දේශපාලන බල ක්‍රීඩාව නිරන්තර සූදුවකට සමානය. තුරුම්පු ඇදිය යුත්තේ හරි තැන බලාය. වැරදි කොළය වැරදී විසි කළහොත් ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳී යා හැකිය. මෙරට දේශපාලන සූදුවේ තරමක තීරණාත්මක උණුසුමක් ඉකුත් සතියේ නිර්මාණය වූයේ අහම්බයෙනි. ආණ්ඩුව හිටි හැටියේම ඇදි තුරුම්පු කොළ කිහිපයක් නිසාවෙනි.
කාගේත් අවධානය දිනාගත් ප්‍රධානම සිදුවීම බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස සම්බන්ධ ජනපතිගේ ප්‍රකාශයයි. “දැනට මහින්ද ඉන්න ගෙදර මාසික කුලිය ලක්ෂ 46යි. තාම ඉඩම තක්සේරු කළේ නැහැ. බෞද්ධාලෝක මාවතේ ගේ අපි ගන්නවා. පඩියෙන් තුනෙන් එකක් දෙනවා. තිස්දාහයි. එහෙම නැත්නම් ඉතිරි සල්ලි දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්.”
මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා සිදු කළේ කළුතර කටුකුරුන්දේ පැවති සුහද හමුවකට එක්වෙමිනි. මෙම ප්රකාශයෙන්ද නොනැවතුණු ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කරගත් තවත් ප්‍රකාශ කිහිපයක්ම සිදු කළේය.
“හිටපු ජනාධිපතිවරයකුගේ ආරක්ෂාවට විතරක් කෝටි 70 ක් ගිහින්. අපි ඔක්කෝම අයින් කළා. කෙඳිරි ගෑවොත් ඉන්න ආරක්ෂකයෝ 60 ත් අයින් කරනවා. ඩ්‍රෝනවලින් ගහන්නත් තර්ජන තියෙනවලු. තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව දෙනවා.”
සියලු සංදර්ශන ඇරඹියේ මෙම ප්‍රකාශයත් සමඟයි. “ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබා දීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කර ගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්තමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍ය නම්, ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතැනින් ඉවත් කරගන්න අවශ්‍ය නම්, ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්වන්න පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි, ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන දෙයක්.”
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ මාධ්‍ය හමුවේ කඩිනම් ප්‍රතිචාරය මෙය විය. මහින්ද රාජපක්ෂ මහතාට වර්තමානයේ සහ අතීතයේ සමීපව සිටි බොහෝ දෙනකු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කෙරෙහි එතරම් කැමැත්තක් නොදක්වන බව පෙනී ගියේය. මේ අතර විජයරාම නිල නිවෙසට රාජපක්ෂ මහතා මුණගැසීමට හිටපු දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනකු වැල නොකැඩී පැමිණි බවද ආරංචි මාර්ග සඳහන් කළේය. “ඔබතුමාට ඕන නම් කොළඹින් නිවසක් ලෑස්ති කරල දෙන්නම්.” ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම කොළඹ අවටින් නිවෙසක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සොයා දීමට සහ ඒ සඳහා පිරිවැය දැරීමටද සූදානමින් සිටින බව කියැවිණි.
“මට එහෙම අවශ්‍ය නැහැ. මම කාල්ටන් එකට හරි, මැදමුලනට හරි යනවා. එයාලා ඔය පනත වෙනස් කරලා ලියුම දෙනකම් ඉන්න. මෙතන තියෙන ප්රශ්නය ආරක්ෂාව විතරයි.”
පසුගිය කාලයේ දේශපාලනය පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වුවත්, ජනපතිගේ ප්‍රකාශයත් සමඟ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තදින් නැවත දේශපාලනීකරණය වී ඇති බව ඔහු හමුවූ අයගෙන් දැන ගැනීමට ලැබුණි.
“කෙහෙල් කඳන් දාලා මිනී පෙට්ටි දකුණට ආවේ. යුද්දෙ නතර කරන්න කියලා ලෝකෙම ලොකු ලොකු චරිත කියන්න පටන් ගත්තා. තිස්දාහක් විතර මැරුණු ඒ යුද්ධය අපි ඉවර කළා.”
රාජපක්ෂ මහතා තමා හමුවන පිරිස් සමඟ අතීත කතා ද සිහි කරමින්, වර්තමාන පාලකයන් ත්රස්තවාදීන් මෙන් කතාබහ කරන බව කියා තිබුණි. එසේම ඔවුන් මේ ඉටු කරනු ලබන්නේ යුරෝපයේ දමිළ ඩයස්පෝරාවට ලබා දුන් පොරොන්දුවක් බවත් රාජපක්ෂ මහතා කී බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පසුගිය සතියේ සඳුදා සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීම සම්බන්ධ කතාව තවත් අදියරකට පැමිණ තිබුණි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නිල වශයෙන්ම මෙම දීගයට අවසර හිමිවිය. ඒ අනුව එජාප පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහ ලේකම් තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් සාකච්ඡා සඳහා නියෝජිතයන් ලෙස පත්කර ඇත.
“එක්සත් ජාතික පෙරමුණ කියන සන්ධානය යටතේ තරග කරනවා නම් හොඳයි.”
වැනි යෝජනාවක්ද මෙහිදී මතු වූ බව ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් අසන්නට ලැබෙන්නේ සමගි ජන සන්ධානය වෙත එක්සත් ජාතික පක්ෂය එකතු කර ගැනීමට ඔවුන් සූදානම් වන බවකි.
පසුගියදා සමගි ජන බලවේගයේද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවතියේය. එහිදීද මෙම සාකච්ඡාවලට නිල වශයෙන් අවසර ලැබී තිබුණි. කෙසේ වෙතත් මෙයට කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙතින් සාකච්ඡා සඳහා අවසර ලැබෙන විටත්, එජාප - සජබ සාකච්ඡාවල සැලකිය යුතු සාර්ථකත්වයක් තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
“සජබ එක ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මේ වැඩේට බොහොම තදින් විරුද්ධ වෙනවා. මේ සන්ධානය නිසා පක්ෂය විනාශ වෙනවයි කියලයි කියන්නෙ.”
මෙවන් කතාවක්ද දේශපාලන කරළියේ මේ වන විට පැතිර යමින් පවතී.
මේ අතර ඉදිරි මාසය දෙකක කාලය තුළ පසුගිය කාලයේ දේශපාලනඥයන්ට එල්ල වූ චෝදනා සම්බන්ධව විමර්ශන අලුත් කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණි. ඒ අනුව ඉදිරියේදී දේශපාලනඥයන් රැසක් ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පිළිබඳව ඉඟියක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ද දැක ගැනීමට ලැබුණි.
“අපි විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒ විමර්ශනවල ප්‍රගතිය මට එළියට වාර්තා කරන්න බෑ. ඒත් යම් විමර්ශන ප්‍රමාණයක් අපි කඩිනම් කරලා තියෙනවා.”
මෙම ප්‍රකාශය සිදුකොට තිබුණේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ආරම්භ වී ඇති බවද ඔහු හෙළිදරව් කොට තිබුණි.
“අපිව කලබල කරන අයට අපි කියන්නේ මෙච්චරයි. නීතියට අනුව ඔයාලගේ ගෙදරට සිතාසියක් එයි. අන්න එදාට එන්න සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත්වල හැංගිලා ඉන්නේ නැතිව.” මේ අතර පසුගිය සතියේ දේශපාලන කරළියේ ලොකු
ලොක්කන්ගේ අවධානය දිනාගත් අත්අඩංගුවට ගැනීමක්ද වාර්තා විය. හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනවාරි 22 අත්අඩංගුවට ගනු ලැබුවේ, රජයේ මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළවයි.
ගංවතුර ආධාර ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා භාවිත කිරීමට අදාළ චෝදනාවක් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව පොලිසිය සඳහන් කළේය. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණේ මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවකි. පුටුව ලකුණින් පොදුජන එක්සත් පෙරමුණ හරහා දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටි අනුර ප්‍රියදර්ශන යාපාට මෙවන් තත්වයකට මුහුණ දීමට සිදුවීම එම කඳවුරේ බොහෝ දෙනකුට නොරුස්සන බව පෙනී ගියේය. බැඳුම්කර වංචා, වීසා වංචා සිදු කළ අය අත්අඩංගුවට නොගෙන මේ කරන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් බව සඳහන් කළේ පාඨලී චම්පික රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.
“අනුර යාපා සහ ඒ මැතිනිය දඩයම් කිරීමට උත්සාහ කිරීම පිටුපස්සේ තියෙන්නේ දේශපාලනය. වෙන මුකුත් නෙමෙයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒ හා බැඳිච්ච දේශපාලන කණ්ඩායම් අලුතෙන් ප්රතිසන්ධානය වෙලා අලුතෙන් නව දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටියදී තමයි මේ ප්‍රහාරය එල්ල වුණේ.”
නව ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සාපේක්ෂ නිහඬ ප්‍රතිපත්තියක් දැරූ විපක්ෂ දේශපාලන කඳවුරු කණ්ඩායම් ක්‍රමිකව බලගැන්වෙන බව පසුගිය සතියේ පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ආණ්ඩුව පිළිබඳ දැඩි විවේචනාත්මක ප්‍රකාශ කිහිපයක් ඉස්මතු වී ආවේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ, නව ජනතා පෙරමුණ නායක සූගීෂ්වර බණ්ඩාර ආණ්ඩු විරෝධී කඳවුරේ කැපීපෙනෙන චරිතයක් ලෙස කලඑළි දකිමින් සිටියේය. “දින එකසිය විස්සක ආණ්ඩුව තුළ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පොරොන්දු වුණු කිසිදු කාරණාවක් ඉටු කරන්න තවමත් සමත් වෙලා නෑ. එතුමා ප්‍රකාශ කරපු විදියට ජල හා විදුලි බිල අඩු කිරීමට, රුපියල් එකසිය පනහට පෙට්‍රල් ලබා දීමට, විශ්‍රාමිකයන්ගේ බැංකු පොලී අනුපාතය සියයට 19 දක්වා වැඩි කිරීමට තවමත් බැරි වෙලා තියෙනවා. වී සඳහා සහන මිලක් ලබා දෙන්නත් තවම බැරි වෙලා තියෙනවා. ඒ වගේම රටේ සියලු දෙනාටම වාහනයක් මිලදී ගන්න පුළුවන් වෙන විදියට වාහන ගෙන්වා දීම වගේ ලබාදුන් එකී මෙකී සියලු ඡන්ද පොරොන්දු ඉටු කරගත නොහැකිව දැඩි මානසික ව්‍යාධි හා දැඩි මානසික අසහනකාරී තත්වයකට පත්වෙලා.”
ජනාධිපතිවරයා පසුගිය සමයේ සිදු කළ ප්‍රකාශවලට හේතුව මෙම මානසික තත්වය බව ඔහු අනියමින් කියා සිටියේය. “2009 වර්ෂයෙන් පස්සෙ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මෙරට ජනතාව මරණයට පත් නොවුණෙ මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් එදා ගත් එඩිතර ක්‍රියාමාර්ග නිසා. නමුත් වත්මන් ජනාධිපති අනුර කුමාර මහතා එවැනි තිස් අවුරුදු යුද ශාපයෙන් රට බේරාගත් නායකයා නිවෙසින් එළියට ඇද දැමීම පිළිබඳව කතා කිරීමද පිළිකුල් සහගතයි.”
මේ අතර විපක්ෂයේ හුදෙකලා කලබලකාරී සටන්කරුවා බවට චාමර සම්පත් මන්ත්‍රීවරයා පත්ව සිටින බව පසුගිය සතියේ ද හොඳින්ම දැක ගැනීමට ලැබුණි. ඔහු ද ආණ්ඩුව පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළේය. මෙවර ඔහු පැටළුණේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ මෝටර් රථ භාවිතය පිළිබඳ ගැටලුවකය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් විමසන ලද ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරකට අදාළව චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළේය.
“වාහන මාදිවෙල තියෙනවා. කැබ් පදිනවා. ඔබතුමිය කියනවා වගකීමෙන් දීලා නෑ කියලා. මම ඒක පිළිගන්නවා. අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඇමැතිවරයෙක් පදිනවා. ඒකට වියදම V8 එකට වඩා වැඩියි. නම කියන්නද? වසන්ත සමරසිංහ. සමාජ මාධ්‍යයේ ගිය මෙන්න මේ වාහනේ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ. නම කියන්නෙ නෑ. වල් අදිනවා. බණ්ඩාරවෙල පූනාගල වත්තේ වල් අදිනවා.”
මෙහිදී ඡායාරූපයක්ද සභාගත කර මන්ත්‍රීවරයා ඒ පිළිබඳ සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේය.
“ඕක මට එවන්න. මං හොයලා බලන්නම්.”
අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. පක්ෂයේ විනය සම්බන්ධ පියවර ගැනීමට චාමර සම්පත්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බව ඇය කියා සිටියාය.
මේ අතර පසුගිය සතියේ දැන ගැනීමට ලැබුණු පරිදි සමගි ජන බලවේගයද ඉදිරි වසර කිහිපයේ දේශපාලනය සම්බන්ධව ගැඹුරින් සිතා බලමින් සිටියේය. සජබ විපක්ෂයේ සෙසු කණ්ඩායම් තරම් ආණ්ඩුව කෙරෙහි බලපෑම් සහගත විවේචකයකු ලෙස
පෙරට නොපැමිණීමට හේතුව එය විය හැකි බව දේශපාලන කරළියේ තිරය පිටුපස සංවාද අතර අසන්නට ලැබුණි.
“සම සංවිධායකවරු සහ සංවිධායකවරු දෙගොල්ලක් ඉඳලා වැඩක් නෑ. එහෙම වුණාම ගැටුම් ඇති වෙනවා. ආසන ඇතුළේ ශක්තිමත්ව කටයුතු කරන්න නම් එක සංවිධායකවරයෙක් හිටියම ඇති.”
පසුගියදාක සමගි ජන බලවේගයේ සාකච්ඡාවකදී මතු වූ අදහසක් අනුව සම සංවිධායක පත්කිරීම් නතර කර දැමීමට නායකත්වය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සමගි ජන බලවේගය රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අරමුණින් නම් සිය කඳවුර තුළ නව නායකයන් නිර්මාණය කළ යුතු බවට ද තීරණය කර ඇතැයි ද ඇතැම් වාර්තා පෙන්වා දෙයි. “හර්ෂණ හැම සාකච්ඡාවකම ඉන්නවා. එයාව ලොකුවට ඉස්සරහට ගේන්න උත්සාහයක් තියෙනවා.”
දේශපාලන කරළියෙන් අසන්නට ලැබෙන පරිදි හර්ෂණ රාජකරුණා සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයකු බවට පත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මකය. එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වන සාකච්ඡාවලට මෙන්ම, පක්ෂයේ ප්‍රධාන පෙළේ තීන්දු තීරණ ලබාගන්නා අවස්ථාවලදීද ඔහුට ඒවාට සම්බන්ධ වීමට අවකාශය ලබා දී ඇත්තේ එම අරමුණෙන් බව කියැවේ. කෙසේ වෙතත් තවත් තරුණ නායකයන් කිහිප දෙනකු පිළිබඳව ද සමගි ජන බලවේගය නායකත්වය සහ ජ්‍යෙෂ්ඨයන් මෙම ක්‍රියා පටිපාටියම අනුගමනය කරනු ඇතැයි අප දේශපාලන ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි. කවදත් මෙරට දේශපාලනයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙන පාර්ලිමේන්තු කැන්ටිම පසුගිය සතියේ ද පුවත් මවන ස්ථානයක් බවට පත් විය.
“අපි කියන්නෙ නැහැ කෑම එක ඔතාගෙන පාර්ලිමේන්තුවට එන්න කියලා. හැබැයි පාර්ලිමේන්තුවෙන් කෑම ගන්නව නම් හරි ගාණ ගෙවන්න ඕන. කෑම එකට දෙදහක් යනව නම් 2000 ක් දීලා කන්න. ඒක අවුලක් නෑනේ.”
දින කිහිපයක් තුළ සිදුවන වෙනස පිළිබඳ ඉඟි පළ කළේ ජනපති අනුර කුමාර දිසානායකමය. පාර්ලිමේන්තු කැන්ටිමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු විශේෂ සහන ඉවත් කරන බව ඔහු කීය.
මේ අනුව පසුගිය සතියේ අවසන් දින කිහිපය වන විට මෙම තීන්දුව ක්‍රියාවට නැංවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ රුපියල් 450 ක මුදල රුපියල් 2000 ක් දක්වා රුපියල් 1,550 කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී තීරණය කළ බව එහි සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන්නේ ලබන මාසයේ සිටය.
“මෙතෙක් උදෑසන ආහාරය සඳහා අය කළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 600 දක්වා ද රුපියල් 300 ක්ව පැවති දිවා ආහාරය සඳහා ගාස්තුව රුපියල් 1,200 දක්වා ද ඉහළ දමා ඇති අතර තේ පැන් සඳහා රුපියල් 50 ක්ව අය කළ ගාස්තුව රුපියල් 200 දක්වා ද ඉහළ දමා තිබෙනවා.”
කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරීන්ට ලබාදුන් මිල ගණන් කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කොට නොමැති බව ප්‍රකාශයට පත් විය.
මේ අතර පසුගිය සතියේ වාර්තා වූ පරිදි අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හිමිව තිබුණු නිල වාහන ප්‍රමාණය හා ඉන්ධන දීමනාව අඩු කිරීමට ද ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කළේය.
“2025 ජනවාරි 21 චක්‍රලේඛයට අනුව අමාත්‍යවරයකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයකුට ලැබෙන නිල වාහන දෙකක් දක්වා අඩුකර මාසිකව හිමිවන ඉන්ධන දීමනාව (ඩීසල්) ලීටර 900ක් දක්වා අඩු කරලා තියෙනවා.”
කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවන්හිදී අමාත්‍යවරයකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයකුට නිල වාහන තුනක් භාවිත කිරීමේ අවසරය තිබුණු අතර මාසික ඉන්ධන දීමනාව ඩීසල් ලීටර 1950 ක් ද වෙන්කොට තිබුණි. ඒ අනුව ඩීසල් ලීටර් 1050 ක දැවැන්ත කප්පාදුවක් සිදුවිය.
• චමිඳු නිසල් ද සිල්වා