2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

නාමයෝජනා ලැයිස්තු නිසා පක්ෂ ඇතුළේ “ගිනි කෙළි”

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 418

මැතිවරණයෙන් ඉක්බිති නිර්මාණය වූ දේශපාලන පෑවිල්ල බිඳී යමින් පැවතුණි. මහ මැතිවරණය අභිමුව නව අපේක්ෂක වරුසාවක් ඇද වැටෙන්නට පටන්ගෙන තිබූ අතර තැන තැන අකුණු පුපුරා යාමට ද පටන් ගත්තේය. ඇතැමකු දේශපාලනිකව අතරමංව කතිර ඉල්ලා හඬා වැටෙන්නට පටන්ගෙන තිබූ අතර, ඇතැමෙක් සියල්ල අතහැර දමන්නට සූදානම් වූහ. අලු‍ත් වැස්සෙන් ඵල ප්‍රයෝජන ගැනීමට සිතූ තවත් පිරිසක් වැසි දිය එකතු කරනු රිසියෙන් කරළියට පැමිණ සිටියහ.

අලු‍ත් මුහුණු රැසක් නාමයෝජනා ලබා ගැනීමට උත්සාහ දැරීම ඉකුත් සතියේ කැපී පෙනෙන සිදුවීමක් විය. ඒ අතරින් රන්ජන් රාමනායක නිර්මාණය කරන ලද නව දේශපාලන බලවේගය සුවිශේෂී වූයේය. “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ”‍ නමින් කරළියට පැමිණ තිබෙන මෙම නව දේශපාලන බලවේගය මයික්‍රෆෝනය ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවට නිවේදනය කොට තිබුණි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරන්න ඩිල්ෂාන් මෙම නව පක්ෂයේ ජාතික සංවිධායකවරයා බවට පත්ව සිටියේය.

“තිලකරත්න ඩිල්ෂාන් පහුගිය කාලෙ හිටියේ සමගි ජන බලවේගයත් එක්ක. කළුතර ගොඩක් රැස්වීම්වල එයා කතා කරලත් තිබුණා”‍

ආරංචි මාර්ග එලෙස තහවුරු කර තිබුණද ඩිල්ෂාන් මෙම නව දේශපාලන ප්‍රවාහය සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කොට ඇත.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද මෙම කඳවුරට එක්ව සිටියේය. මාතර, හම්බන්තොට හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම නව දේශපාලන පක්ෂය තරග කිරීමට සූදානම් වන බව ඒ අනුව දැන ගැනීමට ලැබුණි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර ද “දෙවන පරපුර”‍ නම් සිය දේශපාලන පක්ෂය සමගින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අතර ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි ද ඔහු සමඟ එක්ව සිටියි. කමල් අද්දරආරච්චි ජාතික ජනබලවේගය අපේක්ෂකත්වය බලාපොරොත්තු වූයේ ඔහු ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ විජේවීරගේ චරිතය රඟපෑ නිසා බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් තමා වෙත අපේක්ෂකත්වය නොලැබීම පිළිබඳව දෙවැනි පරපුර වෙත ගිය ඔහු දැඩි ලෙස කනගාටු වන බව පෙනී ගියේය.

“කමල් අද්දරආරච්චි ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. එයා පහුගිය දවස්වල එන්.පී.පී වේදිකාවේ කථිකයෙක් වෙලා හිටියා. ඒත් නාමයෝජනා ලැබිලා නෑ.”‍

අන්දෝලනාත්මක සිදුවීම් රැසකට මැදි වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සමගි ජන බලවේගයෙන් මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරගයට එළැඹීමට සූදානමින් සිටියාය. එහෙත් අවසන් මෙහොතේ ඇයට නාම යෝජනා ලැබුණේ නැත. මීට අමතරව සමගි ජන බලවේගයෙන් රත්මලාන ආසනයෙන් වෛද්‍ය චමල් සංජීව මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ද වාර්තා විය. මීට අමතරව ප්‍රසිද්ධ චරිත අතරින් ජනප්‍රිය නිළි රුවන්ති මංගලා පොහොට්ටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනු ඇත. කෙසේ වෙතත් සමගි ජන බලවේගයෙන් දමිතා අබේරත්න තරග කිරීම පිළිබඳව රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ සතුටු නොවන බව ඉකුත් සතියේදී දැන ගැනීමට ලැබිණි.

“දමිතා තරග කරන්නේ මගේ ආරාධනාවකින් නෙවෙයි”‍

ඔහු කියා සිටියේය.

දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයන් නම් කරන්නේ පක්ෂයේ අපේක්ෂක තේරීම් කමිටුව විසින් බවද ඔහු පවසා තිබිණි.

අවසන් මොහොතේ සාකච්ඡාවලදී දමිතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවත් මේ අනුව දැන ගැනීමට ලැබේ.

“මෙයාට ඡන්ද පදනමක් නෑ, ඇයි මෙයාව දාන්නේ?”

යනුවෙන් නැගුණු ප්‍රශ්න අවසානයේ අබේරත්න හට අපේක්ෂකත්වය අහිමිවීමේ අවදානම මතු වූ බව කියැවෙයි. අවසනයේ නාමයෝජනා අහිමිවු දමිතා තමන් අධිකරණය හමුවට යන බවද කිවාය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි රනිල් වික්‍රමසිංහ මහතා පෙරටුව කරළියට පැමිණි ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම, ඉකුත් සමයේ නාමයෝජනා ලැයිස්තු පිළියෙළ කරමින් සිටියේය. මෙම කටයුතු අතර අර්බුද රැසක් පැන නැගී ඇති බවද කියැවේ.

“කළුතර රාජිත විදුර ඇතුළු කණ්ඩායමක් රෝහිත අබේගුණවර්ධනගේ නාමයෝජනාවට විරුද්ධ වීමත් එක්ක තමා අර්බුදය පටන් අරගෙන තියෙන්නේ”‍

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි විදුර සහ රාජිත දිගින් දිගටම රෝහිතට නාමයෝජනා ලබා නොදිය යුතු බව සඳහන් කොට තිබේ. රෝහිත වෙනුවෙන් ද තවත් කිහිප දෙනකු එකතු වී ඇති අතර ගැටුම උග්‍ර අතට පෙරළී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ගාලගෝට්ටිය මෙම කණ්ඩායමේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වා ගමන් කොට තිබේ.

මෙය විසඳීම ඔහුට ද අපහසු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“දෙගොල්ලම නාමයෝජනා පත්‍ර දෙකක් හදන්න. ඒවා බලලා මම තමා ෆයිනල් ඩිසිෂන් එක ගන්නෙ.”‍

ඒ අනුව කළුතර අර්බුදය තරමක් සංසිඳී තිබේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා සකස් කිරීම සම්බන්ධව ද ගෑස් සිලින්ඩරයේ ගැටුම් වාර්තා වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

“කොළඹ සාගලයි රවීයි අතර තමා අවුල තියෙන්නෙ”‍

ආරංචි මාර්ග විසින් පැවසුව ද මේ පිටුපස තවත් කතාවක් අසන්නට ලැබුණි.

ගෑස් සිලින්ඩරයේ කොළඹ නාමයෝජනා අවුලට හේතු වී ඇත්තේ රවී කරුණානායක විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකි.

“මට ජාතික ලැයිස්තුවෙන් එන්න ඕනෑ”‍

කෙසේ වෙතත් එම ඉල්ලීම සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිස දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවෙයි.

“නෑ නෑ... ඔබතුමා කොළඹින් ඉල්ලන්නම ඕනෑ. එහෙම කරන්න බැහැ”‍

“මට අවශ්‍ය ජාතික ලැයිස්තුවෙන් එන්න. මට කොළඹින් ඉල්ලන්න බැහැ”‍

“සාගල රත්නායකත් ඉල්ලනවා. ඇයි ඔබතුමාට ඉල්ලන්න බැරි?”

කෙසේ වෙතත් මෙම සංවාදය බ්‍රහස්පතින්දා රාත්‍රී දෙක පමණ වනතුරුත් අවසන් කිරීමට නොහැකි වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි. අවසානයේදී මීට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්ව තිබිණි.

“හෙට උදේ මම ෆයිනල් ඩිසිෂන් එක ගන්නවා. ඔබතුමා ඉල්ලනවද නැද්ද කියල එතකොට තීරණය කරමු. දැන් මෙතැන තවදුරටත් ඔය ගැන කතා කරල තේරුමක් නැහැ”‍

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අවසන් මොහොත වනතුරුත් සුසිල් ප්‍රේමජයන්ත ජාතික ලැයිස්තුවට ඇතුළත් කර, රවී කරුණානායක තරග කිරීම සඳහා ඉදිරිපත් කළ යුතුය යන අදහස මෙම කණ්ඩායම සතුව පැවැති බව කියැවේ.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය එස්.එම්. චන්ද්‍රසේනගෙන් ගලවා දුමින්ද දිසානායක වෙත ලබා දී ඇති බවත්, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෑස් සිලින්ඩරය ජාතික ලැයිස්තුව වෙත නම් කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේම පුත්‍රයන් පාර්ලිමේන්තු මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සූදානමින් සිටින බවද දැන ගැනීමට ලැබේ.

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ. ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ සන්ධානගතව හෝ පක්ෂයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත නිකුත් කොට තිබුණි.

එහිදී විදෙස් කුමන්ත්‍රණ සහ බලවේග හරහා වර්තමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එල්ල විය හැකි බලපෑම ඔහු විසින් පහදා තිබේ.

ඒ අනුව “ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍යය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටිමු. එම තත්ත්වය තුළ මහ මැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණ දීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත් වේ. ඒ මගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ බලය සීමා වේ. එහිදී ආණ්ඩුව තුළ නියෝජනය නොවන බලවේග සහ විපක්ෂය ලෙස හැඳින්වෙන බලවේගවලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ.”

සමස්තයක් ලෙස මෙම තීන්දුව අනුරට තවත් ගෝඨාභය කෙනකු නොවීමට උපකාර කිරීමක් ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලබන බව පැහැදිලිය. 2000 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ විමල් වීරවංස වසර 24 කට පසුව මහ මැතිවරණයකට තරග නොකිරීම ද කැපී පෙනෙයි.

තවද ඉකුත් සතියේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නිල කටයුත්තක් සඳහා විදේශගත වීම හේතුවෙන් මේ දිව්රුම් දීම සිදුවිය.

මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වාසුදේව නානායක්කාර මහතා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට පක්ෂය තීරණය කර ඇති බවත්, එසේ වුවද සහාය ලබා දීම ජාතික ජනබලවේගය වෙත සිදු කරන බවත් එහි නායක, වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

“ජනාධිපතිවරණයේදී පවා එබඳු සමීපකමක් ඇති කරන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ, ඒක ජාතික ජන බලවේගයේ යම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරග කරනවා. වෙනම තරග කළත් අපේ සහයෝගය අපි ජාතික ජන බලවේගයට ලබා දෙනවා. අපේ අනුගාමිකයන්ට අපි කියා සිටිනවා, අපිට දෙන ඡන්දයත් ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක් බව.”

මීට අමතරව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස තරග කිරීමට ඔහු කල් ඇතිවම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුණද අවසන් මොහොතේදී දැනුම් දී ඇත්තේ තමා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

ගෑස් සිලින්ඩරය මගහැර සිටීමට බොහෝ දෙනකු සූදානම් වන අතරතුර, හිටපුජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර කොළඹ දිස්ත්‍රික්කයෙන් ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සූදානම් සිටී.

මේ අතර ජාතික ජන බලවේගයෙන් බොහෝ දෙනකු නාමයෝජනා බලාපොරොත්තුවෙන් සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ඇතැමකු නාමයෝජනා නොලැබීමත් සමඟ තරමක කලකිරීමට ලක්ව ඇතැයි ද කියැවේ.
සිය ලැයිස්තුවේ වංචනිකයන් හෝ දූෂිතයන් නොමැති බව පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කොට තිබුණි.

පසුගිය සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීමට වැඩි ඉඩක් වෙන්කර ඇති අයුරු දැක ගැනීමට ලැබුණි. ස්විට්සර්ලන්තය, තායිලන්තය, වියට්නාමය, දකුණු කොරියාව ආදී රටවල් රැසක තානාපතිවරුන් ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබුණි. මේ අතර පාප් වහන්සේ සහ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක් කළ බවට ද වාර්තා පළ විය.

පසුගිය සතියේ තවත් සුවිශේෂී සාදයක් පැවතියේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීය. මෙය සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට සමුදීම වෙනුවෙන් පවත්වනු ලබන සාදයක් විය. පාර්ලිමේන්තු සුබසාධක සංගමය විසින් මෙය සංවිධානය කිරීම සඳහා බරපැන දැරූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

මේ සඳහා සහභාගි වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය දේශපාලන ජීවිතය පිළිබඳවත්, ඉකුත් අර්බුදකාරී අවස්ථාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳවත් සුවිශේෂී අනාවරණ කිහිපයක් සිදු කර තිබුණි.

“මම පාර්ලිමේන්තු ක්‍රමය නිසා දේශපාලනයට ආපු කෙනෙක්. 1988 ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුවේ ඇතුළේ ඉඳලා, ඉන්දු ලංකා ගිවිසුම ගිවිසුම අත්සන් කරන එකට විරුද්ධව මම ඡන්දය දුන්නා. ඒත් ඊට පස්සේ ගෙදර යනකොට මගේ ගේ ගිනි තියලා දොරේ කෑල්ලක් විතරයි ඉතුරු වුණේ. පොඩි එක්කෙනාට කිරි පැකට් එකක් නැතුව අල්ලපු ගෙදර අය තමා උදව් කළේ. මම ඒ අයට තාමත් ණයයි.”‍

මේ ආදී අතීත මතක රැසක් ආවර්ජනය කළ කතානායකවරයා ඉකුත් අරගලය අවස්ථාවේදී තමා පාර්ලිමේන්තුව රැක ගැනීමට කටයුතු කළ අයුරු සිහිපත් කර තිබිණි.

“පාර්ලිමේන්තුව අල්ලන්න එනකොට මම හිටියේ පාර්ලිමේන්තුවේ. නාවික හමුදාවෙන් බෝට්ටුවක් ලෑස්ති කරලා, සර් බෝට්ටුවක් ලෑස්ති කරල තියෙන්නෙ... යමු යමු කියල කිව්වා. ඒත් මම ගියේ නැහැ.”‍

මේ ආදී වශයෙන් සිය අත්දැකීම් විස්තර කරමින් පාර්ලිමේන්තු කටයුතුවලදී තමන්ට සහයෝගය ලබාදුන් කාර්ය මණ්ඩලයට ද ස්තූති කිරීමට කතානායකවරයා කටයුතු කර තිබිණි. අවසානයේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කතානායකවරයා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද ලබාදුන් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වුණු බව පසුගිය සතියේ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියේය.

“පාඨලී ඉල්ලපු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයි, දිස්ත්‍රික් කෝටා එකයි දෙන්න බැහැ කියලා සජබ ජ්‍යෙෂ්ඨයෝ කියලා තියෙනවා. එතැනදි තමයි ගැටුම ආරම්භ වෙලා තියෙන්නේ. ප්‍රශ්නය දුරදිග ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට පාඨලීට කරන්න දෙයක් නෑ.”‍

මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ පාඨලී චම්පික රණවක සජබ කණ්ඩායමෙන් ඉවත් වී ඇතැයි කියැවේ.

ඒ අනුව සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඉකුත් දා පැවසීය.

“මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත් වීමට තීරණය කළා. අපි සමගි ජන සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. දිස්ත්‍රික්ක 11 කට අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමින් හිටියා. නමුත් නාමයෝජනා ක්‍රියාවලියේදී අපිට වැටහී ගියා, අපිට සාධාරණීකරණය කරන්න බැරි විදියට ගිවිසුම උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා. ඒ නිසා අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා.”‍

පසුගිය සතියේ නාමයෝජනා අර්බුද අතරේ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පොහොට්ටුවේ ප්‍රධානීන් හමුවීම පිළිබඳ ආරංචිය ද සුවිශේෂී එකක් විය. දිනේෂ් ගුණවර්ධන, පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් හමුවී ඇතැයි ඒ අනුව කියැවිණි. පැතිර ගිය කතා අනුව සිදුව ඇත්තේ මෙවැන්නකි.

“මට ඔබතුමාලත් එක්ක ප්‍රශ්නයක් නෑ. අපි ඔක්කොම ජාතික කඳවුරේ ඉන්න කට්ටිය. මම නැවත කැමතියි ඔබතුමාලත් එක්ක එකතු වෙලා තරග කරන්න”‍

පැතිර යන ආරංචිය අනුව දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම් වෙත පවසා ඇත්තේ එවැන්නකි.

“ඔබතුමා එන එක පිළිබඳ කිසිම ගැටලු‍වක් නැහැ. මොකක්ද ඔබතුමාගේ මේ වෙලාවේ අදහස? කොහොමද එන්න හිතාගෙන ඉන්නේ?”

පොහොට්ටුවේ ලේකම්වරයාගේ විමසීම හමුවේ තමන්ගේ අභිප්‍රාය දිනේෂ් ගුණවර්ධන පවසා ඇතැයි කියැවේ.

“අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ අයත් එක්ක තමයි නැවත එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ”‍

“ඒ කවුද?”

“එස්.එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන වගේ කිහිප දෙනෙක් ඉන්නවා”‍

“අනේ ඒ අය නම් බැහැ. අපේ පක්ෂයේ බහුතරයක් කැමති නෑ, ඒ අය නැවත එකතු වෙනවට. නමුත් ඔබතුමාට ඕනෑ වෙලාවක එන්න පුළුවන්. පක්ෂයේ ග්‍රීන් ලයිට් එක තියෙන්නේ ඔබතුමාට සහ රමේෂ් පතිරණ වගේ කිහිප දෙනෙක්ට විතරයි”‍
දේශපාලන කරළියේ පැතිර යන කතාව අනුව සාගර කාරියවසම්, දිනේෂ් ගුණවර්ධන වෙත ලබා දී ඇත්තේ මෙවන් පිළිතුරකි.

කෙසේ වෙතත් මේ වන විට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගෑස් සිලින්ඩරය සමඟ එක්වී එහි ජාතික ලැයිස්තුවේ පළමු ස්ථානය වෙන් කරගෙන සිටින බව ආරංචි මාර්ග තහවුරු කරයි. ජාතික ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත වෙන්කර ඇතැයි ද දැන ගැනීමට ලැබෙයි.

ජාතික ජන බලවේගයේ ප්‍රබලතම දිස්ත්‍රික් ලැයිස්තුව මාතරින් ඉදිරිපත්ව ඇති බවද දැනගැනීමට ලැබී තිබේ. පසුගිය කාලය පුරාවටම මාතර ජාතික ජන බලවේගයේ නායකත්වය හෙබවූ හඳුන්නෙත්තිට අමතරව, ඉකුත් සමයේ සුවිශේෂී දේශපාලන කාර්යභාරයක් ඉටු කළ නීතිඥ උපුල් කුමාරප්පෙරුම, වෘත්තීය සමිති නායිකාවක් වන සවිත්‍රි පෝල්රාජ් ඇතුළු ප්‍රබලයන් පිරිසක් මෙම ලැයිස්තුවට අන්තර්ගතව ඇති බව දැන ගැනීමට ලැබේ.

• චමිඳු නිසල් ද සිල්වා