2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

එජාප – සජබ සන්ධානෙකට සජිත්ගේ කොන්දේසි

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 280

කොක්කු පියඹා ගියෝය. තිත්තයන්ට ද වාරයක් එළඹුණි. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආශ්චර්යමත් දේශපාලන සතියේ අවසානය සටහන් විය. සියල්ල සිදුවූයේ අප දෑස මානයේය. ඉතිහාසයේ පළමු වරට සාම්ප්‍රදායික දේශපාලන කඳවුරුවල සහාය නොලැබූ දේශපාලන බලවේගයක් මෙරට පාලන බලය අත්පත් කර ගැනීමට සමත් විය.

ජාතික ජන බලවේගයේ නැගී සිටීම හමුවේ සීසීකඩ විසිර ගිය ප්‍රධාන දේශපාලන කඳවුරු වෙතින් ඉකුත් සතිය පුරා රස කතා ගලා එන්නට විය. ජනපතිවරණ පරාජයෙන් පසු නික්ම ගිය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සිය පෞද්ගලික නිවෙසේ කල් ගත කරමින් සිටියේය. ඔහුගේ සමීපතමයෝ ඔහු පිළිබඳ සොයා බැලීමට පැමිණියහ.

“දැන් අපි කරන්නේ මොකක්ද?”

මෙම ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා මතුවන අතරේ එක්සත් ජාතික පක්ෂය දැන් කළ යුත්ත පිළිබඳ සිය නායකයා සමඟ සාකච්ඡා කරන්නට විය.

“පක්ෂයක් විදියට සමගි ජන බලවේගයත් එක්ක එක්වෙලා වැඩ කරන්න දැන් ආරාධනා කරමු”

මෙම යෝජනාවට සැලකිය යුතු විරෝධයක් නොවුණෙන් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය සමඟ සාකච්ඡා කරන බවට පසුගිය සතියේ ප්‍රසිද්ධියේම නිවේදනය කළේය.

මෙම ප්‍රශ්නය හතර අතින් නැගෙන විට රනිල් වික්‍රමසිංහ තමාට සහයෝගය ලබාදුන් පිරිස සමඟ ඉකුත් දා සාකච්ඡාවකට එළැඹුණි. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එම සාකච්ඡාවේ තොරතුරු මෙසේය.

ජනාධිපතිවරයාට සහයෝගය ලබාදුන් සියලුම කණ්ඩායම් ඉකුත් 23 වැනිදා මල් පාරේ ඔහුගේ නිවෙසේදී රැස්ව ඉදිරියේ දී කළ යුත්ත පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ද මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක් කරගත් පොදු සන්ධානයක් ඇති කරගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගය පක්ෂය ඇතුළු සියලු පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

“ආයේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ”

ඡන්දය ඉල්ලීමට හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ඒමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ නොකරන බවට මෙහිදී සහතිකයක් ලැබී තිබුණි.

“මහින්ද මහත්තයා වගේ එයා ආයෙ එන්න ට්‍රයි කරන්නේ නැහැ. පැත්තකට වෙලා ඉන්නවා. ආරාධනාවක් හරි අවස්ථාවක් හරි ලැබුණොත් එයි. ඒ නැත්නම් ඔහොම ඉඳියි”

මෙම සාකච්ඡාවේදී කියැවුණු තොරතුරු පිළිබඳව පොහොට්ටුවෙන් බෙදී වෙන් වී ගිය කඳවුරේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මෙවන් කතාවකි.

මේ අතර රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන ‌බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග තහවුරු කර සිටියේය.

 මිනිසුන් බේරන්න ගියොත් අයි.එම්.එෆ් තරහ කරගන්න සිදුවන බව කියා සිටි ජනාධිපතිවරයා අයි.එම්.එෆ් තරහ වුණොත් රටේ ආර්ථිකය අන්ත අගාධයකට ඇද වැටෙන බව සඳහන් කර ඇත. තමාගේ මූලික අරමුණ වූයේ රටේ ආර්ථිකය බේරා ගැනීම බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කොට තිබේ.

මේ අතර සමගි ජනබලවේගය පාර්ශ්වයෙන් ද විවිධාකාර තොරතුරු ගලා එන්නට විය. කෝට්ටේ ආසන සංවිධායක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නාවල පක්ෂ කාර්යාලයේ පැවැති ඡන්ද පොළ නියෝජිතයන්ගේ රැස්වීමක් දැඩිව නොසන්සුන් වූ බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.
එම වාර්තාවට අනුව හර්ෂ ද සිල්වා විසින් මෙවර මහ මැතිවරණයේදී එජාපයත් සමඟ ඩීල් එකක් දමා සජබය සහ එජාපය එක්ව මහ මැතිවරණයට තරග කරන බවට රැස්ව සිටි පිරිසට දැනුම් දී ඇතැයි පැවසේ. එම පිරිස අතරින් ඊට දැඩි විරෝධයක් ඇතිවී එය උණුසුම්කාරී තත්ත්වයක් බවට පරිවර්තනය වූ බව කියැවෙයි.

“සජිත්ට අත තියන්න එන්න එපා”

“ඔයගොල්ලො යූ.එන්.පී එකත් එක්ක ඩීල් දාලා තමයි ජනාධිපතිවරණයත් සජිත් මහත්තයා පැරදුණේ. තවත් ලැජ්ජ නැතිව යූ.එන්.පී එකත් එක්ක ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒවට එන්නෙ නෑ”

මෙහිදී පිරිස අස්වසාලීමට හර්ෂ ද සිල්වා උත්සාහ කර ඇති නමුත් එය අසාර්ථක වී ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.

“අපි රනිල් එක්ක ඩීල් දාන්නේ නෑ. අපි ඩීල් එකක් දාන්නේ රුවන් විජයවර්ධන එක්ක. එයා තමයි අපිත් එක්ක ඩීල් එක යන්නේ”

ඊට ද පිරිස් එකඟත්වයක් නොදැක්වූ බවත් කෝට්ටේ ආසනය සමගි ජනබලවේගය තුන්වැනි තැනට වැටීමට ද මේ ආදී ඩීල් හේතු වූ බවත් ඔවුන් පවසා ඇති බව කියැවේ. කෙසේ හෝ අවසානයේ හර්ෂ ද සිල්වා මහතා වහාම රැස්වීම අවසන් කොට සිය කාර්යාලයේ ඉහළ මාලයට ගොස් ඇති බව අදාළ වාර්තා හෙළිදරව් කරයි.

මේ අතර පසුගිය සතියේ දින දෙකක් සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව රැස්ව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරන්න නම් පළමුව රනිල් වික්‍රමසිංහ ඒ පක්ෂ නායකත්වයෙන් අයින් වෙන්න ඕනෑ”

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මෙම මතය දැඩිව ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ලැබේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ තීන්දුව එක්සත් ජාතික පක්ෂය වෙත දැනුම් දීමට ඔවුන් කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමේ සූදානමක් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්නුම් නොකරන බවත්, ඒ අනුව මෙම සාකච්ඡා ඵල දැරීමට ඇති සම්භාවිතාව අවම බවත් සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග කියා සිටියි. එහෙත් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන, පෙර සමගි ජන බලවේගය ද නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ මන්ත්‍රීවරියක මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස පාර්ශ්වය එක් කිරීමට පසුගිය කාලය පුරාවටම උත්සාහ දැරූ රාජිත සේනාරත්න ජනාධිපතිවරණ පරාජයෙන් පසු සමාජ මාධ්‍ය වෙත අපූරු සටහනක් තබා තිබුණි.

බෙදී වෙන් වී සටන් කිරීමේ ප්‍රතිඵලය අපට ලැබී ඇති බවත්, තමා දීර්ඝ කාලයක් පුරා මෙම දෙපාර්ශ්වය එක් කිරීමට උත්සාහ දැරූ බවත්, ඒ අයගේ තිබුණු දුර්වලතා නිසාවෙන් ඔවුන් එකිනෙකා සමඟ එක් නොවූ බව ඔහු එහිදී සඳහන් කොට තිබුණි.
“පරාජය වී ඇත්තේ ඔවුන් දෙදෙනා හෝ ඔවුන් දෙදෙනාගේ ජයග්‍රහණය පැතූ අය පමණක් නොවේ. පසුගිය වසර දෙක පුරා ගොඩනගාගෙන පැමිණි ආර්ථික වැඩපිළිවෙළ ද පරාජයට පත් වී ඇත. එම පරාජය රටේ පරාජයකි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ අයුරින්ම වෙන්ව පරාජය වෙනවාද? එසේත් නැත්නම් එක්ව ජයග්‍රහණය කරනවාද? කියා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස නායකවරුන් දෙදෙනාට නිදහසේ කල්පනා කිරීමේ අවස්ථාව දැන් ලැබී තිබේ.
හැට හය ලක්ෂයක ජනතාවක් ඒ තීරණය දෙස උවමනාවෙන් බලා සිටිති.”

මේ අතර ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමඟ දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පසුගිය සතිය තුළදී සාකච්ඡා වට කිහිපයක්ම ක්‍රියාත්මක කොට තිබුණි.

මෙම එක් සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණි.

“ප්‍රතිඵල කියන්නේ ජනතාවගේ මතය. අනිවාර්යයෙන්ම ඒක අපි පිළිගන්න එපැයි. නමුත් මේ ප්‍රතිඵල වැඩිකර ගන්න ක්‍රමයක් තමයි අපි සාකච්ඡා කරන්නෙ”

මෙහිදී මාධ්‍ය විමසීම් හමුවේ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වන්නේ ද යන පැනයට පිළිතුරු ලබාදුන් මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට අදහසක් නැති බව සඳහන් කොට තිබේ.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට කරගෙන යාමට හැකියාවක් තිබේදැයි මාධ්‍ය මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

“අපොයි ඔව් අපොයි ඔව්... මං හිතනවා මිනිහට ඒ හැකියාව තියෙනවා කියලා”

මේ අතර පොහොට්ටුවේ නෙළුම් මාවතේ දී 24දා පැවති පක්ෂ නායකයන් එක්ව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.

 “රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දුන්න කිහිප දෙනෙක්ම දැන් අහලා තියෙනවා නැවතත් පක්ෂය එක්ක එකතු වෙන්න”

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත මොවුන් එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ද්වේශ සහගත ලෙස පක්ෂය හැර ගිය කිහිප දෙනකු කිසිසේත්ම එම පක්ෂය සමඟ සම්බන්ධ කර නොගැනීමට පක්ෂය තීන්දු කර ඇතැයි ද තොරතුරු වාර්තා වේ.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීම සහ අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම පසුගිය සතියේ සිදුවූ කැපී පෙනෙන දේශපාලන සිදුවීම් විය. මේ අතර නව ආණ්ඩුවේ තිරය පිටුපස සිදුවූ දේශපාලන සිදුවීමක් පිළිබඳ තොරතුරු දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟ හිස් වූ පාර්ලිමේන්තු අසුනට තේරී පත්වූයේ පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේ දෙවැනි ස්ථානය ලබාගත් ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතාය. ඔහුගේ පාර්ලිමේන්තු අසුන ගැසට් කරනු ලැබූ නමුත් පාර්ලිමේන්තුව තුළ ඔහුට දිවුරුම් දීමට අවකාශයක් නොලැබුණි. ඊට හේතු වූයේ පසුදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය නිකුත් වීමයි.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පිළිබඳව පෙර සිටම ජාතික ජනබලවේගය මතුකොට තිබුණේ මෙවන් අදහසකි.

“අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත්වීමත් සමඟම තවත් මන්ත්‍රී ධුරයක් අපිට ලැබෙනවා. එතකොට හතර දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් අපිට පත් කරන්න පුළුවන්”

එහෙත් සැබැවින්ම සිදුවූයේ හතර දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් වෙනුවට ජනාධිපති කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විජිත හේරත් යන අයගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පත් වීමයි. ඒ සඳහා නිපුන ආරච්චි මහතා පත් කර නොගැනිණි. මේ සමඟම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය විය.

මේ සම්බන්ධව රාජ්‍ය තන්ත්‍රය තුළ අදහස් ද්විත්වයක් මතුවීම මීට හේතු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“අලුත් මන්ත්‍රීවරයව අමාත්‍යවරයෙක් ලෙස පත්කිරීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් කලින් පූර්වාදර්ශයකුත් තියෙනවා. ගැටලු නැහැ”

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම මතයේ සිටි බව කියැවේ.

කෙසේ වෙතත් මෙහි නෛතික පසුබිම සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා කැඳවා ඇතැයි වාර්තා වේ.

“මෙතැන ගැටලුවක් තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ දිවුරුම් නොදී අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීම නීත්‍යානුකූල නැහැ”

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි නීතිපතිවරයා දෙසින් මතුව ඇත්තේ එවන් අදහසකි.

මේ අනුව ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර පෙර පූර්වාදර්ශය පිළිබඳ සංවාදයක් නිර්මාණය වී ඇතැයි කියැවෙයි. මෙලෙස පෙර දිවුරුම් දීමක් සිදුකොට ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ බව එහිදී අනාවරණය වී තිබේ. ඒ අනුව මෙහි යම් නෛතික ගැටලුවක් තිබේ නම්, මේ මොහොතේ වැරදි පූර්වාදර්ශයක් ලබාදීම නුසුදුසු බව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇතැයි කියැවේ.

පසුව මෙම මෙම තත්ත්වය පිළිබඳව ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා ද අදහස් දක්වා තිබුණි.

“මට ඒ සම්බන්ධව පෞද්ගලිකව ගැටලුවක් නෑ. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට වැඩ කරන්නේ. වැරදි පූර්වාදර්ශයක් ලබා නොදිය යුතුයි කියන තැන තමා අනුර දිසානායක සහෝදරයා හිටියේ”

ඒ අනුව පසුගිය පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පවසා තිබුණේ, අමාත්‍ය ධුරයක් නොලැබීම පිළිබඳ තමා ද කනගාටු නොවන බවකි. එහෙත් ඇතැම් පිරිස් ඔහුව දුරකථනයට සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව දිගින් දිගටම විමසා සිටින බව ඔහු එහිදී සඳහන් කොට තිබුණි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතිය අමතමින් කළ කතාව ද බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය.

“සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහගත ලෙස දායක වෙනවා. දැනුම, කුසලතාවය, අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරිගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුරට විශ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය කරනවා.

අපේ රටේ ජනගහනයෙන් සියයට 52 ක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධව සියලු දෙනාට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියලු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත්, අපගේ අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් පත් කර තිබෙනවා”

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව රටට හෙළි කර සිටියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යහපත් සබඳතා පවත්වන බවත් ජනතාවට සහන ලබා දෙන බවත් ඔහු තහවුරු කළේය.

මේ අතර විපක්ෂයේ සන්ධානය පිළිබඳව සිකුරාදා වන විට තවත් තොරතුරු යාවත්කාලීන වී තිබුණි. බ්‍රහස්පතින්දා රනිල් වික්‍රමසිංහ පාර්ශවයේ සහ සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ තවත් සාකච්ඡා රැසක් පැවති බව ආරංචි මාර්ග තහවුරු කළේය.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ සන්ධානගත වීම පිළිබඳ බෙදීමක් මෙම සාකච්ඡාවලදී නිරූපණය වී ඇතැයි කියැවෙයි.

“අපි සන්ධානගත වෙන්න කැමති නෑ. ඒක අනවශ්‍ය වැඩක්”

සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක ඇතුළු කණ්ඩායමක් මෙම මතයේ දැඩිව එළඹ සිට අදහස් දක්වා ඇතැයි කියැවෙයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් සන්ධානගත වීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

මේ අතර සිකුරාදා වනවිට සමගි ජනබලවේගය ඔවුන්ගේ හිටපු සභාපති සරත් ෆොන්සේකා මහතා වෙනුවට සජබ ජ්‍යෙෂ්ඨයකු වන ඉම්තියාස් බාකීර් මාකර් මහතා සභාපති ධුරයට පත් කර තිබුණි. ඊට අමතරව සමගි ජන සන්ධානයේ මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කිරීමට ද සජබ නායකත්වය කටයුතු කොට තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදාළ සාකච්ඡාවලට අවතීර්ණ වී ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි. මේ අතර තලතා අතුකෝරළ ද මේ සඳහා සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වී තිබේ. කෙසේ වෙතත් සති අන්තය වන විට මේ සම්බන්ධව තීරණයක් පළවනු ඇතැයි ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වූ පක්ෂ නායකයන් කණ්ඩායම් වශයෙන් ඔහු හමුවූ බවද දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායමත්, සුගීෂ්වර බණ්ඩාර ප්‍රමුඛ නව ජනතා පෙරමුණත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වෙන් වෙන්ව සාකච්ඡාවලට අවතීර්ණ වී තිබේ.

“ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැද්ද?”

මෙම සාකච්ඡාවලදී නැවතත් මෙම ප්‍රශ්නය මතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

“මම ආදර්ශයට ගන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියයි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මාවයි. ඒ දෙන්නා නැවත දේශපාලනයට ආවේ නැහැ. ඒ වගේම මට පාර්ලිමේන්තු ඇවිල්ලා කතානායකට සහ වෙනත් අමාත්‍යවරුන්ට යටින් මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න බෑ”

මේ අනුව ස්ථීර වශයෙන්ම ඉදිරි මහ මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව මේ වන විට තහවුරු වී තිබේ. කෙසේ වෙතත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තවදුරටත් රැඳී සිටිමින් අදාළ ක්‍රියාවලින් මෙහෙයවනු ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රදර්ශනය වූ ආදර්ශමත් දේශපාලන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා පසුගිය සතියේ පවසා තිබුණි.

“ඉදිරි මහ මැතිවරණයේ දී මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් විසින්ම සිය අපේක්ෂකයන් වෙත නාමයෝජනා ලබා දීමේදී ඒ කිසිදු අපේක්ෂකයෙක් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය හා ස්ත්‍රී දූෂණ වැනි බරපතළ චෝදනාවකට ලක්ව නොමැති බවට මහජනතාව වෙත සහතිකයක් ලබා දිය යුතුය. එමෙන්ම ඔවුන් විසින් ආදායම් බදු ගෙවා ඇද්ද යන්න හා නොඑසේ නම් ඒ මන්ද යන්න මෙන්ම අවශ්‍ය නම් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට සහතිකයක් ජනතාව හමුවේ තැබිය යුතුව තිබේ. මීට වසර 15කට පමණ පෙර පාර්ලිමේන්තුවේ උසස් පදවි පිළිබඳ කමිටුව (High Post Committee) අමාත්‍යාංශ ලේකම්වරුන්, තනාපතිවරුන් සහ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් පත් කිරීමේදී සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සහතිකයක් ලබා ගැනීමට නියම කර ඇති හෙයින් එම පිළිවෙත පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයන්ට ද අදාළ කර ගැනීම යෝග්‍ය වනු ඇත.”

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ බව සඳහන් කර සිටියේය. මේ අනුව ඉදිරි මහ මැතිවරණයේදී නව දේශපාලන සංස්කෘතියක් දැක ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00