2024 දෙසැම්බර් 20 වන සිකුරාදා

ආණ්ඩුවේ ආර්ථිකය ගැන රනිල්ගෙන් විපක්ෂයට අවවාදයක්

 2024 දෙසැම්බර් 20 වන සිකුරාදා, ප.ව. 02:00 49

පාර්ලිමේන්තුවේ ආචාර්ය, මහාචාර්ය පට්ටම් සමඟ ඇදී ගිය මැති ඇමැතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැටලුව තවමත් හොඳ කටගැස්මකි. මාලිමා ආණ්ඩුවේ ප්‍රථම කතානායකවරයාට ආචාර්ය පට්ටමක් හේතුවෙන් අකාලයේ ධුරය අතහැරීමට සිදුවූ අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අඩුම දින ගණනක් එම ධුරය දැරූ මන්ත්‍රීවරයා වශයෙන් අශෝක රන්වල මහතා ඉතිහාසයට එක්විය. එයින් අනතුරුව පසුගිය අඟහරුවාදා (17) රැස්වූ පාර්ලිමේන්තුව නව කතානායකවරයා වශයෙන් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කරගනු ලැබීය. ඒ මහතා පොළොන්නරුවෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරයෙකි.

නව කතානායකවරයා තෝරා පත්කර ගැනීමෙන් පසුව පැවති විවාදයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ කතාවේදී විපක්ෂයට අභියෝගයක් ද එල්ල කරනු ලැබීය. මේ විවාදය පැවැත්වුණේ පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් දීම පිළිබඳ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙනි. ඒ ගැනත් කතා කරන අතරවාරයේ අගමැතිනිය මෙසේද කියා තිබිණි.

“අධ්‍යාපනය ලැබීමේ නිල ගමන් මාර්ගය දේශපාලන අපේක්ෂා වෙනුවෙන් කැප කළ අයත් ඉන්නවා. ඒ සියලුම අය එකතු වෙලා ජාතික ජනබලවේග ආණ්ඩුව හැදී තිබෙනවා. මෙතන තිබෙන්නේ ඒ විවිධත්වයයි. ශක්තිය වී තිබෙන්නේ එයයි. විපක්ෂයට කරන්න වැඩක් නැත්නම් අපේ අධ්‍යාපන සුදුසුකම් හෙව්වට කමක් නෑ. පාර්ලිමේන්තුවේ වැඩි කාර්යභාරයක් තිබෙන්නේ විපක්ෂයට. අලුත් දේශපාලන ගමනක් යමු යැයි අප පළමු දිනයේම විපක්ෂයට ආරාධනා කළා. නමුත් අවාසනාවකට අප කළ ඒ ආරාධනය විපක්ෂයේ සමහරුන් තේරුම්ගෙන නැද්දැයි අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපේ කණ්ඩායමට ජනතාවට සේවය කරන්න ඇති උවමනාව අවතක්සේරු කරන්න එපා. ඒ බව අපි ඉතා හොඳින්ම දන්නවා. අපගේ සාමූහිකත්වය පිළිබඳව කිසිසේත් අවතක්සේරු කරන්න එපා.”

අගමැතිනිය මෙසේ කළ ප්‍රකාශයට සජබ මන්ත්‍රී නලින් බණ්ඩාරත් උත්තරයක් දුන්නේය.
“අපි විපක්ෂයේ ඉඳන් අධ්‍යාපන සහතික හොයනවා යැයි අගමැතිතුමිය කිව්වා. අපි නෙවෙයි සමාජ ක්‍රියාකාරීන් ඒක කළේ. ඔබලා ගැන අප හොඳට හිතද්දි අධ්‍යාපනයත් හොරකම් කළා කියන ප්‍රශ්න මතු වෙනකොට ජනතාවත් ඒ ගැන හොයනවා.” යැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා උත්තර බැන්දේය.

මේ වාද විවාද අතරතුරදී නාමල් රාජපක්ෂ නීතිඥ විභාගය ලියූ ආකාරය ගැන ද ආණ්ඩුවෙන් චෝදනා එල්ල විය. එයට පිළිතුරු දුන් නාමල් කිව්වේ ඒ චෝදනා ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන බවය. එය ඔප්පු කළ නොහැකි වුණොත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ධුරයෙන් අස්විය යුතු බවද නාමල් කීය.
ඒ එක්කම ජනාධිපති අරමුදලින් මන්ත්‍රීවරුන් 36 දෙනකුට පිට පාරෙන් ගොස් කෝටි ගණනින් මුදල් ගෙවා ඇති බවට හෙළි කළේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාය. අමාත්‍යවරයා මේ සියලු දෙනාගේ නම් සභාගත කිරීමටත් ඒ ඒ මන්ත්‍රීවරයා ලබාගත් මුදල් ප්‍රමාණය සඳහන් කිරීමටත් කටයුතු කළේය. මේ ලැයිස්තුවේ වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද පසුගිය ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක්ද සිටින බව පෙනුණි. මේ හෙළිදරව්ව ඇතැම් මන්ත්‍රීවරුන් නිරුත්තර කිරීමට පවා හේතු විය. එය හොඳින් එල්ලය බලා විපක්ෂයටත් හිටපු ආණ්ඩුවටත් ආණ්ඩුව එල්ල කළ වේගවත් බවුන්සරයක් බව පෙනී ගියේය.

මේ උණුසුම් වාද විවාද ඇරඹෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක හිටියේ ඉන්දියාවේය. පසුගිය 15 වැනිදා ඉන්දියාවේ නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා නවදිල්ලියට ළඟා වූයේ ශ්‍රී ලන්කන් ගුවන් යානාවකිනි. එහි ව්‍යාපාරික පන්තියේ ආසනයක් ජනාධිපතිවරයාට ලබා දී තිබුණත් ඔහු ගමන අතරමගදී සාමාන්‍ය මගීන් සිටි කොටසට පැමිණ මගීන් සමඟ කතාබහ කිරීම යානයේ සිටි ශ්‍රී ලාංකික මගීන්ට පමණක් නොව විදේශිකයන්ටද අපූරු අත්දැකීමක් විය. සාමාන්‍යයෙන් කිසිදු රාජ්‍ය නායකයකු විදෙස් ගමනක යෙදෙමින් සිටියදී ගුවන් යානයේ සෙසු මගීන් සමඟ සංවාදයකට යන්නේ නැත. අනුර කුමාර ජනපතිගේ එම ක්‍රියාව සියලු මගීන්ගේ ආකර්ශනයට ලක්විය.

ජනපති අනුර කුමාර ගුවන් නියමු කුටියටද ගියේය. එහි ප්‍රධාන නියමු කපිතාන් උදයංග ස්ටීවන් මහතා සමඟ සුහද කතාබහකද නිරත වූ අතර ගුවන් නියමුවා සමඟ සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය. රටේ ජනාධිපති තම රටේ ගුවන් යානාවක ගමන් කරද්දී ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සිටින තමන් සමඟ මිත්‍රශීලී හෝ ඥාති සබඳතා හෝ තිබෙන ගුවන් නියමුවකුගේ සේවය ලබා ගැනීම සිරිත වුණත් අනුර කුමාර ජනාධිපතිවරයා තම සංචාරය සඳහා එවැනි කිසිදු ඉල්ලීමක් කර නොතිබිණි. මේ නිසා යානය ගෙන ගියේ ඒ වෙලාවට ගුවන් යානය ගෙන යාමට නියමිතව සිටි කපිතාන් උදයංග විසිනි. එසේම ජනාධිපති ගුවන් යානයේ සිටින බව ශබ්ද විකාශන හරහා දැනුම් දී ඔහුට සුබ පැතීම සිරිතක් වශයෙන් සිදු කෙරුණත් ජනාධිපතිවරයා එම දැනුම්දීම අවශ්‍ය නැති බව කියා තිබිණි.

එසේම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ද වෙනසක් සිදු නොකෙරිණි. ජනාධිපතිගේ පුත් කසුන් දිසානායක ද එදින රාජකාරියේ නිරතව සිටියත් ඔහු ලන්ඩන් බලා යන ගුවන් යානයේ එදින සේවයට ගොස් තිබිණි. අවශ්‍ය නම් ඔහුගේ සේවය නවදිල්ලි බලා යන ගුවන් යානය සඳහා කැඳවාගත හැකිව තිබුණත් එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයා කළේ නැත. මේ සියලු වැඩ කටයුතු වෙනත් රාජ්‍ය නායකයකු විදෙස් නිල සංචාරයක යෙදෙන අවස්ථාවලට වඩා සම්පූර්ණයෙන් වෙනස් වී තිබිණි.

ඉන්දියාවට ගිය ජනාධිපතිවරයාට ලැබුණේ ඉහළම පිළිගැනීමකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපතිවරයා උණුසුම් අන්දමින් පිළිගනු ලැබූ අතර ජනපති අනුරගේ පිටට අත තබාගෙන ඔහු අගමැති මන්දිරය වෙත කැඳවාගෙන ගියේය. බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව තුළදී කිසිදු උත්සව අවස්ථාවක් සඳහා හමුදා උත්තමාචාර යොදවා නොගත්තත් ඉන්දියාවේදී අනුර කුමාර ජනපතිට ඉහළින්ම ඒ උත්තමාචාර ලැබිණි.

මෝදි සමඟ සාකච්ඡාවලින් පසුව දෙරටේ නායකයන් විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක්ද නිකුත් කරනු ලැබීය. ඉන්දීය ජනපතිනි මුර්මු සමඟ ද රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ ජනපති අනුර කුමාර එහිදී ද කතාවක් කළේය. එසේම විදේශ අමාත්‍ය ජයශංකර් සහ මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ ද සාකච්ඡා කළ ජනාධිපතිවරයා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රජාව ද හමුවිය.

ජනාධිපතිවරයා ඉන්දියාවේ අගමැති වඩාත් සංවේදී කාරණයක් වශයෙන් සලකන කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ස්ථාවරය ඍජුව ප්‍රකාශ කිරීමද ඔහුගේ ඉන්දීය සංචාරය සාර්ථක ගමනක් ලෙසින් ඉන්දීය මාධ්‍ය මගින් පෙන්වා දීමද කැපී පෙනිණි. අනුර කුමාර ජනපති එහිදී ඍජුවම කිව්වේ තම රජය ශ්‍රී ලංකා භූමිය තුළ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට කිසිසේත් ඉඩක් නොතබන බවය.

“දි ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත්පත පෙන්වා දී තිබුණේ අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ජවිපෙ දේශපාලන පරිවර්තනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කර ඇති බවයි. “ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රබල ඉන්දීය විරෝධී ස්ථාවරයක සිට නවදිල්ලිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දක්වා ජවිපෙ පැමිණි ගමන දෙරට අතර සබඳතාවලට නව බලාපොරොත්තුවක් ඇතිකර තිබේ. කිසිසේත් වෙනස් කළ නොහැකි දේශපාලන එදිරිවාදිකම් වුවද උපයෝගිතාව සහ සහයෝගිතාව වෙනුවෙන් අතහැර දැමිය හැකි බව මේ ගමන පෙන්වා දෙයි. මීට දශක තුනකට ඉහතදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ එකම දේශපාලන වේදිකාවක් මතදී අදහස් හුවමාරු කරගත හැකි යැයි අදහසක් ඇතිකර ගැනීම පවා ඇදහිය නොහැකි තත්ත්වයක් විය. නමුත් අද දවසේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සාර්ථක සංචාරයක් අවසන් කර තිබේ. ජවිපෙ නායකත්වය මෙතෙක් පෙන්වා තිබූ දැඩි ස්ථාවර ප්‍රතිරූපයෙන් බැහැරව නවදිල්ලිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම දක්වා වෙනස්වීම පෙන්වා දෙන්නේ ඉන්දියාව සමඟ එම පක්ෂය දක්වන සබඳතාව කොතරම් වර්ධනය වී ඇත්දැයි යන්නයි.” වශයෙන් එහි පළ කර තිබිණි.

කෙසේ වුවද ඉන්දියාවේ කළ සංචාරයේදී ගනු ලැබූ ඇතැම් තීන්දු සම්බන්ධයෙන් මෙරට විපක්ෂයේ ප්‍රබලයන් සහ සමාජ මාධ්‍ය ද දැඩිව විවේචනය කර තිබිණි. මීට කලින් ඉන්දියාවට එරෙහිව චෝදනා කරමින් දැඩි මතභේදයට තුඩු දී තිබූ එට්කා ගිවිසුමට එරෙහිව ප්‍රබල විවේචන ඉදිරිපත් කළ මාලිමා/ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙවර ඉන්දියාවේදී එය අත්සන් කළේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කර තිබිණි. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නම් එය හැඳින්වූයේ තමන් ඉන්දියාව සමඟ ඇති කරගත් එට්කා ගිවිසුම පිළිබඳ කටයුතු ඉදිරියට ගෙන යාමට ජනපති අනුර කුමාර ගෙන ඇති ස්ථාවරය සම්බන්ධයෙන් සතුටු වන බවය. එහෙත් එම ගිවිසුම ඉදිරියට ගෙන යන බවට කළ ප්‍රකාශය ජනපති අනුර කුමාරට එල්ල කළ දේශපාලනමය උපහාසයක් බව සමහරුන්ගේ අදහස වී තිබිණි.
ජනපති අනුර කුමාර ආපසු පැමිණි වහාම පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි විය. ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන බවට කිසිදු පූර්ව සඳහනක් නොවීමද කැපී පෙනුණි. එය හදිසියේ ගත් තීන්දුවක් හෝ අනුර කුමාර ජනාධිපතිගේ උපායමාර්ගික දේශපාලනයේ කොටසක් විය හැකිය. ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිදු කළේ පසුගිය කාලය තුළදී රට තුළ විපක්ෂය විසින් බරපතළ විවේචනයකට හසු කළ අයි.එම්.එෆ්. ගිවිසුම සමඟ වත්මන් රජය ඇති කරගත් එකඟතා හෙළි කිරීමයි. එහිදී බදු සංශෝධන, වාහන ආනයනය, පරාටේ නීතිය, සිසුන්ට රු. 6000 ක දීමනා ලබාදීම වැනි එකඟතා ගැන ඔහු විස්තරාත්මක කරුණු දැක්වීමක් සිදු කළේය.

ඉන්පසුව විශේෂ ප්‍රකාශයක් කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබුණේ ආණ්ඩුවේ ආර්ථික කටයුතු හිතුමතේ විවේචනය නොකළ යුතු බවයි. “ආණ්ඩුවටත් විපක්ෂයටත් අයි.එම්.එෆ්. රාමුවෙන් පිට කටයුතු කරන්න බෑ. විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ්. රාමුව ඇතුළේ ඉඳගෙනයි. විපක්ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුණත් කරන විචේන අයි.එම්.එෆ්. රාමුවට ඇතුළේ විය යුතුයි. එම ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍යයි. ඇති කරගත් එකඟතා අනුව කටයුතු සියල්ල දැන් අවසානයි. අපට දැන් තිබෙන්නේ බංකොළොත්භාවයෙන් මිදුණු බවට වන ප්‍රකාශනය නිකුත් කරන්නයි.” යනුවෙන් ද එහි සඳහන් විය.
මේ අතර ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අභියාචනා අධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකර තිබීමද සතියේ කතාබහට ලක් වී තිබිණි. අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ සඳහන් වෙන්නේ පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තරග කර ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කරමින් සිටියදී බවද ඒ මහතා තවදුරටත් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරන බවද පෙත්සම්කරු සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ පිළිතුර තවම ලබා දී නැත.

මේ අතර මාලිමාවේ කළුතර දිස්ත්‍රික්කයේ කටකාර මන්ත්‍රීවරියක් වන නිලන්ති කොට්ටහච්චි මහත්මිය “ලෙන්චිනා”ගේ ප්‍රශ්න කිරීමකට ලක්වූයේ මහජනතාව ඉදිරියේදීය. එහිදී පැවති සංස්කෘතික උත්සවයක් අතරතුරදී සළු පාළියේ “ලෙන්චිනා” චරිතය රඟපෑ ශිල්පියා සමඟ සංවාදයකට එක්වූ අවස්ථාවේ ලෙන්චිනා ඇයගෙන් දැන් සැපදැයි ඇසීය. එයට සිනහවකින් පිළිතුරු දුන් පසුව රට හදනවද රට කනවද කියා ද ඇසුවේය. ඊළඟට “අර උගන්ඩාවේ සල්ලි ගේනවාද” කියා ඇසූ විට “ඔව් ඒවා ගේනවා” යනුවෙන් මන්ත්‍රීවරිය පිළිතුරු දුන්නාය. ඊළඟට ඇසුවේ කවදාද කියාය. “ළඟදිම ළඟදිම” යනුවෙන් පිළිතුරු දුන් මන්ත්‍රීවරිය සිනහමුසු මුහුණින් ඉවත්ව ගියේ රූපවාහිනී කැමරාවටද අත්ල පාමිනි.
මහ මැතිවරණයට තරග කළ ඇතැම් ඡන්ද අපේක්ෂකයන් මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින්නේ තම ප්‍රචාරක වියදම් පිළිබඳ විස්තර ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙනි. එම විස්තර ලබාදීමට තිබූ කාලය දෙසැම්බර් 06 වැනිදායින් අවසන් විය. මේ සම්බන්ධයෙන් එක් අපේක්ෂකයකුට සිදුව ඇති අකරතැබ්බයක්ද වාර්තා විය.

දැනගන්නට තිබෙන අන්දමට මේ අපේක්ෂකයා වියදම් විස්තර එකතු කරන නිලධාරීන්ගෙන් විමසා ඇත්තේ තමන් අපේක්ෂකයකු වී ඇත්තේ කෙසේද කියායි. මහ පාරේ ඇවිද යද්දී තමන් දන්නා හඳුනන අයකු පැමිණ පෝර්මයකට අත්සනක් ලබාගත් බවත් එහි බරපතළකම තේරුණේ තමන්ගේ ප්‍රචාරක වියදම් විස්තර ඉල්ලීම ලැබුණු අවස්ථාවේ බවත් ඔහු කියා තිබිණි. ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඡන්ද පත්‍රිකාවේ නම සඳහන් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තම ඡන්ද ව්‍යාපාරය සඳහා ආදායම් - වියදම් සිදු කළ ආකාරය පිළිබඳ විස්තර ලබාදීමට අපොහොසත් වුණොත් නීතියෙන් ලැබෙන දඬුවම් පිළිබඳ දැනගැනීමට ලැබීමෙන් මහත් සේ කලබලයට පත් ඔහු පවසා ඇත්තේ තමන් ක්‍රියාකාරීව ඡන්ද කටයුතුවල නොයෙදුණු බවත් මේ වාර්තා ඉදිරිපත් කරන ආකාරය ගැන තමන් කිසිවක් නොදන්නා බවත්ය.

නාමයෝජනා ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ගැන අවබෝධයකින් තොරව එය සිදු කිරීමෙන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට මෙය එක් උදාහරණයක් පමණි. කෙසේ වුවද “නීතිය නොදැන සිටීම දඬුවමින් ගැලවීමට හේතුවක් නොවන” බව සියලු ඡන්ද අපේක්ෂකයන් දැන සිටිය යුතුය.

පාර්ලිමේන්තුවේ හිටපු කතානායකගේ සිට විපක්ෂ නායකගේ අධ්‍යාපන සහතික සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති විභාගය දක්වා ඇදී ගිය පාර්ලිමේන්තුවේ කටයුතු මැදින් ගෙවී ගිය සතිය අවසන් විය. එහෙත් ඉදිරි සතියටත් මේ උපාධි පට්ටම් පිළිබඳ කතා ඇදෙන බවට සලකුණු ඉතිරිව තිබේ.

• අංජන