2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

විශ්වාසභංගයට එජාප - ශ්‍රීලනිප ගැටුමක්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 264

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හරහා වංචනික ක්‍රියා සිදුව ඇති බවට බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වීමත් සමඟ මෙරට දේශපාලනය නැවතත් ගිනියම් වී තිබේ. ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයෙන්ද ඇසෙන්නේ සැරකතාය. ආණ්ඩුව තුළ සිටින ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කර තිබුණේ අමාත්‍ය රවි කරුණානායක මහතා ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීන්දුවක් ගනු ඇත්තේ මේ සතියේ කරැණානායක මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දීමෙන් පසුව බවයි. එහෙත් එ.ජා.ප මහලේකම් කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර ප්‍රශ්නය මුල්කරගෙන කරුණානායක අමාත්‍යවරයාට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් සිය පක්ෂයේ ශක්තිය යොදවා එය පරාජය  කර කරුණානායක මහතා ආරක්ෂා කරන බවය. එයින් ගම්‍යවන්නේ එ.ජා.පය සිටින්නේ කරුණානායක ඇමැතිවරයා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක වගය. ඒ අතර පැතිර ගිය තවත් කතාවක සඳහන් වූයේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමෙන් පසුව කරුණානායක මහතා ඉවත් වී එතැනට නවීන් දිනාසායක අමාත්‍යවරයා පත්වීමට ඉඩ ඇත යන පුවතයි. ආණ්ඩුවේම ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරු කරුණානායක මහතා ඉවත් විය යුතු යැයි ප්‍රකාශ කර තිබිණි. ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමු වී මේ ගැන තීන්දුවක් ගත යුතු යැයි කී අතර එ.ජා.පයේ පසු පෙළ හනනාවක් අගමැතිගෙන් රවි ගැන තීන්දුවක් ගන්නා ලෙස ඉල්ලු බව කියැවිණි. හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම කීවේ තමන්ට මෙබඳු චෝදනාවක් එල්ල වූයේ නම් තමා වහාම තනතුරෙන් ඉවත් වන වගයි. කෙසේ හෝ නීතිය හමුවේ ඇති කාරණයක් බැවින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ කරැණානායක මහතාගේ සිද්ධිය සම්බන්ධව කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. 

ඒ අතර තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම කාරණාව නිසා තමන් අපහසුතාවට පත්වීම ගැන රවි කරුණානායක මහතාද දැඩි ස්ථාවරයක සිටින බවයි. හෙළිදරව් කිරීමට බොහෝ දේ ඇති බව ඔහු සිය සමීපතම සගයන් සමඟ ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය. කෙසේ හෝ අගෝස්තු 02 දා අමාත්‍ය රවි කරැණානායක මහතා බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් ඇතිවය. ඔහුගේ ආධාරකරුවන් රැසක්ද කොමිසම පරිශ්‍රයට පැමිණ සිටි අතර දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබිණි. පෙර අවස්ථා දෙකකදී කොමිසමට නොපැමිණීම ගැන සමාව ඉල්ලා සිටි අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් බොහොමයකදී ඔහුගේ පිළිතුර වූයේ දන්නේ නැහැ, මතක නැහැ, අඳුනන්නේ නැහැ ආදී කතාය. මොනෑක් තට්ටු නිවාසයේ නිවසක් මිලදී ගැනීම ගැන තමන් කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැන ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්ෂධූර දරන සමාගමක් විසින් බවත් සඳහන් කළේය. අනතුරුව අර්ජුන් ඇලෝසිස් විසින් භාවිත කරන ලද ජංගම දුරකතනයේ තිබී සොයාගත් රවි කරුණානායක ඇමැතිවරයා හා සම්බන්ධ කොටසේ ඇති පණිවුඩ ගැන තමන්ට කිසිදු මතකයක් නැතැයිද ඔහු ප්‍රකාශ කර තිබිණි. එසේම තමන්ගේ පවුලේ අයගේ ව්‍යාපාර කටයුතු පවා කරන්නේ බිරිඳ හා දියණිය ආදීන් විසින් බවත් ඒ ගැන කිසිවක් තමන් දන්නේ නැති වගත් රවි කරුණානායක මහතා කීය. කෙසේ හෝ මෙම සාක්කි විභාගය ඇතැම්විට ඉතාමත් ආවේගශීලි තත්ත්වයට පත්විය. මාධ්‍ය මගින් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කර දැමූ බවද අවසානයේ රවි කරුණානායක අමාත්‍යවරයා චෝදනා කළේය. 

හොරු අල්ලන්න ආ අයත් කුණුගාගත් වගට ජ.වි.පෙන් ප්‍රකාශයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපයේ සැර කතා ගණනාවක්ම සිදු කළේය. වත්මන් දේශපාලන ලෝකයේ කැළැඹීමට හේතු වූ බරපතළ ප්‍රශ්න ගණනාවක් ගැන ජනපතිවරයා සැර වචන වලින් අදහස් දක්වා තිබිණි. ඔහු මුලින්ම ප්‍රබල දේශනයක් කළේ පසුගිය සතියේ සිකුරාදා රාත්‍රි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද ශ්‍රී.ල.නි.ප සමස්ත ලංකා කාරක සභාවේදීය. වත්මන් රජය බලයට පත් වූයේ රටට පිරිසුදු පාලනයක් හඳුන්වාදීමටයි. පැවති අපිරිසුදු පාලනය පෙරළා බලය ගත්තේ පිරිසිදු පාලනයකට වුවත් දැන් දැන් රජය අපිරිසුදු වේගන එන බව ජනාධිපතිවරයා කීය. ඒ නිසා දැන් ඒ අපිරිසිදු තැන් පිරිසිදු කරන්නට වේලාව එළැඹ ඇතැයි කී ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය නම් අවශ්‍ය ඕනෑම මොහොතක රජය තුළ වෙනස්කම් කළ හැකි යැයි තරයේ පැවසීය. ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී.ල.නි.පය තුන් වැනි තැනට වැටෙනවා කියලා දැන් දැන් අපේම සමහරැන් කියන්න පටන් අරන් ඒ අයට මම කියන්නෙ තුන වෙන තැන්වලදී දෙක වෙන්න බලන්න. දෙක වෙන තැන්වලදි එක වෙන්න බලන්න කියලයි. ජනාධිපතිවරයා අවධාරණය කළේය. අනතුරුව සාකච්ඡාවට එක්වූ නිමල් සිරිපාල අමාත්‍යවරයා කීවේ ශ්‍රී.ල.නි.පය අපි කාගේත් පක්ෂය කියාය. පක්ෂය රැකගැනීමේදී පුද්ගල චරිත වැදගත් නැතැයි කී නිමල් සැමගේ වගකීම පක්ෂය සුරුකීම යැයි සඳහන් කළේය. අනතුරුව සුසිල් ප්‍රේමජයන්ත මහතාද තරමක් දැඩිව කීවේ පවත්නා මැතිවරණ ක්‍රමය වහා වෙනස් කළ යුතුය කියාය. ඉන් පසු රැස්වීම හමාරවෙද්දී අවසන් වරට කතා කළ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දැඩි ලෙස රෝගාතුර විය. වහාම ඔහු රෝහල් ගත කිරීම ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ පියවර ගත්හ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ දෙවැනි සැර කතාව කලේ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරමිනි. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගෙ හිටපු ඇමැතිවරයෙක් පසුගියදා පුවත්පතක පිටු පුරවල කතාවක් කරලා තිබුණා. එයාලා කියලා තිබුණේ විපක්ෂයට ආසන 113 හදාගන්න ඕනෑම මොහොතක පුළුවන්. එහෙම හදාගත්තට පස්සේ ආණ්ඩුවත් ඉවරයි. ජනාධිපතිත් ඉවරයි කියලයි. මම හිතන්නෙ එයා ඔළුවෙන් හිටගෙනයි ගණන් හදලා තියෙන්නෙ. මට කියන්න තියෙන්නෙ එච්චරයි. 113 හදාගත්තත් එයාලා මම ගාවට එන්න ඕන ආණ්ඩුවක් හදන්න. මගේ ආශිර්වාදය නැතුව එයාලට ආණ්ඩු හදන්න බැහැ. ඒ විදියටයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ. ඒ නිසා සමහරුන්ගේ මේ පුහු ඝෝෂාකාරි ශබ්ද අපි ගණන් ගන්න හොඳ නැහැ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙය තරමක් සැර මෙන්ම බරපතළ ප්‍රකාශයක්ද විය. ජනාධිපතිවරයා කීවේ මැතිසබයේ බහුතරය ඇතත් තමන්ගේ කැමැත්ත නැතිව ආණ්ඩු හදන්නට නොලැබෙන බවයි. මෙය ඒකාබද්ධ විපක්ෂයට කළ අනතුරු ඇඟවීමක් මෙන්ම රටේ සෙසු ජනතාවගේ හිසට ප්‍රශ්නාර්ථයක් නංවන ප්‍රකාශයකි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමැතින් 225 දෙනාටම රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමීමට අග්‍රාමාත්‍යවරයා තීන්දු කළේය. පසුගිය 3දා රාත්‍රියේ මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබිණි. භෝජන සංග්‍රහයට ඇරයුම් ලැබුණ පසු ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවුයේ මේ ගැන තීන්දුවක් ගන්නටය. එහිදී වාසුදේව නානායක්කාර මහතා යෝජනා කළේ අග්‍රාමාත්‍යවරයා විසින් පවත්වන භෝජන සංග්‍රහයට සහ ඔහුගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 පිරීම නිමිත්තෙන් 04 දා පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සැසියට සහභාගි නොවිය යුතු බවය. එහෙත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කිවේ මෙය විශේෂ අවස්ථාවක් බැවින් මන්ත්‍රීවරුන් සහභාගි වුවද කම් නැත කියාය. එහෙත් බොහෝ මන්ත්‍රීවරුන් කීවේ පාර්ලිමේන්තුවේ මෙබඳු සම්ප්‍රදායක් නොමැති බවය. ශ්‍රී ලනිපයේ මෛත්‍රිපාල සේනානායක මහතා වසර 47ක් මැතිසබයේ සිටියද මෙවැන්නක් සිදු නොවූ බවද ඔවුහු පෙන්වා දුන්හ. මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ කීවේ ඒ ගැන මන්ත්‍රී කණ්ඩායමට පොදු තීන්දුවක් ගත යුතු වගය. එයට සහභාගි වනවානම් පසුව එය විවේචනය නොකළ යුතු යැයිද රාජපක්ෂ මහතා පැවසීය. අවසානයේ සියලු දෙනාගේ පොදු තීන්දුව වූයේ එම අවස්ථා දෙකටම සහභාගි නොවිය යුතු වගය. ඒ සමඟ ජනතා විමුක්ති පෙරමුණද තීන්දු කළේ භෝජන සංග්‍රහයට හා මැතිසභා සැසියට සහභාගි නොවීමටයි. එය පක්ෂ නායක අනුර දිසානායක මහතාම ප්‍රකාශ කර තිබිණි.

මාධ්‍ය තමන් විනාශ කළැයි රවිගෙන් චෝදනා

ඒකාබද්ධ විපක්ෂය සහ ජ.වි.පෙ. සහභාගි නොවූවත් පසුගියදා එනම් අගෝස්තු 04දා අගමැතිවරයාට සුබ පැතීම සඳහා පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්විණි. ඊට එජාපය ප්‍රමුඛ රජයට හිතවත් පක්ෂ මෙන්ම දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීහු පැමිණ සිටියහ.

ඊට පෙරදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 පිරීම නිමිත්තෙන් අරලිය ගහ මැඳුරේ පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට එ.ජා.ප.යේ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මැති ඇමැතිවරු සහභාගිවූහ. රාත්‍රී 7.00 වනවිට අගමැතිවරයා, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැමිණ සිටියහ. එ.ජා.ප.යේ මැති ඇමැතිවරු දෙතුන් දෙනෙක් හැර අන් සියල්ලෝම පාහේ සාදයට එක්ව සිටියහ. ශ්‍රී.ල.නි.ප.යේ නිමල් සිරිපාල, අනුරයාපා, අර්ජුන රණතුංග, මනූෂ නානායක්කාර, චන්දිම වීරක්කොඩි, ආදී මැතිඇමැති පිරිසක් සහභාගී වී සිටියහ. 

සතියේ ප්‍රධාන පුවත් මැවූ රවී කරුණානායක මහතාද ඉතා සුහදව මැති ඇමැතින් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙනු පෙනිණි. එහෙත් රවී හෝ වෙනත් කිසිදු මැති ඇමැතිවරයෙක් බැඳුම්කර සිද්ධිය හෝ විශ්වාසභංගය ගැන කතා කළේ නැත. අගමැතිවරයා මැති ඇමැතින් හමුවේ ආණ්ඩුවේ ඉදිරි සංවර්ධන ගමන් මග ගැන විස්තර කරමින් සුහද කතාබහක නිරත වූ අතර ජනාධිපතිවරයා ද සෑම මේසයකම සිටි මැති ඇමැතින් සමඟ ආණ්ඩුවේ ඉදිරි ගමන් මග ගැන කතාබහ කරනු පෙනිණි. මධුවිත සමඟ ප්‍රණීත රාත්‍රී භෝජනයක් ද සංවිධානය කර තිබූ අතර රාත්‍රී 7.00 සිට 9.30 පමණ වනතෙක් සාදය පැවැත්වුණි. සාදය හමාරවෙද්දී පසුදා උදෑසන පාර්ලිමේන්තු බෝධිය අසළදී උදෑසන 8.30ට අගමැතිවරයාට සෙත් පැතීමට බෝධි පූජාවක් පවත්වන බැවින් ඊට සියලු මැති ඇමැතින්ට සහභාගීවන්නැයි දැනුම් දෙනු ලැබීය.

පසුගිය සතියේ සිදුවූ තවත් විශේෂ සිදුවීම් ගණනාවක් තිරය පිටුපස කතාබහට ලක්විය. ඒ ප්‍රවීණ රාජ්‍ය නිලධරයකු වන විදේශ අමාත්‍යංශයේ ලේකම් ඇසළ වීරකෝන් මහතා හිටි හැටියේ සංචාරක සංවර්ධන අමාත්‍යංශයට මාරු වී යෑමය. හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන ප්‍රවීණ සිවිල් නිලධාරී බ්‍රෑඩ්මන්ඩ් වීරකෝන් මහතාගේ පුත්‍රයා වූ ඇසළ වීරකෝන් මහතාගේ මාරුව ගැන ඇතැම් මාධ්‍ය කවර කතා පළකර තිබුණත් නිවැරදි වාර්තා ගණනාවක්ද පළ විය. ඒ අනුව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉවත්ව යාමෙන් පසු පුරප්පාඩුවට රවි කරුණානායක මහතා පත්වීමත් සමඟ ඇතිවූ යම් යම් තත්ත්වයන් මත ඇසළ වීරකෝන් මහතා ජනාධිපතිවරයා මුණගැසී සිය කැමැත්තෙන්ම ඉවත්ව යාමට අවශ්‍ය බව දන්වා ඇත. ඒ ඉල්ලීම පිළිගත් ජනාධිපතිවරයා ක්ෂණිකවම තීන්දු කළේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති විදේශ ලේකම් ලෙස පත්කොට ඇසළ වීරකෝන් මහතා සංචාරක සංවර්ධන අමාත්‍යංශ ලේකම් ධූරයට පත්කරන්නටයි. සිය උපදේශකයන්ගෙන් හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් පවා නොවිමසා ජනාධිපතිවරයා මෙම තීන්දුව ගත් බව ප්‍රකාශ විය. ඒ අතර තවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයකින් වාර්තාවූයේ ශ්‍රී ලංකා රජය චීනයට හම්බන්තොට වරාය දිගු කාලීන බදු පදනමින් පවරා දීම සිදුවන අවස්ථාවේ ඉන්දිය රජය වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම භාරව සිටි කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සිධූ මහතා නිවාඩු ලබා රෝමයට ගොස් සිටීම ගැන ඉන්දීය රජය කොළඹ ඉන්දීය මහකොමසාරිස් ‍ කාරයාලයෙන් දැඩිව ප්‍රශ්නකර ඇති බවයි. හම්බන්තොට වරාය ගනුදෙනුව වැනි සංවේදි ගනුදෙනුවක් සිදුවෙද්දී ඒ ගැන ගත යුතු රාජ්‍යතාන්ත්‍රික පියවර ගැන අමතක කිරීම ඉන්දිය ආණ්ඩුවේ මෙම නොසතුටට හේතුව බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. 

හරීන් නම් අස්වෙනවලු දයාසිරි විශ්වාසභංගෙට පක්ෂලු

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්විණි. එහිදී සංවේදී කරුණු ගණනාවක්ම සාකච්ඡා විය. උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම ගැන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා මුලින්ම විමසු අතර විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එය තමන් නොදන්නා බවකි. ඒ ගැන සොයාබලන ලෙස ජනාධිපති නියම කළේ ඉන්පසුවය. ඒ සමඟ හම්බන්තොට වරාය බදුදීමට අත්සන් කළ ගිවිසුවේ පිටපත් සෑම ඇමැතිවරයකුටම ලබාදුන් අතර, සතියකින් ඒ ගැන අධ්‍යයනය කොට කරුණු ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැන්වීය. මෙතෙක් කල් අගමැතිගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වු ආර්ථික කවුන්සිලය වෙනුවට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් නව ආර්ථික කවුන්සිලයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහ එම පත්‍රිකාව අධ්‍යයනයට කල් අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට දැක්වූයේ ඉන් පසුවය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වූ සී.ජේ.පී. සිරිවර්ධන මහතා ජාතික ආර්ථිකය ගැන ඉදිරිපත් කළ විශේෂ වාර්තාවක් පසුව සභාගත කැරිණි. මහ බැංකු බැඳුම්කර සිද්ධිය නිසා ජාතික ආර්ථිකයට විශාල ලෙස හානි සිදු වූ බව එහි සඳහන් විය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොටවරාය චීනයට බදුදීමේ ගිවිසුම ගැන විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය. මේ ගිවිසුම ගැන සමස්ත ජාතියම තිගැස්මට ලක්ව ඇතැයි කී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නොදන්වා මෙබඳු රටට ජාතියට බලපාන ගිවිසුමක් අස්සන් කිරීම බරපතළ වරදක් යැයි සඳහන් කර තිබිණි. වරායේ වටිනාකම තක්සේරු කළ ආකාරය ගැන කිසිවකු කිසිවක් නොදන්නා බවද හෙතෙම සඳහන්කර තිබිණි. තමන්ගේ රජයේ විදේශ ණය බර ගැන චෝදනා කළ වත්මන් රජය ගත වූ වසර 2 ½ තුළ නොරොච්චෝලේ බලාගාර 10ක් හම්බන්තොට වරායවල් 10ක් දක්ෂිණ අධිවේගී මාර්ග 20ක් හදන්නට තරම් විශාල විදේශ ණය කන්දක් ලබාගෙන ඇතැයි කීය. කොතරම් ණය ගත්තත් මේ රජයට තවමත් බෝක්කුවක්වත් ඉදිකරන්නට හැකි වී නැතැයිද රාජපක්ෂ මහතා කීය. 

හතළිස් වසරක් මැතිසබේ සිටි රනිල්ට සිය සගයන්ගෙන් සුබපැතුම්

එහෙත් හම්බන්තොට වරාය ගිවිසුම ගැන මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කීවේ 2014 හම්බන්තොට වරාය ප්‍රතිව්‍යුහගත කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ගෙනා ගිවිසුමට වඩා මෙම ගිවිසුම රටට ඉතා වාසිදායක බවය. ඔහු ඉදිරිපත් කළ ගිවිසුම අනුව එදා රජයට සතයකවත් ආදායමක් ලැබුණේ නැතැයි කී සමරසිංහ අමාත්‍යවරයා වත්මන් ගිවිසුමෙන් මහා භාණ්ඩාගාරයට විශාල මුදල් ලැබෙන බැවින් වත්මන් ගිවිසුම ඉතාමත් වාසිදායක යැයි කීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය ගැන පසුගියදා රත්නපුරයේදී කීවේ ගිය ආණ්ඩුවේ හොරකම් අල්ලන්නට ආ වත්මන් රජය තුළ විශාල පරිමාණයේ වංචා දූෂණ සිදුකරන්නන් සිටින බවයි. ආණ්ඩුව දූෂණ විරෝධි කාර්යාලයද වසා දමා ඒ අයට හිතුමතේ ක්‍රියාකරන්නට අවකාශ ලබාදී ඇතැයිද හේරත් මහතා පැවසීය. රටේ ජනතාව අසතුටින් සිටී නම් ඒ රජය අසාර්ථක රජයක් යැයි පෙන්වා දුන් හෙතෙම මේ ආණ්ඩුවේ ඇතුළෙත් පිටත් දෙකේම කචල් යැයිද කීය. 

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00