2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පට්ටම් ගැලවීම අැරඹෙයි!

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 835

 

  • ආර්ථික සමෘද්ධියට අගමැතිගෙන් නව මාවතක්
  • විග්නේෂ්වරන් - සම්පන්දන් සීතල යුද්ධයක
  • නියෝජ්‍ය ඇමැති රන්ජන්ට මහ සඟරුවනින් දොස්
  • ආණ්ඩුවත් විපක්ෂයත් බොරු මාතෘකා ඇදගෙන යැයි ජ.වි.පෙ.න් චෝදනා
  • අරුන්දික ගියාලු ගියේ නැතිලු ආවලු ආවෙ නැතිලු
  • ලලිත් වීරතුංගට සිරකරැවන්ගෙන් උපාධියක්

 

 

 

 

ආණ්ඩුවේ සිටින ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන්ගේ පක්ෂ මාරු කතාවල උණුසුම තරමක් අඩුවෙද්දී සිරගත කරන ලද හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ පළහිලව්ව උණුසුම් මාතෘකාවක් වී තිබේ. රජය සහ ඒකාබද්ධ විපක්ෂය යන කණ්ඩායම් දෙකම මේ සිද්ධියෙන් තමන් ලද ප්‍රතිඵල ගැන කෙරෙන විග්‍රහවලින් අපේ කන් කොඩ වී ඇත. සිල් රෙදි නඩු තීන්දුවේදී මේ දෙදෙනා දඬුවම් ලද්දේ ඒ සඳහා වෙන්කරන ලද මුදල් පෞද්ගලිකව තමන්ගේ පරිහරණයට ගැනීමෙන් නොවේ. පැවැති රජයේ දේශපාලන නියෝගයන් නිත්‍යනුකූල නොවන බවට උසාවිය තීන්දු කිරීම නිසාය. එහෙත් පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපති ලේකම්වරයාගේ සුවදුක් බලන්නට වැලිකඩ බන්ධනාගාර රෝහලට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාත කියා සිටියේ සිල් රෙදි බෙදීමට තමන්ගේ රජය ගත් තීන්දුව වරදක් යැයි අදත් තමන් කිසිසේත්ම නොසිතන බවයි. ඒ තීරණය ගැන අභියාචනාවක් ඉහළ උසාවියට ඉදිරිපත් කරන බව කී හිටපු ජනාධිපතිවරයා කටයුතු සිදුවන්නේ මේ ආකාරයට නම් රාජ්‍ය සේවය ඉදිරියේ වැඩ කරන්නේ කෙසේද කියා බලා සිටිමු යැයිද පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් ලලිත් වීරතුංග මහතාගේ සුවදුක් විමසීමට යාමට පෙර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් එක්රැස් වී ගිය රජයේ තීන්දුව ක්‍රියාත්මක කොට සිරදඬුවමට හා දඩයකට යටත් වූ ලලිත් හා අනූෂගේ දඩය ගෙවීමට අරමුදලක් ආරම්භ කළෝය. ඒ සඳහා මැති ඇමැතිවරුන් මූල්‍ය ආධාර සැපයීමට නියමිතය. ඒ අතර මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කළේ සිල් රෙදි නඩුවෙන් දඩ නියම වූ ලලිත් අනූෂ දෙදෙනාගේ දඩය ගෙවීමට සම්මාදම් ව්‍යාපාරයක් අරඹන වගයි. එය පිණ්ඩපාත පෙරහැරක් ලෙස සිකුරාදා අැරඹිනි. මෙම ප්‍රකාශය නිකුත්වීමෙන් පසු වැලිකඩ හිරගෙදර අසලදී උද්ඝෝෂණයක් කළ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊට දායක වන මහා සංඝරත්නය දැඩි ලෙස විවේචනය කළේය. චීවරධාරීන් හොරුන්ට කඩේ යන බවත් හොරුන්ගේ දඩ මුදල් ගෙවීමට බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා මුදල් සම්මාදම් කරන්නට යන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. එසේම හිටපු අගවිනිසුරුවරුන් දෙදෙනකු හා තවත් විනිසුරුවරුන් ගණනාවක් සොරුන් යැයිද හෙතෙම සඳහන් කළේය.

මෙම ප්‍රකාශය ගැන රන්ජන්ට ප්‍රබල විරෝධයක් එල්ලවෙද්දී මහා සංඝරත්නය මෙන්ම පරිපාලන සේවාවේ හිතවතුන්ද දඩ ගෙවීමට මුදල් රැස්කරමින් සිටිති. හිටපු ජනපතිවරයාගේ උපදෙසින් ලලිත් වීරතුංගලාගේ නඩු තීන්දුවට එරෙහි අභියාචනය ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ගිය සඳුදා ගොනු කළේය. එහෙත් නඩුව මෙහෙයැවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා විදේශගතව සිටි නිසා නඩුව විමසීම ඔහු මෙරටට පැමිණෙන තෙක් කල් ගියේය. ලබන 20දා ඒ ගැන මූලික විමසීම සිදු ෙකරෙණබව සඳහන්ය.

රජයට සම්බන්ධ පාර්ශ්ව මෙම නඩු තීන්දුව යහපාලන රජයේ ජයග්‍රහණයක් යැයි කීය. සිවිල් සංවිධාන ගණනාවක් විශේෂ නිවේදන නිකුත් කරමින් සිල් රෙදි නඩුවෙන් රාජ්‍ය සේවයම පාඩම් උගතයුතු යැයි කීය. මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය ආදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ අදහස් ඉදිරිපත් කර තිබිණි. එ.ජා.ප.යේ අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා වැනි මැති ඇමැතිවරැන් කීවේ මෙවැන්නන් හිරේ දැමිය යුතු වගයි. සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂද සිරගත කළ යුතු යැයි සඳහන්කර තිබිණි. එපමණක් නොව දූෂිතයන් හා හොරැන්ට දඬුවම් දීම මෙම නඩුවෙන් ආරම්භ කළ බවද ප්‍රකාශ කර ඇත. රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සිවිල් සංවිධාන ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් රෝගී තත්ත්වයෙන් පසුවනවා යැයි කියන ලලිත් වීරතුංග මහතා සහ සෙසු විත්තිකරැ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර වෛද්‍යවරැන් ගත් පියවර වැරදි බවට පැමිණිලි කළෝය. ඒ නිසා වහාම බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍යවරිය වහා මාරු කරන්නැයි රන්ජන් සෞඛ්‍ය ඇමැතිගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඔවුන් එසේ අදහස් පළ කළත් දයාසිරි ජයසේකර, ජෝන් අමරතුංග, ජෝන් සෙනෙවිරත්න, එස්.එම්. මරික්කාර් යන මැති ඇමැතිවරු නඩු තීන්දුව විවේචනය නොකළත් ලලිත් වීරතුංග මහතා සිරගත කිරීම අවාසනාවන්ත සිද්ධියක් යැයි කීහ.
රාජ්‍ය සේවාවේ ප්‍රධානියාව සිට සිරගෙදරට පැමිණි ලලිත් වීරතුංග මහතාට හා අනූෂට සිරකරුවන්ගෙන් ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි. හදිසියේ සිරගත වූ ඔවුනට සබන්, දත් බෙහෙත් තුවා ආදිය පවා සිරකරැවෝ පරිත්‍යාග කළහ. දිගුකාලීනව සිරදඬුවම් විඳි එක්තරා ජ්‍යෙෂ්ඨ සිරකරැවෙක් ලලිත් වීරතුංග මහතාට කියා තිබුණේ සර් ලෝකෙ හුඟක් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබන්න ඇති. මේකත් විශ්වවිද්‍යාලයක් සර්. මේකෙන් ගන්න උපාධිය ඔය අනිත් කෝකටත් වඩා ප්‍රයෝජනයි කියාය. බන්ධනාගාර රෝහලට මාරැකරන තෙක් උදය, දහවල් සහ රාත්‍රී ආහාරවලට ඔවුනට ලැබුණේ බත් සහ පරිප්පු හොද්දකි. එසේ වුවද මෙම දෙදෙනාගේ හිතවතුන් සෑහෙන පිරිසක් ඒ අය බැලීමට පැමිණ සිටිෙයා්ය. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, මුරුත්තෙට්ටුවේ නාහිමි, ඇල්ලේ ගුණවංශ හිමි පමණක් නොව අමාත්‍යංශ ලේකම්වරු මැති ඇමැතිවරු සහ තවත් බොහෝ පිරිස් සිරගෙදර අවසරය ඇති පරිදි ලලිත් හා අනූෂ දැකබලාගෙන ඔවුන්ගේ සිත් සැනසෙන ලෙස කතාකරනු පෙනිණි.

දිගින් දිගටම ආණ්ඩුවේ ඇමැති පිරිසක් රජයෙන් ඉවත්වන බවට ප්‍රකාශ නිකුත් කළ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත් කරන ලදී. මාසයක් තුළ තනතුරින් ඉවත්කළ යහපාලන ආණ්ඩුවේ දෙවැනි දේශපාලනඥයා අරැන්දික ප්‍රනාන්දු මහතාය. පසුගිය කාලයේ ඔහු ආණ්ඩුව ගැන කලකිරී සිටින ශ්‍රීල.නි.ප. මැති ඇමැතින් ගණනාවක් රජයෙන් ඉවත්වන බවට වාර කිහිපයක්ම ප්‍රකාශ නිකුත් කළේය. ජනාධිපතිවරයා පසුගිය සතියේ කැඳවන ලද පක්ෂ රැස්වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා සමඟ ලොකු විවාදයක අරුන්දික පැටලීම නිසා ජනාධිපතිවරයාට රැස්වීම නවතා දමන්නටද සිදුවිය. ඒ අතර ඔහු බත්තරමුල්ල පොහොට්ටු පක්ෂ කාර්යාලයට ගොස් එහි සිටින රාජපක්ෂ හිතවාදීන් මුණගැසුණු බවටද තොරතුරු රජයට ලැබිණි. මෙම පසුබිමේ අරැන්දිකට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වාර ගණනාවක්ම අවවාද කර තිබුණේ අනවශ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසයි. නමුත් ඔහු ඊට සවන් දුන්නේ නැත. අනතුරුව ශ්‍රීල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව ආණ්ඩුවේ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන්ද ජනාධිපතිවරයාට අරුන්දිකගේ හැසිරීම ගැන පැමිණිලි කළෝය. අවසානයේ ඔහු ගැන දැඩි තීන්දුවක් ගැනීමට පෙළඹුණු ප්‍රධාන කාරණා අතර ලබන 20දා මැතිසබයට ගෙන එන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ලබාදී ශ්‍රීල.නි.ප.යේ 10 දෙනෙක් පමණ විපක්ෂයේ අසුන් ගන්නා බවට කළ ප්‍රකාශය හේතු වූ බව කියැවේ. පළාත් සභා මැතිවරණ නිසි කළට නොපැවැත්වීම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ බැවින් ඊට එරෙහි විය යුතු යැයිද ඔහු මාධ්‍යයට කීය. එබැවින් විපක්ෂයට එක්වී හෝ මෙම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය. මෙම ප්‍රකාශයෙන් පසු හිටපු ජනපතිනිය ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැති පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ අරැන්දික සම්බන්ධව වහා පියවරක් ගත යුතු වගය.

මෙම සති අන්තයේ ජනාධිපතිවරයා එ.ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යයි. 20 වැනි සංශෝධනය සම්මතයට ඉදිරිපත් කරන දිනයේද ඔහු අමෙරිකාවේය. ඒ නිසා පක්ෂ විනය කඩකරමින් මේ ආකාරයට ක්‍රියා කරන අරුන්දික ප්‍රනාන්දු තනතුරින් ඉවත්කිරීමට අගමැතිවරයාගේ එකඟත්වයද ඇතිව ජනාධිපතිවරයා තීන්දු කළ බව දැනගන්නට  ලැබිණි. ඒ අනුව ගිය අඟහරුවාදා දහවල් ඉවත්කිරීමේ ලිපිය අරැන්දිකට යවනු ලැබීය. 

අරුන්දික තනතුර අහිමිවිමෙන් පසු කෙලින්ම ඔහු ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන්නටයි. තමන් රජයෙන් යන්නට බලාගෙන සිටි බව රාජපක්ෂ මහතාට කී හෙතෙම පසුදා උදෑසන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද හමුවිය. කෙසේ හෝ මාධ්‍යයට මෙම ඉවත් කිරීම ගැන ප්‍රකාශයක් කළ අරුන්දික ප්‍රනාන්දු කියා සිටියේ තමන්ට ඇත්තටම ආණ්ඩුව එපා වී සිටි බැවින් මෙම ඉවත්කිරීම ප්‍රශ්නයක් නොවන බවය. ආණ්ඩුවේ තනතුරින් ඉවත්කළද තමත් තවදුරටත් ශ්‍රීල.නි.ප.යේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස සිටින බවද ඔහු පැවසීය. තමන් ඉවත් කළා කියා ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් අය සිය තීන්දු වෙනස් කරනු ඇතැයි නොසිතන්නේ යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

ආණ්ඩුවේ විශේෂ දේශපාලන ව්‍යාපෘතියක් වන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ සතියේ පළාත් සභා ගණනාවකින් අනුමත විය. බස්නාහිර, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවලදී මෙම සංශෝධනය වැඩි විරෝධයකින් තොරව සම්මත කෙරිණි. එහෙත් මෙයට පෙර ඌව, දකුණ, උතුර ආදී පළාත් සභා ගණනාවකදී සංශෝධනය පරාජය විය. කෙසේ හෝ මේ ගැන ඒකාබද්ධ විපක්ෂය පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 19දා වනවිට කතානායකවරයාට දැන්වීමට නියමිතව තිබේ. ඉන්පසු 20දා ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ශ්‍රීල.නි.ප.යේ මැති ඇමැතින්ගේ විශේෂ හමුවක් කැඳවිණි. ආණ්ඩුව ගැන කලකිරී සිටින මැති ඇමැතින්ගේ ප්‍රශ්න මෙන්ම 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනද මෙම සාකච්ඡාවේදී අවධානය දැක්වෙන බව මුලින් ප්‍රකාශ කර තිබිණි. අඟහරුවාදා රාත්‍රී 7.00ට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. එහිදී වැඩිපුරම සාකච්ඡා වූයේ ඉදිරියේ එන්නට නියමිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ ගැනයි. දැනට සංවිධායකයන් පත්කර නොමැති මැතිවරණ කොට්ඨාස සඳහා සංවිධායකයන් පත්කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම දැනට දිස්ත්‍රික් නායකයන් පත්කර නොමැති දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් නායකයන් පත්කර මැතිවරණය සඳහා සූදානම් වන ලෙසද ජනාධිපතිවරයා ශ්‍රීල.නි.ප. මැති ඇමැති කණ්ඩායමට දැන්වීය. මෙම කටයුතුවල ප්‍රගතිය තමන් වෙත වාර්තා කරන්නැයිද ඔහු පක්ෂ නිලධාරීන්ට විශේෂයෙන් කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී මෙරට ආර්ථිකය ගැන විශේෂ විග්‍රහයක් කළේය. කොළඹ නැව් තටාකාංගනයේ නව නැවක් නිෂ්පාදනය ඇරැඹීමේ උත්සවයකදී ජනතාව ඇමතූ අගමැතිවරයා සටන්පාඨ දේශපාලනයෙන් රටක් දියුණු කළ නොහැකි යැයි කීය. එදා කඩදාසි බෝට්ටුවක්වත් සාදාගත නොහැකි වූ ශ්‍රී ලංකාවේ අද නැව් නිෂ්පාදනය පවා සිදුවන බැව් කී අගමැතිවරයා ඒවා බලා සිටින්නට බැරි අය රට විකුණනවා යැයි කෑගසන බව අවධාරණය කළේය.

පේරාදෙණිය සරසවිය සංවිධානය කරන ලද සරසවි සිසුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණයක්ද කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී පසුගියදා පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන තවත් විග්‍රහයක් ඉදිරිපත් කළේය. සිය දෙසුමේදී අගමැතිවරයා කීවේ රටේ අනාගතය රඳා පවතින්නේ නවෝත්පාදන හා පරේෂණ මත බවයි. ජාතික රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ජාත්‍යන්තර සහයෝගය ලබා ගනිමින් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල රටපුරා දිරිය පුරවැසි සමුළු පවත්වන්නට පටන්ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම සම්මන්ත්‍රණවලදී කරන කතා ජාතික දේශපාලනයේ එක්තරා පැතිකඩක් අනාවරණය කරයි. පසුගියදා කොළඹ පැවති දිරිය පුරවැසි සමුළුවේදී ඔහු රටේ පවත්නා කාලීන ප්‍රශ්න ගැන කරන විග්‍රහ අමුතුය. අද අපේ රටේ එදිනෙදා සාකච්ඡාවට ගැනෙන්නෙ සිල්ලර මාතෘකා. කලක් රවි කරැණානායක ගැන කතා කළා. ඊළඟට විජේදාස. දැන් ලලිත් වීරතුංග. නමුත් සමාජය මුහුණදී සිටින ඇත්ත ගැටලු මේවා නොවෙයි.

රටක් ආර්ථික වශයෙන් ගොඩගන්නා අය සැබෑ නායකයන් බව පැවසූ හෙතෙම රටේ ආණ්ඩු මාරු කිරීමෙන් හෝ නායකයන් මාරැකිරීමෙන් මේ රට ගොඩ නොඑන බව සඳහන් කළේය. මේ කඩාවැටී ඇති රට ගොඩගත හැක්කේ පවත්නා දේශපාලන ක්‍රමය මාරු කිරීමෙන් යැයි ජ.වි.පෙ. නායකයා වැඩිදුරටත් කීය.

දෙමළ ජාතික සන්ධානය තුළ පවතින අර්බුද සහ බෙදීම් තවදුරටත් වර්ධනය වන ලකුණු පෙනෙන්නට තිබේ. මේ දෙබරයට අලුත්ම ගල වැදුණේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතිනි. ඔහු මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් මුණගැසුණේ උන්වහන්සේලා හමුවීමට පක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සූදානමින් සිටියදීය. සම්පන්දන් නොදැන විග්නේෂ්වරන් මහනුවරට ගොස් මහනායක ස්වාමීන් වහන්සේලා මුණගැසීම සහ එම හමුවීම්වලදී විග්නේෂ්වරන් ප්‍රකාශ කළ අදහස් තරමක් උණුසුම්ය. උතුරේ ජනතාව යුද්ධයෙන් පසුව තවමත් දුක් විඳින බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා හමුදා කඳවුරැ ඇති බවත් කී විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා ෆෙඩරල් ක්‍රමය යනු රට බෙදන දේශපාලන ක්‍රමයක් නොවන බවද පැවසීය. සරත් ෆොන්සේකා මහතා හමුදාව යුද අපරාධ කළ බවට නගන චෝදනාව ගැන ඇසූවිට මහ ඇමැතිවරයා සඳහන් කළේ සරත් ෆොන්සේකා එසේ කියන්නේ යමක් දන්නා නිසා විය යුතුය කියායි.

කෙසේ හෝ විග්නේෂ්වරන් මහතා මල්වතු මහ නාහිමියන් හමුවීමෙන් පසු මහනුවර සිරගෙදර සිටින කොටි සැකකරැවන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට ගියේය. අනතුරුව ඔහු අස්ගිරි මහ නා හිමියන්ට දන්වා සිටියේ උන්වහන්සේ තනිව මුණගැසීමට අවශ්‍ය බවය. එහෙත් අස්ගිරි මහ නා හිමියන් කියා සිටියේ තමන්ට උතුරේ මහ ඇමැතිවරයා තනිව හමුවිය නොහැකි වගයි. තම නිකායේ ජ්‍යෙෂ්ඨ නායක හිමිවරුනුත් හමුවට එක්වන බව උන්වහන්සේ දැන්වූහ. අනතුරුව ඒ ආකාරයට හමුව සිදුවිය. එහිදී මහ නාහිමියන් ප්‍රකාශ කර තිබුණේ රටේ දේශපාලන යථාර්ථය වටහාගෙන ක්‍රියාකිරීම වැදගත්ය කියායි.

කෙසේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ඇතුළු කාරණා ගණනාවක් ගැන මහ නාහිමිවරුන් මුණගැසී සාකච්ඡා කිරීමට විපක්ෂනායක සම්පන්දන් මහතා සූදානම්ව සිටියදී ඊට කලින් විපක්ෂනායකයාද නොදැන විග්නේෂ්වරන් මහ ඇමැති මහානායක හිමිවරුන් මුණගැසීම ගැන සම්පන්දන් සතුටු නොවීය. ඒ නිසා ඔහු ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවීමට තීන්දු කළේය. ඒ තීරණය ගත්තේ එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී කළ කෙටි කතාබහකින් පසුවය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ලබන වසර වෙනුවෙන් වන අයවැය ලේඛනයේ මූලික ඇස්තමේන්තු ඉදිරිපත් කළේය. අනතුරැව කළ සාකච්ඡාවේදී උණුසුම් මාතෘකා බවට පත්වූයේ ගෑස් මිල ගණන් ඉහළ නැංවීම සඳහා මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවකින් ලබාදුන් නිර්දේශයයි. මලික්ලාගේ නිර්දේශය වූයේ ගෑස් මිල ගණන් 8%කින් පමණ ඉහළ දමන්නට අවසර දිය යුතු වගයි. නමුත් සෙසු අමාත්‍යවරුන් ඊට එකඟවූයේ නැත. ගෑස් සමාගම් ඉල්ලන ආකාරයට මිල වැඩි නොකළ යුතු යැයි බොහෝ දෙනෙක් කීහ. එහෙත් ඇමැතිවරුන් බහුතරයකගේ අදහස වූයේ ගෑස් මිල 5%කින් පමණ ඉහළ දැමීම සාධාරණ බවය. කෙසේ හෝ ඒ ගැන අවසන් තීන්දුවක් දැන්ම නොගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැතිවරුන් ගණනාවක්ම පෙන්වා දීමෙන් අනතුරුව ඉදිරි අමාත්‍ය මණ්ඩල හමුවකදී ගෑස් මිල ප්‍රශ්නය සාකච්ඡා කළ යුතු යැයි තීන්දු කැරිණි.

අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට තීන්දු කිරීමෙන් පසු පළාත් සභා ගණනාවක ප්‍රධානීහු ඉවත් කරනු ලැබූහ. ඔවුනට එරෙහිව නැගුණු චෝදනාවද පක්ෂ විනයට පටහැනිව ක්‍රියාකිරීමයි. බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්, පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණි හා ගිණුම්කාරක සභා සභාපති මෙරිල් පෙරේරා මෙසේ ඉවත්කරනු ලැබූහ. ඒ වෙනුවට පිළිවෙළින් චන්දන ජයකොඩි සහ හෙක්ටර් බෙත්මගේ මහත්වරුන් ප්‍රධාන සංවිධායක හා සභානායක තනතුරුවලට පත්කොට ඇත. එසේම දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාද ඔහුගේ ඇමැති පදවියෙන් ඉවත් කරනු ලැබීය. ඔහු හිටපු ජනාධිපතිවරයාට සමීප ඇමැතිවරයෙකි. ඔහු දැරූ ඇමැති පදවිය ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතාට පවරාදෙනු ලැබීය. පසුගිය සිකුරාදා වයඹ පළාත් සභා අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතාද විනය හේතුමත තනතුරෙන් ඉවත් කෙරිනි. ඉදිරියේදී තවත් මෙබඳු පුටු පෙරළි ගණනාවක්ම සිදුවනු ඇත. 

කෙසේ හෝ මෙම සටහන ලියන අවසන් මොහොතේ වාර්තාවූයේ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා මුණගැසුණු බවයි. ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීම ගැන ජනපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද වාර්තාවේ. ජනපතිවරයා සමග සාකච්ඡා කළ අරුන්දික එදින සවස නැවතත් හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බව ද වාර්තාවේ.

ප්‍රකාශ් ඉරුගල්බන්ඩාර
සේයාරුව | සුමුදු හේවාපතිරණ