එ.ජා.ප. ජනපති අපේක්ෂකයා අන්තිම මොහොත දක්වා රහසක්ලු
ත්‍රිපුද්ගල අධිකරණයට යන්නට පෙර ගෝඨා එයාර් ලංකා කොමිසමට
මහනුවර රන්දෝලි පෙරහරේ පොලිස්පතිගේ රැඟුම
රාජිතගේ පුත්‍රයාගේ මංගල්‍යයට රෝස මලින් තැනූ ඇරයුම් පත්
ජනපතිගේ මැදමුලන ගමන ගැන වංගු ගැසූ අර්ථකථන ගොඩක්
මෛත්‍රීලාට රාජපක්ෂලාට ප්‍රතිකාර එකම දොස්තරගෙන්
එන්නේ හදිසි ජනපතිවරණයක් ද පළාත් සභා මැතිවරණයක් ද යන්න ගැන තීන්දුවක් ගත නොහැකිව දේශපාලන අංශවල ප්‍රබලයන් පවා ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටිති. ආණ්ඩුවේ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් මැතිසබයට ඉදිරිපත් කළ පළාත් සභා මැතිවරණ සීමානිර්ණය වාර්තාව ආණ්ඩුව විසින්ම පරාජයට පත් කෙරිණි. යෝජනාව ඉදිරිපත් කළ අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඒ ගැන මැතිසබයේ කළ කතාවේදී සීමානිර්ණය කටයුතු ගැන මැදිහත්ව කතා කළද ඉන්පසුව පැවැති සීමානිර්ණය වාර්තාවට අදාළ ඡන්දයේදී ඊට එරෙහිව ඡන්දය දුන්නේය. ඒ සමඟ පාර්ලිමේන්තුවේ ඒ මොහොතේ සිටි සියලු දෙනාම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ යෝජනාව පරාජයට පත්විය. අනතුරුව අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ පළාත් සභා සීමානිර්ණය කමිටු සභාපති කේ. තවලිංගම් මහතා අතර ද මේ ගැන විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය. තවලිංගම් මහතා මෙරට සිටි මිනුම්පතිවරයෙකි. සීමානීර්ණය ගැන අත්දැකීම් ඇත්තෙකි. ඔහු තමන්ගේ වාර්තාව නිසි ලෙස සැකසූ බවත් රජයේ ඇතැමුන් කියන ආකාරයට ඊට රුපියල් ලක්ෂ 212ක් වැය නොවූ බවත් කීය. ඒ සඳහා වෙන්කළ ලක්ෂ 212න් වැයවූයේ ලක්ෂ 160ක් බවත් ඉතිරි මුදල් භාණ්ඩාගාරයට යැවූ බවත් කියූ ඔහු වාර්තාව නිවැරදි බව සහතික කළේය. නමුත් අමාත්‍ය ෆයිසර් කීවේ මෙම වාර්තාව සකසා මැතිසබයට ඉදිරිපත් කරන්නට පෙර පාර්ලිමේන්තු කමිටුවකින් උපදෙස් ගන්නට තමන් යෝජනා කළ නමුත් සීමානිර්ණය කමිටුව එය ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුන්ගේ බලය ඉක්මවා ක්‍රියාකරන්නට තමාට නොහැකි වූ බවය. එහෙත් සීමානිර්ණය කමිටු සභාපති කීවේ තමන්ගේ කණ්ඩායම හරිහැටි සකස් කළ වාර්තාව ගැන අමුතු උපදෙස් අනවශ්‍යයයි කියායි.
කෙසේ හෝ ශ්‍රී.ල.නි.ප.ය., ජ.වි.පෙ., හෙළ උරුමය ආදි පක්ෂ ගණනක් නව ඡන්ද ක්‍රමයට මනාපය. එහෙත් සෙසු සියලුම පක්ෂ ඊට විරුද්ධය. ඔවුන් ඉල්ලන්නේ පැරණි ක්‍රමයයි. යෝජනාව මැති සබයට ගෙන ආ ඇමැති ෆයිසර් ද ඊට එරෙහි වීමෙන් ඔහු ලෝක වාර්තාවක් තබා ඇත්තේ තමන් ඉදිරිපත් කළ වාර්තාවට තමන්ම එරෙහිවෙමිනි. කෙසේ හෝ මේ අර්බුදය විසඳාගන්නට නීතිමය වශයෙන් ඇති ඊළඟ විකල්පය වන්නේ කතානායකවරයා අග්‍රමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවකට මෙය ඉදිරිපත්කොට මාස 2ක් තුළ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමයි. ඒ සඳහා මේ සතියේ කතානායකවරයා කමිටුවක් පත්කළේය. එහෙත් එම කමිටුවේ සංයුතිය ගැන දැන් විපක්ෂය ප්‍රශ්න කරන්නට පටන් ගෙන ඇත. කමිටුවේ සාමාජිකයාට බහුතරය සුළු ජාතිකයන් වීම අසාධාරණ බව ඒකාබද්ධය කියයි. මේ කවර ප්‍රශ්න තිබුණද සියලු වාර්තා සම්පූර්ණ කර ලබන ජනවාරි මස මුල් භාගයේ ඡන්දය පවත්වන බව රජය කියා සිටී. ආග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරයා ද ඒ බව සඳහන් කර තිබිණි.
ඒ අතර හදිසි ජනාධිපතිවරණයක් පිළිබඳ කතාවට ද තටු ලැබී තිබේ. ජනාධිපතිවරයාගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව ඇතැයි රජයේ එ.ජා.ප. ශ්‍රී.ල.නි.ප. ප්‍රධානින් ද පවසන්නට පටන්ගෙන ඇත. ඊට සමගාමීව ඒකාබද්ධ විපක්ෂය හා ජනාධිපතිවරයා අතර කිසියම් අදහස් හුවමාරුවක් තිබෙන බවද කියැවේ. ඊට දායක වී සිටින්නේ රජයෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමේ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිසකි. ඔවුන් මේ දිනවල මහින්ද - මෛත්‍රී අතර අදහස් හුවමාරු කරගනිමින් සාකච්ඡා පවත්වන්නට පටන්ගෙන තිබේ. පසුගිය අඟහරුවාදා සහ බදාදා දිනවලද එස්.බී., ලක්ෂමන්, වසන්ත, මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මේ ගැන කතාබස් කළ බව කියැවිණි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම උනන්දු වන්නේ කඩිනමින් මහ මැතිවරණය, ජනපතිවරණය, පළාත් සභා ඡන්දය යන තුනෙන් ඕනෑම ඡන්දයකට ඉදිරිපත් වීමටයි. මහින්ද - මෛත්‍රී දෙපක්ෂය එක්වන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය වුවද ලබාදීමට ජනාධිපතිවරයා සූදානම් බව එස්.බී. මහින්දට දන්වා ඇත. එසේම ඒකාබද්ධයේ වාසුදේව නානායක්කාර ද කීවේ මහින්දට අගමැති ධුරය ලබාදෙන්නට මෛත්‍රී අකමැති නැත කියායි.
මෙම කතාබහට අලුත් ජවයක් ලැබුණේ පසුගියදා සිදුවූ මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍ර ටියුඩර් රාජපක්ෂ මහතාගේ අවමංගල්‍යය උදෙසා ජනාධිපති මෛත්‍රී මැදමුලනට ගොස් සෑහෙන වේලාවක් රාජපක්ෂ සොහොයුරන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම නිසාය. ජනාධිපතිවරයා ගුවනින් මැදමුලනට පැමිණියේද තවත් විශේෂ පුද්ගලයකු සමඟය. ඔහු සුප්‍රකට වෛද්‍ය විශේෂඥ බන්දුල විජේසිරිවර්ධන මහතාය. වෛද්‍ය බන්දුල බෙලිඅත්තේ කෙනෙකි. දිගුකලක් පොළොන්නරුවේ සේවය කළ දෙමව්පියන් සමඟ ජනපති මෛත්‍රී සහ එකට පාසල් ගිය පාසල් මිතුරෙක් ද වෙයි. එනිසා වෛද්‍ය බන්දුල මෛත්‍රීගේ පවුලේ පෞද්ගලික වෛද්‍යවරයාය. එසේම ඔහු රාජපක්ෂ පවුලේ ද පෞද්ගලික වෛද්‍යවරයෙකි. මහින්ද - බැසිල් චමල් පමණක් නොව ගෝඨාභය ද ප්‍රතිකාර ගන්නේ ඔහුගෙනි. ඔහු සමඟ මෛත්‍රී මැදමුලනට ඒම ගැන තිරය පිටුපස නොයෙක් කතා ගෙතී තිබේ. කෙසේ හෝ මෛත්‍රී මැදමුලනේදි අතීත කතා සිහිපත් කරමින් මුල්හිරිගල අතුරු මැතිවරණය සඳහා පැමිණ තමන් ඇතුළු පිරිසට එවකට පැවති එ.ජා.ප. රජයේ ප්‍රබලයන් පහර දුන් පසු අනුන්ගේ මෝටර් සයිකලයක එල්ලී ඇඹිලිපිටියට ගොස් එතැනින් බස් රථයට නැග කොළඹට පැමිණි ආකාරය මහින්ද රාජපක්ෂට මතක් කළේය. ඒ අවස්ථාවේ එහි සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර ජනාධිපතිවරයාට කීවේ දැනට ගෝඨාභයට නඩු වැටී තිබෙන රාජපක්ෂ දෙමව්පියන්ගේ ස්මාරකය මැදමුලන නිවසට හැරෙන හන්දියේම ඇති නිසා එයද නරඹා යන ලෙසයි. එවිට ඒ ගැන සමහරැන් කියන කතා ඇත්තද නැත්තදැයි තේරුම්ගනු ඇතැයි කී විට ජනාධිපති මෛත්‍රී කීවේ. “හරි හරි මම ඒක බලාගෙන යන්නම්.” කියාය.
මේ කතාබහ යන අතර එතැනට පැමිණි බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය ඇමතූ ජනාධිපතිවරයා. “ඉසුර ඕගොල්ලොන්ට පිස්සුද මේ ලක්ෂ ගණන් දීල පළාත් සභාවට පුටු ගන්න... මොකද්ද මේ කරන්නෙ? යයි ප්‍රශ්න කළවිට ඉසුර දේවප්‍රිය සඳහන් කළේ මෙය සාධාරණ ගණනක් බවය. පුටුවලට මේ මිලට ආසන්න මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයේ මිල වෙනස් වන්නේ රුපියල් 75/- කින් පමණක් බවත් ඉසුර දේවප්‍රිය කීය. ඒ කතාව අසාසිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කීවේ “ඔය පුටු ගන්න රට යන්න ඕන නැහැ මොරටුවට ගියා නම් ඉවරනේ.” කියායි.
ඉන් අනතුරුව ත්‍රිපුද්ගල මහාධිකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කාරණයක් මතක් කළ හිටපු ජනාධිපතිවරයා මෙම උසාවිය විපක්ෂයේ දේශපාලන නඩු විසඳන තැනක් වීම සාධාරණ නැතැයි කීය. තමන් ඒ ගැන බලන්නම් යැයි ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
මැදමුලන මළගෙදරට ගිය අමුත්තන් අතර කැපී පෙනුණ අනෙක් චරිත වූයේ මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීරයි. රාජපක්ෂලාට තදබල ලෙස දේශපාලන වේදිකාවේදි පහර දෙන මංගල මැදමුලනට ගොස් මහින්ද ගෝඨාභය චමල් රාජපක්ෂ මහත්වරුන් සමඟ සුහද කතාබහක නිරතවූයේ අවසන් කටයුතු නිම වී සත් දිනයේ මතක බණ දේශනයදාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින ගණනාවක් වියට්නාමයේ නිල සංචාරයක නිරත විය. එරටදී ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය මෙන්ම බංග්ලාදේශ හා වියට්නාම විදේශ අමාත්‍යවරු ද මුණගැසුණේය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා වියට්නාම ෂෙරටන් හෝටලයේ පැවති ඉන්දීය සාගර සමුළුව අමතා කතා කළේය. ලෝකයේ අනාගතය ඉන්දීය සාගරය තුළ රැඳි ඇතැයි එහිදි රනිල් පැවසීය. යුරෝපයත් ආසියාවට පැමිණීමට පෙර සිටම ආසියාතිකයන් ඉන්දීය සාගරයේ වාණිජ කටයුතු කළ බව රනිල් වික්‍රමසිංහ මහතා කීය. අවිශ්වාසය සහ එදිරිවාදීකම් දුරලා එකමුතුව ක්‍රියාකිරීමෙන් ආසියානු කලාපීය රටවලට පමණක් නොව මුළුමහත් ලෝකයටම ප්‍රමාණවත් සේවාවක් කළහැකියැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එ.ජා.ප.ය ද ශ්‍රී.ල.නි.ප.ය මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සංවර්ධන කටයුතු මෙන්ම දේශපාලන කටයුතු ගණනාවක් ආරම්භ කළේය. මේ සතියේ මොණරාගලදි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ආරම්භ කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙහෙයැවීමෙනි. අමාත්‍ය සමරවීර විසින් විවෘත කරන ලද මෙම ප්‍රදර්ශනය දින තුනක් පුරා මොණරාගලදී පැවැත්වෙයි. අග්‍රාමාත්‍යවරයා මෙන්ම කතානායකවරයා ද එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වීමට නියමිතය. අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු ප්‍රභූන්ද එම අවස්ථාව නියෝජනය කරති.
ඉදිරි ජනාධිපතිවරණයේ එ.ජා.ප. ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුත්තේ කෙසේද යන්න ගැන දැන් පක්ෂය තුළ සාකච්ඡාවක් ආරම්භ වී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ අපේක්ෂකත්වයට පත්කළ යුතුයැයි ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කියද්දි තවත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සජිත් හෝ නවීන් ඉදිරිපත් කළ යුතුයැයි මතවාදයක් ගෙනයමින් සිටිති. ඒ අතර ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් වන මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක යන මහත්වරුන් මලික් සමරවික්‍රම කබීර් හෂීම් ආදීන් සමඟ සාකච්ඡා කරමින් තවදුරටත් යහපාලන රජය පවත්වා ගෙන යායුතු බවට වන යෝජනා සලකාබලමින් සිටින බවද සඳහන්ය. කෙසේ හෝ එ.ජා.ප.ය අවසන් මොහොත දක්වාම සිය ජනාධිපති අපේක්ෂකයා කව්ද යන්න හෙළිදරව් නොකිරීමට ද තීන්දු කර තිබේ. ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිතවාදින් එක් අතකින් එ.ජා.ප.ය සමඟ කතාකරද්දී අනෙක් පසින් මහින්ද රාජපක්ෂ හිතවාදීන් සමඟ මහින්ද අගමැති කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. ඒ සඳහා එස්.බී., ඩිලාන්, හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා ආදීන් නිතිපතා කපුකම් කරමින් සිටින බව කියැවේ. ඒ සාකච්ඡාවලදී මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම පවසන ස්ථාවරය වන්නේ දැනට අප්‍රසාදයට පත්ව ඇති ආණ්ඩුවක අගමැතිකම ගැනීමට වඩා අලුත් මැතිවරණයකින් නව ජනවරමක් ලබාගැනීම යෝග්‍ය බවය. මේ නිසා ජනාධිපති මෛත්‍රී හිතවාදීන් සිටින්නේ තරමක් කනස්සල්ලෙනි. එසේම මහින්ද ඔවුනට පවසා සිටියේ එක් අතකින් අගමැතිකම නැමැති කැරට් අලය පෙන්වා අනෙක් අතින් කෙවිටෙන් තලමින් තමන් සහ තම හිතවතුන් බියට පත් කරන්නට ක්‍රියාකරන ආණ්ඩුවක දෙබිඩි පිළිවෙත සමඟ පෑහීමට තමන් සූදානම් නැති බවය.
මේ සියල්ල අතරතුර මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සංවිධානය කරන ජනබලය කොළඹට උද්ඝෝෂණය සඳහා ජනතාව ලබන 05දා කොළඹට ගෙන්වීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සූදානම්ය. මෙම උද්ඝෝෂණයට රජයෙන් බාධා එල්ල නොකරන ලෙසත් සාමකාමී උද්ඝෝෂණයට විධිමත් ආරක්ෂාව සපයන ලෙසත් නාමල් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවී ඉල්ලීමක් කළේ අනවශ්‍ය කලබල ඇතිකළහොත් තත්ත්වය බරපතළ වියහැකි බවද පෙන්වා දෙමිනි. ඒ සමඟ ක්‍රියාත්මක වූ කතානායකවරයා 05දා උද්ඝෝෂණයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියම කළේය.
පසුගියදා රජය විසින් පිහිටුවන ලද අභිනව ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ විත්තිකරැවන් 7 දෙනෙකුට නොතීසි නිකුත් කළේ ලබන 10දා මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙසයි. සිය දෙමව්පියන්ගේ ස්මාරකයක් ඉදිකිරීමට රජයේ මුදල් අවභාවිත කළ බව කියමින් මෙම නඩුව පවරා ඇත. ඊට අමතරව මිහින් ලංකා සහ එයාර් ලංකා දූෂණ සොයන කොමිසමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එහි මුදල් ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්වරුන් කැඳවා ප්‍රශ්න කෙරිණි. ඉදිරියේදි මෙම නඩුව කඩිනමින් විභාග කර තීන්දු ලබාගැනීම ඒ සඳහා උනන්දු වන ආණ්ඩුවේ පාර්ශවවල තීන්දුවයි.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීමට මහනුවරට ගිය ගමනේදී ඔහු රන්දෝලි පෙරහරේ රැඟුමක නිරත වූ බවට මාධ්‍යයේ ආරංචි පැතිර ගියේය. ඊට අදාළව පුවත් හා කාටුන්ද පළවිය. පොලිස්පතිවරයා බෙර නද අනුව පා තබමින් රඟන ආකාරයත් බෙර වාදකයන්ට රිද්මයානුකූලව බෙර වයන ආකාරය ගැන උපදෙස් දුන් කතාවත් ඒ සමඟ පැතිර ගියේය.
කෙසේ හෝ පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම අතර හටගෙන තිබෙන ප්‍රබල මතගැටුම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටත් කතානායකවරයාටත් පක්ෂ නායකයන් ගණනාවකටත් පැමිණිලි ලැබී තිබේ. පොලිස් කොමිසම ලබාදුන් ඇතැම් උසස්වීම් ආදිය ප්‍රදානය නොකිරීම ගැන සමහර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් අධිකරණයේ නඩු පවරා ඇත. මේ නිසා අදාළ කාරණා ගැන පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කළේය. ඒ සඳහා ඉදිරි සතියේ පොලිස්පතිවරයා සහ කොමිසමේ බලධරයන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවීමට නියමිත බව කියැවේ. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ ආකාරයට කතානායකවරයා පියවර ගනිමින් සිටියදී හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරියට දැන්වීය. ඊට හේතුව ත්‍රිමලයේදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙනගොස් අතුරුදන් කළ බවට චෝදනා ලත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකුට ආරක්ෂාව ලබාදුන් බවට වන චෝදනාවයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය පසුගිය 30 බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිර ශාලාවේදී පැවැත්විණි. වෛද්‍ය ශිෂ්‍යාවක වන සරූපා සමන්ගි මනතුංග සමඟ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා විවාහ විය. අප දන්නා ඉතිහාසයේ අරලියගහ මන්දිර ශාලාවේ මෙබඳු මංගල උත්සව පවත්වා නැත. වත්මන් රජය බලයට පත්කිරීම සඳහාත් ජාතික දේශපානයේ බොහෝ කටයුතුවලට කුඩා කළ සිටම පුරෝගාමි වූ බවත් කියන චතුර සේනාරත්න මහතාගේ විවාහය නිමිත්තෙන් අමුත්තන්ට ආරාධනා කිරීම සඳහා සකසා තිබූ ආරාධනා පත්‍රයද අපූරු එකකි. එහි ඉදිරිපස සහ පසුපස කවර සකස්කර තිබුණේ අලංකාර රෝස මල් අතුරාය. මෙබඳු විරල ගණනයේ ආරාධනා පත්‍රයකින් ආරාධිතයන් දහසකට පමණ චතුරගේ විවාහය සඳහා ඇරුයුම් කළ අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ මැතිඇමැතිවරු ව්‍යාපාරිකයෝ හා විපක්ෂ මන්ත්‍රීන් රැසකට ආරාධනා ලැබී තිබිණි. එහෙත් පක්ෂ විපක්ෂ ඕනෑම දේශපාලනඥයකුගේ මංගල්‍යයකට ඇරැයුම් ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඊට ඇරැයුම් කර නොතිබූ බවද සඳහන්ය.
මැතිවරණ පරිසරයක් නිර්මාණය වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එල්ලකරන ප්‍රහාර වේගවත් කර තිබේ. ඒ සඳහා ජ.වි.පෙ. අභ්‍යන්තරයෙන් විශේෂ තීන්දුවක් ගෙන ඇතැයි සඳහන්ය. ජ.වි.පෙ. නායක අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත් යන මන්ත්‍රීවරුන් මේ සඳහා වැඩිපුර දායකත්වය ලබාදිය යුතු බවට ද තීන්දු කර ඇත. දිවයින පුරා ජනහමු සම්මන්ත්‍රණ අමතමින් ඔව්හු ජනතාව දැනුවත් කරමින් සිටිති. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පසුගියදා රත්නපුර දිසාවේ සම්මන්ත්‍රණවලට එක්වූ අතර ඔහු ප්‍රදේශයේ ජනතාව කීවේ මහින්ද රාජපක්ෂ වැනි ප්‍රබලයකුගේ ආණ්ඩුවක් ගෙදර යවන්නට මුල්වූ ජ.වි.පෙ.ට මේ ලපයි සපයි ආණ්ඩුවත් කජ්ජක්ද කියායි. 2020 දී මේ රටට සාධාරණ වමේ පාලනයක් ගෙන එන බවද ඔහු කීය. ඒ අතරතුර ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පොළොන්නරු ප්‍රදේශයේ දී සඳහන් කළේ ආණ්ඩුව විවිධ කමිටු පත්කරමින් පැවැත් විය යුතු ඡන්ද කල්දමමින් සිටින වගයි. මේ රජය සෙල්ලම් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය සමඟ යැයි කී හේරත් මන්ත්‍රීවරයා ජනමතය නොතකා හරින රජයකට අනාගතයේ බරපතළ ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද පැවසීය.
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර