2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

රනිල් - සජිත් සීතල යුද්ධයක

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 1326

ගෙවී ගියේ ශාන්තිමත් සතියකි. ජනපති අපේක්ෂකයන් වන්දනා ගමන් සඳහා වැඩි කාලයක් වෙන්කොට තිබුණි. මල් වට්ටි, පඬුරු, පිරිත් නූල් කතා නිමිති වූ අතර පන්සල්, පල්ලි, දේවාල අපේක්ෂක නවාතැන් විය. ශාන්තිය පැතූ නමුත් ශාන්තිය පතා කෙරෙන වසරේ විශාලතම දේශපාලන සංග්‍රාමයේ දී අපේක්ෂකයන් සිල් බිඳගන්නා බව පෙනී ගියේය. ඉකුත් සතියේ මැතිවරණ වේදිකාවෙන් ඇසුණු කතා ඊට කදිම නිදසුන් විය.

ආගමට දහමට අමතරව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගෙවී ගිය සති කිහිපයේ දී මාධ්‍ය වෙත ද වැඩි අවධානයක් යොමු කරන බව පෙනී ගියේය. වැඩ ඇල්ලීමට පෙරාතුවම ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ප්‍රධානීන් සමඟ හමුවක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පවත්වා තිබුණි. අනතුරුව නාමල් රාජපක්ෂ ද කොළඹ හිල්ටන් හෝටලයේ දී මාධ්‍යවේදීන් හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කළේය.

මේ අතර පසුගිය සතියේ සමගි ජන බලවේගය ද මාධ්‍ය ප්‍රධානීන් සමඟ හමුවක් සංවිධානය කළේය. මෙය උදෑසන ආහාරවේලක් සමඟ පැවති සුහද හමුවකි. පැමිණි පිරිස වෙනුවෙන් වෙන් වෙන්ව මේස සූදානම් කර තිබූ අතර එක් මේසයක මාධ්‍ය ප්‍රධානීන් හත්දෙනකු පමණ අසුන් ගන්නා විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද ඔවුන් සමඟ අසුන් ගත්හ.

දේශපාලනයේ ආ ගිය තොරතුරු මෙන්ම, වර්තමානයේ සිදුවෙමින් පවතින දෑ පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබේ. ජනපතිවරණ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැමිණ මේසයෙන් මේසයට යමින් මාධ්‍යවේදීන් සමඟ කතා කළේය. මාධ්‍ය ප්‍රධානීන් සහ විපක්ෂ නායකවරයා අතර මෙහිදී සුහද සංවාද ඇතිව තිබේ.

මේ අතර මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු මන්ත්‍රීවරුන් එක්වූ අවස්ථාවේ දී, තලතා ගියේ ඇයි? යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා ඇතිව තිබේ.

“ඒ කතාව හොඳයි”

“ඒක වෙන කවුරු හරි හදලා දීපු එකක්”

නම් ගම් විත්ති සමඟ සිදුවූ දේශපාලන විපර්යාස පිළිබඳව පිරිස කතාබහ කර ඇතැයි දැනගන්නට ලැබෙයි.

ඉම්තියාස් බාකීර් මාකර්, රවුෆ් හකීම්, ෆයිසාල් කාසිම්, චරිත හේරත් ඇතුළු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් මෙහි පැමිණ සිටියහ. පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

තලතා අතුකෝරළගේ දේශපාලන තීන්දුව ඉකුත් සතියේ තීරණාත්මක සිදුවීමක් විය. රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණි තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තමා ඉල්ලා අස්වන බව කියා සිටියේය.

මෙහිදී ඇය කියා සිටියේ තමා දේශපාලනය නතර නොකරන බවත්, රත්නපුර දිස්ත්‍රික්කයේ සිය ඡන්දදායකයන්ට අසාධාරණයක් සිදු නොකොට ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්ය.

“පක්ෂය දෙකඩ නොවී ඒ ගැටලුව විසඳා ගන්න නොහැකි වූයේ ඇයිද යන්න අපට නිරන්තරයෙන් සිහි වෙනවා. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් ලෙස මා ජයග්‍රහණය කළත්, අනාගතය දෙස නොබලා ගත් තීරණය හරිද කියා මා නිරන්තරයෙන් සිතනවා. ඒ සම්බන්ධයෙන් මා නිරන්තරයෙන් දුක් වුණා. රනිල් සහ සජිත් දෙදෙනා ගැනම මට හොඳ අවබෝධයක් තිබෙනවා.

මේ ජනපතිවරණයේ දී අප ජය ගන්නට නම් එකතු වී මිස වෙන් වී තරග කිරීම ප්‍රායෝගික නොවේ. අප අද අලුත් තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා අපට එකතු වෙන්නැයි දිගින් දිගටම ආරාධනා කරද්දී සජිත් ප්‍රේමදාසට එය විරුද්ධ වූයේ ඇයිදැයි මා දන්නේ නැහැ. දේශපාලනය කරද්දී ඉවසීම කොතෙක් දැයි අපේම නායකයන් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා තිබෙනවා.”

මෙම තීරණය වෙනුවෙන් බොහෝ කලක් තලතා අතුකෝරළ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් සිටි බව ආරංචි මාර්ග තහවුරු කරයි. මීට කලකට ඉහත දී මේ පිළිබඳව අනාවැකිය අපි ද සඳහන් කළෙමු.

මේ අතර පසුගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ.එල්.එම්.එන්. මුබීන් සහ ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා එක් වූහ. මේ අනුව උතුරේ ඡන්ද සහ මුස්ලිම් ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා මේ වන විටත් සජිත් ප්‍රේමදාස සහ වික්‍රමසිංහ අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව ආරංචි මාර්ග කියා සිටියි.
උතුරේ දේශපාලන පක්ෂ සහ නායකයන් සමඟ මෙම පාර්ශ්ව දිවිත්වයම විවිධාකාර සාකච්ඡා පවත්වමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

“දකුණේ ඡන්දවලට හානියක් කර ගන්නෙ නැතුව උතුරේ ඡන්ද ලබාගන්න ඕනෑ. මේක ලොකු ගේම් එකක්.”

දේශපාලන කරළියේ කනින් කොණින් මෙවන් කතා ද අසන්නට ලැබුණි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ රැස්වූහ. උතුරේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ වන විට ඔවුන් අතර තදබල මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි කියැවේ.

දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව වවුනියාවට රැස්වූ අවස්ථාවේදී එය දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු මන්ත්‍රීවරයකු හා තවත් සාමාජිකයකු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී එය නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වී ඇතැයි ද වාර්තා වී තිබුණි. ඒ අනුව තවදුරටත් උතුරේ සහයෝගය ලැබෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පැහැදිලි නැත.

පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද රට පුරා ආගමික සිද්ධස්ථාන කිහිපයක සංචාරය කළේය. ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන් හමුවූ අනුර කුමාර දිසානායක, පසුගිය සතියක කාලය තුළ දළදා මාලිගය, අනුරාධපුරේ අටමස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන රැසක ගියේය. මේ අතර ඉස්ලාමීය ආගමික කණ්ඩායම්වල නියෝජිතයන් ද ඔහු හමුවී සාකච්ඡා කරන අයුරු දැකගත හැකි විය.

මේ අතර පසුගිය සතියේ දී දේශපාලන වේදිකාවේ පළමුවරට අනුර කුමාර දිසානායක සිය ඡන්ද පදනම ගණන් බැලීම තරමක සුවිශේෂී සිදුවීමක් විය. ඔහු පැවසුවේ ඉකුත් වර ජනතාව සජිත් ප්‍රේමදාසට ඡන්දය භාවිත කළේ, ගෝඨාභය රාජපක්ෂ ජාතිවාදය වපුරාවි යන බිය සහ ඒකාධිපතිත්වයට විරුද්ධව වෙනත් අයකු පත්කර ගැනීමේ අවශ්‍යතාවය මත බවයි.

“ඔහුට ලබාදුන් ඡන්ද ලක්ෂ පනස් පහෙන් ලක්ෂ තිහකට වැඩියෙන් තිබෙන්නේ ගෝඨාට එරෙහි ඡන්ද මිස සජිත්ට පක්ෂ ඡන්ද නෙවෙයි. එහෙම ගත්තාම පක්ෂවලට ලියැවී නැති ලක්ෂ අසූවක පමණ ඡන්ද ප්‍රමාණයක් වාගේම අලුත් ඡන්ද ලක්ෂ ‍දොළහකට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. සාම්ප්‍රදායික පක්ෂවලින් ක්‍රමානුකූලව ගැලවුණු ඡන්ද විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. මෙවර තිබෙන ලක්ෂ එකසිය හැත්තෑවක ඡන්දවලින් පක්ෂවලට ලියැවී තිබෙන්නේ ලක්ෂ තිහ, හතළිහ අතර ඡන්ද ප්‍රමාණයක්. ලක්ෂ එකසිය තිහක් පමණ පක්ෂවලට නොලියවුණු ඡන්දවලින් සාතිශය බහුතරය ආකර්ශනය කරගෙන තිබෙන්නේ ජාතික ජන බලවේගයයි. ඊට අමතරව සාම්ප්‍රදායිකව පක්ෂවලට සිටි අයත් ගැලවෙන්න පටන්ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මක ලෙස බැලුවත් ජාතික ජන බලවේගයට ඡන්ද ලක්ෂ හැත්තෑවකට වැඩියෙන් තිබෙනවා. ඊට අමතරව දේශපාලනික වශයෙන් බැලුවත්, ඊටත් වඩා ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා.”

පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද අනුරාධපුරයෙන්ම ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩ ඇල්ලීය. ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂගේ පළමු ජන රැලිය අනුරාධපුර කඩපනහ ඉදිරිපිට පැවැත්වුණි. තමන් අභියෝගවලට බිය නොවන බවත් අභියෝගවලට ආදරය කරන බවත් හෙතෙම කීවේය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මහා දැවැන්ත බලවේගයක් මෙන්ම නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් කියන එක මම කියනවා. 69 ලක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන්න අපි ඇප කැපවීමෙන් කටයුතු කරනවා කියලා කියනවා. මේ රටටත්, නමටත් හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ රටේ අම්මා තාත්තා අපේක්ෂා කරන දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම බාරගන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජරට ජනතාව ගැන විශාල ගෞරවයක් තිබෙනවා. ජයග්‍රහණ සියල්ල ආරම්භ වුණේ රජරටින්.”

පොහොට්ටුවේ අනුරාධපුර රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර සිය දේශපාලනය සිදු කරන්නන් හට යළිත් සිය පක්ෂයට එකතු වීමට සිදුවන බව එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ ඇතැම් පුද්ගලයන් පටු දේශපාලන වාසි තකා සිය පක්ෂයට සහාය නොදක්වා වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ පොහොට්ටුවෙන් ඉවත් වී ජනාධිපතිවරයා සමඟ එක්වූ මැති ඇමැතිවරුන් සිය දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීමට මේ දිනවල නිතර සාකච්ඡා කරමින් සිටින බවකි. පසුගිය සතියේ ද එවන් සාකච්ඡාවක් පැවති බව ආරංචි මාර්ග සඳහන් කරයි

“සාකච්ඡා තිබිලා තියෙනවා. නමුත් ඒවායේ සාකච්ඡා වෙච්ච දේවල් පිටතට කියන්නේ නැහැ කියලා හැමෝම එකඟ වෙලා ඉන්නේ”

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී ගිය පිරිස, ආරම්භයේදීම පොහොට්ටුවෙන් වෙන්වූ ලංසා කඳවුර සමඟ සමීපව වැඩ කරමින් සිටින බව කියැවේ. එහෙත් ඔවුනට ද ස්ථිරසාර දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පැතිරෙන ආරංචි අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හෝ පොහොට්ටුවේ වෙනත් ජ්‍යෙෂ්ඨයකුගේ නායකත්වයෙන් නව සන්ධානයක් බිහිවීමට නියමිතය. මේ දිනවල අදාළ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. 20 වැනිදා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ද සාකච්ඡාවක් පවත්වා තිබේ.

“බොහෝ දුරට සන්ධානයේ නායකත්වය අගමැති දිනේෂ් ගුණවර්ධනට ලැබෙයි”

“පොහොට්ටුවත් එක්ක ඉඳලා රනිල් එක්ක එකතු වුණු පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්වත් මේකට ගන්න සැලසුම් කරනවා”

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම නව සන්ධානයේ තනතුරු බෙදී යන ආකාරය පිළිබඳව ද මේ වන විටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට ද හිතවත්කම් පාන අලුතින් එක්වූ පිරිස් ද සිටින බව කියැවේ. විශේෂයෙන්ම සමගි ජන බලවේගය පාර්ශ්වයේ සිට පැමිණෙන පිරිස් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට වැඩි ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සතිය වන විට බාර් පර්මිට්, වයින් ස්ටෝර්ස් පර්මිට්, කෝටි ගණන් මුදල් සහ වරප්‍රසාද වෙනුවෙන් මහජන නියෝජිතයන් පක්ෂ මාරු කරමින් සිටින බවට වන කතාව ද ඉකුත් සතියේ කරළියේ ප්‍රධාන සංවාදයක් විය. ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කටුනායක දේශපාලන රැලියක් අමතමින් මේ බව කියා සිටියේය.

“මම ඇතුළු අපේ කණ්ඩායම මුදලට, තනතුරුවලට ආත්මගරුත්වය පාවා දීලා වෙන්දේසි වෙන්නෙ නෑ. ඒ වගේම අපි රට විකුණන්නේ හෝ වෙන්දේසි කරන්නේ හෝ ජනතාව පාවා දෙන්නෙත් නෑ. ඒ නිසා මාව විශ්වාස කරන්න”
තමා මුදලට, තනතුරුවලට ආත්මගරුත්වය පාවා දී වෙන්දේසි නොවන බවත්, තමා රට විකුණන්නේ හෝ වෙන්දේසි කරන්නේ හෝ ජනතාව පාවා දෙන්නේ නැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් තවත් පක්ෂ මාරුවීම් කිහිපයක් සිදුවීමට නියමිත බවට දේශපාලන කසුකුසුවක් නිර්මාණය වී තිබුණි.

“සජබෙ තව මන්ත්‍රීවරයෙක් හරි දෙන්නෙක් හරි රනිල් අරගන්න සැලසුම් කරලා තියෙන්නෙ”

කෙසේ වෙතත් අවස්ථාවක දී එකට එක කිරීමක් ලෙස පොහොට්ටුවට සහ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමගි ජන බලවේගය වෙත එක්කර ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වයේ කිහිප දෙනකු සමගි ජන බලවේගය සමඟ එක්වීමේ උත්සාහයක් පවතින ගිය බවට ද දේශපාලන කරළියේ කතා පැතිර ගොස් තිබුණි.

පසුගිය සතියේ මාධ්‍ය තුළ ඉහළ අවධානයක් දිනාගත් සිදුවීමක් වූයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක දේශපාලන සංවාදයක් අතරේ නිර්මාණය වූ ගැටුමයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරන් සහ වේලුකුමාර් යන අය අතර මෙම ගැටුම හටගත් අතර අවසානයේ දී එය ගුටිබැට හුවමාරුවක් දක්වා දිග්ගැසුණි. රූපවාහිනී සංවාදය අතරතුර දී වේලුකුමාර් මන්ත්‍රීවරයා පළ කළ යම් අදහසක් නිසා ප්‍රකෝපකාරී වූ දිගම්බරන් මන්ත්‍රීවරයා එක්වරම නැගී සිට වේලුකුමාර් මන්ත්‍රීවරයාගේ ගෙල වටා අත යවා ඔහු සමඟ පොරබදන්නට පටන් ගන්නා අයුරු වීඩියෝ පටයේ දර්ශනය වේ.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකයෝ වෙති. කෙසේ වෙතත් වේලුකුමාර් මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීම සඳහා ඉකුත්දා තීන්දු කොට තිබුණි. එහෙත් වතුකර දේශපාලන නායකයකු ලෙස නැගී සිටින පලනි දිගම්බරන් සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මේ වන විටත් සහයෝගය පළ කර ඇත. මෙම දෙදෙනා අතර ගැටුමට හේතු වී ඇත්තේ ජනාධිපතිවරණයේ දී ඔවුන් ලබාගත් තීන්දු බව ඒ අනුව පැහැදිලිය.

කෙසේ වෙතත් වතුකරයේ ඡන්ද පදනම පිළිබඳව ද මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ වැඩි අවධානයක් යොමුවෙමින් පවතින බව කියැවේ. ඒ අනුව මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ලබා ගැනීමට සමත්ව සිටින අතර, සිය සහයෝගය ජනාධිපතිවරයාට ලබාදෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පසුගිය සතියේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේය.

”අපි ඒකමතිකව ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න තීරණය කළා. ඉදිරියේ දී ජනාධිපතිවරයා සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.”

මේ අනුව පසුගිය වතාවේ පලනි දිගම්බරන්ගේ සහයෝගයෙන් සජිත් ප්‍රේමදාස මහතාට වතුකරයේ විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර, මේ වන විට ඔවුන් සිය ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙමින් සිටින බව පෙනී යයි.
පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගය ද ඉකුත් සතියේ දේශපාලන කැළඹීමකට හේතු විය. මෙම තීන්දුව සමඟම ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් අවධානය යොමු කළහ.

මේ අතර සුගීෂ්වර බණ්ඩාර විසින් නිර්මාණය කරන ලද නව ජනතා පෙරමුණේ මහා සම්මේලනයට ජනාධිපතිවරයාට ආරාධනා ලැබී තිබුණි. මෙම තීන්දුව නිසා කරළිය උණුසුම්ව පැවති අවස්ථාවේ ජනපති මෙහිදී සුවිශේෂී ප්‍රකාශයක් සිදු කළේය. පළාත් පාලන ඡන්දය කල් යෑමට හේතු ඔහු අනාවරණය කළේය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පෙන්වා දුන්නද, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කනගාටු නොවන බවත් මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.තවද ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියට ද තමා ගරු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමේ වැඩපිළිවෙළේ දී සෑම පැයකටම වටිනාකමක් හිමිවූ බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් එම කාලය වැය කළා නම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බව ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණි.


• චමිඳු නිසල් ද සිල්වා