2025 ජනවාරි 18 වන සෙනසුරාදා

රාජිතගෙන් විශේෂ හෙළිදරව්වක්

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 5481

දේශපාලනයේදී කරන සහ කියන දේවල් අතර ඇත්තේ සැලකිය යුතු තරම් පරතරයකි. මෙරට දේශපාලන ඉතිහාසය පුරාවටම අපි එය අත්දැක ඇත්තෙමු. දශක හතකට අධික ඉතිහාසය තුළ දේශපාලන කියුම් කෙරුම් අතර පැවැති වෙනස අකා මකා දමනු රිසින්, ඉතිහාසයේ සාම්ප්‍රදායික දේශපාලන ධාරා අතික්‍රමණය කරන්නට මෙරට පුරවැසියෝ පසුගිය වසරේ තීරණය කළෝය. එහෙත් උදා වූ වසරේ සති දෙකක් ඉක්මයන විට කන්කොන්වල සැක සංකා නිර්මාණය වන අයුරු දැකගන්නට ලැබුණි. ඒ අනුව උදා වී ඇත්තේ දේශපාලන කෙරුම්කාරයන්ට පොළොව හරියට කියවාගත යුතුම කාලයයි.

පසුගිය සතියේ අලු‍ත් තැන්වල අවනඩු මෙන්ම පැරණි තැන්වල කසුකුසු ද නිර්මාණය වී තිබුණි. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර නිර්මාණය වීමට යන දීගය ඉකුත් සතියේ කාගේත් අවධානය දිනාගත් මාතෘකාවක් විය.
“රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, කබීර් හෂීම් සහ හර්ෂණ රාජකරුණා සමගි ජනබලවේගය පැත්තෙන් මේ සාකච්ඡාවලට නම් කරලා තියෙනවා.”‍
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඉදිරි සතිය මෙම සාකච්ඡා පිළිබඳ ඉතා තීරණාත්මක සතියක් වනු ඇතැයි කියැවෙයි. එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් තලතා අතුකෝරළ, රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායමක් මෙම සාකච්ඡා මෙහෙයවන බවද ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් පසුගිය සතියේ මේ සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සුවිශේෂී හෙළිදරව්වක් සිදුකොට තිබුණි.
“මුලින් සජිත් විරුද්ධ වෙලා තියෙනවා. නමුත් මේගොල්ලෝ ඔක්කොම කියලා තියෙනවා එක්කහු වෙන්න ඕනෙ කියලා. ඒ අනුව සජිත් එකඟ වෙලා තියෙනවා.”‍
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණය සඳහා භාවිත කළ යුතු ලකුණු පිළිබඳ මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. රාජිත සේනාරත්න හෙළිදරව්වෙන් ඒ පිළිබඳ ඉඟි ලැබී තිබේ.
“මේ දෙකම නැතුව එක පොදු ලාංඡනයකින් විපක්ෂයේ සියලු‍ කොටස් එකතු කරලා එක කණ්ඩායමක් විදියට තරග කරන්න එකඟ කරගන්න කියලා අපේ පැත්ත කියලා තියෙනවා. ඒගොල්ලොත් එතැන බලපෑම් කරලා ඒ විදිහට කරන්නම් කියලා

තියෙනවා, එතැන ඉන්න අනිත් පක්ෂත්.”‍
කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් සිය ලකුණ අත හැරීමට කිසිදු අනුකූලත්වයක් නොදක්වන බව එම පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.
“එකතුවෙන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ලකුණ අපේ ලකුණ වෙන්න ඕන.”‍

මේ අතර සමගි ජනබලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද පක්ෂ දෙකේ එකතු වීම පිළිබඳ සාකච්ඡා මෙම සතියේ පැවැත්වෙන බව මේ වන විටත් තහවුරු කොට තිබේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට, ඉකුත් මැතිවරණ සමයේදී සමගි ජනබලවේගය ගෙන ආ කොන්දේසිය මේ වන විට ඔවුන් හකුලාගෙන ඇති බවද කියැවේ.
මේ අතර පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුවිශේෂී සාකච්ඡාවක් කැඳවා තිබුණි. එම සාකච්ඡාව කැඳවා තිබුණේ ඉදිරි අයවැය පිළිබඳ, විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල අදහස් දැන ගැනීම සඳහාය. මේ සඳහා විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් රැසක් එක්ව සිටි බව දැන ගැනීමට ලැබෙයි.
“මේ සැරේ ඒ ඒ ක්ෂේත්‍රවලට ආණ්ඩුව දීල තියෙන අවධානය සහ ඔවුන් ලබාදුන් පොරොන්දු ඔක්කොම එකට අරගෙන ලෑස්ති වෙලා විවාදයට යන්න තමා සූදානම.”‍

විපක්ෂය දෙසින් ඇසෙන ආරංචිය අනුව අයවැය විවාදය ඉතා උණුසුම් එකක් වනු ඇතැයි කියැවේ.
මේ අතර විපක්ෂ නායකවරයා අයවැය සම්බන්ධ මහජන අදහස් දැන ගැනීමට ද නව වැඩපිළිවෙළක් සැලසුම් කොට තිබුණි.
එහි පළමු පියවර ලෙස සමගි ජන බලවේගයට අනුබද්ධිත වෘත්තීය සමිති සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ, අයවැය විවාදයේදී ඔවුන්ගේ අදහස් ලබා ගැනීමේ අරමුණු සහිතවය. මේ සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් ද එක්ව සිටියහ.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කතාබහ සිදුවිය යුතු ආකාරය පිළිබඳ විපක්ෂ නායකවරයා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමටද මෙහිදී කටයුතු කළ බව දැන ගැනීමට ලැබේ.
“දත්ත හා තොරතුරු මත පදනම්ව සියලු‍ තර්ක ඉදිරිපත් කරන්න. ආණ්ඩුව කරන කියන දේවල් තර්කානුකූලව විග්‍රහ කළ යුතුයි. ජනතාව වෙනුවෙන් දැවැන්ත හඬක් නගන්න ඕනෑ.”‍

විපක්ෂ මන්ත්‍රීවරුන් සේම ආණ්ඩුවට එරෙහිව හඬ නගන පිරිස් තුළ ද නිසි විනයක් පවත්වාගෙන ඉලක්කගතව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය වී ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අයුරින් වෘත්තීය සමිති, සිවිල් සංවිධානවල අදහස් මෙන්ම පුරවැසි ඔබේ අදහස් ලබා ගැනීමටත් විපක්ෂ නායක කාර්යාලය පසුගිය සතියේ සැලසුම් සකස් කොට තිබුණි. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයට යොමු කරන පුරවැසි අදහස්වලට මෙවර අයවැය විවාදය තුළ ඉඩ ලබා දෙන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සූදානම් වූයේය.

“2025 පෙබරවාරි 18 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන අයවැය විවාදය තුළ පුරවැසි ඔබේ අදහස් ආණ්ඩුවට ඉදිරිපත් කරන්න අපි සූදානම්.”‍
ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට විපක්ෂ නායක කාර්යාලය වෙත අයවැය සම්බන්ධ අදහස් සහ යෝජනා බාරදීමට, දුරකථන අංක සහ ලිපිනය පවා පසුගිය සතියේදී ප්‍රසිද්ධියට පත් කොට තිබුණි.

මේ අතර පසුගිය සතියේදී චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 වැනිදා රාත්‍රියේ දී තෙදින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියේය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ රැඳී සිටි අතර, චීන දේශපාලනඥයන්, ආයතන සහ තවත් කණ්ඩායම් රැසක් සමඟ සාකච්ඡා සිදුකොට තිබුණි.

“චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වුණා.”‍
ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ජනපතිවරයා චීන ආයෝජකයන් හමුවී ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු කොට ඇතැයි දැන ගැනීමට ලැබේ. ඒ අනුව ජනාධිපතිවරයා චීන ආයෝජකයන් වෙත සිදුකර ඇත්තේ මෙවන් යෝජනාවකි.

“ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන්න.”‍
මේ අතර ජනාධිපතිවරයාට චීන කොමියුනිස්ට් පක්ෂය දීර්ඝ කාලීන සම්බන්ධතාවක් වන බැවින්, එම පක්ෂයට සම්බන්ධ පිරිස් සමඟ ද සාකච්ඡා සිදුවූ බව අසන්නට ලැබේ. මේ අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ ජනමාධ්‍ය අංශවලට අදාළව අවබෝධතා ගිවිසුම් 15 ක් අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසා තිබුණි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව්දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමිවූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූයේය. ඩොලර් බිලියන 3.7 ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02 ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කෙරෙන බව කියැවුණි.

වත්මන් ආණ්ඩුවද දේශපාලන දඩයම ආරම්භ කර ඇතැයි පසුගිය සතියේ පොහොට්ටුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට විය. ඒ අනුව ගැටලු‍වලට මුහුණ දෙන දේශපාලනඥයන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ ව්‍යාපෘතියක් දියත් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

“නඩුවලට ප්‍රශ්නවලට මැදිවෙන පොහොට්ටුවට සම්බන්ධ වෙලා හිටපු පිරිස්වලට අවශ්‍ය නීති උපදෙස් ආධාර ලබා දෙන්න වැඩපිළිවෙළක් නිර්මාණය කරලා තියෙන්නෙ.”‍
පොහොට්ටුවේ ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබෙන මෙම ක්‍රමවේදය පිළිබඳ පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද යම් ඉඟියක් ලබා දී තිබුණි. ඔහු සඳහන් කර තිබුණේ වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකර දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවකි. එම තත්වය යටතේ දඩයමට ලක්වන දේශපාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීති ආධාර කාර්යාලයක් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවද නාමල් රාජපක්ෂ පැවසීය.

මේ අතර ජනපති චීනයේ සිටියදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් කිහිප දෙනකු හමුවීමට කටයුතු කර තිබීමද දේශපාලන කසුකුසුවක් නිර්මාණය කළ සිදුවීමක් විය. එම දේශපාලනඥයන් අතර නාමල් රාජපක්ෂ ද කැපී පෙනෙන චරිතයක් වූයේය. මෙම සාකච්ඡාවෙන් පසු ෆෙස්බුක් හි සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පැවසුවේ වසර ගණනාවක් තිස්සේ රටවල් දෙක අතර පවතින ශක්තිමත් සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳ සාකච්ඡා කළ බවකි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවිය. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට

උපකාර කිරීම සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මෙම සාකච්ඡාව පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව ඉන්දු ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ අන්‍යොන්‍ය වශයෙන් වැදගත් අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

එජාප - සජබ හවුල නිර්මාණය වීමත් සමඟම සිලින්ඩරයේ අවසානය සනිටුහන් වන බව පැහැදිලිව පෙනී යමින් තිබුණි. රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සමඟ එකතු වී සිටි පොහොට්ටුවෙන් බිඳී ගිය කොටස් සිය දේශපාලන කඳවුර නිර්මාණය කර ගැනීම සඳහා මේ දිනවල වෙහෙස වී වැඩ කරන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

“කණ්ඩායම් අතර සාකච්ඡා සර්වජන බලය වෙනුවෙන් දිලුම් අමුණුගම තමා මෙහෙයවන්නෙ. අනිත් පාර්ශ්ව වෙනුවෙන් ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් සාකච්ඡාවලට එකතු වෙලා ඉන්නවා.”‍
මේ අනුව පොදු සන්ධානයක් නිර්මාණය කර ගැනීම ඉතා නුදුරේදී සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතරින් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු ගිය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සිලින්ඩරයෙන් බිඳී යාම නිවේදනය කොට තිබුණි. ඔහු පවසා තිබුණේ පළාත් පාලන මැතිවරණයට සිලින්ඩරය ලකුණෙන් තරග නොකර වෙනත් දේශපාලන ධාරාවක් සමඟ එක්ව කටයුතු කරන බවයි.

වෙනත් දේශපාලන ප්‍රවාහයක් සමඟ ඉදිරියේදී කටයුතු කිරීමට අදාළව සාකච්ඡා කිරීමට දින නියම කරගෙන සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසා තිබුණි.
මේ අනුව ඉදිරි සති කිහිපය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන සන්ධාන නිර්මාණය වීම සඳහා ප්‍රමුඛ පෙළේ සාකච්ඡා සිදුවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ විට මාර්තු මුල් සතිය පමණ වන විට අදාළ සන්ධාන ප්‍රකාශයට පත්වුණු ඇති බවද කියැවේ.
“අභ්‍යන්තර ආරංචි මාර්ග කියන විදිහට අප්‍රේල් මාසේ දෙවැනි සතියේ පළාත් පාලන මැතිවරණය තියයි. ගොඩක් වෙලාවට අප්‍රේල් 10 වැනිදා වෙන්නත් පුළුවන්.”‍

ආණ්ඩුව අභ්‍යන්තරයේ ද පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සම්බන්ධව දීර්ඝ වශයෙන්ම සාකච්ඡා සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සෑම ගමකින්ම උගත් බුද්ධිමත් තරුණ නියෝජනය සඳහා වැඩි ඉඩක් ලබා දීමට ආණ්ඩුව උත්සුක වෙමින් සිටියි.

ජාතික ජන බලවේගයට සම්බන්ධ කොට්ඨාස සභා මේ වනවිට අතිශය සක්‍රීය වී ඇති අතර, ඔවුන් විසින් මැතිවරණයට මුහුණදීම සඳහා සුදුස්සන් යෝජනා කිරීමට ග්‍රාමීය මට්ටමෙන් සාකච්ඡා සිදු කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම පළාත් පාලන ආයතන බොහෝ තැන්හි අක්‍රිය වී ඇති බැවින්, සංවර්ධන කටයුතු සඳහා කොට්ඨාස සභා මැදිහත් වීම සිදුවන බවද මේ වන විට වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය පිළිබඳ ආණ්ඩුව අභ්‍යන්තරය මෙන්ම, ආණ්ඩුවට සහයෝගය පළ කළ පිරිස් තුළ ද සැක සංකා නිර්මාණය වී ඇති බව දේශපාලන තිරය පිටුපස කතාබහේදී අසන්නට ලැබේ.
“ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ලබාගත්ත තරම් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න බැරිවෙයි.”‍

කෙසේ වෙතත් මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි මාසයක දෙකක කාලය තුළදී සංවර්ධන ව්‍යාපෘති සහ සහන රැසක් ජනතාවට ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දිනවල රට පුරා පැවැත්වෙන සමූපකාර මැතිවරණ, ජාතික මැතිවරණවල ස්වභාවයක් ගෙන ඇති බව පෙනී ගියේය. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් මෙම ප්‍රාදේශීය සමූපකාර ඡන්ද ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රචාරක වැඩසටහන් පවා දියත් කර තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

“මාලිමාවේ අයත් මේ මැතිවරණ දිනන්න ලොකු උත්සාහයක් දරනවා. අපිත් අතහරින්නෙ නෑ.”‍

විපක්ෂයට සහයෝගය ලබා දෙන පරාජිත දේශපාලනඥයන් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයන් මෙම මැතිවරණ වෙනුවෙන් වෙහෙසී වැඩ කරනු දැකගත හැකි විය.
ඒ අනුව හෝමාගම සමූපකාර ඡන්දය මාලිමාවේ පිරිස පරාජයට පත් වූ අතර, පසුගිය සතියේ බේරුවල දී ද මාලිමාවට පරාජයක් අත්විය.

විපක්⁣ෂයේ පක්ෂ එකතු වී තරග කළ සමූපකාර ඡන්දවලදී ආණ්ඩු පාර්ශ්වය පරාජය කර බලය හිමි කරගැනීමට හැකි වූ බව රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා ද පසුගිය සතියේ බී.බී.සී සිංහල වෙබ් පිටුවට පවසා තිබුණි. “බේරුවල අපි ඔක්කොම එක කණ්ඩායමක් විදියට තරග කළා. හැම තැනකටම වගේ එතකොට ජේ.වී.පී එකට ඉතුරු වු⁣ණේ 30% යි. අනිත් ඔක්කොම ආවේ ඒකාබද්ධ විපක්ෂයට. ඒ වගේම බියගමත් එහෙමයි. හෝමාගමත් එහෙමයි. ඒ හැම තැනකම එකට එක්කහු වෙලා දැම්මාම අපි ජයග්‍රහණය කරනවා.”‍

මේ අතර මනූෂ නානායක්කාර සහ ඔහුගේ සහෝදරයා සම්බන්ධ ජවනිකා පෙළ නොනවත්වාම පසුගිය සතියෙත් වේදිකාගත වෙමින් තිබුණි. කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පසුගිය බදාදා අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වෙත යොමු කළේය.

“මනූෂව අත්අඩංගුවට ගන්න යන්නේ.”‍

යනුවෙන් දේශපාලන කරළියේ පැතිර ගිය කටකතා හේතුවෙන් ඔහු මෙම ඉල්ලීම සිදු කරන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙඳාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු කැඳවීමට අදාළව මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම සිදුකොට තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කිරීමටත් නඩුව ජනවාරි 20 වැනිදා යළි කැඳවීමටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර හට ඇප ලැබුණි. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හරිනු ලැබීය.

කෙසේ වෙතත් සිකුරාදා මනූෂ නානායක්කාර වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් ලැබී තිබුණි. අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධව ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම සිදුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පසුගිය සිකුරාදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) කැඳවීමක් ලැබී තිබුණි. ඒ අනුව ඉකුත් සිකුරාදා පෙරවරුවේ කැඳවීමකට අනුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුව තිබුණි.

• චමිඳු නිසල් ද සිල්වා