2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

අලි පුටු ගිවිසුම ඡන්දය නිමවන තෙක්

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 268

බැඳුම්කර වාර්තාවේ නිර්දේශ තදින් ක්‍රියාත්මක කරන බව ජනපති කියයි  
මහින්ද රාජපක්ෂට ජොනීගෙන් නත්තල් කෑමක්  
නත්තල් දා ජනපතිට ලැබුණු සුබ පණිවුඩය  
ඡන්දෙන් පසුව පොහොට්ටුව පුටුව උඩ තියන්න සුසිල් කපුකමේ  
ජාතික රජය නිසා රට ගොඩගිය හැටි අගමැති පෙන්වා දෙයි  
ජ.වි.පෙන් මහ පක්ෂ තුනටම චෝදනා

 

 

 

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තවමත් ලොකු උණුසුමක් හටගෙන නැත. ජනවාරි මුල් සතියෙන් පසු ඡන්ද උණුසුම හටගැනෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ වී ගතවූ මුල් දින කිහිපය තුළ සුළු සුළු පැමිණිලි 30කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබිණි. වසර අවසාන නිවාඩු සමයත් නත්තලත් නිසා බොහෝ තැන්වල දේශපාලන කටයුතු මන්දගාමී බවක් ගෙන තිබිණි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් වන ශ්‍රී.ල.නි.පය හා එ.ජා.පය අතර ගිවිසුම් කාලය අදින් අවසන් වෙයි. ඉදිරියට දෙපක්ෂය ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා තිබුණේ ඒ ගැන අවසන් තීරණය ගන්නේ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුව බවයි. දෙසැම්බර් 31 දාට පෙර මේ ගැන තීන්දුවක් ගත යුතු වුවද ඒ තීරණය පසුවට කල්තැබූ බව සෙනවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

ඒ අතර දැන් සැමගේ අවධානය යොමුව ඇත්තේ බරපතළ වංචාවක් ලෙස ප්‍රකට වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනයට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධවයි. මේ වාර්තාව භාරදීම තවත් දින කිහිපයකින් කල් යා හැකි බව කොමිසමේ ලේකම්වරයා මාධ්‍යයට කියා තිබිණි. කෙසේ වුවද ඉතාමත් ඉක්මනින්  ජනාධිපතිවරයාට එම කොමිසමේ සභාපති විනිසුරැ චිත්‍රසිරි මහතා විසින් වාර්තාව භාරදෙනු ඇතැයි සඳහන්ය. එහි නිර්දේශ පදනම් කරගෙන ජනාධිපතිවරයා කරන්නේ කුමක්ද, බැඳුම්කර වංචාවට වගකිව යුතු චූදිතයන් ලෙස නම් කර ඇත්තේ කවුද යන්න ගැන දැන් සමාජය දැඩි අවධානයක් යොමුකර තිබේ. 
 
කොමිසමේ වාර්තාව සකස් කෙරෙන අතරතුර කඩුවෙල පැවති ජනහමුවකදී මේ ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් කොමිෂන් සභා පත් කරන්නේ ප්‍රශ්නය යටගහන්නට යැයි සමාජයේ මතයක් පැවති බවය. මහ බැංකු කොමිසම පත් කරද්දීත් එසේම කී බව මතක් කළ ජනාධිපතිවරයා එහෙත් මහ බැංකු කොමිසමට සමාජයේ ලොකු පිළිගැනීමක් ලැබුණ වග සඳහන් කළේය. ගම්වල තරුණ දරුවන් පවා කොමිසමක් නිසිලෙස වැඩ කරන හැටි දුටු බව කියන්නට පටන්ගත් බව ජනාධිපතිවරයා කීය. ඇතැමුන් මෙම වාර්තාවට කරන්නේ කුමක්ද කියා දැන් තමන්ගෙන් ප්‍රශ්න කරන වග පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිෂන් වාර්තාව පිටවීමටත් පෙර සිටම කොමිසමේ බලතල ප්‍රකාරව චූදිතයන් පිරිසකට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරමින් සිටින බව පැවසීය. එනිසා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරවීම ගැන කිසිදු ප්‍රශ්නයක් හටනොගන්නේ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තීන්දු ක්‍රියාත්මක කරන්නට යාමෙන් තමන්ටත් නොයෙක් ප්‍රශ්න මතුවිය හැකි බව ජනාධිපතිවරයා විශේෂයෙන් කියා තිබිණි. එසේම තමන් එයාර් ලංකා හා මිහින් ලංකා ආයතනවල සිදුවූ වංචා දූෂණ ගැන සෙවීමටත් ජනවාරි මාසයේ දී විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන වග ජනාධිපතිවරයා කීය.
 
ඒ අතර කොළඹ දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරගිය ආරංචි ගණනාවකින් කියැවුණේ බැඳුම්කර වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා දැඩි තීන්දු ගණනාවක් ගනු ඇති බවය. චෝදනාවලට ලක්වන ඇතැමුන් සතු අමාත්‍යංශ තමන්ට පවරාගැනීමට ඉඩ ඇතැයි ද සඳහන් වෙයි. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී කියා තිබුණේ ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ ශක්තිමත් වන්නට නම් මෙම මැතිවරණයේදී ඔහුගේ බලය තහවුරු කළ යුතු වගය. එසේම වෘත්තිය සමිති නායකයන් ජ.නි.පෙ පළාත් සභා මන්ත්‍රීන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලන චරිත 51 ක් ළඟදීම ශ්‍රී.ල.නි.පයට එක්වන බව අමාත්‍ය අබේවර්ධන සඳහන් කර තිබිණි. එ.ජා.පය පැත්තෙන් ලැබෙන ආරංචිවලින් කියැවෙන්නේ බැඳුම්කර වාර්තාව පදනම් කරගෙන ජනාධිපතිවරයා අමාත්‍යංශ පවරාගැනීමක් හෝ වෙනත් දැඩි තීන්දුවකට ගියහොත් තමන් අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වී දේශපාලන සටනක් දෙන වගයි. එසේම බැඳුම්කර වංචාවට සම්බන්ධ හේතු කාරණා නිසා තමන් දැරූ අමාත්‍ය පදවිය අහිමිකරගත් රවි කරුණානායක මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ තමන් පසුගිය කාලයේ මාධ්‍ය දඩයමකට ගොදුරු වූ අතර කොමිෂන් සභා වාර්තාවෙන් තමන්ගේ නිරේදෝෂීභාවය තහවුරු කෙරෙනු ඇත කියාය. පසුගියදා ජනපතිවරයා පෞද්ගලිකව මුණගැසුණු කරුණානායක මහතා ඔහුගේ නිර්දෝෂීභාවය ගැන කරුණු දක්වා තමන්ට අමාත්‍ය පදවියකට ඇති හිමිකම සම්බන්ධව කරුණු දක්වා තිබිණි. මෙම සිද්ධියට සැබැවින්ම වගකිවයුත්තෝ කව්දැයි පවසා ඇතැයිද කියැවේ.
 
කෙසේ හෝ රටේ පවතින දේශපාලන වාතාවරණය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරණයේ දී දේශපාලන පිම්මක් පනින්නට නම් නව දේශපාලන තුරුම්පු උපයෝගී කරගත යුතුමය. දැනටමත් ශ්‍රී.ල.නි.පයෙන් ලොකු පළුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගලවාගෙන ගොසිනි. එසේම රටේ පවතින වාතාවරණය අනුව ඇමැතිවරුන් කුමක් කීවද හිටපු ජනාධිපතිවරයා සතු බලය අවතක්සේරු කිරීමට ජනාධිපතිවරයා සූදානම් නැති බව පෙනේ. සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දැන් උත්සාහ කරන්නේ පළාත් පාලන ඡන්දයෙන් පසුව පළාත් ආයතන පිහිටුවීමේදී පක්ෂ දෙක එකට එක්ව පළාත් ආයතන බහුතරයක බලය පිහිටුවීමටයි. දැනටමත් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ මතවාදය පක්ෂය තුළ පුළුල් කරමින් සිටී. ඩිලාන් පෙරේරා ද ඔහුට සහාය වෙයි. එහෙත් දුමින්ද දිසානායක, මහින්ද අමරවීර වැනි අය ඊට සතුටු නැත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ද පසුගියදා රාජපක්ෂ පාලනය තරයේම විවේචනය කළාය. එහෙත් ඊට ප්‍රතිචාර ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපතිනිය ප්‍රමුඛ සමගියට බාධා කරන පිරිසට තදින් පහර දුන්නේය.
 
කෙසේ හෝ එක් අතකින් සමගි පළාත් ආණ්ඩු සඳහා මෙම පිරිස පාර කපන්නේ ජනාධිපතිවරයාගේ අනුදැනුම නැතිව යැයි අනුමාන කළ නොහැක. ඒ නිසා මේ කාටත් තමන්ගේ ස්ථාවරයන් ශක්තිමත් කරගත හැක්කේ පෙරළිකාර තීන්දුවක් ජනපතිවරයා විසින් ගෙන කිසියම් වෙනසක් රටට පෙන්වුවහොත් පමණක් යැයි ශ්‍රී.ල.නි.පයේ විශ්වාසයක් තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසමේ වාර්තාව කෙලෙස උපයෝගී කරගනීද යන්න ගැන කල්තබා අනාවැකි කිව නොහැක. එහෙත් පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා ලබාදුන් දේශපාලන ඉඟිවලින් ගම්‍යවූයේ ඔහු කුමකට හෝ සැරසෙන බවය. එහෙත් එ.ජා.පය ද මෙහිදී දැඩි ස්ථාවරයක සිටින බව දැනගන්නට තිබේ.
 
කැත්තට පොල්ල මෙන් දෙපක්ෂය හරහට සිටියදී බටහිර තානාපති කාර්යාලද දැන් තරමක් සසල වී සිටින බව සඳහන්ය. යුරෝපීය තානාපති ප්‍රජාව විසින් කරන ලද දේශපාලන සමීක්ෂණ වාර්තා ද ඔවුන්ගේ දැඩි සැලකිල්ලට භාජනය වී තිබේ.රුසියානු ඔත්තුකරුවකු සම්බන්ධව හටගත් ප්‍රශ්නයේ දී ශ්‍රී ලංකාව අමෙරිකාවට උදව් නොකළ බවට අමෙරිකානු තානාපති අංශ දොස් නගන්නට පටන්ගෙන ඇතැයි ද සඳහන්ය. කෙසේ හෝ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හරහා ආණ්ඩුවේ යම් දෙදැරීමක් වන බවනම් පැහැදිලි කරැණකි. මෙම සිද්ධියට සම්බන්ධ චරිත ඉතාමත් ප්‍රබල දේශපාලන චරිත නිසා තත්ත්වය පවත් ගැටලු සහගත වී ඇත.
 
එ.ජා.පයට ගම් මට්ටමින් තමන්ගේ ඡන්ද ප්‍රචාරය දියත් කරමින් සිටී. ශ්‍රී. ල. නි. පයේ බෙදීම තම වාසියට හරවාගැන්ම එ. ජා. ප.යේ අපේක්ෂාවයි. තවමත් ප්‍රධාන මැතිවරණ රැලි කිසිදු පක්ෂයක් විසින් ආරම්භ කර නැත. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගම් මට්ටමින් හා දිසා මට්ටමින් නව සංවර්ධන වෙනසක් දියත් කිරීම සඳහා පසුගිය දිනවල පළාත් ගණනාවක සංචාරය කළේය. ගාල්ල, බෙන්තර, දෙනියාය ආදී ප්‍රදේශවල සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමට සැලසුම්කළ අග්‍රාමාත්‍යවරයා පසුව පැමිණියේ ඌව පළාතටය. අග්‍රාමාත්‍යවරයා එහිදීත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ගැන තීන්දු ගණනාවක්ම ගත් බව වාර්තා වෙයි. 
 
අනතුරුව හෝමාගම ප්‍රදේශයේ නව බස් බස් පර්යන්තයක් විවෘත කිරීමට අමාත්‍ය චම්පික රණවක සමඟ පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගමදී පැවති ජනහමුවක් අමතමින් කීවේ පසුගිය රජය යටතේ නිසි සැලසුමක් තොරව එකමුතුකමක් නොමැතිව අයාලේ යමින් තිබූ රටට අනාගතයක් ලබාදුන්නේ ශ්‍රී.ල.නි.ප, එ.ජා.ප ජාතික ආණ්ඩුව බවයි. කොළඹ නගරය ආශ්‍රිතව කේන්ද්‍රගතව තිබූ සංවර්ධන පහසුකම් නගරයෙන් බැහැර හෝමාගම, කෝට්ටේ, කඩුවෙල, මාලබේ ආදි ප්‍රදේශවලටත් පසුව ඈත ගම් දනව්වලටත් ගෙනයාමට වත්මන් රජය සමත් වූ බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය. තම සැලසුම අනුව කොළඹ නගරය දකුණු ආසියාවේ ප්‍රධානතම අගනගරය බවට පත් කරන්නේ යැයි ද හෙතෙම කීය.
 
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීන් පළාත් සභා ප්‍රධානීන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කරන්නට ශ්‍රී.ල.නි.පයට එක්වූ බවට කළ ප්‍රකාශය ගැන ජනතා විමුක්ති පෙරමුණ සිය දැඩි විරෝධය ප්‍රකාශ කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යොදාගෙන මේ ගැන නිවේදන නිකුත් කළ ජනාධිපති ලේකම්වරයාට ද ඔවුන්ගේ විරෝධය එල්ල විය. ගමේ බලය තමන් වෙත ලබා දෙන්නැයි යන තේමාවෙන් ඡන්ද සටනට අවතීර්ණව සිටින ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ප්‍රකාශයක් කළ එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේ එ.ජා.පය - ශ්‍රී.ල.නි.ප මෛත්‍රී පිල හා මහින්ද පිල කණ්ඩායම් තුනම සමාජය තුළ විවිධ දූෂණ චෝදනා හා වෙනත් වැරදිවලට ලක්ව සිටින වගය. හොරකම හා දූෂණය නැති කරන්නට පැමිණි අයත් මහ බැංකු වංචාව වැනි මහා වංචා කළ බව කී හේරත් මහතා ගිය ආණ්ඩුව යටතේ එයාර් ලංකා මිහින් ලංකා වංචා දූෂණ සෙවීමට කොමිසමක් පත්කරන බව කීම හුදු ඡන්ද කතාවක් පමණක් යැයිද කීය.
 
නත්තල් දිනයේ ඡන්ද උණුසුම මධ්‍යයේ වුවත් ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෝ නත්තල හා සම්බන්ධ කටයුතුවල නිරතවූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ සංවිධාන කටයුතු කරන අතරතුර සිය නිල නිවෙසේ නත්තල් දිනය ගත කළේය. එදින ජනාධිපතිවරයා ඇමතූ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දොස්තර සමන් වීරසිංහ මහතා ශ්‍රී ලංකා රජය තුළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් රුසියානු රජය අපේ රටට පනවා තිබූ තේ තහනම ඉවත් කිරීමට තීන්දු කළ බව දැන්වීය. නත්තල් දිනයේ ජනාධිපතිවරයාට ලැබුණු සුබ නත්තල් පණිවුඩය එය විය. ජනාධිපතිවරයා පෞද්ගලිකවම රුසියානු තේ තහනම ඉවත් කරන්නට පූටින් ජනාධිපතිවරයාට ලිපියක් ලිවීය. එසේම රජයේ විශේෂ දූත පිරිසක් ද මේ ගැන රැසියානු බලධරයන්ට කරුණු දැක්වීමට පිටත් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දිනය ගත කළේ නුවරඑළියේය. එදින අග්‍රාමාත්‍යවරයා මව්පිය සෙනෙහස අහිමිව ළමා නිවාසවල කල්ගත කරන දරු දැරියන් පිරිසක් සමඟ නත්තල ගත කිරීමට නුවර එළියේ ළමා නිවාස දෙකකට ගියේය. අග්‍රාමාත්‍යවරයා එම ළමා නිවාසවලට පැමිණියේ නත්තල් තෑගි බෝගද රැගෙනය. ළමා නිවාසවල දරු දැරියන්ගේ ගීත ගායනා, විවිධ ප්‍රසංග හා කෙළි සෙල්ලම් නරඹමින් සැහැල්ලුවෙන් නත්තල ගතකළ අග්‍රාමාත්‍යවරයා සමඟ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්වූවාය. නුවරඑළිය එස්. ඕ. එස් ළමා නිවාසයේ දරු දැරියන් සමඟ බොහෝ වේලා ගත කළ වික්‍රමසිංහ මහතා සමුගනිද්දී එම දරුවන්ට කීවේ මේ දරුවන් හොඳට කැපවීමෙන් ඉගෙන ගන්න. ජීවිතය ජයගන්න. ඉහළට නගින්න තිබෙන එකම ඉනිමග අධ්‍යාපනය පමණයි යනුවෙනි.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දින උදෑසනින්ම කළේ අගදරගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් බැහැදැකීමට අගරදගුරු නිල නිවසට යාමයි. නත්තල නිමිත්තෙන් උන්වහන්සේට සුබ පැතූ මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආගමික හා දේශපාලනමය වශයෙන් වැදගත්වන කාරණා ගණනාවක් ගැන උන්වහන්සේ සමඟ කතා කළේය. විශේෂයෙන් නව ආණ්ඩුකම ව්‍යවස්ථාව ආදී කරුණු ගණනාවක් ගැන මෙම කතාවේදී සාකච්ඡා විය. අගරදගුරු හිමියන් මුණ ගැසුණු රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කැටිව නවලෝක රෝහලට පැමිණියේය. එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ සුවදුක් විමසීම රාජපක්ෂ මහතාගේ ගමනේ අරමුණ විය. 
 
විපක්ෂ නායකවරයාගේ අසනීප තත්ත්වය ගැනත් උතුරේ දේශපාලන ගැනත් අදහස් හුවමාරුකරගත් රාජපක්ෂ මහතා සමුගනිද්දී විපක්ෂ නායකවරයා කීවේ දේශපාලන සාකච්ඡාවකට තමන් සුවය ලැබූ පසු හිටපු ජනපති නිල නිවසට පැමිණෙන බවයි. සම්පන්දන් මහතාගෙන් සමුගත් රාජපක්ෂ මහතා දැනට රෝගී තත්ත්වයෙන් පසුවන සරත් හෙට්ටිආරච්චි පියතුමාට ආශිර්වාද පිණිස මහා සංඝරත්නයට පියතුමන් විසින් පිරිනැමූ දානමය පිංකමට සහභාගීවීමට මොරටුව පියතුමාගේ නිල නිවහනට ළඟාවිය. අනතුරුව හිටපු ජනාධිපතිවරයාට නත්තල් වෙනුවෙන් සිය කතෝලික හිතවතුන් ගණනාවකගෙන් ලැබී තිබූ ආරාධනා අනුව එම නිවෙස්වලටද ගොස් අවසානයේ නත්තල් දින දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් නිවසට පැමිණියේය. සිය හිතවත් මැති ඇමැතින් සමඟ එහිදී මහින්ද වෙනුවෙන් නත්තල් දින දිවා භෝජනය සංවිධානය කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසිනි. 
 
ගිය සතියේ අපවත් වී වදාළ යාපනය නාග විහාරයේ හිමිපාණන්ගේ ආදාහනය යාපනයේ පැවැත්වීමට තහනම් කිරීමට උතුරේ නීතීඥ පිරිසක් නඩු පැවරීම ගැන ජාතික හෙළ උරුමය මේ සතියේ සිය දැඩි විරෝධය පළකර තිබිණි. එමගින් හෙළ උරුමය ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රියාවෙන් සංහිඳියාව ගැන දෙසුම් පවත්වන දෙමළ අන්තවාදීන්ගේ නිරැවත රටට හෙළිදරව්වූ බවය. ජාති බේදයෙන් තොරව උතුරේ සිංහල - දෙමළ හා සෙසු ජන වර්ගවල සුබසෙතට ක්‍රියාකළ නාග විහාරාධිපති හිමියන්ගේ ආදාහනය වැළැක්වීම සඳහා ගත් පියවර දුෂ්ට කුරිරු ක්‍රියාවක් බව හෙළ උරුමය වැඩි දුරටත් පවසයි. උතුරට මෙතරම් සේවාවක් කළ නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එරෙහිවීමෙන් පෙන්නුකම් කරන්නේ බොරුවට සංහිඳියාව කතා කරන්නන්තගේ නිරුවත යැයි ද හෙළ උරුමය පවසයි.
 
මැතිවරණ කොමිසම ඡන්දය මෙහෙයැවීමේ කටයුතු ගැන පසුගියදා පොලිසියේ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. ඡන්දේ ආරක්ෂාව හා මැතිවරණ නීති උල්ලංඝනය ගැන ද මෙහිදී සාකච්ඡා විය. අනතුරුව මැතිවරණ කොමිසම් සභාපතිවරයා ගිය බදාදා පක්ෂ ලේකම්වරුන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. ඒ අතර ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළ මැතිවරණ කොමිසම් සභාපතිවරයා ඡන්ද අපේක්ෂකයන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිදු කරන්නේ නම් ඒ සිදුවීම් වහාම තම කොමිසමට දන්වන්නැයි ඉල්ලා සිටියේය.
 
කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවති දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහා ගාල්ලේ රන්දිම ගමගේ පළාත් සභා මන්ත්‍රීවරයා පත්කිරීමට යාමෙන් දකුණේ දේශපාලන අවුලක් හටගත්තේය. පසුගිය මැතිවරණයෙන් පරාජය වී පසුව මන්ත්‍රී පදවි ලද පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා වන රන්දිම ගමගේට දෙන්නට ගියේ ඊට පෙර මාතර දිස්ත්‍රික්කයේ වීරසුමන වීරසිංහ මහතා දැරූ ක්‍රීඩා අමාත්‍ය පදවියයි. එය ගාල්ලේ රන්දිම ගමගේට දීමෙන් මාතර දිස්ත්‍රික්කයට අමාත්‍ය ධුරයන් අහිමි වෙයි. එනිසා එම අමාත්‍ය ධුරය දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමැතිවරයකු වන මාතර එච්.ජී. සිරිසේන මහතාගේ පුත් වත්මන් පළාත් සභා සභානායක මනෝජ් සිරිසේන මහතාට ලැබිය යුතුයැයි මාතර ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. එහෙත් ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයකු වන පියසේන ගමගේ මහතාටත් මේ අවස්ථාවේ යම් සැලකිල්ලක් කළ යුතු යැයි ජනාධිපතිවරයාගේ අදහස විය. අනතුරුව ලක්ෂමන් යාපා මහතා ප්‍රමුඛ මැති ඇමැතීන් සමඟ කළ සාකච්ඡාවකින් පසුව පියසේන ගමගේ මහතාට නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය පදවිය පිරිනැමීමට තීන්දු කළේය. ඔහු හිටපු කැබිනට් අමාත්‍යවරයකු වුවත් ජනාධිපතිවරයාගේ තීන්දුව අකමැත්තෙන් පිළිගත් බව කියැවේ. ඉන් පසුව ලක්ෂ්මන් යාපා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ මාතර හිතවතුන්ගේ ඉල්ලීම අනුව එච්.ජී. සිරිසේන මහතාගේ පුත්‍ර මනෝජ්ට දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය පදවිය ලබාදීම සඳුදා (හෙට) සිදුකිරීමට තීන්දු කළේය. රන්දිම ගමගේ පළාත් මන්ත්‍රීවරයාට දකුණෙන් සභානායක පදවිය ලබාදීමට තීන්දු කැරිණි.
 
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වන බන්දුල ගුණවර්ධන මහතා ගිය සිකුරාදා හදිසියේම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පැමිණියේය. ඔහු අධ්‍යාපන ඇමැති පදවිය දැරූ කාලයේ පිහිටු වනු ලැබූ මාතර මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලයේ දරුවන් බන්දුල අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් හඳුන්වා දුන් තාක්ෂණවේදය විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. ලංකාවේ ප්‍රථමයා බිහි කිරීම නිසා සුබ පැතීමට බන්දුල මාතරට ගොස් තිබිණි.
 
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය මෙවර එකී විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම තෙවැනි පස්වැනි සහ හත්වැනි ස්ථාන ලබාගෙන තිබීම ද කලාතුරකින් සිදුවන සිදුවීමකි. එම විදුහල පිහිටුවීමට පුරෝගාමී වූ බන්දුල පාසලට ගොස් දරුවන්ට හා විදුහල්පතිවරයාට සුබපැතීය. මාතර රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාගේ මෙහෙයැවීමෙන් මෙවර අ.පො.ස. දීපව්‍යාප්ත ශ්‍රේණි ලබාගත් දරුවන්ට සුබ පැතීම සඳහා උත්සවයක් ද සංවිධානය කිරීමට එහිදී තීන්දු කැරිණි.
 
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00