඇති වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය. චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සේම නාමල් රාජපක්ෂගේ සහෝදරයන් ද ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගන්නා මොහොත නියෝජනය කර නොමැති බව කියැවුණි.

මේ සම්බන්ධව නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇති බවත්, මේ වනවිට පවුල සමගි කිරීම සඳහා යම් වැඩපිළිවෙළකට මහින්ද රාජපක්ෂ මහතා අවතීර්ණ වෙමින් ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව රාජපක්ෂ පවුල තීරණාත්මක සාකච්ඡාවකට ඉදිරියේ දී එළැඹීමට නියමිතය.

පසුගිය සතියේ පොහොට්ටුවේ ප්‍රබල සාමාජිකාවක වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහාය පළ කිරීම ද දේශපාලන කරළියේ ආන්දෝලනයක් ඇති කළේය. පොහොට්ටුවේ ආරංචි මාර්ග අනුව මෙම සිදුවීම පිටුපස කතාවක් වූයේය. පවිත්‍රා වන්නිආරච්චි ජනපතිට සහාය ලබාදීමට තීරණය කළ අතර පසුව ඇය රත්නපුර පොහොට්ටු බල මණ්ඩලය කැඳවා ඇතැයි පොහොට්ටුවේ ආරංචි මාර්ග ක්‍රියා සිටියි.
“අපි සහයෝගය ලබාදෙන්න ඕනෑ කාටද කියලා රහස් ඡන්දයක් තියලා බලමු”

යනුවෙන් පවසමින් බල මණ්ඩලයේ පෙට්ටියක් තබා රහස් ඡන්ද විමසීමක් හිටපු අමාත්‍යවරිය විසින් සිදු කර ඇතැයි පොහොට්ටුව කියා සිටියි. කෙසේ වෙතත් අනතුරුව මෙම ඡන්ද එම ස්ථානයේ ගණන් නොකර අදාළ ඡන්ද පෙට්ටිය ඇය ගෙදර රැගෙන ගිය බවට චෝදනා නැගෙමින් පවතී.

ඒ අනුව තවදුරටත් පොහොට්ටුවේ රැඳී සිටින පිරිස් පවසන්නේ මෙම ඡන්ද කිසිවිටෙකත් ගණන් නොකෙරුණු අතර, පවිත්‍රා වන්නිආරච්චි එහි ප්‍රතිඵලය හෙළිදරව් නොකරම පැත්ත මාරු කළ බවකි.

මේ අතර ජනාධිපතිවරණයේ දී උතුරේ දේශපාලනය කුමක් වේද යන්න පිළිබඳව ද තරමක කසුකුසුවක් දකුණේ මතුවෙමින් තිබේ. එළැඹෙන ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් නම් කිරීමට උතුරේ දේශපාලනඥයන් පිරිසක් කටයුතු කිරීම ඊට හේතුවයි. කෙසේ වෙතත් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල මට්ටමින් අදහස් දැක්වීමක් සිදු කොට නොමැත.

පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට එළඹුණු අතර පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු වු පී.අරියනේන්ද්‍රන් මහතා තෝරා ගෙන තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ මෙම කණ්ඩායම නියෝජනය කරති. මේ අතරේම මැතිවරණය වර්ජනය කළ යුතු බවට ද උතුරේ ඇතැම් දේශපාලනඥයන් අදහස් දක්වා ඇතැයි දැනගැනීමට ලැබේ. මේ අතර ජනපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් ද උතුරේ මනාප පිළිබඳ විශාල අපේක්ෂාවකින් පසුවන බව කියැවේ.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00