2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

මහින්ද - මෛත්‍රී හමුවෙන් කැළඹුණු ලොක්කෝ

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 540

♦ ලන්ඩන් කොටස් වෙළෙඳපොළ විවෘත කරන්න රනිල්ට දුර්ලභ අවස්ථාවක්
♦ පොලිස්පති විශ්‍රාම ගන්වන්න ජනපති නීතිය හා සාමය ලේකම්ට කියයි
♦ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීන් පමණක් ජී.එල්.ගේ නිවසට කැඳවීම ගැන මහින්දගෙන් දොස්
♦ මිල සූත්තරේ මංගල සූත්තරේ වුණු හැටි
♦ ලංකාවේ වැඩියෙන්ම හෙණ ගහන ආසනේට පත්කළ මන්ත්‍රී
♦ නව අගවිනිසුරුපත්වීම පිටුපස කතාව

පසුගිය සතියේ බදාදා රාත්‍රියේ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේදී සිදුවූ මහින්ද - මෛත්‍රී - බැසිල් හමුවෙන් පසු රටේ දේශපාලනය බෙහෙවින් ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. යහපාලන ආණ්ඩුවේ එ.ජා.ප. සහ ශ්‍රී ල.නි.ප.ය අතර දීගය තවදුරටත් නොකෙරෙන වෙදකමක් බවට පත්වෙමින් ඇති බවට මෙම හමුව කදිම සාක්ෂියකි. රාජපක්ෂලා හා මෛත්‍රීලා අතර පසුගිය වසර දෙක තුනේම ඒ තරම් ඇයි හොඳැයියක් තිබුණේ නැත. එහෙත් හදිසියේම මෙබඳු හමුවකට මඟපෑදුණේ අහම්බයක් ලෙස නොවන බව තතු දත් ආරංචි මාර්ග කියයි.

ඊටත් වඩා ප්‍රශ්නය වූයේ ඉතාමත් රහසිගත ලෙස සංවිධානය කළ මෛත්‍රී මහින්ද හමුවේ තොරතුරු මාධ්‍ය අතට පත්වූයේ කෙසේද යන කරුණයි. මේ සාකච්ඡාව මුලින් පවත්වන්නට සැලැසුම් කර තිබුණේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ කොළඹ නිවසේය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව එය එස්.බී.ගේ නිවසට මාරු කැරිණි. කොතරම් රහසිගතව සංවිධානය කළ ද සාකච්ඡාවේ තොරතුරු පැය ගණනක් තුළ මාධ්‍යයට ලැබීම ගැන එස්.බී.ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා ඔහුට ඒ ගැන දොස් පවරා තිබූ බවද ආරංචිය. ඉන්පසු කලබල වූ එස්.බී. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කීවේ එදින රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ නිවසට පැමිණියේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා පමණක් බවය. කෙසේ හෝ මෙම කතාබහෙන් පසුව මහින්ද මෛත්‍රී බැසිල් අලුත් ඇයි හොඳැයිකමක් පටන්ගත් බව නම් පැහැදිලිය. එම ඇයි හොඳැයිකම කෙළවර වන්නේ කොතැනින්ද යන්න දැන්ම කිව නොහැක. එහි අවසාන තීරණය ඇත්තේ මෛත්‍රීටත් වඩා මහින්ද අතේය.

මහින්දලා, මෛත්‍රීලා එකතුවෙන් භාරකාර ආණ්ඩුවක් සෑදිය යුතුය යන කතාව මාධ්‍යයේ ප්‍රධාන පුවත් මැවුවද එබඳු භාරකාර රජයකට ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන තිබේද යන්න ප්‍රශ්නයකි. අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා කීවේ කිසිසේත්ම භාරකාර රජයකට දැනට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති බවය. භාරකාර රජයක් පිහිටුවන්නේ මැතිසබය විසිරුණ විට පමණක්ය යන්න අමාත්‍යවරයාගේ මතය විය.

කෙසේ හෝ එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් මෙන්ම රජයට සම්බන්ධ හවුල්කාර සුළු පක්ෂද පවත්නා දේශපාලන ආර්ථික තත්ත්වය ගැන පසුවන්නේ නොසතුටිනි. අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේත් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ විදේශ සංචාර අවසන් නැත. පසුගිය සඳුදා සහ අඟහරුවාදා ජනපති අගමැති ‍දෙදෙනාම ශ්‍රී ලංකාවේ සිටියේ නැත. මේ තත්ත්වය ගැන දෙපක්ෂයේම මන්ත්‍රීන් මැතිසබා ලොබියේ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරනු අසන්නට ලැබිණි. අගමැති ජනපති නැති නිසා මේ සතියේ කැබිනට් හමුවද අවලංගු කැරිණි.

මේ ආකාරයට දිනෙන් දින පාලන තන්ත්‍රයේ ව්‍යාකූල බවක් මතුවෙද්දී රාජ්‍ය නායකයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය ගැන නීති අංශ ගන්නා පියවර ගැන (විශේෂයෙන්ම පොලිස් පරීක්ෂණ ගැන) ජනාධිපතිවරයාගේ පාර්ශ්වය දැඩි නොසතුටින් පසුවන බව ආරංචිය. චෝදනාව කොතරම් බරපතළ වුවත් ඒ සිද්ධියට වගකිවයුතු අය ගැනත් පොලිස්පතිවරයා ගැනත් පියවරක් ගතයුතු බව ජනාධිපතිවරයා ආණ්ඩුවටත් වත්මන් පොලිස්පතිවරයා තෝරාගන්නට ක්‍රියාකළ කතානායකවරයාටත් දන්වා ඇතැයි පැවසේ.

මහින්ද - මෛත්‍රී සාකච්ඡාවේදීද ජනාධිපතිවරයා කියා තිබුණේ තමන් වෙත පොලිස්පති ධුරය සඳහා යෝජනා කළ නම්වලට සිය අකමැත්ත පළකළ නමුත් ව්‍යවස්ථා සභාව හමුවේ පූජිත පොලිස්පති කරන්නට ඇතැමුන් ‘කැන්වස්’ කළ බවයි. කෙසේ හෝ ජනාධිපතිවරයා විදේශගත වීමට පෙර නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න අමතා කීවේ පොලිස්පති පූජිත ජයසුන්දරට වහාම විශ්‍රාම ගන්නා ලෙස දැනුම්දෙන ලෙසයි. ඒ බව විෂයභාර අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාටද පවසන මෙන් ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්ට දන්වා තිබිණි. ඒ අනුව පද්මසිරි ජයමාන්න ලේකම්වරයා පොලිස්පතිට මේ යෝජනාව දැන්වූ පසු ඔහු පෙරළා විමසා ඇත්තේ විශ්‍රාම ගතහොත් තමන්ගේ අනාගතයට කුමක් සිදුවේ ද කියායි. කෙසේ හෝ ජනාධිපතිවරයාගේ යෝජනාව අනුව අගමැතිවරයා සමඟ ද සාකච්ඡා කොට පොලිස්පතිවරයා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යනු ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි. ඒ කෙසේ වුවත් මෙම යෝජනාව පැමිණි සැණින් මහනුවර බලා ගිය පොලිස්පතිවරයා විෂ්ණු කෝවිලේ විශේෂ පූජාවක් සිදුකරමින් තමන්ගේ කටයුතුවලට දේව පිහිට පතා ඇත.

කෙසේ හෝ රජය සොලවන තරමට බරපතළ වූ කුමන්ත්‍රණ කතාවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන දේශපාලන යෝජනා සංඛ්‍යාව බෙහෙවින් ඉහළ ගොස් ඇත. දැනට රජයේ සිටින සුළු පක්ෂ ප්‍රධානීන් දෙදෙනෙක් මහින්දගෙන් මේ සතියේ විමසා තිබුණේ තමන්ට ද රජය ඇතිවී තිබෙන බැවින් මහින්දලා කරන්නේ කුමක්ද කියායි. පක්ෂය විසින් ඒ තීන්දුව ගනු ඇති බව මහින්ද රාජපක්ෂගේ ප්‍රතිචාරය වී තිබිණි.

එස්.බී. දිසානායක මහතා ප්‍රතික්ෂේප කළද සැබෑවටම සිදුවූ මහින්ද - මෛත්‍රී හමුවෙන් දින කිහිපයකට පසු මෛත්‍රී සහ මහින්ද නැවතත් එකට මුණ ගැසුණාහ. ඒ සීදූවේ තරුපහේ හෝටලයක පැවති මංගල්‍ය උත්සවයකදීය. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන හා සන්ධ්‍යා සිරිවර්ධන යුවළගේ දියණියගේ විවාහයේ සාක්ෂිකරුවන් වූයේ මහින්ද - මෛත්‍රී දෙදෙනාය. වැදිනායක වන්නියල ඇත්තන්ද රාජ්‍ය නායකයන් අසුන්ගත් මේසයේ අසුන්ගෙන සිටියහ. මඳක් පමාවී මඟුල් මේසය වෙත පැමිණි මහින්ද ජනාධිපති මෛත්‍රී දුටු මොහොතේ ඇසුවේ ‘දැක්කද පත්තරවල කියන කතා’ කියායි. එදින පුවත්පත් ගණනාවක් මෛත්‍රී මහින්ද හමුව සිරස්තලවලට යොදාගෙන තිබිණි. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ‘ඔව්... ඔව්... දැක්කා දැක්කා..’ යයි කීවා මිස ඉන් එහාට යමක් කීවේ නැත. මඟුල් මේසයේ සුහද කතාබහ යද්දී වැදි බසින් නායකයන් දෙදෙනා ඇමතූ වන්නියල ඇත්තෝ ‘මහ හූරො දෙන්නා එකතුවෙලා ආණ්ඩු පොජ්ජක් හදාගත්තොත් හොඳයි නේද’ කියා ප්‍රශ්න කළේය. නායකයන් දෙදෙනාම ඊට සිනහවකින් පිළිතුරු දුන්නා මිස කිසිවක් කීවේ නැත. ඒ මොහොතේ අසල ගැවසෙමින් සිටි සරණ ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා දුටු ජනපති ‘ආ සරණ කොහොමද කාලෙකින් දැක්කෙත් නැහැ’ යැයි කියද්දී සරණ කීවේ “දකින්න කොහොමද සර්... හැමදාම හිටියෙ හිරේනේ” කියාය. ඊටපසු තවත් අමුතු කතාවක් කී සරණ ගුණවර්ධන සර්... අපිට හිටපු ජනාධිපතිතුමියගෙ කාලෙත් හොඳක් සිද්ධ වුණේ නැහැ. එතුමිය මාව ගම්පහින් අයින් කරලා ලංකාවෙ වැඩියෙන්ම හෙණ ගහන ආසනේටයි දැම්මෙ...” කියන විට මෛත්‍රීට සහ මහින්දට සිනා පහළ විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ සහ එංගලන්තයේ සාර්ථක සංචාරයක් සිදුකළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නෝර්වේහිදී අග්‍රාමාත්‍යවරයා, එරට අග්‍රාමාත්‍යවරිය හා විදේශ අමාත්‍යවරිය ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධරයන් හමුවිය. තාක්ෂණ කර්මාන්ත හා ආයෝජන ක්ෂේත්‍රයේ විවිධ අත්දැකීම් ලබාගන්නට කර්මාන්ත පරිශ්‍ර ගණනාවක් නැරඹීමට ද අග්‍රාමාත්‍යවරයා ගියේය. අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, මන්ත්‍රීන් වන කාවින්ද ජයවර්ධන හා හේෂාන් විතානගේ ද චාරිකාවට එක්වූහ. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද නියෝජිත පිරිසට එක්වූවාය.

නෝර්වේ සංචාරයෙන් පසුව අගමැතිවරයා ලන්ඩනයට පැමිණියේ විශේෂ කටයුත්තක් වෙනුවෙනි. අග්‍රාමාත්‍යවරයා පසුගිය 08දා ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු විද්‍යුත් සීනුව නාදකොට ආරම්භ කිරීම සිදුකළේය. සම්ප්‍රදායානුකූලව ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ ප්‍රභූවරයකු විසින් එහි විද්‍යුත් සීනුව නාද කිරීමෙනි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී (ශ්‍රී ලාංකික) රනිල් ජයවර්ධන හා ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂවුමර් යන මහත්වරු ද කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධානීහු ද එක්වූහ. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා වත්මන් යහපාලන රජය යටතේ මෙරට ආර්ථිකය ඉතාමත් ශක්තිමත් පදනමක් යටතේ ස්ථාවර වී ඇතැයි පැවසීය. ගෝලීය හා දේශීය ව්‍යසනයන් හමුවේද අපේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන බව කී අග්‍රාමාත්‍යවරයා රටේ යටිතල පහසුකම් සංවර්ධනයටත් ආයෝජන ප්‍රවර්ධනයටත් ලන්ඩන් කොටස් වෙළෙඳපොළෙන් සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා ලන්ඩනයේ ගතකරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීෂෙල්ස් බලා පිටත්ව ගියේ නිල සංචාරයකටය. එරට ජනාධිපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනයක් අනුව සීෂෙල්ස් ගිය ජනාධිපති සිරිසේන මහතාට එහිදී ඉහළ පිළිගැනීමක් ලැබිණි. දෙරට අතර ආර්ථික සබඳතා තරකරගැනීම ගැන රාජ්‍ය නායකයන් දෙදෙනා සාකච්ඡාවක්ද කළ අතර ගිවිසුම් ගණනාවක්ද හුවමාරු කර ගැනිණි. කෙසේ හෝ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නොසිටි නිසා මේ සතියේ අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වුණේ ද නැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ලබන සඳුදා 15දා ඉන්දියාව බලා පිටත්ව යයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා නැවතත් පෝලන්තය බලා පිටත්ව යන බව දැනගන්නට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වගන්ති 38න් 36ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව අදාළ සංශෝධනයේ මෙකී වගන්ති ජනමත විමසුමකින් හා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතිබව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මැතිසබයට දැන්වීය. මෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට යෝජනා කර ඇති සියලුම වගන්ති ව්‍යවස්ථාවට පටහැනි යැයි අධිකරණ තීන්දුවේ සඳහන් කර තිබේ. ඒ අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරෙන 20 සංශෝධනය ක්‍රියාත්මක කිරීම අසමාන තත්ත්වයට පත්ව ඇත.

එහෙත් මෙම තීරණය ප්‍රකාශ කිරීමෙන් පසු මැතිසබයේදී කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට ලක්කිරීමට තිබෙන අවස්ථාවට බාධා නොකරන මෙන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය. මෙම යෝජනාව රටට වැදගත් වන්නක් නිසා එය සම්මත කරගන්නට සහාය ලබාදෙන්නැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ගිය සඳුදා පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්විය. එදිනම රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන මන්ත්‍රීන් 41 දෙනා සඳහා පොදුජන එක්සත් පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් හා රැස්වීමක් පැවැත්වුණි. එය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබිණි. පෙරවරුවේ පැවති කණ්ඩායම් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ලැබෙන මුල් අවස්ථාවේදීම රජය පෙරළා දැමීමට පසුබට නොවිය යුතු බවයි. ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායම් සූදානම් විය යුතු බව මහින්ද පැවසීය.

එදින රාත්‍රියේ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවෙසේ පැවති හමුවට කැඳවා තිබුණේ ඒකාබද්ධයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් පමණි. මෙම හමුවේදී ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් පොදු තීන්දුවකට එමින් කියා ඇත්තේ සභාග රජයක් හදනවා නම් ඒ ගැන අවසන් තීරණය ගැනීමේ බලය පක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට පැවරිය යුතු බවයි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ද කියා තිබුණේ තම කණ්ඩායම සභාග රජයකට යාමට තවමත් කිසිදු තීරණයක් ගෙන නැත කියායි. එබඳු තීරණයක් ගත්තේ මන්ත්‍රී කණ්ඩායමේ පූර්ණ අනුමැතියෙන් යැයිද මහින්ද සඳහන් කළේය. අනතුරුව ජනක තෙන්නකෝන් මන්ත්‍රීවරයා කියා තිබුණේ අපට ඉන්නේ එක් නායකයෙක් පමණයි, ඒ ඔබ. ඔබතුමා ගන්නා තීරණය මත අපි රැඳී සිටිනවා කියායි.

එහෙත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා දැරුවේ ඊට වඩා වෙනත් අදහසකි. සභාග රජයක් හදන්නේ නම් තමන් ඊට විරුද්ධව ක්‍රියා නොකරන නමුත් එහිදී තමා ආණ්ඩු පක්ෂයේ අසුන් නොගෙන විපක්ෂයේ අසුන් ගන්නා බව ඔහු සඳහන් කළේය. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දෙමින් කීවේ මන්ත්‍රී කණ්ඩායමේ කවුරුත් ගනු ලබන පොදු තීන්දුව පිළිගෙන ඒ අනුව ක්‍රියාකළ යුතු වගය. එහෙත් කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා මහින්දානන්ද සමඟ එකඟ වී නැත. කෙසේ හෝ මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ සභාග ආණ්ඩුවක් හදනවා නම් ඊට මූලික පියවර තැබිය යුත්තේ ජනාධිපතිවරයා බවයි. ඔහුගෙන් අවසන් තීන්දුවක් ලැබෙන තෙක් බලාසිටිමු යැයි මහින්ද කියා ඇත. මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් 41 දෙනා පමණක් කැඳවා තිබූ අතර මෙම මන්ත්‍රී හමුවේදී වඩාත් සිත්ගන්නා සුළු අයුරින් තම විග්‍රහය ඉදිරිපත් කළේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාය. ඔහු කීවේ “අපි දැන් මේ එකඟතා ඇතිකරගන්න ගිහින් පාඩම් ඉගෙනගෙන ඉන්නෙ.. මේ පාරත් එයාලා අපි අල්ලලා පොළොවෙ ගැහුවොත් මොකද කරන්නෙ..” යනුවෙනි. ඒ අදහස මන්ත්‍රී කණ්ඩායමේ හැමෝම පිළිගත්හ. කෙසේ හෝ මෙම මන්ත්‍රී හමුවට කැඳවා තිබුණේ ඒකාබද්ධයේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් 41 දෙනා පමණක් බැවින් ඉතිරි පක්ෂවල මන්ත්‍රීන් 28 දෙනාද කැඳවා පොදු මන්ත්‍රී හමුවක් පැවැත්වීමට එහිදී යෝජනා කැරිණි. මෙම හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ අදහස් හුවමාරු කරගත් බව තහවුරු කළේය. ඒ හැර පවත්නා දේශපාලන තත්ත්වය ගැන විග්‍රහයක්ද බැසිල් විසින් කරන ලදී.

මංගල සමරවීර අමාත්‍යවරයා මේ සතියේ ආන්දෝලනාත්මක කතා ගණනාවක්ම කීය. ඉන් පළමු කතාව වූයේ ආණ්ඩුවේ තෙල් මිල සූත්‍රය තමන්ටත් නොතේරෙන බවට කළ ප්‍රකාශයයි. එය තේරුම්ගන්නට ගියහොත් තමන්ගේ මොළය අවුල් වන බව ද මංගල සඳහන් කළේය. කෙසේ හෝ ඊට පසුදා මැතිසබය රැස්වූ විට මැතිසබා ලොබියේ රැඳීසිටි ඒකාබද්ධයේ මන්ත්‍රීන් විහිළුවට මෙන් කීවේ “මංගල සූත්තරේ මංගලටම තේරෙන්නෙ නැහැ කියන්නෙ..” යනුවෙනි. මංගලගේ මිල සූත්‍ර කතාවට පසුව ඔහු පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථික අර්බුදය ගැන විවාදයකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ගැන කළ වර්ණනාව ද පුවත් මවන්නක් විය. “කොයි ආණ්ඩුවක හිටියත් බැසිල් දක්ෂයෙක්. එයා ඕනම ආණ්ඩුවක ඉන්න ඕන කෙනෙක්” යැයි මංගල කී කතාවද අමුතු තේරුම් ගෙන දෙන්නකි.

එ.ජා.පයේ පාර්ලිමේන්තු කණ්ඩායම ගිය බදාදා පැවතුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී මන්ත්‍රීන් තමන්ගේ ගැටලු ගණනාවක් ඉදිරිපත් කළ අතර රවි කරැණානායක මන්ත්‍රීවරයා රටේ ආර්ථික අර්බුදයට හේතු කාරණා පැහැදිලි කරමින් කළ දේශනයේ දී මුදල් අමාත්‍යාංශයට ද ඇඟිලි දිගු කළේය. කෙටි වෙලාවකින් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හමාර විය. එදින රාත්‍රී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාම යන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට අරලියගහ මැඳුරේ භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවෙසේ පැවති ඒකාබද්ධයේ මන්ත්‍රීන්ගේ රැස්වීමට ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් පමණක් කැඳවීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කේන්ති ගොස් තිබිණි. දිනේෂ්, උදය, විමල් ඇතුළු හවුල්කාර පක්ෂ නායකයන්ට ඊට ඇරයුම් නොකිරීම ගැන මහින්ද සිටියේ දැඩි නොසතුටිනි. පක්ෂයේ ගමන සාමූහික ගමනක් බව කී මහින්ද තනි ගමන් යාමට තමන් සූදානම් නැතැයි කියමින් සිය නිල නිවෙසේ විශේෂ රැස්වීමක් සංවිධානය කළ අතර ඊට ඒකාබද්ධයේ සියලු පක්ෂවල මන්ත්‍රීන් කැඳවා තිබිණි.

ඒකාබද්ධ විපක්ෂය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡා වට දෙකක් මේ සතියේ පැවැත්වුණු අතර සභාග ආණ්ඩුවකට යා යුතුද නැද්ද යන්න මෙම සාකච්ඡා වට දෙකේම ප්‍රධාන මාතෘකාව විය. එහෙත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ ශ්‍රී.ල.නි.පයේ යෝජනා විශ්වාස කරමින් සභා රජයක් කෙරේ විශ්වාසය තැබිය හැකිද යන්නයි. මෙම සාකච්ඡා සියල්ලේදීම සභාග ආණ්ඩුවකට පක්ෂ විපක්ෂ මත ඉදිරිපත් වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ සභාග රජයක් සඳහා ආරම්භක පියවර තැබිය යුත්තේ ජනාධිපතිවරයා බවය. ඒ බව ජනපතිට දන්වා යැවීමටද ඒකාබද්ධය කටයුතු කළේය.

අභිනව අගවිනිසුරු තෝරාගැනීම පිටුපස ද කතා රාශියක් ගෙතී ඇත. මේ සඳහා මුල සිටම යෝජනා වී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන ඊවා වනසුන්දර මහත්මියගේ නමත් නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නමත්ය. ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් ජ්‍යෙෂ්ඨතාව මත මෙම පත්වීම කළ යුතු බව ජනාධිපතිට යෝජනා කළේය. ජ්‍යෙෂ්ඨයන් නීතිපතිවරයාගේ නම දිගින් දිගටම යෝජනා කර තිබිණි. ඊවා වනසුන්දර මහත්මියගේ සේවා කාලය වසර 39ක් නිසාත් ඇයට මෙම පදවිය හෙබවීමට හැක්කේ මාස 4ක් නිසාත් ඒ ගැන ජනාධිපතිවරයා ද අවධානය යොමුකර තිබූ බව කියැවිණි.

එහෙත් පසුගිය බදාදා රාත්‍රියේ ජනපති හමුවූ එ.ජා.ප ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිපදෙනෙක් නීතිපතිවරයා අගවිනිසුරු ධූරයට පත්කළ යුතු යැයි යෝජනා කළෝය. එහෙත් ජනපතිවරයා තරයේම එම නම ප්‍රතික්ෂේප කොට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියගේ නම සඳහන් කළ විට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් ඊට එකඟ වූයේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අභිනව අගවිනිසුරැගේ නම අනුමත කරවාගන්නට එ.ජා.ප රජයේ සහාය අවශ්‍ය බැවින් ජනපතිවරයාට එම අදහසට සවන් දීමට සිදුවිය.

ඒ අතර ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට දන්වා තිබුණේ 1980 දශකයේ පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරු ධූරයට පත්වූවාට පසු වෘත්තිය විනිසුරුවරයෙක් (පහළ අධිකරණයේ සිට ඉහළට පැමිණි විනිසුරුවරයකු) අගවිනිසුරු ධූරයට පත්වී නැති බවය. පසුව පත්වූ සියලු අගවිනිසුරුවරුන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ නීති කෙටුම්පත් අංශයෙන් හෝ බාහිරින් පත්වූ අය බව ඔවුහු සාධක සහිතව පෙන්වා දුන්හ. එසේ පෙන්වා දී දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින වෘත්තීය විනිසුරැවරයකු වන නලීන් පෙරේරා මහතා අගවිනිසුරැ ධූරයට පත්කළ යුතු යැයි යෝජනා කළේය. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා ලවා අගවිනිසුරු කාර්යාලයෙන් ජනාධිපතිවරයා විමසා තිබුණේ අවසන් වෘත්තිය අගවිනිසුරුවරයා කවුද කියාය. එවිට පාරින්ද රණසිංහ මහතාගේ නම තහවුරු කළෙන් බදාදා රාත්‍රියේ ජනාධිපතිවරයා හදිසියේම නලීන් පෙරේරා විනිසුරුවරයා කැඳවා සාකච්ඡා කර ඇති බවද සඳහන් වෙයි. ඉන්පසු බ්‍රහස්පතින්දා උදෑසන අලුතින් පත්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නලීන් පෙරේරා විනිසුරුතුමාගේ නම ඉදිරිපත් කෙරිණි. ඒ අනුව අගවිනිසුරු පදවිලත් නලීන් පෙරේරා අගවිනිසුරුතුමාගේ නිල කාලය ලබන අප්‍රේල් මස දෙවැනි සතියේ හමාරවීමට නියමිතය.


ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර