2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ජීවන්ගේ කරණමට සජබ පිරිසක් අවුල්?

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 7759

වෙස් බැඳුම් අහවර වී තිබේ. දැන් එළැඹී ඇත්තේ එළිවන ජාමයයි. අඩව් කස්තිරම් හරිහැටි අල්ලා නටන නැටුමක් දැන් නැටිය යුතුය. කොමිසම තව දින තුන හතරක් ඇතුළත හමාර පදය වයනු ඇත. ඉන්පසු නැටුම් ද අහවර වනු ඇත. හොඳම නැට්ටුවා නිහඬවම තෝරා බේරා ගන්නට වන්නේ ඔබ අපටය. තෝරාගත් නැට්ටුවා දිනුවහොත් දඟ දැමීම සපුරා තහනම් වන අතර විසිල් එකක් අත්පුඩියක් ගසා සතුටු වනු යහපති.

මේ වන විට මැතිවරණය සඳහා දින දෑඟිලිවලින් ගණන් බැලිය හැකිව තිබේ. එම නිසාම ගෙවී ගිය සතියේ තීරණාත්මක දේශපාලන ගනුදෙනු රැසක් තිරය පිටුපස මෙන්ම තිරය ඉදිරිපිට ද සිදුවනු දැකගත හැකි විය. මෙවර ජනපතිවරණයෙන් දකුණ පමණක් නොව උතුර ද ගිනියම් වන බව පෙනී ගියේ ඉලංගෙයි තමිල් අරුසු කච්චි අභ්‍යන්තර කචල් පිළිබඳ අසන්නට ලැබුණු පුවත් හේතුවෙනි.

“විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත සහාය පළ කරනවා”

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පැමිණ ගිය විගසින්ම එලෙස නිවේදනය කළේ දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ය.

ඉලංගෙයි තමිල් අරුසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කරනු ඇතැයි කියවෙමින් තිබූ පසුබිමක මෙම ප්‍රකාශය තරමක් ආන්දෝලනාත්මක එකක් විය. ඉකුත් සැප්තැම්බර් 07 දා ජනපති රනිල් වික්‍රමසිංහ සහ මාවෙයි සේනාධිරාජා මහතා යාපනය ඔහුගේ නිවසේ දී හමුවී සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි දැන ගැනීමට ලැබුණේ ඉකුත් සතියේදීය.

කෙසේ වෙතත් මෙම ගැටලුව තවත් උභතොකෝටිකයක් ඔබට පත් වූයේ ඉලංගෙයි තමිල් අරුසු කච්චි කිළිනොච්චි ශාඛාවේ නියෝජිතයන් ඉකුත් සඳුදා විශේෂ රැස්වීමක් කැඳවා දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේත්‍රන් මහතාට සහාය දැක්වීමට ඒකමතිකව තීරණය කිරීමත් සමඟයි.

මේ අතර යාපනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලිය ද හදිසියේම අවලංගු කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබූ අතර පසුව එය සංගීත ප්‍රසංගයක් බවට පරිවර්තනය විය. මේ සඳහා සහභාගී වීමට ගිය ජලනි ප්‍රේමදාස සහ ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් නැවත හැරී ආ බවට ද ඒ අනුව ඉකුත් සතියේ පුවත් පළ විය.

උතුරෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව බලය බෙදීම පිළිබඳ ගැටලුවක් ඉලංගෙයි තමිල් අරුසු කච්චි අර්බුදයට හේතු වී ඇති බව කියැවේ.

“ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බලය බෙදීම සහ පළාත් සභා පිළිබඳව නැවත දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි”

මෙම පක්ෂයේ පිරිසක් මතු කොට ඇති එම අදහස අනුව තාවකාලිකව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි ඉවත්ව ඇතැයි කියැවෙයි. කෙසේ වෙතත් පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සිය තීරණය සැප්තැම්බර් 15 වැනි දින නිකුත් කරන බව ඉකුත් දා සඳහන් කොට තිබුණි.

පසුගිය සතියේ ජාතික ජනබලවේගය පිළිබඳව පැතිර ගිය ආරංචියකට අනුව කියැවුණේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අසනීප වී ඇති බවකි.

මාතර දෙයියන්දර රැස්වීමට අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවීමත් සමඟ මෙම පුවත කරළියට පැමිණියේය.

“අපේ අනුර සහෝදරයා පොඩ්ඩක් ලෙඩ වෙලා. මේ දවස්වල මහන්සි වුණා. ලෙඩ වෙලා උණ හැදිලා. දොස්තර මහත්තුරු බලලා කියලා තිබුණා, යන්න හොඳ නෑ, එක දවසක් අනිවාර්යෙන්ම විවේකයෙන් ඉන්න කියලා”

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාතර වේදිකාවේ දී මෙම පුවත සැල කර සිටියේය.

මේ සමඟම සමාජ මාධ්‍ය පුරා නොයෙකුත් කටකතා පැතිර යන්නට විය. අනුර කුමාර දිසානායක හට විශාදය බවට ප්‍රචාරයක් ද පැතිර ගියේය. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කළ පරිදි අනුර කුමාර දිසානායක සැබෑවටම ගොදුරු වී තිබුණේ වෛරස් උණ රෝගයකටය. ඔහුට මෙන්ම ඔහු සමඟ පක්ෂ කාර්යාලයේ රැඳී සිටි හිතවතුන් කිහිප දෙනකුට ද මෙම උණ රෝගය වැළඳී ඇතැයි වාර්තා වුණි.

“ඔබ ටිකක් විවේක ගත යුතුයි”

එවන් උපදෙසක් අනුර කුමාර දිසානායක වෙත වෛද්‍යවරුන්ගෙන් ලැබී ඇතත් ඔහු විවේක ලබාගෙන ඇත්තේ දිනක් පමණක් බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියේය. මේ අතර ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව ද දැඩි කොට ඇතැයි මාධ්‍ය වාර්තා පළ වේ. ඔහුගේ ආහාරපාන, ජලය සියල්ලම ආරක්ෂිතව සැපයීමට ඔවුන් විසින් පියවර ගෙන ඇතැයි ඒ අනුව අසන්නට ලැබෙයි.

මේ අතර පසුගිය සතියේ යාපනයේ ජන රැලියක් පැවැත්වීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබුණි.

“අනුර දිසානායක ඔබ බය කරන්න හදනවා. උතුරේ මෙන්ම දකුණේ මිනිස්සු බය කරන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණේ ‘ස්ටයිල්’ එක එයයි. ඒ කාලේ චිට් කෑල්ලක් ලබා දී ජනතාව බය කළා. නැවත ඒ යුගයට යන්න උත්සාහ කරනවා. වහාම උතුරේ ජනතාවගෙන්, යාපනයේ ජනතාවගෙන් සමාව ඉල්ලන ලෙස මගේ මිත්‍ර අනුර දිසානායකට මම කියනවා.”

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ කතා කොට වැඩක් නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබුණි. විපක්ෂ නායකවරයා සිය රාජකාරිය හරියාකාරව ඉටු කළේ නම් අනුර කුමාර දිසානායකලා බලවත් නොවන බව ඔහු එහිදී පැවසීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේශ්වරන් ඇතුළු පිරිසක් මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ.

මේ අතර පසුගිය සතියේ වෛරල් වීඩියෝවක් බවට පත් වී තිබුණේ තරුණයකු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න විමසන වීඩියෝවකි. කොළඹ ගාලු මුව‍දොර හෝටලයේ පැවති #AskRanil තරුණ හමුවේ දී මෙම අපූරු ප්‍රශ්න ඇසීම සිදුව තිබුණි. Gen Z පරපුර සමාජයට ඇතුළු කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවත්, එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ – තරුණියන්ට අවස්ථාව උදාවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පොහොට්ටුවේ ජන රැලි ද රට පුරා සංවිධානය විය. ඒ අනුව පසුගිය සතියේ පැවති කඩවත ජන රැලියේ දී තමන් ලබා දුන්  ප්‍රතිපත්ති ඉතා ප්‍රායෝගික ඒවා බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කොට තිබුණි.

“අපි අනෙක් අයට නොදෙවැනි දේශපාලන පොරොන්දු දී නෑ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ පුළුවන් කියලා කියනවා. මගේ දැක්ම ප්‍රායෝගිකයි. මව්පියන්ට ගරු කරන සමාජයක්, වැඩිහිටියන්ට සලකන සමාජයක් බිහි කරන්න පුළුවන්, සංස්කෘතිය කේන්ද්‍ර කරගත් දේශපාලන නායකත්වයක් දෙන්න අපි සූදානම්”

මේ අතර පසුගිය සතියේ මෙම ජන රැලි අතරේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ තොරතුරු හෙළි කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසිනි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සහ ආරක්ෂාව අහිමි කිරීම හරහා මෙම කුමන්ත්‍රණය දියත් වන බව තිස්ස කුට්ටිආරච්චි පවසා සිටියේය. එසේම අරගලය මොහොතේ ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුකෝරළ ඝාතනයේ වගකීම ද ඔහු ජාතික ජනබලවේගය වෙත පසුගියදා පවරා තිබුණි.

ජනාධිපතිවරණය අභිමුව අවසන් සතිය එළැඹෙන විට පක්ෂ මාරු පිළිබඳ කතා අවසන් වී නොතිබිණි. කඳුකරයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ තොණ්ඩමන් පවුලේ වර්තමාන නියෝජනය රනිල් වික්‍රමසිංහ හැරදා සජිත් ප්‍රේමදාසට එක්වීමට සූදානම් වන බවට වූ ආරංචිය තරමක සුවිශේෂී එකක් විය.

“ජීවන් සජබයට යන්න කොළ එළියක් දල්වල තියෙන්නේ. තාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබිලා නැහැ”

දේශපාලන කරළියේ තිරය පිටුපස කතාබහ අතර අසන්නට ලැබුණේ මෙවන් පුවතකි. ඉන්දීය බලපෑම සහ මගපෙන්වීම් යටතේ මෙම පක්ෂ මාරුව සඳහා ඔහු සූදානම් වන බවද ඇතැමෙක් කීහ.
“ජීවන් තොණ්ඩමන් ඉන්නේ අපිත් එක්ක”

මේ වන විටත් ජනපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කර ඇති නිසාවෙන් ඔහු පක්ෂය හැර නොයනු ඇතැයි ඇතැමෙක් කියා සිටියහ.

මේ අතර සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ මෙම එක් කර ගැනීමට විරෝධය දක්වන කඳුකරයේ ප්‍රබල දේශපාලන චරිත සිටින බවද ආරංචි මාර්ග ඔස්සේ දැනගැනීමට ලැබුණි. ඒ අනුව තවදුරටත් ජීවන් තොණ්ඩමන්ගේ පැමිණීම බාරගැනීම පිළිබඳ ගැටලුවකට මැදිව ඇතැයි කියැවිණි.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00