2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ආණ්ඩු පෙරළිය ගැන අගමැති - මහින්ද වාදයක

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 509

 

වත්මන් යහපාලන රජය පිහිටුවා අදට හරියටම වසර දෙකක් සම්පූර්ණ වෙයි. 2015 ජනවාරි මස 8දා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතා පසුදිනම ජනාධිපතිධූරයේ දිවුරුම්දුන් අතර අග්‍රාමාත්‍ය ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේය. දස වසරක රාජපක්ෂ පාලනය හමාර කළ වත්මන් රජය මැතිවරණ සමයේ දුන් ප්‍රධාන ප්‍රතිඥා ගණනාව අතරින් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය තහවුරු කිරීම, වංචා දූෂණ තුරන් කිරීම, ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම, ජීවන බර අඩු කිරීම, රජයේ සේවකයන්ට රු. 10,000 වැටුප් වර්ධනයක් ලබාදීම වැනි කාරණා ප්‍රධාන විය. එයින් ඇතැම් ප්‍රතිඥා ඉටුකරන්නට රජය සමත්ව සිටී. රාජපක්ෂ රජයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ බව රජය කියයි. රජයේ සේවකයන්ට වැටුප් වර්ධන ලබාදීම ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල (ඉන්ධන, ගෑස් වැනි) මිල ගණන් පහත හෙළීම වැනි කාරණා රජයේ ආරම්භක අවධියේ සිදු කෙරිණි. මෑතකදී සෞඛ්‍ය ඇමැතිවරයා සිදුකළ ඖෂධ මිල ගණන් අඩුකිරීම වැනි කාරණාද ජනතාවට සහනයක් විය. ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල වූ වෝදනාවලින් නිදහසක් ලබාගන්නටද රජය ගත් ප්‍රයත්නය සෑහෙන දුරට සාර්ථක විය.

එහෙත් විදේශ ආයෝජන ලබා ගැනීම, ආර්ථික සමෘද්ධි ඇති කිරීම ජීවන බව සැහැල්ලු කිරීම, නව සංවර්ධන ව්‍යාපෘති ඇතිකොට තරුණ පිරිස්වලට රැකියා සැපයීම වැනි ඉලක්ක ගත වූ වසර දෙක තුළ ජයගන්නට රජය සමත්ව නැත. ඊටත් වඩා ප්‍රශ්නයවන්නේ වංචාවට දූෂණයට තිත තබන බවට සපථ කර පැමිණි වත්මන් රජයේ ලොකු ලොක්කන්ටද වංචා දූෂණ චෝදනා එල්ල වීමය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව බලවත් අපචාරයක් බව කෝප් සභාවේ වාර්තාව ප්‍රකාශ කළේය. ඒ නිසා හිටපු මහ බැංකු අධිපතිට ගෙදර යන තැනට කරැණු යෙදිණි. මේ ගැන විධිමත් නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිවරයාද ප්‍රතිඥා දී තිබේ. කෙසේ හෝ මේ සිද්ධිය නිසා යහපාලන රජයට ඇතිවූයේ විශාල කළු පැල්ලමකි. ඒ හැර මුදල් අමාත්‍යංශය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය වැනි ස්ථානවලට බරපතළ චෝදනා එල්ල වී තිබේ. මේවා ගැන යහපාලන රජයේ ප්‍රධානීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මුලින් දුන් ප්‍රතිඥාවලට පටහැනිය.

මේ ආකාරයට වත්මන් රජය දෙවසරක් සැපිරෙන අවස්ථාවේ ශ්‍රී.ල.නි.පයේ හා එ.ජා.පයේ සමහර මැති ඇමැතින් අතර හටගෙන තිබෙන වාග් සංග්‍රාමය රටේ යහපාලන ප්‍රේමීන් අන්ද මන්ද කරවන තත්ත්වයකි.

කෙසේ හෝ රජයට වසර දෙක සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි. ඒ හැර ජනාධිපති මැඳුරේ විශේෂ දානමය පුණ්‍යකර්මයක් සංවිධානය කරන ලෙස ජනාධිපතිවරයා මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට උපදෙස් දී තිබේ. අදට යෙදෙන ශ්‍රී.ල.නි.ප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 118 වැනි ජන්ම දිනයට සමගාමීව ජනපති මැඳුරේ පැවැත්වෙන විශේෂ දානමය පින්කමට මහා සංඝරත්නය එක්දහස් දෙසීය නමක් වැඩමකරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පැවසීය. මේ ආකාරයට රජයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් තවත් උත්සව ගණනාවක් විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබේ. 

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ අමුතු කතා පැතිරෙන්නට පටන් ගෙන තිබේ. තවත් මැති ඇමැති පිරිසක් ආණ්ඩුවේ තනතුරු අත්හරින්නට සූදානමින් සිටින බවට දේශපාලන ක්ෂේත්‍රයේ සමහරු පවසති. ඊළඟ පියවරට නියෝජ්‍ය ඇමැතිවරුන් 4 දෙනකු ආණ්ඩුවේ තනතුරු අත්හරින්නට සැරසෙන බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි. එ.ජා.පයේ රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම කියා තිබුණේ තමන්ටද දැන් දරන රාජ්‍ය ඇමැති පදවියෙන් ඉල්ලා අස්වන්නට සිතී ඇති බවයි. එසේම එ.ජා.පයේ වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයාද වරින් වර සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කළේ තමන්ට කිසිම වැඩක් කරගන්නට නොහැකිව තනතුරු දැරීමෙන් පළක් නොවන බව කියමිනි. 

පසුගියදා තනතුරු අත්හරින ලද රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිය පදවිය අත්හැරීමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණේය. ඔහු රාජපක්ෂ මහතා මුණගැසී කියා සිටියේ තමන් නියෝජනය කරන පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසී පාක්ෂිකයන් තවදුරටත් මේ රජයේ සිටින්නේ නම් තමන්ට සහයෝගය නොදෙන බව ප්‍රකශ කළ නිසා ආණ්ඩුවේ රැඳී සිටීම කළ නොහැකි බවය. ඊට අමතරව සිය අමාත්‍යංශයේ තමන්ට කිසිදු වගකීමක් පවරා නැති බවද මහින්ද රාජපක්ෂ මහතාට පැවසූ ජයරත්න මහතා තමන් සිය පදවිය අත්හරින බව සඳහන් කළේය. ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කරන්නේ යැයිද හෙතෙම පැවසීය.

අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීම භාරදී තමන්ගේ නිලවාහන පමණක් නොව ජංගම දුරකථනය සහ කාර්යාලයද රජයට භාර දුන්නේය. අනතුරුව මාධ්‍යයට කතා කළ ජයරත්න මහතා තවදුරටත් රජයේ සිටිමින් එ.ජා.ප මන්ත්‍රීන්ගේ අවලාදවලට සවන් දිය නොහැකි බව පැවසීය. තමන් මෙන් කොන්ද තිබෙන තවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඇමැතිවරැන් සිටින වග කී ජයරත්න මහතා ඔවුන්ද ඉදිරියේ මෙබඳු තීරණ ගන්නා බව තමන් දන්නේ යැයි කීය.

ප්‍රියංකර ජයරත්න මහතා ඉල්ලා අස්වීමත් සමඟ තවත් ඇමැතින් කිහිප දෙනකුම ලඟදීම තමන් දරන තනතුරු අත්හැරීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ. මෙසේ තනතුරු අත්හැරීමේ සූදානමින් නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු සිටින බවද සඳහන්ය.

පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන් වර්ෂ 2017දී වත්මන් රජය පෙරළා දැමීමට අපේක්ෂා කරන බවයි. එය කරන්නේ කෙසේදැයි ඔහු මෙතෙක් කියා නැතත් ඊට පෙර අවස්ථාවක ඔහු සඳහන් කළේ ඔළුගෙඩි මාරු කිරීමෙන් වුවද ආණ්ඩු බලය වෙනස් කළ හැකි වගයි. හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසර වෙනුවෙන් වැඩ ඇරැඹීමේ උත්සවයේදී පිළිතුරැ සපයා තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව පෙරළා දැමීම ගැන කළ ප්‍රකාශය නිසා තමන් දැනට ඉන්නේ විශාල බයකින් යැයි එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මාධ්‍යවේදීන් සමඟය. තමන් ළඟදි ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ආර්ථික සමුළුවක් සඳහා සහභාගීවීමට පිටත්ව යන නිසා මහින්දට ඒ කාලයේ ඕනෑනම් රජය පෙරළා දැමීමට උත්සාහ කර බැලිය හැකියැයි කියා සිටියේය. ඊට පසුදා අගමැතිවරයාට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා කීවේ තමන් කිසිවකු රටින් පිට සිටියදී ආණ්ඩු නොපෙරළන බවත් අගමැතිවරයා මෙහි සිටියදී කරන දෙයක් කිරීම තම පිළිවෙත බවත්ය.  අනතුරුව තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කීවේ ඉදිරියේදී කුලියාපිටියේ රථ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙන්ම තවත් විශාල ජාත්‍යන්තර ආයෝජන ලංකාවට ගෙන එන වගයි. හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මොණරාගල, හම්බන්තොට, ඇඹිලිපිටිය, මාතර ආදි ප්‍රදේශද සංවර්ධනයට යෝධ සැලැසුමක් සකසා ඇතැයිද පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරසර සංවර්ධනයන් සඳහා වන රජයේ දැක්ම එළිදැක්වීම සඳහා පසුගියදා උත්සවයක් පවත්වනු ලැබීය. රටේ ඉදිරි සංවර්ධන කටයුතු මෙහෙයැවීම සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර එමගින් සියලුම ජාතික සංවර්ධන කටයුතු මෙහෙයවීම සඳහා පියවර ගනිමින් සිටී. මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා එහි ප්‍රධානියා ලෙස පත්කර ඇති අතර ජාතීන් අතර එකමුතුකම තහවුරු කරමින් රටේ තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම ආණ්ඩුවේ අරමුණයැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අතර ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප.යේ ඉදිරිගමන වඩාත් සාර්ථක ලෙස කරගෙන යාමට අවශ්‍ය විශේෂ ක්‍රමෝපාය සැලසුමක් සකස් කරවා ඇත. පක්ෂයේ දේශපාලන උපදේශකයන් හා සැලැසුම්කරැවන් කිහිපදෙනකුගේ සහභාගීත්වයෙන් මෙම සැලැසුම සකස් ‍ෙකරිණි. මෙහිදී දැනට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීන්ගේ මෙන්ම රාජපක්ෂවරුන්ගේ සහයෝගය ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගෙන් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ලවී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා නැවතත් රාජ්‍ය නායකත්වයට පත්වීමට අපහසු නිසා වෙනත් රාජපක්ෂවරයකු ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨ පදවියකට පත්කිරීම ගැන මෙහිදී ශ්‍රී.ල.නි.ප. උපදේශකවරුන් සාකච්ඡා කොට ඇති බව කියැවේ. එක්කෝ චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයාට පක්ෂයේ මහලේකම් පදවිය පිරිනමා වැඩි වගකීම් පැවරීම සහ රජයේ ප්‍රධාන තනතුරකට ආරාධනා කිරීම ගැනද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. චමල් රාජපක්ෂ මහතා ඊට අකැමැතිනම් පක්ෂයේ ඉහළ තනතුරක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරුයුම් කළ යුතු යැයිද යෝජනාවිය. ඔහුට මැතිසබයට පැමිණිමේ වරම ලබාදිය යුතුයැයිද කියැවිණි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර මෙම ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවටද ශ්‍රී.ල.නි.ප. උපදේශකවරැන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. පසුගියදා පළාත් පාලන ඡන්දයට ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් සඳහන් කර සිටියේ පසුගිය මහා මැතිවරණයේදීත් එවැනි සහයෝගයක් ලබාදී තමන් පාඩම් උගත් බවය. අවසානයේ රජයේ බලධරයන් මැතිවරණය පරාජය වන තැනට කටයුතු කළ බව කී ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු මෙවර ඒ ආකාරයට පොරොන්දු පිළිගැනීමට සූදානමක් නැතිබැවින් ක්‍රියාවෙන් කරන දේ කල් තබා සිදුකර පෙන්විය යුතුයයි පැවසූහ.

මේ සියලු කරුණු කාරණා ගැන ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් හමුවී කතා කළ යුතුයැයි ජනාධිපතිවරයා විසින් තීන්දුවක් ගනු ලැබීය. ඒ අනුව ගිය අඟහරුවාදා රාත්‍රියේ එ.ජා.නි.ස. මහලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේදී ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින්ගේ හමුවක් පැවැත්විණි. ශ්‍රී.ල.නි.ප. ඇමැතීන්ගේ පැමිණීම අනිවාර්ය කර තිබූ මෙම හමුවේදී ඔවුනට රජය තුළ තිබෙන ගැටලු විසඳාගැනීමේ ක්‍රමවේදයක් සකසන බවද ප්‍රකාශ කර තිබිණි.

අඟහරුවාදා රාත්‍රි 7.00ට පමණ මහින්ද අමරවීර මහතාගේ නිවසට ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් පැමිණි අතර එහිදී අනාගත සැලැසුම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව වාර්තාවෙයි. ජනාධිපතිවරයා මේ අවස්ථාවට පැමිණියේ මඳක් පමාවී වුවද ඔහු මෙම හමුවේදී රජයේ පැවැත්ම සහ ශ්‍රී.ල.නි.ප. අනාගතය ගැන ඉතාමත් වැදගත් ප්‍රකාශ ගණනාවක් කළේය.

රජය ඉදිරියට නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා තමන් ළඟදීම ඉතාමත් දැඩි තීන්දු දෙක තුනක් ගන්නා බවට ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී වාර ගණනක්ම තරයේ ප්‍රකාශ කළේය. හම්බන්තොට වරායට හා ඉඩම් පැවරීමට අදාළ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට හා තමන්ගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවත් ඊට පෙර ගිවිසුම්වලට ආණ්ඩුව එළඹෙන්නේ කෙසේදැයි තමන් නොදන්නා බවත් ඔහු පැවසීය. එසේම ශ්‍රී.ල.නි.ප. සමගිය අත්‍යවශ්‍ය බව කී ජනාධිපතිවරයා පක්ෂය වටා ගම ඒකරාශී කරගත යුතු යැයිද කීය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට ඇතැමුන් ඔහු පරාජය කරන්නට හදද්දී තමන් ඔහු දිනවන්නට ක්‍රියාකළ හැටි පැහැදිලි කළ ජනාධිපතිවරයා වත්මන් රජයේ සිදුවන සමහර වැරදි ක්‍රියා විවේචනය කළේය.

මේ ආකාරයට පැය 2 ½ක් පමණ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් සමඟ ඉතාමත් සුහදව අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ජනාධිපතිවරයාට මහින්ද අමරවීර මහතාගේ නිවසේ සූදානම් කර තිබූ රාත්‍රි ආහාරය ගත්තේය. රෝස්පාන්, පොල් සම්බෝල, අලහොදි සහ තෝසේවැනි දේශීය ආහාර වේලක් ද ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැතිවරුන් වෙනුවෙන් අමරවීර මහතා සංවිධානය කර තිබූ නිසා ජනාධිපතිවරයා රාත්‍රි ආහාර සඳහා ගත්තේ රෝස්පාන්ය. කෙසේ හෝ ආහාර ගෙන පිටත්ව යාමට සැරසී නිල රථයට නැගීමට සූදානමින් වාහනය අසලට ගමන් කොට එතැන සිටි මැති ඇමැතීන්ට නැවතත් කියා සිටියේ තමුන්නාන්සේලා බයවෙන්න එපා මම ළඟදීම දැඩි තීන්දු දෙකතුනක් ගන්නවා. එතකොට බලාගන්න පුළුවනි කියායි. එහෙත් ඔහු ගන්නා දැඩි තීන්දු මොනවාදැයි ප්‍රකාශ කළේ නැත.

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට භාරදීමට නියමිත වූයේ ගිය සතියේය. එහෙත් අමාත්‍යවරයා මක්කම වන්දනාවේ ගොස් සිටි නිසා වාර්තාව භාරදීම පමාවිය. අනතුරුව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා මාධ්‍යයට ප්‍රසිද්ධියේ කියා තිබු‍ණේ විෂය භාර අමාත්‍යංශයට හෝ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ඉක්මනින් වාර්තාව භාරගෙන මැතිවරණයක් තැබීමට කිසිම උනන්දුවක් නැති බවයි. අමාත්‍යවරයා හැකිතාක් මෙම වාර්තාව ප්‍රමාද කරන ලෙස තමන්ට වාර ගණනාවක් කියා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.  පළාත් පාලන අමාත්‍යංශයෙන් තමන්ට මෙම කටයුත්ත සඳහා විධිමත් සහයක් නොලැබුණ බවටද අශෝක පීරිස් මහතා චෝදනා කළේය.

මේ නිසා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා දැඩි අපහසුතාවට පත්විය. ඔහු තමන්ගේ මක්කම චාරිකාවද අතරමඟ නවතා නැවත කොළඹට පැමිණියේ වාර්තාව භාරගැනීම පිණිසය. ඒ කටයුත්ත ජනමාධ්‍ය හමුවේ සිදුකරන්නටද තීන්දු විය. 

අනතුරුව වාර්තාව අශෝක පීරිස් මහතා භාරදීමට සැරසෙත්ම සීමා නිර්ණය කමිටුවේ සිටි සාමාජිකයන් 5 දෙනාගෙන් තිදෙනකු ඊට අත්සන් තබා ඇතත් දෙදෙනෙක් ඊට අත්සන් තබා නැතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එ.ජා.ප නියෝජිතයා සහ ශ්‍රී.ල.නි.ප නියෝජිතයා අත්සන් කර නැතැයි කමිටු සභාපතිවරයා කීය. එසේ නම් තමන්ට මෙම වාර්තාව පිළිගත නොහැකියැයි අමාත්‍යවරයා කීවේ සියලු අත්සන් ඇතුළත් විය යුතු යැයි සඳහන් කරමිනි. එහෙත් කමිටු සභාපති අශෝක පීරිස් මහතා කීවේ බහුතර අත්සන් සහිත නිසා අමාත්‍යවරයා වාර්තාව භාරගත යුතු බවය.

කෙසේ හෝ වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම අවශ්‍ය වුවද අඩුම තරමින් සිංහල හා දෙමළ භාෂාවෙන්වත් ඒවා සපයන ලෙස අමාත්‍ය මුස්තාපා මහතා පැවසීය. මේ ගැන කමිටු සභාපති අශෝක පීරිස් මහතා සහ අමාත්‍ය මුස්තාපා අතර මාධ්‍යවේදීන් හමුවේ විවාදාසපන්න තත්ත්වයක් හටගත් අතර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් නිසා අමාත්‍ය මුස්තාපා මහතා මෙන්ම අශෝක පීරිස් මහතාද කිසියම් අපහසුතාවකට පත්වූ බව පෙනිණි. මෙම සිද්ධිය නිසා සීමා නිර්ණය සමාලෝචන කමිටු වාර්තාව භාරගැනීම තවදුරටත් පමා විය. එහෙත් ඊට පසුදා මෙකී වාර්තාවට ශ්‍රී.ල.නි.ප නියෝජිතයා අත්සන් තැබූ බව වාර්තා විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය අඟහරුවාදා සවස කුලියාපිටිය බලා පිටත්ව ගියේ යෝජිත වොක්ස්වැගන් කම්හල සඳහා මුල්ගල තැබීමටයි. එහිදී කම්හලට මුල්ගල තැබීම ජනාධිපති සහ අගමැති, මුදල් අමාත්‍යවරයා සහ පළාත් මන්ත්‍රී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු ‍ෙකරිණි. මුල්ගල් තැබීමෙන් පසු පැවති ජනහමුව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ විදේශ ආයෝජකයන් ගෙන්වා රටේ තරුණ පිරිසට රුකියා ලබාදීමේ වැඩපිළිවෙළ මේ සමඟ ආරම්භ කළ බවයි. කුලියාපිටියේ කම්හලෙන් පළාතේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා 2500ක් පමණ ලබාදීමට රජය අපේක්ෂා කරන්නේයැයිද අගමැතිවරයා විශේෂයෙන් සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් සහ පක්ෂ නායකයන්ගේ හමුවක් ගිය අඟහරුවාදා සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවත නිවසේදී පැවැත්විණි. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ගැනුණු කරැණු ගණනාවකි. හම්බන්තොට ප්‍රදේශයෙන් අක්කර පහළොස් දහසක් චීන ආයෝජකයන්ට පැවරීම සහ හම්බන්තොට වරාය දිගුකාලීන බදු පදනම යටතේ චීන සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම් ලබන 7දා අත්සන් කෙරෙන බව පෙන්වා දුන්නේය. මේ කටයුතුවලින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම පළාතේ සංස්කෘතියට හා ගැමි ආර්ථිකයට සිදුවන බලපෑම හේතුවෙන් ජනතාව සහ මහා සංඝරත්නය පාරට බැස ඇතැයි මහින්ද  රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. උදය ගම්මන්පිල මහතාත් හම්බන්තොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ඒ ගැන විස්තර කළෝය. මෙම කටයුතුවලදී ඒකාබද්ධ විපක්ෂය ජනතාව සමඟ සිටිය යුතුයැයිද තීරණය විය. ගිවිසුම් අත්සන් කරන දිනයේ සංඝයා වහන්සේලා දහස් නමකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට පැවැත්වෙන සත්‍යග්‍රහයට පූර්ණ සහාය ලබාදීමටද ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. ඊට අමතරව මේ ව්‍යාපෘතියට එල්ල වී තිබෙන ජන විරෝධය සහ ආගමික නායකයන්ගේ විරෝධය ගැන සඳහන් කරමින් චීන රජයේ විදේශ අමාත්‍යවරයාට ලිපියක් ලිවීමටද ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. ඒ කටයුත්ත මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පැවරිණි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ජනතාව දැනුම්වත් කිරීම සඳහා ජනරැළි මාලාවක් පැවැත්වීමටද සැලසුම් ‍ෙකරිණි. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක්‍රියා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර නියෝජිතයන් පෙන්වා දීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටද ඒකාබද්ධ විපක්ෂය ඒකමතික තීන්දුවක් ගනු ලැබීය. 

තනතුර අත්හල ප්‍රියංකර ජයරත්න හිටපු අමාත්‍යවරයාද ඉදිරි සතියේ සිය කණ්ඩායමට එක්වන බව මෙම හමුවේදී නිවේදනය කැරිණි. ඒ සමඟ විපක්ෂ මන්ත්‍රීන් ගණනාවකගේ සහයෝගයෙන් පිහිටුවාගත් පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ ප්‍රථම පෝස්ටරය පසුගිය සතියේ දැකගන්නට ලැබිණි. එක් රැයකින් මෙම පෝස්ටරය රට පුරාම අලවා තිබීම පක්ෂයේ සංවිධාන ශක්තිය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් බව පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00