2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ජනපතිගේ කරට අත දැමූ රාජ්‍ය නායකයා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 586

අගමැතිගෙන් මහින්දට අභියෝගයක්
ඉන්දියානුවා එහෙම කියා නැතිලු
කුමාර වෙල්ගම හීන ගැන කතාකරයි
බැසිල් හදිසියේම ලංකාවට
කුමන්ත්‍රණ කතාවේ අලුත් නැම්ම
ආර්ථික වැටීම ගැන ජවිපෙන් ආණ්ඩුවට චෝදනා

 

 

 

 

ඝාතන කුමන්ත්‍රණ කතා මැද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වැනි රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වීමට අමෙරිකාවට පිටත්ව ගියේය. තිලක් මාරපන, රාජිත සේනාරත්න, චම්පික රණවක, මනෝ ගනේෂන්, වඩිවේල් සුරේෂ් සහ එස්. එම්. මරික්කාර් යන මැති ඇමැතිවරුන් ඇතුළු දූත පිරිසක් සමඟ අමෙරිකාවට ගිය ජනාධිපතිවරයා පසුගිය 24 වැනිදා නිව් යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැති නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සර ජාත්‍යන්තර සමුළුවේ ආරාධිත විශේෂ දේශනය පැවැත්වීය.

අද බොහෝ දේශපාලන නායකයන් බලය අතහැරීමට වඩා බලයේ රැඳී සිටීමට තැත් කරන බවත් දේශපාලන බලය අත්හැරීම පිළිබඳ ආදර්ශය නෙල්සන් මැන්ඩෙලා චරිතය තුළින් ලෝක නායකයන් ඉගෙනගත් යුතු බවත් ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කළේය. ඉන්පසු 25 වැනිදා පස්වරුවේ සමුළුවේ ප්‍රධාන සැසිය ආරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා පස්වරු 4.30ට (නිව් යෝර්ක් වේලාවෙන්) සමුළුව ඇමැතීමට නියමිත වුවද එය ප්‍රමාද විය. ඊට හේතුව වූයේ සමාරම්භක දේශනය කළ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශනය නොසිතූ පරිදි දික් වීමය. මේ නිසා සිරිසේන මහතා සමුළුව අමතන විට පස්වරු 5.00 පමණ විය.

තමන්ගේ වාරය එනතුරු ප්‍රධාන වේදිකාව පසුපසින් රාජ්‍ය නායකයන් රැඳී සිටින ස්ථානයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ තව නායකයෝ තිදෙනෙක් රැඳී සිටියහ. එහිදී එකවරම එක් නායකයෙක් ජනාධිපතිවරයාගේ කරට අත දමා අල්ලා ගත්තේය. එසේ අල්ලාගනිමින් ඔහු පැවසුවේ ‘මම කැනඩා අගමැති ජස්ටින් ට්රූ‍ඩෝ’ කියාය. ඉන්පසුව නායකයන් දෙදෙනාම සුහද පිළිසඳරක යෙදී ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මෙවර දකින්නට තිබූ තවත් වෙනසක් වූයේ සමුළුව සඳහා පැමිණි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යොදවා තිබූ ඉතාම ප්‍රබල ආරක්ෂක වැඩපිළිවෙළයි. වෙඩි නොවදින මෝටර් රථ ගණනාවක් සහ ආරක්ෂක රැකවලුන් රැගත් අධි බලැති මෝටර් සයිකල් 150ක පමණ බල ඇණියක් ද ඒ සඳහා යොදවා තිබිණි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස නවාතැන් ගෙන සිටියේ මෑන් හැට්න් ප්‍රදේශයේ ‘Loves Regency’ හෝටලයේය. එම හෝටලයේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, සයිප්‍රස් ජනපති නිකොස් ඇනස්ටාසියෙඩ්ස්, ගෝතමාලා ජනපති ජිමී මොරාලෙස් සහ අමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ද නවාතැන් ගෙන සිටියහ.

සැසිය අවසන් වීමෙන් පසුව ජනාධිපතිවරයා හෝටලයට යාම සඳහා තම රථය එනතුරු එ.ජා. මූලස්ථාන ආලින්දයේ රැඳී සිටියදී ඒ ඉදිරිපසින් තවත් රාජ්‍ය නායකයකු රැගත් රථ පේළියක් සෙමින් ගමන් කරමින් තිබිණි. එහි සිටි රාජ්‍ය නායකයා දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා අත ඔසවා ආචාර කළේය. ඒ සමඟම නැවැත්වූ රථය පසුපසට ගෙන නැවැත්වූ අතර එහි සිටි රාජ්‍ය නායකයා රථයෙන් බිමට බසිද්දී ජනාධිපතිවරයා ද මඳක් ඉදිරියට ගොස් ඔහු හමුවීය. එහි සිටියේ දකුණු කොරියා ජනාධිපති මූන්. ජේ. ඉන්ග්ය. දෙදෙනා අතර විනාඩි 5ක පමණ කාලයක් කතාබහක් පැවැතිණි. ඉන්පසු ජනාධිපතිවරයා තම රථයට නැගී හෝටලයට පැමිණියේය.

එදින රාත්‍රියේ මෑන් හැට්න් නගරයේ සුප්‍රකට ඉන්දීය අවන්හලකදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් පැමිණි මාධ්‍ය කණ්ඩායමට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවේය. මාධ්‍යවේදීන් පමණක් සහභාගී වූ එම සංග්‍රහයේදී ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න ගණනාවක් යොමු කෙරිණි. එහිදී වඩාත්ම ප්‍රශ්න කෙරුණේ පොලිස්පතිවරයාගේ හැසිරීම්ය. ඝාතන කුමන්ත්‍රණයක් ගැන කතා පැතිරෙද්දී ඔබ තුමා නිහඬව සිටින්නේ මන්දැයි මාධ්‍යවේදීහු ගණනාවක් ප්‍රශ්න කළහ. මහනුවර ඇසළ පෙරහරේ පොලිස්පතිගේ නැටුම ද එහිදී ඇසූ ප්‍රශ්න අතර විය. එසේම ඉන්දීය ජාතිකයකු විසින් රාජපක්ෂවරුන් ඝාතනය කරන කුමන්ත්‍රණයක් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ද ප්‍රශ්න යොමුවිය.

ජනාධිපතිවරයා ඒ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. එහිදී සඳහන් වූයේ ඉදිරියේදී බරපතළ කතාවක් එළියට ඒමට නියමිත බවය. බරපතළ සිදුවීම් මාලාවක් පිළිබඳ තොරතුරු ඒ අවස්ථාවේදී හෙළිවනු ඇති බවද ජනාධිපතිවරයාගේ පිළිතුරේ සඳහන් විය. මේ අතර යම් යම් මාධ්‍යවල වත්මන් නීතිපතිවරයා මීළඟ අගවිනිසුරු වශයෙන් පත් කෙරෙනු ඇති බවට පළ වූ වාර්තා පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ ඒ කතාව ප්‍රතික්ෂේප කරන බවය. පුරප්පාඩුවක් නොමැතිව එවැනි නිර්දේශයක් නොකරන බව පැවසූ ජනාධිපතිවරයා එය අමූලික බොරුවක් බවත් තමා කිසිවකුගේ හෝ නමක් නිර්දේශ කර නැති බවත් සඳහන් කළේය.

රාජ්‍ය බැංකුවල බොල් ණය කපා හැරීම් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි ද පැවසූ ජනාධිපතිවරයා ඇතැම් රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීමට අවශ්‍ය බවත් ඒ බව තමා ආණ්ඩුවට තුන් වතාවක් දැනුම් දුන් බවත් කීය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ආර්ථිකය සම්බන්ධයෙන් යොමු කෙරුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. රුපියල කඩා වැටීම බරපතළ කාරණයක් බවත් ලෝකයේම රටවල මුදල් ඒකක කඩා වැටීම සිදුව ඇති බවත් කී ජනාධිපතිවරයා පොදු ජනතාවට මේ මොනවා කිව්වත් පළක් නැති බවත් ඔවුන් බණින්නේ ආණ්ඩුවට බවත් කීය. මිල සූත්‍රය සාධාරණ නැති බවත් එය අයවැයට පෙර ඉවත් කිරීමට කටයුතු කරන බවත් සිරිසේන මහතා පැවසුවේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින් ගෙන ඒමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා තමන්ට දැනුම් දී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසූ අතර එහිදී එක් කතුවරයෙක් ඇසුවේ හමුදා සහ එල්.ටී.ටී.ඊ චෝදනා ලැබූවන්ට පොදු සමාවක් ලබා දෙන බවට චම්පික ඇමැතිවරයා කළ ප්‍රකාශය සත්‍යයක් ද කියාය. එය ටික දිනකට පෙර තමා චම්පික ඇමැතිවරයා සමඟ කතාබස් කරමින් සිටියදී සිදු කෙරුණු සඳහනක් පමණක් බව කී ඔහු එම කතාවේ කෑල්ලක් අහුලාගෙන චම්පික ඇමැතිවරයා කතා කර ඇති බව කීය.

ජනාධිපතිවරයා එ.ජාතීන්ගේ සැසිය අමතා කළ කතාවේදී සංහිඳියාව ඇතුළු ජාතික ප්‍රශ්නය ද සඳහන් කරමින් අපේ රටේ ප්‍රශ්න අපට විසඳාගැනීමට ජාත්‍යන්තරයෙන් සහාය අවශ්‍ය බවද සඳහන් කළේය. සිරිසේන මහතා විසින් කරන ලද කතාව ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව හොඳින් ‘මාර්කට්’ කිරීමක් බවට සාකච්ඡාවලදී සඳහන් වූ බවත් වාර්තා විය.

ඉන් පසු දිනයේදී ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් ගණනාවක් සමඟ ද්වී පාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිත විය. මැලේසියා අගමැති මහතීර් මොහොමඩ් සමඟ පැවැති හමුවේදී ශ්‍රී ලංකාව තුළ මැලේසියානු ආයෝජන වැඩිකරන බවට මහතීර් මහතා ලබාදුන් පොරොන්දුව ජනාධිපතිවරයාගේ සතුටට හේතුවිය. සමුළුවෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා සතිඅන්තයේ පෙරළා පැමිණීමට නියමිතව සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ද දේශපාලන කරළිය උණුසුම් කළ මාතෘකා ගණනාවක් සතිය තුළදී සිදුවිය. ඉන් එකක් වූයේ හදිසියේම බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමය. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහ තම පවුලේ සාමාජිකයන් සමඟ ගත කිරීමට අමෙරිකාවට ගිය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමට නියමිතව සිටියේ ලබන මාසයේ මැද දිනයකය. එහෙත් ඔහු පසුගිය අඟහරැවාදා (25) අලුයම ආපසු පැමිණි අතර එසේ පැමිණෙන බව දැනගෙන සිටියේ ඔහුගේ සමීපතම කිහිපදෙනකු පමණි. දේශපාලන කරළිය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා අති ප්‍රබල බලපෑමක් කළ බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් ආපසු ආවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් පරිදි බවත් පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අතර පවතින මතභේද ඔඩු දිවීමට පෙර විසඳා ගැනීම එහි අරමුණ බවත් සමහරු කියති. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා හෝ මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැත.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයන්ගේ තීරණ සහ මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ රාජපක්ෂ පවුලේ ප්‍රකාශය ගැන දැඩි ස්ථාවරයක පිහිටා විරෝධය පළ කර සිටි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ තමන්ට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය බවයි. රට ඉල්ලන නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් ප්‍රකාශ කර තිබූ වෙල්ගම මහතා තමන් තුළ ද හීන පවතින බවත් ඒ අතර හොඳ හීන මෙන්ම නරක හීන ද තිබෙන බවත් කියා තිබුණේය. බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබෙන බව සමහරුන්ගේ මතය වී තිබේ.

පසුගිය දිනවල රටේම ප්‍රධාන සිරස්තල මැවූ පුවත වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සිදු කෙරුණු කුමන්ත්‍රණය පිළිබඳ කතාවය. එහි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතරවාරයේ දූෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයකුගෙන් ප්‍රශ්න කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජන ඇතැයි හෙළි වූ බවට සී. අයි. ඩී.ය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි. නමුත් ඉන්දීය ජාතිකයා මේ පිළිබඳව වගකිව යුතු ස්ථානයකට දැනුම් දී නැති බවත් එහිදී සඳහන් වී තිබේ. ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කෙරෙන අතර එම ඉන්දියානුවා මානසික රෝගියකු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබුණේය.

මේ අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනපති සහ හිටපු ජනපති ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඉන්දියානු ජාතිකයකු රහස් පොලීසියට පැවසී යැයි මාධ්‍ය ආයතන කිහිපයක් පළකර තිබූ වාර්තාව මුළුමනින්ම අසත්‍ය බවය.

මේ සමඟ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් අතුරුදන් වීමත් එම කොට්ඨාසයට නිකුත් කර තිබූ මැෂින් තුවක්කු දෙකක්? මේ විමර්ශන තවදුරටත් සංකීර්ණ බවට පත්කර තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් එම මැෂින් තුවක්කු දෙක ඔවුන්ගේ භාරයට ගෙන දිගටම විමර්ශන සිදු කරගෙන යයි.

කුමන්ත්‍රණ කතාවල උණුසුම සමඟ ඊළඟට රටේම අවධානය යොමු වී තිබෙන තවත් ගැටලුවක් වන්නේ ඩොලරය හමුවේ වාර්තාගත ලෙස සිදුවන රුපියලේ කඩාවැටීමය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා (22) තම නිල නිවසේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා රුපියලේ කඩා වැටීම වැළැක්වීමට ඉක්මන් මැදිහත්වීමක් නොකළහොත් රට මීටත් වඩා දරුණු මට්ටමකට පත්වනු ඇති බවට අනතුරු අඟවා සිටියේය. ආර්ථික කඩාවැටීම පාලනය කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවත් තමන්ට බැණ බැණ නොසිට ප්‍රශ්නයට පිළියම් යෙදීම අවශ්‍ය බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ කතාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූරියවැවදී පැවති ජන හමුවකදී පිළිතුරු දුන්නේය. හම්බන්තොට සූරියවැව බැඳි වැව ඉදි කෙරැණු ඩී. එස්. සේනානායක ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා හිටපු ජනපති මහින්දට අභියෝග කරමින් පැවසුවේ ඊට ලබාදෙන විසඳුම ඉදිරිපත් කරන්නැයි තමා ඉල්ලා සිටින බවය. මහින්ද රාජපක්ෂ මහතා හිටපු මුදල් ඇමැති වශයෙන් සිටියදී ගෝලීය ආර්ථික අර්බුදයක් නැතිවත් ඩොලරයේ අගය මාස හතරක් ඇතුළත 113.90 සිට 132.55 දක්වා ඉහළ ගියා නම් ගෝලීය ආර්ථික අර්බුදයක් තිබියදී ඩොලරය ඉහළ යනවිට ඊට ලබාදෙන විසඳුම කුමක්දැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කළේය. රාජපක්ෂ රජය ඩොලර්වලින් ණය ගෙන ඒවා ඵලදායී කාර්යයන් සඳහා නොයෙදූ බව ද ඔහු සඳහන් කළේය.

මේ අභියෝගයට පිළිතුරු වශයෙන් ඊට පසුදා දීර්ඝ නිවේදනයක් නිකුත් කළ හිටපු ජනපතිවරයා පැවසුවේ තමන්ගේ කාලයේ පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එජාපයට වෙළෙඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිශංසයේ ප්‍රතිඵලයක් වශයෙන් රුපියල බිඳ වැටී තිබෙන බවය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටී ඇති බවට චෝදනා කළේය. අර්බුදයෙන් ගොඩ ඒමට දැක්මක් හෝ උවමනාවක් නැති බව පැවසූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා රුපියලේ කඩාවැටීම හරිම ෂෝක් කියන ඇමැතිවරුන් ඉන්න රටක මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමක් නැතැයි ප්‍රකාශ කළේය.

අංජන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00