2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

නඩු තීන්දුව එනතෙක් අවුල දිගටම!

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 203
♦ තීරණයක් නැතිව සර්ව පාක්ෂික සමුළුව නිමවෙයි

♦ හදිසි මහමැතිවරණයක අවශ්‍යතාව අස්ගිරි මහ නාහිමි පහදයි

♦ මැතිසබා තේරීම් කමිටුවත් අර්බුදයක

♦ එ.ජා.ප.යෙන් පොදු අපේක්ෂකයකු එන බව නවීන් කියයි

♦ රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැන් ගැන කී කතාවට දැඩි විරෝධය

♦ පොලිස් පරීක්ෂක නිශාන්තගේ මාරුව ගැන තානාපතිවරු ආරක්ෂක ලේකම්ගෙන් විමසති

කිසිදු විසඳුමකින් තොරව ඉදිරියට ඇදී යන දේශපාලන අර්බුදයට දැන් මාසයක් ගතවී තිබේ. සහමුලින්ම රට අකර්මණය තත්ත්වයට පත්කළ මෙම දේශපාලන බල හුවමාරුවේ ආරාවුල් සමථයකට පත්කර ගන්නට ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබීය. ඒ සඳහා මැතිසබය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබිණි. එහෙත් එම ආරාධනාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළේ ජනාධිපතිවරයා වෙත කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරමිනි. ජනාධිපතිවරයා ජ.වි.පෙ. නායකයා ඉදිරිපත් කළ කොන්දේසි කිසිවක් ගණන් නොගත්තා පමණක් නොව එයට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවේද නැත. ඒ සමඟ සමුළුවට ආරාධනා ලත් කතානායක කරු ජයසූරිය මහතාද ඇරැයුම ප්‍රතික්ෂේප කළේ දේශපාලන පක්ෂ සමුළුවකට තමන් සහභාගී වීම අයෝග්‍ය බව සඳහන් කරමිනි.

කෙසේ හෝ ගිය ඉරිදා සවස 5.00ට මෙම පක්ෂ සමුළුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද දෙපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ද දෙමළ සන්ධාන හා විපක්ෂනායක ආර්. සම්පන්දන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන්, ඩග්ලස් දේවානන්ද ආදී පක්ෂ නායකයන් රැසක්ම ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියෝය. හමුව ආරම්භයට පෙර එදිනට යෙදී තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනයට සුබපැතීම සඳහා චාම් උත්සවයක් ජනාධිපති කාර්යාලයීය කමිටු ශාලාවක සංවිධානය කර තිබිණි. ඊට ජනාධිපති සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රීලනිප පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ එක්වූහ. රාජපක්ෂ මහතාගේ උපන්දිනයට කේක් කපා ඔහුට සුබපැතූ පක්ෂනායකගෙන් එම චාම් උත්සවයෙන් පසු සර්වපාක්ෂික සමුළුවට පැමිණියෝය.

හමුව ආරම්භයේදීම අදහස් පළකළේ දෙමළ සන්ධානයේ සුමන්දිරන් මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාය. ඒ දෙදෙනාගේම අදහස වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වී ඇති බවත්ය. ඒ නිසා රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්ව එ.ජා.ප.යට අගමැතිවරයකු පත්කර ගන්නට ඉඩදිය යුතු යයි මේ දෙදෙනාම සඳහන් කළහ. එවිට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල කියා සිටියේ ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අනුව ක්‍රියාකර ඇති වගය. එතුමා ව්‍යවස්ථාව කඩකර ඇත්නම් ඒ ගැන අර්ථකථනයක් දිය යුත්තේ පක්ෂ නායකයන් නොව ශ්‍රේෂ්ඨාධිකරණය බවද ගම්මන්පිල මහතා කීය. ඊට පිළිතුරු දුන් එ.ජා.ප.යේ මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා කීවේ දැන් රාජපක්ෂ රජයට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වී ඇති බවය. එයට අභියෝග කරන්නට ජනාධිපති කාර්යාලයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.  එවිට විශ්වාසභංග යෝජනාව සම්මත වූ දිනයේ සිදුවීම් ඇතුළත් හැන්සාර්ඩ් වාර්තාව අතට ගත් උදය ගම්මන්පිල මහතා කීවේ එකී වාර්තාවේ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් සම්මත වූ බවක් සඳහන් නොවන වගය. ආණ්ඩුවට බහුතරයක් නැතැයි කතානායකවරයා කරන ප්‍රකාශයක් පමණක් එහි සඳහන් යැයි උදය හැන්සාර්ඩ් වාර්තාව පෙන්වමින් කියා සිටියේය. අනතුරුව උදය කීවේ ඊට පසු 16 වැනිදා සිදුවූයේ විශ්වාසභංගය යෝජනාවෙන් ජනාධිපතිවරයාට අදාළ කොටස ඉවත්කර ගැනීම පමණක් බවය. "එදිනත් යෝජනාව සම්මත වූ බව හැන්සාර්ඩ් වාර්තාවේ නැහැ. හැන්සාර්ඩ් ගත නොවූ දෙයක් සම්මත වූවා යයි කියන්නේ කෙසේදැයි" ඔහු විමසද්දී අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමා ඇතුළු කිහිප දෙනෙක් දැඩිව කියා සිටියේ තමන් සතු හැන්සාර්ඩ් වාර්තාවේ මේ යෝජනා සම්මතය ගැන නිශ්චිතව සදහන් වන බවය. එවිට ගම්මන්පිල මන්ත්‍රීවරයා එකි වාර්තාව පෙන්වන මෙන් ඉල්ලා සිටියත් එ.ජා.ප. නියෝජිතයන් හැන්සාර්ඩ් වාර්තාව ඉදිරිපත් කළේ නැත.

අනතුරුව එස්.බී. දිසානායක, දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ අමාත්‍යවරුන් කීවේ එ.ජා.ප.ය ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආවේ නව ආණ්ඩුව පිහිටුවා ඇති බව පිළිගත් නිසා බවයි. එහෙත් විශ්වාසභංගය නිසි ලෙස න්‍යාය පත්‍රයට දමා පාර්ලිමේන්තු කාරක සභාව හරහා විධිමත් ලෙස ඉදිරිපත් කළ යුතු යැයිද ඔවුහු පැවසූහ. එහෙත් එ.ජා.ප. නියෝජිතයන් කීවේ ස්ථාවර නියෝග අත්හිටුවා මේ ආකාරයට විශ්වාසභංග ගෙන ආ හැකි බවය. මෙම විවාදය ඇදී යද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කතා කළේය. මහින්ද ප්‍රකාශ කළේ තමන්ට එරෙහිව ගෙන ආවාය කියන විශ්වාසභංගයක් ගැන කීවද තමන් තවමත් එවැන්නක් දැක නැති වගය. ඔය යෝජනාව ඉදිරිපත් කරන්නට හැදූ වෙලේ තමන් යම් ප්‍රකාශයක් කරන්නට උත්සාහ කළත් කතානායක ඊට අවසරය දුන්නේ නැතැයි ද රාජපක්ෂ මහතා පැවසීය.

ඊට පිළිතුරු දුන්නේ එ.ජා.පෙරමුණ නියෝජනය කරන පාඨලි චම්පික රණවක මහතාය. ශ්‍රීලනිප මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ කලබල කරන්නේ ඔවුන්ට බහුතරයක් නොමැති නිසා යැයි චම්පික කීය. ඊට පිළිතුරැ දුන්නෙ විමල් වීරවංශය. ඔහු පැවසුවේ මේ ප්‍රශ්නය මැතිසබා බහුතරය ගැන ප්‍රශ්නයක් නොව මන්ත්‍රීන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවය. ඒ අවස්ථාවේ විමල්, සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා පටිගත කළ ප්‍රකාශයක් සභාවට ඉදිරිපත් කළේය. එහිදී මන්ත්‍රීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායකවරයා කළ ප්‍රකාශ වගකීමෙන් තොර කතා බව කියමින් විමල් ඒ ගැන විග්‍රහ කරනු ලැබීය. මෙම සංවාදයේදී විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා කිසිදු අදහසක් පළ නොකිරීම විශේෂත්වයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව සඳහන් කළේ තමන් උත්සාහ දරන්නේ දෙපක්ෂය අතර පොදු එකඟතාවක් ඇතිකරන්නට බවය. පසුදින පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන ලෙස ක්‍රියාකරන්නැයිද ජනපතිවරයා ඉල්ලීය. මැතිසබයේ බහුතරය පිළිබඳ ප්‍රශ්නය මතු වූ විට අජිත් පී පෙරේරා මහතා කියා තිබුණේ තමන් දිවුරුම් පෙත්සම් 113ක් ඉදිරිපත් කොට එ.ජා.ප.යට බහුතරය ඇතැයි පෙන්වන බවය. එහෙත් ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූ බව සඳහන් වූයේ නැත. කෙසේ හෝ පැය 2ක් පමණ පැවති සර්ව පාක්ෂික සමුළුව රාත්‍රී 7.00ට හමාරවිය. රැස්වීමෙන් පිටව යන්නට මහින්ද රාජපක්ෂ මහතා සැරසෙද්දී ඔහු අසලට පැමිණි ආර්. සම්පන්දන් මහතා මහින්දට සුබ උපන්දිනයක් යැයි කියමින් සුබ පැතීය. එදින මහින්දගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුට දේශපාලන පක්ෂ නායකයන් රැසකගේම සුබපැතුම් ලැබිණි. හිමිදිරි පාන්දරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දට සුබපැතූ අතර ඒ උදෑසනම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මහින්දට උණුසුම් ලෙස සුබපැතීය. උපන්දිනය දා මහින්දගේ නිවසේ කඨින පිංකමක් සඳහා කටයුතු සංවිධානය කර තිබිණි. කොළඹ සම්බුද්ධාලෝක විහාරයේ කඨින චීවරය මහින්ද රාජපක්ෂ නිවසේ සිට වැඩම කැරිණි. ඒ හැර එම විහාරස්ථානයේ පැවති දානමය පිංකමටද නාරාහේන්පිට අභයාරාමයේ පැවති කිරි අම්මාවරුන්ගේ දානයටද කොළඹ ගංගාරාමයේ ආගමික වතාවත්වලටද අගමැති මහින්ද එක්විය.

මැතිසබයේ මෑතක සිට හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන නවීන් දිසානායක හිටපු අමාත්‍යවරයා ගිය අඟහරුවාදා දහවල් මල්වතු සහ අස්ගිරි විහාරවලට පැමිණියේය. ඔහු සමඟ මයන්ත දිසානායක, ලකී ජයවර්ධන ආදී මන්ත්‍රීන් පිරිසක්ද වූහ. මුලින්ම මල්වතු විහාරයට පැමිණි නවීන් දිසානායක මහතා සම්මත වූවා යැයි කියන විශ්වාසභංගයේ පිටපතක් සහ ඊට සහාය පළකරන බව කියා මන්ත්‍රීන්ගේ අත්සන් සහිත ලේඛනයක් උන්වහන්සේට පිළිගැන්වූහ. ඉන් අනතුරුව පැවති කෙටි පිළිසඳරේදී නවීන් දිසානායක මහතා මහ නාහිමියන්ට දන්වා සිටියේ පාර්ලිමේන්තු බහුතරය ඇති කණ්ඩායමට රජයක් පිහිටුවා අගමැතිවරයකු පත්කර ගන්නට ඉඩදිය යුතු බවය. එවිට මහ නාහිමියන් ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව එබඳු ඉල්ලීමක් කරන්න කියාය. නවීන් දිසානායක මහතා එබඳු ඉල්ලීම්වලට තවම සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි කීය. අනතුරුව ඔහු මල්වතු අනුනාහිමි දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද මුණගැසුණි. උන්වහන්සේ අනුශාසනා කළේ මධ්‍යස්ථව මේ ප්‍රශ්නය විසඳාගන්නා ලෙසයි. මහා සංඝරත්නයට මෙහිදී පැත්තක් ගත නොහැකියැයිද නාහිමියෝ පැවසූහ.

අනතුරුව නවීන් දිසානායක මහතා පැමිණියේ අස්ගිරිය විහාරයටයි. එහිදී අස්ගිරි මහනායක වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටු නවීන් උන්වහන්සේටද විශ්වාසභංගයේ හා ඊට පක්ෂ වූවන්ගේ අත්සන් ලේඛනයක් භාරදුන්නේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දෙන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලූ නවීන් ආණ්ඩුව ඡන්දයකට යන්නේ නම් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයැයි සඳහන් කළේය. එවිට මහ නා හිමියන් ප්‍රකාශ කළේ ඉක්මණින් පැවැත්විය යුත්තේ මහ මැතිවරණයක් බවය. මේ තත්ත්වය තිබීම රටට නින්දාවක් යැයි නවීන් පැවසූ විට මහ නාහිමියන්ද එය අනුමත කළෝය.

අනතුරුව මාධ්‍ය අමතා ප්‍රකාශයක් කළ නවීන් දිසානායක මන්ත්‍රීවරයා මැතිසබා බහුතරය තිබෙන අයට ආණ්ඩුව භාරදිය යුතුයැයි පැවසීය. එසේ නොමැතිනම් කැමති ක්‍රමයකට ඡන්දය විමසා බහුතරය කාටදැයි බැලිය හැකි බවත් කීය. ඒ සියල්ලට අකමැති නම් ජනමත විමසුමකට යා හැකියැයි නවීන් දිසානයක මහතා සඳහන් කළේය. අනතුරුව ඉදිරි මැතිවරණ ගැන මාධ්‍ය ප්‍රශ්න කළ විට ඔහු කීවේ තම පක්ෂයට හොඳ අපේක්ෂකයන් සිටින බවයි. එහෙත් එලෙස ඉදිරිපත්වන්නේ පොදු අපේක්ෂකයකු යැයිද නවීන් පැවසීය. ඔහු තරුණ වයසේ හෝ මැදි වයසේ අයෙක් විය හැකි බවටද නවීන් දිසානායක අනාවැකියක් පළකළේය.

පාර්ලිමේන්තුවක් වාර අවසාන කොට මුලින්ම රුස්වූ පසු කලින්ම කළ යුත්තේ මැතිසබයේ තිබෙන ප්‍රධානම ස්ථායී කාරක සභාව වන තේරීම් කාරක සභාව පත් කිරීමයි. කතානායකවරයාගේ සභාපතිත්වයෙන් පත් කෙරෙන ස්ථාවර තේරීම්කාරක සභාව පත් කිරීමෙන් පසු සෙසු මැතිසබා කාරක සභාවන් එමගින් පත්කළ යුතුය. සභිකයන් 12 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමට කතානායක කාර්යාලයට ඒ ඒ පක්ෂවලින් නම් ඉදිරිපත් කළ යුතු වූයේ ගිය බදාදා දිනයේය. මෙම පත් කිරීමද ආරවුලක් වන ලකුණු කල්තබාම පෙන්නුම් කළේය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එස්.බී. දිසානායක අමාත්‍යවරයා මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කීවේ ආණ්ඩුව තමන්ලා නියෝජනය කරන බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර සාමාජික පිරිස තම කණ්ඩායම නියෝජනය කළයුතු වගය. ඒ අනුව බදාදා දිනේෂ් ගුණවර්ධන මහතා තේරීම් කාරක සභාවට ආණ්ඩු පක්ෂයෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් කතානායක කාර්යාලයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

එහෙත් එ.ජා.ප.ය දිනේෂ්ලාගේ මතය පිළිගත්තේ නැත. එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ තම කණ්ඩායමට මන්ත්‍රීන් 122ක බහුතරයක් ඇති බව විශ්වාසභංගයේදී තහවුරු වූ නිසා තේරීම් කාරක සභාවේ බහුතරය එ.ජා.ප.යට ලැබිය යුතුය කියායි. මේ සම්බන්ධයෙන් දෙපක්ෂය අතර මත ගැටුම බදාදා වනවිට උග්‍ර තත්ත්වයට පත්ව තිබිණි. දිනේෂ් ගුණවර්ධන මහතා නම් 7ක ලේඛනයක් ඉදිරිපත් කළද සිකුරාදා (23දා) එ.ජා.ප.ය තමන්ට අවශ්‍ය මන්ත්‍රීන්ගේ නම් කතානායක කාර්යාලයට භාරදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තරයේම ප්‍රකාශ කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා හදිසියේ මීගමුව කොට්ඨාසයට මාරු කිරීම මේ සතියේ ආන්දෝලනයට ලක්වූ තවත් සිදුවීමක් විය. නිශාන්ත ද සිල්වා පසුගිය රජයේ ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනකුගේ නඩු කටයුතුවලට අදාළ විමර්ශන සිදුකළ නිලධාරියෙකි. ඔහුගේ හදිසි මාරුව ගැන සමාජයේ විවිධ සංවිධානවලින් විරෝධය පළවෙද්දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හමුවී විමසා සිටියේ මෙම මාරුවීම සිදුකළේ ඇයිද කියායි. මෙරට පොලිස් පරීක්ෂකවරයකුගේ ස්ථාන මාරුවක් ගැන තානාපති අංශ ප්‍රශ්න කිරීම ගැන විමතිය පළකළ හේමසිරි තමන් මේ ගැන සොයාබලා වරදක් සිදුව ඇත්නම් නිවැරදි කරන බව මහ කොමසාරිස්ට කීය. එසේම ඉන්පසු ඔහු මේ ගැන විමසා බලා ඔහු ගැන තිබෙනවා යැයි කියන චෝදනා විමර්ශනය කරන තෙක් වහාම නිශාන්ත ද සිල්වාගේ මාරුව අවලංගු කරන ලෙසක පොලිස්පතිවරයාට නියම කළේය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ගිය බදාදා උදෑසන අරලියගහ මන්දිරයේදී සිය මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඔවුන් විශේෂ කොමිටි කිහිපයකට බෙදුවේය. උද්ඝෝෂණ සංවිධානයට, ආගමික නායකයන් හමුවීමට, මාධ්‍ය මෙහෙයුම්වලට වශයෙන් මෙලෙස කමිටු ගණනාවක් පත් කළේය. එම කමිටු අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවීමටද තීන්දු කැරිණි.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය බදාදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඊට පෙර රජයෙන් ඉවත්වූවායැයි කී අමාත්‍ය වසන්ත සේනානායක මහතා නැවත රජය සමඟ එක්වීම මෙහිදී සිදුවූ අතර ඔහු සියලු ඇමැතිවරුන්ට පෙර අමාත්‍ය මණ්ඩලයට පැමිණ අසුන්ගෙන සිටියේය. වසන්ත කැබිනට් පත්‍රිකා කියවමින් සිටින විට ඒ අසලට පැමිණි අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා වසන්ත සේනානායක මහතාගේ පිටට තට්ටුවක් දමා “මල්ලි... මමත් ඔය ඇමැතිකම කළා. ඕක මරු අමාත්‍යංශය... මොණරාගල මිනිස්සුන්ට ඕකෙන් මම හුඟක් වැඩකළා...  ඒ වගේ ඔයාටත් පොළොන්නරුවට වැඩ කරන්න පුළුවනි. ඔය මිනිස්ට්‍රියෙ වැඩකරන ශිල්පය මම දන්නවා... මමත් ඔයාට උදව් කරන්නම්...” කියමින් වසන්ත සේනානායකව දිරිමත් කරනු පෙනිණි. අනතුරුව මහින්ද අමරවීර, උදය ගම්මන්පිල ඇමැතිවරුද සැලසුම් සහගත ලෙස වනජීවී අමාත්‍යංශය දියුණු කළයුතු ආකාරය ගැන වසන්ත සමඟ කතාකරනු පෙනුණි.

මෙදින කැබිනට්ටුවට කැබිනට් පත්‍රිකා 43ක් පමණ ඉදිරිපත්ව තිබිණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැති ලෙස 2019 මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිනුමට අනුමැතිය ඉල්ලා සිටියේය. එය නීති කෙටුම්පත් සම්පාදක හා නීතිපතිට යොමු කරන්නැයිද කියමින් අතුරු සම්මත ගිණුමට කැබිනට්ටුවේ අනුමැතිය හිමිවිය. ඉන්පසු සාමාන්‍ය කැබිනට් පත්‍රිකා සාකච්ඡා කළේය. රටේ ආර්ථිකය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ විශේෂ ලේඛනයක්ද සාකච්ඡාවට ගැනිණ. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවත්නා ආර්ථික තත්ත්වය ගැන මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල හා ජනාධිපති ජ්‍යොෂ්ඨ ආර්ථික උපදේශක මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ඇමැති මණ්ඩල හමුවෙන් පසු කැබිනට්ටුව දැනුවත් කරන්නට පැමිණෙනු ඇති බවය. රජයක් වෙනස් වූ පමණින් රටේ ආර්ථිකය අර්බුදයකට පත් නොවනු ඇති බවත් ණය මුදල් ගෙවීම ඇතුළු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ඔවුහු කීය. නව රජය ලබාදුන් සහන නිසා අයවැය පරතරයට බලපෑමක් නැතැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

රජය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් විදේශ තානාපතිවරුන් මුණගැසීම සඳහා පසුගිය අඟහරුවාදා කටයුතු කළේය. ඔවුන් යුරෝපා තානාපතින් මුණගැසී රජයේ ප්‍රතිපත්ති හා ස්ථාවරයන් ගැන තානාපතීන් දැනුම්වත් කළේය. ඒ අතර දෙමළ ජාතික සන්ධානය නායක හා විපක්ෂනායක ආර්. සම්පන්දන්ගේ ඇරුයුමින් රටවල් 4ක ජ්‍යෙෂ්ඨ තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් විපක්ෂනායක නිල නිවසට පැමිණියේය. එහිදී පවත්නා තත්ත්වය ගැන කරුණු දක්වමින් සම්පන්දන් මහතා කීවේ රටේ එකවර සිදුවූ ආණ්ඩු වෙනසට සහය දැක්වීම අසීරු බවය. එහෙත් තම පක්ෂය තීන්දුවක් ගන්නට පෙර තවත් සිතාබලන වගද ඔහු පැවසීය. පවත්නා ප්‍රශ්න ගැන තම පක්ෂය දැඩි තීන්දුවලට නොයන බව පැවසූ හෙතෙම දකුණේ ආණ්ඩුවල ප්‍රශ්නත් උතුරේ ජනතා ප්‍රශ්නත් සහමුලින් වෙනස් යැයි පැවසීය. උතුරේ ජනතා ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන ක්‍රමවේදයකට තම ප්‍රමුඛතාව ලැබෙන්නේ යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කවදත් දේශපාලනයේ ආන්දෝලනාත්මක කතා කියන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාද වැඩසටහනකදී මැතිසබය විසුරුවා හැරීමේ නඩුව පිළිබඳ අදහස් දැක්වීය. එහිදී නඩුව විභාග කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ගැන ඔහු කළ කතාව මහත් ගැටලුකාරී විය. “බෙන්ච් එක පහකට ගියොත් තුනක් මෙහාට. දෙකක් එහාට වුණාම තීන්දුවෙ වෙනසක් නොවේය” යන අදහස රන්ජන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අර්බුදකාරී කතාව ගැන ඒකාබද්ධ විපක්ෂය එදාම විරෝධය පළකළේය. මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා රන්ජන්ගේ ප්‍රකාශය තරයේ හෙළාදකින බව පැවසීය. මේවා සිදුවන්නේ මෙසේ නම් එයින් අධිකරණය ගැන විශ්වාසය බිඳවැටෙන බවද ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ මුඛ්‍ය කාරක සභාව වන තේරීම්කාරක සභාව සඳහා මන්ත්‍රීන් ඇමැතින්ගෙන් යුත් පක්ෂ විපක්ෂ නියෝජිතයන් 12 දෙනෙක් තෝරාගැනීම ගිය සිකුරාදා සිදුවිය. ඒ සඳහා එදින පෙරවරැවේ පැවැත්වූ පක්ෂ නායක හමුවේදී පක්ෂ නායකයන් එකඟතාවක් ඇතිකරගන්නට උත්සාහ කළද එය සාර්ථක නොවීය. එ.ජ. නිදහස් සන්ධානය මෙන්ම එ.ජා.පයද එහි බහුතරය ඉල්ලීය. දිනේෂ් ගුණවර්ධන සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු විශාල වාදයක පැටලුණහ. අවසානයේ තීරණයකින් තොරව හමුව අවසන් විය.

සභාව පෙරවරු 10.30ට රැස්වීමෙන් පසු කතානායකවරයා ස්ථාවර නියෝගවලට අනුව තමන්ට හිමි බලතල යටතේ තේරීම්කාරක සභාව සඳහා ඔහු විසින් තෝරාගන්නා ලද මන්ත්‍රීන් හා ඇමැතීන්ගේ නාමලේඛනය ඉදිරිපත් කළේය. ඒ අනුව සන්ධානයට 5ක්, එ.ජා.පයට 5ක් හා ජ.වි.පෙට 1, දෙමළ සන්ධානයට 1 ලෙස මන්ත්‍රීන් බෙදා තිබිණි. එහෙත් සම්ප්‍රදාය අනුව ආණ්ඩුව කරන පක්ෂයට බහුතරය හිමිවිය යුතු යැයි දිනේෂ් ගුණවර්ධන මහතා තර්ක කළේය. මින් ඉදිරියටත් මේ ආකාරයට ක්‍රියා කරන්නේ නම් කතානායකවරයාවද නොපිළිගන්නා බව දිනේෂ් කීය. අනතුරුව සභාව ඇමතූ විමල් වීරවංශ අමාත්‍යවරයා කතානායකවරයා ඇමතුවේ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ලෙසයි.

ඒ සමඟ ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් මෙම යෝජනාව සභාවේ ඡන්දයකින් සම්මත කළ යුතු යැයි කීය. ඊට විරෝධය පෑ විපක්ෂය සභාවෙන් ඉවත්ව යද්දී කරු ජයසූරිය කතානායකවරයා ඡන්දයට අවසර ලබාදුනි. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය ලබාගැනීම අනතුරුව සිදුවිය. ඡන්දය විමසද්දී ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් තබමින් කතානායකගේ ක්‍රියාකලාපය විවේචනය කරනු ලැබීය. කෙසේ හෝ ඡන්ද විමසීමේදී එ.ජා.පය දෙමළ සන්ධානය හා ජ.වි.පෙ ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර කතානායකවරයාගේ යෝජනාවට ඡන්ද 121ක් ලැබී තිබිණි. ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පෑමක් ලෙස මේ සම්බන්ධයෙන් පවත්නා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව හමාරවන තෙක් මැතිසබය වර්ජනය කිරීමට තීන්දු කළේය.

►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00