හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් තරමක් ඈත් මෑත් වී සිටී යැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ නමුත්, සිය කණ්ඩායම තුළ ඔහු දැඩිව සක්‍රීය වී ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි.
“හිටපු ජනාධිපතිතුමා අපේක්ෂකයන්ව නිතර නිතර කැඳවලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න ඕනෑ විදිහ ගැන උපදෙස් ලබා දෙනවා”
ආරංචි මාර්ග සඳහන් කළ පරිදි අවස්ථා ගණනාවකදීම උපාය මාර්ගිකව ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුතු ආකාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සිය කණ්ඩායමට උපදෙස් ලබා දී තිබේ.
“වැටුප් වැඩි කිරීම පිළිබඳව, වැඩිහිටි දීමනා ආදී සුබසාධන ආදිය ලබාදීම පිළිබඳව ඕගොල්ලෝ දිගටම ප්‍රශ්න කරන්න”
මේ අතර උපාය මාර්ගික සැලැස්මක් පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා කතාබහ කර තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට ඔහු විසින්ම දේශපාලන උපාය මාර්ග භාවිත කරමින් සිටින බව දැන ගැනීමට ලැබෙයි.
“විපක්ෂ කාර්යභාරය දැන් ඕගොල්ලෝ කරන්න ඕනෑ. සමගි ජනබලවේගය ගැන බලලා වැඩක් නෑ. ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. ඔයාලා ලෑස්ති වෙන්න ඒක කරන්න”
සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් අමතමින් වික්‍රමසිංහ මහතා මෙවන් කතාවක් ද කියා ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.
මේ අතර ගෑස් සිලින්ඩරයේ ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන, සමගි ජන බලවේගයේ සිට, රනිල් වික්‍රමසිංහ සමඟ එක්වූ ජ්‍යෙෂ්ඨයකු කී කතාවක් පිළිබඳව ද ඉකුත් සතියේදී අපට දැන ගැනීමට ලැබුණි.
“අනුරලා කියලා තියෙන්නේ කරගන්න බැරි වුණොත් එයාලා යනවා කියලා. ඒගොල්ලන්ට මේක කරන එක අමාරුයි. එහෙම වුණොත් නැවතත් බලයට එන්නේ වෙන කවුරුත් නෙවෙයි, රනිල් වික්රමසිංහලම තමයි”
ඉදිරි වසරක කාලය තුළ අභ්‍යන්තර සහ බාහිර හේතූන් මත රට අර්බුදයට යා හැකි බවත් ඒ සමඟම නැවත රනිල් ඉල්ලා ව්‍යාපාරයක් ගොඩනැගීමට හැකිවනු ඇති බවත් මෙම පිරිස් විශ්වාස කරන බව කියැවේ.
මේ අතර සමගි ජනබලවේගය තුළ ද අභ්‍යන්තර ගැටලු රැසක් නිර්මාණය වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.
“සමගි ජන සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට දාපු කිහිප දෙනෙක් ගැනම අවුල් ඇතිවෙලා”
මේ පිළිබඳව ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා කිහිපයක් ද පළ වී තිබුණි. ඩලස් අලහප්පෙරුම, සුජීව සේනසිංහ එවැනි චරිත ජාතික ලැයිස්තුවට නම් කිරීම පිළිබඳව පිරිසක් කලකිරීමෙන් සිටින බව කියැවේ.
ඒ අනුව ඔවුන් පවසන්නේ ආසන සහ දිස්ත්‍රික් මට්ටමින් විශාල කැප කිරීමක් සිදු කර ලබා ගන්නා ඡන්දවලින් මේ අය පාර්ලිමේන්තුවට යනු ඇති බවකි.
මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ට මැතිවරණ ප්රචාරක කටයුතු කරගෙන යාමට මුදල් හිඟයක් මතුව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සමගි ජන සන්ධානයට නව නායකයකු පත් කළ යුතුව ඇතැයි කියැවෙන ප්‍රචාරයක්ද ඉකුත් සතියේ දැක ගැනීමට ලැබුණි. සමගි ජනබලවේගය නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා හොබවන නමුත් සන්ධානය සඳහා අලුත් නායකයකු සිටී නම් එය යහපත් බව පිරිසකගේ අදහස වී ඇතැයි ඒ අනුව කියැවිණි.
කෙසේ වෙතත් මේ වන විට මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් දැවැන්ත රැස්වීම් පහළොවක් සංවිධානය කිරීමට සමගි ජනබලවේගය කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වතු රැස්වීම් සහ කුඩා ප්‍රමාණයේ රැස්වීම්වලට පමණක් ප්‍රමුඛතාව ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවමින් සිටින බව පෙනෙන්නට තිබේ. පසුගියදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඇල්පිටියේ ප්‍රධාන රැස්වීමක් සංවිධානය කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සූදානම් වී ඇත.
ඒ අනුව ප්‍රාදේශීය ක්රියාකාරිකයන් හමුවී එම රැස්වීම පිළිබඳ පක්ෂයේ පිරිස් සාකච්ඡා කර තිබේ.
“සර් මේ වෙලාවේ අපිට ලොකු රැස්වීම් අවශ්‍ය නැහැ. අපි කරන්න ඕනෑ පොඩි පොඩි රැස්වීම් සහ අපිට සම්බන්ධ අයගේ ගෙයින් ගෙට ගිහිල්ලා ඔවුන් සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීම”
ප්‍රාදේශීය දේශපාලනඥයන් වෙතින්ම පක්ෂය වෙත මෙම ඉල්ලීම ඇල්පිටියේදී ඉදිරිපත් වූ බව පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව පොහොට්ටුව ඇල්පිටියේ ද ප්‍රධාන රැස්වීම් පැවැත්වීම නතර කර දමා ඇතැයි කියැවෙයි. කෙසේ කුඩා රැස්වීම් දහස් ගණනක ඉලක්කයක් සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් නායකයන්ට සහ අපේක්ෂකයන්ට පොහොට්ටුව ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පසුගිය සතියේ සිය X ගිණුමේ සටහනක් තබමින් මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණවලට නායකත්වය ලබා දී නිවැරදි මග පෙන්වීම සිදුකිරීම සඳහා උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීම සිදු කළ බව දන්වා තිබුණි. ඒ අනුව මැතිවරණය සම්බන්ධ බොහෝ තීරණ මෙම කමිටුව ඔස්සේ ගනු ලබන බව පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ජාතික ජනබලවේගය රජය මෙරට සංචාරයක් සඳහා කියුබානු අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර ඇතැයි කියැවෙන ප්‍රචාරයක්ද පසුගිය සතියේ දැක ගැනීමට ලැබුණි. මෙම තීන්දුව පිළිබඳ පාර්ශ්ව ගණනාවකින් විවේචන ඉදිරිපත් විය.
ඒ අනුව අසල්වැසි ඉන්දියාව අමතක කර වත්මන් රජය පළමුවෙන් කියුබාවේ අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්, මෙය මංමුලා වූ පාරක ගමන් කිරීමක් බවත් සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක නලීන් බණ්ඩාර චෝදනා කර තිබුණි.
“අපිට ආරංචියි මේ රජය තමන්ගේ පළමු නිල ආරාධනාව විදේශ රටක නායකයකුට කරලා තියෙන්නේ. එනම් කියුබාවේ අගමැතිවරයාට. ඒක ඇත්තටම විහිළු ජනක කාරණයක්. කියුබාව සහ ශ්‍රී ලංකාව අතර මොකක්ද තියෙන ආර්ථික බැඳීම?
මොකක්ද තියෙන සමාජීය බැඳීම? අපිට නම් එහෙම එකක් පේන්නේ නෑ. කියුබාවේ ආර්ථිකය කොහේද තියෙන්නේ? කියුබාව කියන්නේ කඩා වැටිලා තිබෙන රටක්. මේ අයට කියුබාව වීරයෝ වෙන්න පුළුවන් ෆිදෙල් කස්ත්‍රෝ නිසා. ඒත් අපිට නම් වටිනාකමක් නෑ කියුබාව කියන රටත් එක්ක සබඳතාවන් පැවැත්වුවා කියලා.
ඉතිහාසයේ එදා මෙදා තුර හැමදාම අපේ අසල්වැසියා, අපේ මිත්‍රයා, අපේ හිතවතා, දුකට සැපට හිටියේ ඉන්දියාව.”
මේ අතර නව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කාර්ය මණ්ඩලය සඳහා ලබා දී ඇති රජයේ වාහන පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම නවතා දමා ඇතැයි ඉකුත් සතියේ ආරංචි මාර්ග සඳහන් කළේය.
“තමන්ගේ පෞද්ගලික වාහනවලින් හරි පොදු ප්‍රවාහන සේවය භාවිත කරල හරි තමයි කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කරන්න ඕනෑ. රාජකාරි ගමන්වලදී පමණයි රථවාහන ලැබෙන්නේ.”
මේ අනුව ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩලයට දැඩි කොන්දේසි පනවා ඇති බව කියැවෙයි.
තවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපති වැටුප, මන්ත්‍රී වැටුප් අරමුදලට හරවා ඇති බවත්, එම අරමුදල හරහා සුබසාධන කටයුතු සිදුවන බවත් ඉකුත් සතියේ වාර්තා විය.
රන්ජන් රාමනායක නායකත්වය ලබා දෙන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය ද පුළුල් ප්රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
“සමගි ජන බලවේගයට සහාය දුන්න ප්‍රාදේශීය නායකයන්ට රන්ජන්ගේ පක්ෂයෙන් නාමයෝජනා ලබා දීලා තියෙනවා”
ආරංචි මාර්ග තහවුරු කරන පරිදි බිම් මට්ටමේදී මෙම පක්ෂය, අවශ්‍ය වුවහොත් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුව තුළ දී සහයෝගය ලබා දීමට තමන් බලාපොරොත්තු වන බව පවසා ඇතැයි අසන්නට ලැබෙයි.
මේ අනුව පසුගියදා පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා සිය අභිප්‍රාය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි.
“එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ සැලුන් දොරවල් නෑ. තියෙන්නේ පෙනේරයක්. ඒ නිසා අපි මේ මැතිවරණයෙන් බලාපොරොත්තු වන්නේ විපක්ෂයක් නිර්මාණය කිරීම විතරයි. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේ පක්ෂයෙන් ඉදිරිපත් වීමට
ඉල්ලුම් කරපු දූෂණයට, වංචාවට සම්බන්ධ හැම කෙනෙක්ම අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට සිදු වුණා. අපේ පක්ෂය දිස්ත්‍රික් නවයකට විතරක් තරග කරන නිසා මේ මැතිවරණයෙදි ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වුණත් අපි විකල්ප පාලන ක්‍රමයක් සමඟ අපේ පක්ෂය ඊළඟ ආණ්ඩුව සෑදීමට සූදානමින් ඉන්නවා.”
මේ අතර පසුගිය සතියේ විශාල කැළඹීමක් නිර්මාණය වූයේ ආරුගම්බේ සංචාරක කලාපයට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ පුවතෙනි. ඇමෙරිකානු තානාපති කාර්යාලය සිදු කළ නිවේදනයත් සමඟ මේ හා සම්බන්ධ තොරතුරු එළියට පැමිණියේය.
දිවයින පුරා සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියේය. මෙම අවදානම පිළිබඳව විවිධ කතා පැතිර ගිය අතර, ඇතැමෙක් මෙය කුමන්ත්‍රණයක් බවට ද සැක සංකා පළ කළහ. කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වය මුල සිටම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද ගැටලු සහගත විය. එහෙත් අවසානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
“මීට සති දෙකකට පමණ පෙර අපට වාර්තා වුණා යම් දෙයක් ලංකාවේ සිදුවිය හැකියි කියලා. ඒ අනුව අදාළ ස්ථානවල අපි වේගයෙන් ආරක්ෂාව තහවුරු කළා. බුද්ධි අංශ තොරතුරු එනකොට අපි මාධ්‍ය සාකච්ඡා තියන්නේ නෑ. බුද්ධි අංශ තොරතුරු එනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරුවලට අනුරූපව ක්‍රියා කිරීම සහ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ විතරක් නෙවෙයි, ඒ බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් පරීක්ෂණ දියත් කළා. කිහිප දෙනෙක් අත්අඩංගුවටත් ගත්තා. එලෙස ක්‍රියාත්මක වෙලා වෙන්න ගියපු සිදුවීම අපි නවත්ත ගත්තා. ඒ සඳහා අපි පොලිසිය, බුද්ධි අංශ, ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කළා. සමහර දවස්වල දවසට දෙපාරක් විතර, දිවා රෑ අපි රැස්වුණා. රජයක් හැටියට ගත හැකි පියවර අපි ගත්තා. හැබැයි ප්රවෘත්ති පළ කළේ නෑ. මාධ්‍ය සාකච්ඡා තිබ්බෙත් නෑ. අපි කළ යුත්ත කළේ එක එකිනෙකාට කියමින් නෙවෙයි. ප්රවෘත්ති පළවෙන්නත් කලින් කළ යුත්ත අපි කරලා ඉවර කළා. අන්න එහෙමයි ආණ්ඩු කරන්නේ.”
මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ රථවාහන ඉවත් කිරීම පිළිබඳ කතාබහ ද තරමක් සංකීර්ණ වෙමින් පැවතුණි. ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දැනට භාවිත කරනු ලබන අතිරික්ත වාහන නැවත භාරදෙන ලෙස රජය නිවේදනය කළේය. ඒ අනුව පසුගිය සතියේ කැබ් රථයක්, වෑන් රථයක් සහ ගිලන් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීම සිදුව තිබුණි.
මෙහිදී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සටහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිදු වරප්‍රසාදයක් අහිමි කර නොමැති බවයි. එහෙත් ඔවුන් සන්තකයේ තිබුණු අතිරික්ත වාහන භාරදෙන ලෙස දැනුම් දී තිබූ බවත් ඒ අනුව යම් ප්‍රමාණයක් මේ වන විටත් භාර දී ඇති බවත් ඔහු සඳහන් කර තිබුණි.
මේ අතර නව දේශපාලන පක්ෂයකින් මැතිවරණ සටනට අවතීර්ණ වී සිටින රන්ජන් රාමනායක ද, මේ හා සම්බන්ධ අදහස් දැක්වීමක් පිළිබඳ ඉකුත් සතියේ වාර්තා විය. රටේ පැවැති යුද්ධය නවතා දැමීමට ඉමහත් කාර්යභාරයක් සිදු කළ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය නොසලකා තීරණයක් ගැනීමට තමා එකඟ නොවන බවත් ඉන්දියාවේ සත්‍යජිත් රායිට පවා ගිලන් රථ සේවාවක් ලබා දී තිබූ බවත් රාමනායක මහතා මැතිවරණ වේදිකාවේදී කියා තිබුණි.
පසුගිය සතියේ බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටි පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පිළිබඳ තොරතුරු අනාවරණය සිදුවිය. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ මෙරට ක්‍රියාත්මක වූ පළමු ජනාධිපතිවරණය බවට පත් වූයේ 2024 ජනාධිපතිවරණයයි. ඒ අනුව එම නියාමනය අනුව ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකිව තිබූ මුදල රුපියල් 109 කි.
එම නියාමනයට අනුව එක් අපේක්ෂකයකුට සියලුම ඡන්දදායකයන් වෙනුවෙන් රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූඅටදහස් පන්සිය අසූ හයක (1,868,298,586) මුදලක් වියදම් කිරීමට අවස්ථාව සැලසුණි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම වියදමක් දරා තිබුණු අපේක්ෂකයා වූයේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතායි. තෙවැනි අනුර කුමාර දිසානායක වූ අතර, දෙවැනි තැන නාමල් රාජපක්ෂ හට ලැබී තිබුණි. ස්වාධීන අපේක්ෂකයන් අතරින් වැඩිම මුදලක් වැය කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාය. මෙහිදී අපේක්ෂකයන්ගේ වියදම් මෙන්ම ඔවුන් වෙනුවෙන් පක්ෂ දැරූ වියදම් ද පැහැදිලිව දක්වා තිබූ අතර ප්‍රචාරණ කටයුතු සඳහා දැරූ වියදම් වර්ග කර විස්තරාත්මකව පැහැදිලි කර තිබුණි.
මේ අතර ඉකුත් සතියේ දැක ගැනීමට ලැබුණු තවත් විශේෂිතම සිදුවීම් පෙළ වූයේ නඩු හබ පිළිබඳ කතාබහයි. විවිධ දේශපාලනඥයන් වෙත නඩු පැවරීම් සිදුවන අතරේ විමර්ශන රැසක් ද ආරම්භ වී තිබෙන බව පෙනී ගියේය.
කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී එකලස් කරන ලද බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැමිණියේය. ඒ වන විටත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන දියත් වෙමින් පැවතුණි.
ඒ අනුව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
2021 වසරේ සැප්තැම්බර් මාසයේ දොළොස් වැනිදා, බීමතින්, අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් යටතේ සිටි ද්‍රවිඩ ජාතික සිරකරුවන් දෙදෙනකු එළියට ගෙන, බිම දණ ගස්වා, හිසට පිස්තෝලය එල්ල කර, ඔවුන් දෙදෙනා මරා දමන බවට තර්ජනය කළ බවට හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට එකල එල්ල වූ චෝදනාව සම්බන්ධව නඩුව නැවතත් කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා විය.
ඒ අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර, නඩු විභාගය 2025 වසරේ ජනවාරි මාසයේ 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
මේ අතර අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුව ද පසුගිය සතියේ විභාගයට ගැනීමට නියමිත විය.
එහෙත් විත්තියේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස දක්වා කල් දමා තිබුණි.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය සතියේ කැඳවා තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා ඇත්තේ, 2010-2015 අතර කාලයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට බව මෙහිදී අනාවරණය විය.
ප්‍රකාශය ලබා දීමෙන් පසුව හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූ ආකාරයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා ඇත්තේ, 2010-2015 අතර කාලයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමටයි. එවැනි සිදුවීමක් ගැන නොදන්නා බව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවසුවේ යැයි ඔහු මෙහිදී සඳහන් කළේය. මේ අතර මිග්යානා ගනුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථානගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන 30 වැනිදා යළි කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇතැයි පසුගිය සතියේ දැන ගැනීමට ලැබුණි.
• චමිඳු නිසල් ද සිල්වා