2018 ජුලි 28 වන සෙනසුරාදා

මහින්දගෙන් පොලිස් අමැතිට කඩයිම් ප්‍රශ්නයක්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 281

♦එ.ජා.ප.යෙන් ජනපතිවරණයට රනිල් මිස පොදු අපේක්ෂකයෙක් නැහැ

♦ගුරු අවුල ලිහීම ජනපති අතට ගනී

♦අර්ජුනගෙන් ෆයිසර්ට ක්‍රිකට් තොප්පියක්

♦කොටි නොව එ.ජා.ප.ය නගා සිටුවීම තම අරමුණ යැයි විජයකලා පොලීසියට කියයි

♦සම්පන්දන්ට මහින්ද කියූ දේශපාලන අනාවැකිය

මේ සතියේ දේශපාලන වේදිකාව උණුසුම් කළ මාතෘකා අතර මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන ජනපති කළ ප්‍රකාශය දැඩි කතාබහට ලක්විය. මෙම ප්‍රකාශය ජනපති විසින් සිදුකළේ මරණ දඬුවමට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රජයට එල්ල වූ බලපෑම් නිසා මරණ දඬුවම අකුලා ගන්නට තීන්දු කර ඇතැයි පළවූ ප්‍රචාරවලට පිළිතුරු වශයෙනි. තමන්ට කවර බලපෑම් එල්ල වුණත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට ගත් තීන්දුව ක්‍රියාවට නංවන බවද ජනපතිවරයා කීය. යහපත් සමාජයක් රටේ නිර්මාණය කරන්නට හොඳින් කියලා බැරි නම් සමහර රටවල් කළාක් මෙන් නරකින් හෝ ඒ කටයුත්ත කරන්නට සිදුවන්නේ යැයි ජනපතිවරයා සඳහන් කර තිබිණි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන තීන්දුවක් ගන්නට තමන් විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව පැවසූ ජනපතිවරයා එය අඟහරුවාදා රැස්වී මෙම දණ්ඩනය ක්‍රියාත්මක කරන ආකාරය තීන්දු කරනු ඇති බව කීවේ දැඩි අධිෂ්ඨානයෙනි. ඒ අනුව අදාළ කමිටුව අඟහරැවාදා රැස්වී සාකච්ඡා කළේය.

ජනපතිවරයාගේ එම කතාව මෙන්ම තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මොරගහකන්ද කළුගඟ සංවර්ධන යෝජනා ක්‍රමයේ දියවර මුදාහැරීමේ අවස්ථාවේදී සිදුකැරිණි. ඔහු එවර අවවාදය නිකුත් කළේ මාධ්‍යයටයි. තමනුත් තම රජයත් මෙරට මාධ්‍යයට ලබාදී තිබෙන නිදහස භාවිතා කොට තමාටත් රජයටත් දැඩි ලෙස පහර දී දුර්වල කළහොත් අනාගතයේදී කඳුළු සලන්නට සිදුවිය හැකි යැයි ජනපතිවරයා මාධ්‍යයට අවවාද කළේය. මෙරට ඇතැම් පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නේ තමන්ගේ කටින් පිටවන අවශ්‍ය දේ නොව අනවශ්‍ය දේ යැයි පැවසූ හෙතෙම තමන් සත්‍ය කතා කරන්නට ලබාදුන් මාධ්‍ය නිදහස මෙලෙස භාවිත කිරීම ගැන කනගාටු වන්නේ යැයිද කීය.

කොටි සංවිධානය නැවත නගා සිටුවිය යුතු යැයි කියමින් යාපනයේ මහජන රැස්වීමකදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය ගැන කතානායකගේ හා නීතිපතිගේ නියමය පරිදි පොලීසිය පරීක්ෂණයක් පවත්වමින් සිටී. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන්, එම උත්සව සභාවේ සිටි අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන සහ තිලක් මාරපන යන මහත්වරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගත් පොලිසිය විජයකලා කොළඹ පැමිණි පසු මැතිසබා කාර්යාලයේදී ප්‍රකාශයක් ලබාගැනීමට සැලැසුම් කර තිබිණි. විදේශගත වනවා යැයි කී විජයකලාද විදේශගතවී තිබුණේ නැත. කෙසේ හෝ පරීක්ෂණ පමාවෙද්දී ඒ ගැන විවිධ පාර්ශ්ව අර්ථකථන දෙන්නට වූ බැවින් කතානායක කරු ජයසූරිය මහතා දෙවැනි වරටත් නීතිපතිට ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ මේ සිද්ධිය ගැන නීතිපති මතය ඉක්මනින් තමා වෙත දන්වන ලෙසයි. කතානායකවරයා ලබන සතියේ මැතිසබා රැස්වීමට මෙම විශේෂ කරුණට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බැවින් මෙම කරුණ ගැන දෙවැනි වරටත් සිහි කැඳවීමක් යැවීය. ඒ අතර පොලිස්පතිවරයාද කතානායකවරයාට ලිපියක් යවමින් කඩිනම් විධිමත් පරීක්ෂණයක් කරන බව සඳහන් කර තිබිණි.

අනතුරුව මේ සතියේ අඟහරුවාදා පොලීසිය යාපනයට ගොස් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය මුණ ගැසුණි. පැය තුනකට අධික කාලයක් ඇයගෙන් ප්‍රශ්න කළ පොලීසිය ඇය කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළේ ඇයිදැයි විමසීය.

ඊට පිළිතුරු ලෙස හිටපු ඇමැතිනිය සඳහන් කළේ තමන්ගේ අරමුණ එ.ජා.ප.ය ප්‍රවර්ධනය කිරීම මිස කොටි සංවිධානය ප්‍රවර්ධනය නොවන බවය. මෙම ප්‍රකාශයෙන් එවැන්නක් අදහස් නොකළ වගද ඇය කීවාය. ප්‍රකාශයේ බරපතළකම තේරුම් ගියේ එයින් පසු ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය නිසා යැයිද විජයකලා සඳහන් කළාය. කෙසේ හෝ ඇයගේ ප්‍රකාශය සටහන් කරගත් පොලීසිය එම සිද්ධියට අදාළව සකස් කරන විශේෂ වාර්තාවක් ඉදිරි දින කිහිපයේදී නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි කියැවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් කිලිනොච්චියට ගියේ උතුරේ ජනතාවට ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන හඳුන්වාදීම සඳහාය. මෙම උත්සවවලට අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මෙන්ම මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන්ද උතුරේ මහ ඇමැති විගේනේෂ්වරන්ද එක්ව සිටියහ. එහිදී රැස්ව සිටි ජනතාව අමතා කතා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ දරුණු යුද්ධයකින් පසුව ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා උතුරේ සහ දකුණේ ජනතාව සහයෝගීතාවෙන් යුතුව ක්‍රියාකළ යුතු වගය. වත්මන් රජය උතුරේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වැඩසටහන් ගණනාවක් දැන් ආරම්භ කර ඇතැයි පැවසූ හෙතෙම ගම්පෙරළිය වැඩසටහන හරහා උතුරටත් දකුණටත් එක ලෙස සමෘද්ධිය උදාකරන්නේ යැයි කීය.

මහජන චීනයේ යුද හමුදා දිනය නිමිත්තෙන් කොළඹ චීන තානාපතිවරයා සංවිධානය කළ විශේෂ උත්සවයක් හා සාදයක් පසුගිය අඟහරැවාදා කොළඹදී පැවැත්විණි. මෙම උත්සවයට ජනාධිපති, අගමැති, හිටපු ජනපති, විපක්ෂ නායක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු ප්‍රභූ පිරිසකටද අමාත්‍යවරුන් ගණනාවකටද දේශපාලනඥයන් රැසකටද ආරාධනා කර තිබිණි. එහෙත් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඊට සහභාගි වූයේ නැත. හිටපු ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ප්‍රභූවරු ඊට එක්වූහ. ජෝන් අමරතුංග, රන්ජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුද එක්ව සිටියහ. සම්පන්දන් මහතා, මහින්ද රාජපක්ෂ මහතා සිටියේ එක ළඟ අසුන්වලය.

සුපුරුදු ලෙස මහින්ද කලකින් තමා හමුවුණ විපක්ෂ නායක සම්පන්දන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් රටේ තොටේ තත්ත්වය කොහොමද කියා ප්‍රශ්න කළේය. එවිට විපක්ෂ නායකවරයා කීවේ ජනතාවට දැඩි අර්ථික අමාරුකම් තිබෙන වගත් දුප්පත් උදවිය සෑහෙන අසීරුවෙන් ජීවිතය ගෙන යන බවත්ය. උතුරට මේ රජයෙන් අපේක්ෂා කළ සංවර්ධන ප්‍රතිලාභ ලැබුණේ නැහැ නේද? මහින්ද සම්පන්දන්ගෙන් කෙළින්ම ප්‍රශ්න කළේ ඒ මොහොතේය. ඊට පිළිතුරක් නොදී සිනහවකින් පමණක් උත්තරදුන් සම්පන්දන්ට මහින්ද කීවේ “මම උතුරේ පාරවල් හැදුවා. රේල්පාර හදල කෝච්චි දාලා දුන්නා. තවත් නොයෙක් සංවර්ධන වැඩ කළා. හැබැයි මෙයාල මුකුත් කළේ නැහැ. ඒත් ඔයාල ආණ්ඩුවට උදව් කළා. ඉතින් තවදුරටත් මේ විදියට ගියොත් ඔයාලගේ පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කරාවි. පක්ෂ විනාශ වේවි. එතකොට දෙමළ සන්ධානය වෙනුවට අලුත් පක්ෂ හැදේවි” යැයි කීය. ඒ මොහොතේ අසලට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දුටු විපක්ෂ නායකවරයා සුහද බව පළ කරද්දී &කොහොමද මිස්ටර් සම්පන්දන් අපි හුඟ කාලෙකින් නේද හමුවුණේ” කියමින් කෙටි සුහද කතාබහක නිරත විය. ඒ මොහොතේ අසල සිටි ජෝන් අමරතුංග අමාත්‍යවරයා මහින්ද හා ගෝඨාභය අසලට පැමිණ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තවත් මාස දෙකකින් තමන්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරෙන බව මතක් කළේය. “ඒකට සර් ලොකු උත්සවයක් ගන්නයි අපේ හිතවතුන් සූදානම් වෙන්නේ” යැයි ජෝන් අමරතුංග කියන විට මහින්ද රාපජක්ෂ සඳහන් කළේ “ඔව්. ඔව්... අපටත් කියන්න අපි අනිවාර්යයෙන්ම එනවා” කියායි. මේ කතාබහ යන අතර නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර ද ඒ අසලට පැමිණියේය. ඔහු දුටු ගමන් හිටපු ජනපතිවරයා විහිළුවෙන් මෙන් ප්‍රශ්න කළේ “ආ රන්ජිත් ඔයාල රාජපක්ෂ පවුලම හිරේ දාන්නද යන්නේ...?” කියායි. එහිදී සිනහසුණු මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පිළිතුරක් දුන්නේ නැත. “කොහොමද දැන් පළාත් සභා ඡන්දෙ? උතුරෙත් ඡන්දය තියෙනවද?” හිටපු ජනපති ප්‍රශ්න කළේය. “මොකද නැත්තෙ තියනව... තියනව....” රන්ජිත් අමාත්‍යවරයා පිළිතුරු ලෙස කීය. “ඔබතුමා මොණරාගල පැත්තෙ එහෙම ගියේ නැද්ද... ගෝඨාභය මහත්තය නම් ගිහිල්ල තිබුණා...” යැයි අමාත්‍ය රන්ජිත් කියද්දී “ඇයි නැත්තෙ අපි නිතර යනවා” යැයි මහින්ද කීය.

ඒකාබද්ධ විපක්ෂය මුස්ලිම් පෙරමුණක් පිහිටුවමින් ඉදිරියේ ස්ථාපිත කෙරෙන පුළුල් දේශපාලන සන්ධානයක් සඳහා අත්පොත් තැබීය. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින සෙසු පක්ෂද මෙම සන්ධානයට එකතු කර ගැනෙයි. නව සන්ධානය සෑදීමට පෙර ලබන මාසයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාරවලට අමෙරිකාවට යෑමට නියමිතය. ඔහු එතෙර සිටින කාලය තුළ රජයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා දියත් කිරීමට ඒකාබද්ධයේ පක්ෂ නායකයන් තීන්දු කළේ උග්‍රවන ජීවන වියදම් අර්බුදය ගැන රජයේ අවධානය යොමුකර වීමටය. මෙම උද්ඝෝෂණ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් අනතුරුව සිදුකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධයට උපදෙස් දුන්නේය.

මේ අතරතුර එ.ජ. පෙරමුණ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම එක්ව සන්ධානයක් සකස් කිරීමටද කටයුතු සැලසුම් කෙරෙමින් තිබෙන බව එ.ජා.ප ආරංචි මාර්ග කියයි. අමාත්‍ය මනෝ ගනේෂන් මේ ගැන මාධ්‍යයටද අදහස් පළකරමින් පවසා සිටියේ කඩිනමින් මෙම සන්ධානය ස්ථාපිත කරන්නට පියවර ගන්නා වගයි. මේ කණ්ඩායමට ඒකාබද්ධයේ මන්ත්‍රීන් ගණනාවක් එක්කර ගැනීමට ක්‍රියා කරන බවද අමාත්‍ය ගනේෂන් සඳහන් කර තිබිණි. මීළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් හොඳ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ යැයි කීය. ඒ කෙසේ වෙතත් එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීන්ද ප්‍රසිද්ධියේම කියන්නේ එ.ජා.පය නැවත පොදු අපේක්ෂකයන්ට නම් ඉඩ නොදෙන බවය. එ.ජා.පයෙන්ම කවුරුන් හෝ ජනපති මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බව ඔවුන්ගේ මතයයි.

පසුගිය අඟහරුවාදා සතියේ අමාත්‍ය මණ්ඩල හමුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම ඇමැති හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම ගැන අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට දොස් පවරන්නට විය. ක්‍රීඩා පනතේ වගන්තියක් (ක්‍රිකට්වලට අදාළ) සංශෝධනය සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ විට මෙම තත්ත්වය හටගැනිණි. ක්‍රිකට් නිලවරණය ගැන මෙම වාදය අතරතුර අර්ජුන අමාත්‍යවරයා ෆයිසර් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

අර්ජුන පසුගිය කාලයේත් මෙදිනත් දිගින් දිගටම රජයට යෝජනා කළේ ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කොට දැනට අගාධයට ගොස් ඇති ක්‍රිකට් ක්‍රීඩාව නංවන්නට පියවර ගන්නා ලෙසයි. නමුත් ඇමැති ෆයිසර් කැබිනට්ටුවට කීවේ තමන් ක්‍රියා කරන්නේ මේ ගැන නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත කියායි. ක්‍රිකට් නිලවරණය ගැන අමාත්‍ය ෆයිසර් විධිමත් ලෙස ක්‍රියාකර නැතැයි එවිට අර්ජුන අමාත්‍යවරයා නැවතත් කීය. එවිට කෝපයට පත් අමාත්‍ය ෆයිසර් මුස්තාපා කීවේ තමන්ද ජනාධිපති නීතිඥයකු බවත් නීතිය හොඳින්ම දන්නා බවත්ය. ඒ නිසා ක්‍රිකට් නිලවරණය නීතියේ හැටියට කරන බව ඔහු පැවසීය. මේ වාදය දිගින් දිගට ඇදීයන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම වාදයට තිත තබමින් සඳහන් කළේ අමාත්‍ය අර්ජුන ක්‍රීඩා අමාත්‍යාංශයේ රාජකාරි ක්‍රීඩා ඇමැතිට කරන්නට ඉඩ දී තමන්ට පැවරී ඇති ඛණිජ තෙල් අමාත්‍යාංශයේ කටයුතු හරිහැටි කරන ලෙසයි. ක්‍රිකට් නිලවරණය ඉතා ඉක්මනින් පවත්වා ඊට සුදුසු නිලධාරීන් පත් කරන්නට පියවර ගන්නැයි ජනාධිපතිවරයා සඳහන් කළේ ක්‍රිකට් පරිපාලනයට පත්වන නිලධාරීන් කවුද යන්න තමන්ට අදාළ නොවන බැවින් නිලවරණයෙන් සුදුස්සන් තෝරාගන්නැයි කියමිනි. 

මෙවර අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වූ තවත් ආන්දෝලනාත්මක කරුණක් වූයේ උතුරේ නිවාස සෑදීම සඳහා චීනය හා ඉන්දියානු ආයෝජකයන් දෙදෙනෙක් ඉදිරිපත් කර තිබෙන මිල ගණන්ය. චීනය හෝ ඉන්දියාවට අමතරව අමාත්‍ය මනෝ ගනේෂන්ද නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ඉල්ලා තිබිණි. කෙසේ හෝ චීන සහ ඉන්දීය ආයෝජකයන්ගේ මිල ගණන් සලකා බැලූ අමාත්‍ය මණ්ඩලය ඉන්දීය ආයෝජකයාගේ මිල ගණන් ඉහළ නිසා ඒ ගැන සාකච්ඡා කර සාධාරණ මිලකට නිවාස ඉදිකරවන්නට තීන්දු කළේය. ඒ ගැන ඉන්දීය ආයෝජක සමඟ කතා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බාරගත් බව වාර්තා විය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවා යැයි කියන 1014 දෙනකුට අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් හා උසස්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීන්දු කර තිබිණි. එහෙත් ගුරු හා විදුහල්පති සංගම් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ගණනාවක්ම මෙයට විරෝධය පළකර තිබිණි. ඒ නිසා වැඩවර්ජනයක් දියත් කිරීමටද කටයුතු යොදා තිබූ වෘත්තිය සමිති ක්‍රියාදාමයට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතාද සහාය පළකරන බව ප්‍රකාශ කළේය. අමාත්‍ය අකිල මේ ගැන දැඩි මතයක සිටියදී ගිය බ්‍රහස්පතින්දා දිවයිනේ පාසල් කටයුතු අඩාල විය හැකි බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබිණි. අගෝස්තු මස අ.පො.ස. උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවන් මෙයින් වඩාත් පීඩාවට පත්වන බවට වාර්තා විය. මෙලෙස පළිගැනීමට ලක්වූවන්ට පත්වීම් දීම සඳහා යැයි කියමින් රටේ ජනප්‍රිය පාසල් ගණනාවක විදුහල්පතිවරුන් මාරුකර දමන්නටද සැලැසුම් කළ බව දැනගන්නට ලැබිණි. කෙසේ හෝ ජනාධිපතිවරයා මෙම අරගලය විසඳීම සඳහා ගුරු වෘත්තිය සංගම් ප්‍රධානීන් තමන් හමුවට කැඳවා තිබිණි. ඔවුන් සමඟ කළ සාකච්ඡාවේදී ගුරු සංගම් නායකයන් කීවේ මෙලෙස පළිගැනීමට ලක්වූවන් යැයි කියමින් එසේ නොවන අයට උසස්වීම් ප්‍රදානය සඳහා රජය සූදානම් වන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශ ක්‍රියාකලාපයද මෙහිදී දැඩිලෙස විවේචනය විය. ඒ අනුව වහා තීන්දුවක් ගත් ජනාධිපතිවරයා නව පත්වීම් 1014 ලබාදීම අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට නියම කළේය. මෙලෙස පළිගැනීමට ලක්වූවන් යැයි කියන තැනැත්තන් සියල්ලගේම පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කොට අසාධාරණයට ලක්වූවන් ඇත්නම් ඔවුන්ට පමණක් උසස්වීම් ලබාදීම සඳහා ඉක්මනින් තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස දන්වමින් කමිටුවක්ද පත් කළේය. ඒ සමඟ ගුරු වැඩවැරුම නතර කරන බවට ගුරු සංගම් නිවේදනයක් නිකුත් කළ බැවින් වර්ජනය නතර විය.

රජය විසින් පෞද්ගලීකරණය කිරීමට යෝජිත ආයතන වෙත ගොස් ඒවා පරීක්ෂා කර බලා ජනතාව දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් වැඩපිළිවෙළ දිගටම ඉදිරියට ගෙන යාමට සැරසෙයි. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණද මේ ගැන විරෝධය පළ කිරීමට මාධ්‍ය හමුවක් කැඳවීය. එහිදී විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේ මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට පැවරීමෙන් නැවත වරක් මෙරට ගුවන් සීමා උල්ලංඝනය කොට අපට පරිප්පු දමන්නට ඉන්දියාවට ඉඩ සැලසෙන බවය. ඉන්දු - චීන බල අරගලයකට හම්බන්තොට තෝතැන්නක් විය හැකි යැයිද ඔහු ප්‍රකාශ කළේය.

එළඹෙන පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට ද නැතහොත් නව ක්‍රමයට ද පැවැත්විය යුත්තේ යන්න තීරණය කිරීම සඳහා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම අවස්ථාවේදී එජාපයත්, ඒකාබද්ධයත්, මුස්ලිම් කොංග්‍රසයත් පවසා සිටියේ හැකි ඉක්මණින් පැරණි මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුය යන්නය. එහෙත් ශ්‍රීලනිපයත්, ජවිපෙ සාමාජිකයනුත් පවසා සිටියේ පළාත් සභා මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත්විය යුතුය යන්නය. විශේෂය නම් පළාත් සභා අමාත්‍යවරයකු වූ ෆයිසර් මුස්තාපා මහතා පවසා සිටියේ මැතිවරණය නව ක්‍රමය යටතේ පැවැත් වියයුතු බව කියා සිටීමය.

පසුගිය බදාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය. එහිදී විශේෂයෙන් සාකච්ඡා වුණේ දැනටමත් කල්ඉකුත්ව ඇති පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙනි. අග්‍රාමාත්‍යවරයා එහි සිටි පිරිසට දන්වා සිටියේ පළාත් සභා මැතිවරණය ජනවාරි මුල් සතියේ පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන ලෙසය.

ඒවගේම එම අවස්ථාවේ කෘත්‍යධිකාරී මණ්ඩල සාමාජිකයන් විසින් යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය. ඒ පළාත් සභා මැතිවරණ පැරණි මනාප ක්‍රමයට පැවැත්විය යුතුය කියාය. ඒ අනුව පක්ෂයේ මහලේකම්වරයාට අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හැකි ඉක්මණින් සිදුකරන ලෙසය.  

►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00