මෙම කාරණාවට අදාළ මූලික විභාගය හමාර කළ ඇපැල් උසාවිය නඩු විභාගය අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අලුත් අමාත්‍ය මණ්ඩලය මෙතෙක් දරන ලද අගමැති තනතුර හා ඇමැති පදවි දැරීම තාවකාලික වාරණයකට ලක් කළේය.
මෙම තහනම් නියෝගය නිකුත් වනවිට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ සිය විජේරාම මාවත නිල නිවෙසේ දිවා ආහාරයෙන් පසු කෙටි නින්දක් ලබාගනිමිනි. ඔහුගේ ලේකම්වරු මහින්ද අවදි කර නඩු තීන්දුව ගැන ඔහුට දැන්වූහ. ඒ ගැන විශේෂ යමක් නොකී මහින්ද එදින සවස මුදල් අමාත්‍යංශයේ පවත්වන්නට තිබූ හමුව අවලංගු කරන ලෙස දන්වා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයට යාමට සූදානම් වන්නැයි ඒ වනවිටත් එහි පැමිණ සිටි පක්ෂ නායකයන්ට දැන්වීය. එහෙත් දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති අතර සාකච්ඡාවක් සවස 4.00ට යොදාගෙන ඇති නිසා 4.30න් පසු ජනපති කාර්යාලයට යන්නට රාජපක්ෂ මහතා සැලසුම් කළේය.
ඒ වනවිට දෙමළ ජාතික සන්ධානයේ නායකයන් වන සම්පන්දන්, සුමන්තිරන්, අඩෛක්කලනාදන්, සේනාධිරාජා හා සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලයට රැස්ව සිටියහ. නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියද කැඳවනු ලැබීය. උතුරේ දේශපාලන රැඳවියන් නිදහස් කිරීමට අදාළ කාරණා සාකච්ඡා කළ අතර ඒ ගැන නීතිපති මතයද විමසුවේය. එහිදී නීතිපතිවරයා කීවේ උතුරේ රැඳවියන් අතර බරපතළ චෝදනා ඇති අය සිටින බවය. ඔවුන් ගැන නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි නීතිපති කීය. ඒ සමඟ කතාබහ හමාර වෙද්දී දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතා ප්‍රශ්න කළේ අද දින ඇපැල් උසාවිය ලබාදුන් නඩු තීන්දුව අනුව රටේ තත්ත්වය කුමක්වේද කියාය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා නඩු තීන්දුව අනුව දැන් රටේ ආණ්ඩුවක් නැති තත්ත්වයක් මතුවී ඇතැයි පෙන්වා දුන්නේය. අද එ.ජා.පයත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමත් හමුවන බව කී ජනාධිපතිවරයා ඉදිරි පැය 24 තුළ තමන් අවශ්‍ය කරන තීන්දුව ගන්නා බව පැවසීය.
සම්පන්දන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාව හමාර කර පිටත්ව යනවිට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස සාකච්ඡා කාමරයට පිවිසියෝය. ඔවුන් ජනාධිපතිවරයා සමඟ කතාබස් කළේ ඉදිරියට ගත යුතු පියවර ගැනය. අවශ්‍ය නම් මෙම මැති ඇමැතිවරුන් අතරින් තනතුරු වෙනස් කර නැවතත් ආණ්ඩුවක් පත් කළ හැකි යැයිද යෝජනාවක් ඉදිරිපත් විය. ජනාධිපතිවරයාට ආණ්ඩුවක් පත් කිරීමට තිබෙන බලයට කිසිවකුට අභියෝග කළ නොහැකි බවද සඳහන් විය. ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස කීවේ තමන්ලා හෙට උදෑසන (අඟහරුවාදා) මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන වගය. එය අනුමත කළ ජනාධිපතිවරයා තමන් මේ ගැන නීතිපතිවරයා කැඳවා අවශ්‍ය පියවර ගන්නේ යැයි සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාව හමාර කළ මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිවෙසට පැමිණෙන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීහු එහි රැස්ව සිටියහ. ඔවුන් සියලු දෙනා කීවේ වහාම මේ ගැන අභියාචනයක් කළ යුතුය කියාය. උදය ගම්මන්පිල ඇතුළු නීතිඥ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ මෙබඳු තීරණයක් දෙන්නට ඇපැල් උසාවියට බලයක් නැත කියාය. එය ශ්‍රේෂ්ඨාධිකරණ වගකීමක් යැයිද පැවසීය. ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා විශාරදයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දුරකතනයට ගත්තේය. ඔහු ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කළ යුතු බවය. වහාම ඒ සඳහා අභියාචනා කළ යුතු බවට උපදෙසක්ද දුන් අතර ඔහු ඒ සඳහා මහින්ද පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින බවද කීය. ඒ සමඟ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා ද රොමේෂ් ද සිල්වා සමඟ එක්වන බව පැවසුවෙන් මනෝහර හා රොමේෂ් එකතු වී තීන්දුව ප්‍රතිශෝධනය සඳහා ඉල්ලා සිටින පෙත්සම සකස් කිරීම එදා රාත්‍රියේම ඇරැඹූහ. මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් ද ඊට සහාය වූහ.
ඒ අතර එ.ජා.ජ්‍යොෂ්ඨයෝ දිගින් දිගටම අරලියගහ මැඳුරට රැස්වෙමින් තීන්දු කළේ ජනාධිපතිවරයා කවර යෝජනා කළත් එ.ජා.ප අගමැති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බවය. ඒ සඳහා අවශ්‍ය නම් දිවුරුම් පෙත්සම් මගින් ජනාධිපතිවරයාට කරුණු ඔප්පු කළ යුතු යැයි තීන්දු කැරිණි. ඒ සමඟ දිගින් දිගටම රනිල්ට අගමැති පදවිය ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හමුවේ හෝ කතානායකවරයා ඉදිරියේ රනිල් අගමැති ලෙස දිවුරුම් දිය යුතු යැයිද යෝජනා විය. එහෙත් ඒ සඳහා අවසන් තීන්දුවක් ගත්තේ නැත. මෙම කතාබහට අකිල විරාජ්, මංගල සමරවීර, කබීර් හෂීම්, සාගල රත්නායක ආදී එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෝ එක්වූහ. ඒ අතර මේ අර්බුදය මැද එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෙක් දේශපාලන ගේමක් ගසන බවටද අරලියගහ මැඳුරේ ඇතුල් කට්ටලය තුළ ආරංචියක් පැතිර ගියේය. මේ පිරිස එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීන්ද අල්ලාගෙන රන්ජිත් මද්දුම බණ්ඩාර හෝ වෙනත් ජ්‍යෙෂ්ඨයකුට අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමට තිරය පිටුපස සැලැසුමක් දියත් කර ඇතැයිද කියැවිණි. මේ කතාව උණුසුම් වෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය නොලැබේ නම් එය විපක්ෂයේ ගෝඨාභයට ලැබුණත් අපට කමක් නැතැයි එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයකු දැඩි කෝපයෙන් යුතුව ප්‍රකාශ කළ බවද පොලිටිකල් රහස් තීරයට වාර්තා විය.
පසුගිය 4දා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේ මැතිසබය හදිසියේ විසුරුවා හැරීමට එරෙහි නඩුව සම්බන්ධවය. අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල නඩු විභාගය ඇරුඹූ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී.ල.නි.පයේ මහ සමුළුවක් අමතමින් දැඩි ආන්දෝලනාත්මක කතාවක් කළේය. එම කතාව ආරම්භයේ සිටම ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පහරදුන් ආකාරය කැපීපෙනුණි. එ.ජා පක්ෂයට, රටට පමණක් නොව යම් පමණකට තමන්ටද හානි කළ නායකයකු ලෙස වික්‍රමසිංහ මහතා හැඳින්වූ ජනාධිපතිවරයා තමන් මේ ආකාරයට ඔහු විවේචනය කිරීම ගැන තමන් බලයට පත් කරන්නට ඡන්දය දුන් ලක්ෂ 62 ජනතාව අතර සිටි එ.ජා පක්ෂිකයන් තමාට වෛර කරන බව දන්නේ යැයිද කීය. එ.ජා.පයේ ඉතිහාසය සිහිපත් කරමින් පැරැණි නායකයන් සම්බන්ධයෙන් ගුණ වර්ණනා කළ ජනාධිපතිවරයා අද ඒ තත්ත්වය නැතැයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.
අවසානයේ ඔහු සඳහන් කළේ එ.ජා.පයේ මන්ත්‍රීන් පමණක් නොව මැතිසබයේ මන්ත්‍රීන් 225 දෙනාම ලිපියක් අත්සන් කර රනිල් අගමැති කරන්නැයි කීව ද තමන් කිසිසේත්ම ඔහු අගමැති නොකරන බවය. ඒ සමඟම රටේ පවත්නා ගැටලුකාරී තත්ත්වය තවත් දින 7කින් හමාර කරන වගද ජනාධිපතිවරයා කීය. තමන් අධිකරණයට හා අධිකරණ තීන්දුවලට ගරු කරන බව ප්‍රකාශ කළ හෙතෙම නිකායේ මහානායක හාමුදුරුවන් දේශනා කළ යුතු බණ ගමේ පන්සලේ නායක හාමුදුරුවන් කිවයුතු නැතැයි කීය. මෙය කුමන අදහසකින් කීවේදැයි පැහැදිලි නැත.
කෙසේ හෝ ජනාධිපතිවරයාගේ දැඩි විවේචනාත්මක කතාව සම්බන්ධයෙන් එ.ජා.පයෙන් මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාය. මංගල සඳහන් කළේ මෙම ප්‍රශ්නය විසඳාගන්නට තිබෙන එකම ක්‍රමය ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒම බවය. මංගල සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් කීවේ ජනාධිපති සිරිසේන මහතා එක බොරුවක් වහගන්නට තව තවත් බොරු කියමින් විකෘති කතා ප්‍රචාරය කරන වගය. ශ්‍රීලනිප සමුළුවේදී ඔහු කළ කතාවෙන් ඔප්පු කර පෙන්වූයේ ඔහු තවදුරටත් රට පාලනයට නුසුදුසු බව යැයිද මංගල කීය.
මංගලට අමතරව චම්පික රණවක හිටපු අමාත්‍යවරයා එ.ජා. පෙරමුණ වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් කීවේ තම කණ්ඩායම ගෙන යන්නේ යුක්තියේ සටනක් බවය. මෛත්‍රීටත් මහින්දටත් ඒ බව දන්වන්නේ යැයි කී චම්පික රණවක මහතා වැඩිදුරටත් කීවේ ජනාධිපතිට හා මහින්දට ගහන්න පුළුවන් ඕනෑම ගේමක් ගහන්නට තමන්ටද පුළුවන් බවය. තමන්ට ඡන්දය දුන් ජනතාව ලක්ෂ 62කට මෛත්‍රී ජනාධිපතිවරයා කොකා චාලි පෙන්වූ බවද චම්පික රණවක කීය.
පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු විශේෂ පණිවුඩයකින් කියැවුණේ එ.ජා.පයේ මන්ත්‍රීන් පිරිසක් ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන ගණනාවක් වෙත ගොස් විවිධ බලපෑම් කරන්නට සැරසෙන බවය. ඒ කතාව දැනගත් සැණින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇමතූ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් මෙලෙස රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ගොස් බලපෑම් කරන්නේ නම් වහාම අවශ්‍ය බලතල යොදවා ඔවුන් ඉවත් කරන්නැයි දැන්වීය. ඒ අනුව ක්‍රියාත්මක වූ හේමසිරි ප්‍රනාන්දු මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් ද ආරක්ෂක භට පිරිසක් ද රැගෙන රූපවාහිනී පරිශ්‍රයට ගියේ මේ කතාව ඇත්තදැයි බැලීමටය. හේමසිරිලා එහි යනවිට එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙක් එහි නොවූහ. ටික වේලාවකට පෙර මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ජේ.සී. අලවතුවල ආදීන් පැමිණ රූපවාහිනී ලොබියේ අසුන්ගෙන බලධාරීන් සමඟ යම් යම් දේ කතා කරමින් සිටි බව ආරක්ෂක ලේකම්වරයාට වාර්තා විය. ඒ හැර වෙනත් යමක් සිදුවූ බවක් වාර්තා නොවීය. ඒ සමඟ රූපවාහිනිය, ගුවන්විදුලිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවූ ආරක්ෂක ලේකම්වරයා සාමකාමී තත්ත්වය පවත්වා ගන්නැයි ඉල්ලමින් එම ස්ථානයෙන් පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා සහ එ.ජා පෙරමුණේ මන්ත්‍රීන් අතර හමුව පැවති දිනයේ ඔහු කළ විශේෂ ප්‍රකාශයක් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයට පත් කළේය. එම කතාව මෙයට පෙර වාර්තා වී තිබුණේ නැත. මනෝ ප්‍රකාශ කළ ආකාරයට තමන් තවදුරටත් තාප්පයට හේත්තු කරන්නට එ.ජා.පය සූදානම් වුවහොත් ජාතිය අමතා ජනාධිපති ධුරයෙන් ඉවත්ව පොළොන්නරුවට ගොස් ගොවිතැන් කරන්නේ යැයි කියා ඇත.
මේ දිනවල හටගෙන තිබෙන දේශපාලන අර්බුදයේ ප්‍රධාන චරිත දෙකක් වන කතානායක කරු ජයසූරිය මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා අවස්ථා දෙකකදී එකට මුණගැසුණි. ඉන් පළමු හමුව සිදුවූයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේදීය. දේහය තැන්පත් කර තිබූ ජයරත්න ‘රෙස්පෙක්ට්’ වෙත කරු ජයසූරිය මහතා පැමිණ ටික වේලාවකින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණියේය. මෙම දෙදෙනාටම අසුන් පනවා තිබුණේ එකම ස්ථානයක බැවින් අසලින් වාඩි වූ කරු සහ මහින්ද සෑහෙන වේලාවක් සුහදව කතාබස් කරනු පෙනුණි.
පාර්ලිමේන්තු මහලේකම්ගේ පියාගේ අවමංගල්‍ය දා තමන් අසලින් අසුන්ගත් කතානායකවරයා මහින්ද රාජපක්ෂ මහතාට කීවේ පසුගිය දිනවල තමන් ගත් ක්‍රියාමාර්ග ගත්තේ පෞද්ගලිකව මහින්ද රාජපක්ෂ සමඟ තිබෙන ආරවුලක් නිසා නොව ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් මත බවය. මැතිසබය හදිසියේ විසුරුවාහැරීම වරදක් බව තමන් කල්පනා කරන්නේ යැයිද කරු ජයසූරිය කී විට මහින්ද රාජපක්ෂ කීවේ ‘ඔබේ මතය ඔබ දරන්න. ඒකට අපේ පෞද්ගලික අමනාපයක් නැත’ කියාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පහර ගසමින් ශ්‍රී.ල.නි.ප මහ සමුළුවේදී කළ කතාවට ඉන් දිනකට පසු රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය. කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති උත්සවයකදී ජනතාව අමතා කතා කළ රනිල් කතාව ආරම්භ කළේ ‘මේ කතා කරන්නේ තාච්චිය’ කියමිනි. ‘මේ කතා කරන්නේ තාච්චිය. අපි ආප්පයක් පිච්චුවා. සාමය ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්නත් දූෂණය නතර කරන්නත් අරමුණු කළ නමුත් පසුගිය ඔක්තෝබර් 26දා ගත් මවිත කරන පියවරෙන් එය අඩාල වුණා’ යැයි හිටපු අගමැතිවරයා කීය. තමන් තවදුරටත් අරලියගහ මන්දිරයේ සිටින්නේ ජනතාව මෙම සටන දිගටම ගෙන යන නිසා යැයි කී රනිල් එය නොනවතින අරගලයක් යැයිද පැවසීය. මේ වසර තුනේදී රජය යහපාලනය ඇතිකළ බව කී හෙතෙම ජනාධිපතිවරයාගේ බලයටද සීමාවක් ඇතැයි කීය. ජනාධිපතිවරයාගේ කතාවේදී මහනායක හිමියන් කිවයුතු බණ ගමේ පන්සලේ හාමුදුරුවන් නොකිව යුතු බව කීවත් එවැන්නක් මෙහි නැතැයි කී රනිල් මෙහි ඇත්තේ විනය පිටකයේ ප්‍රශ්නයක් බව කීය. ජනාධිපතිවරයා දැන් පාර්ලිමේන්තුවට යටත් බැවින් ඒ අනුව ඔහු ක්‍රියා කළ යුතු යැයි හිටපු අගමැතිවරයා වැඩිදුරටත් කීය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාම අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැතැයි කී කතාවටද හිටපු අගමැති උත්තර දෙමින් සඳහන් කළේ එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් ජනපතිගේ ප්‍රශ්නයක් වගත්ය. පාර්ලිමේන්තුවට පයින් ගසා මේ ගමන යා නොහැකි යැයි කී රනිල් වික්‍රමසිංහ මහතා රට ව්‍යවස්ථාව අනුව ක්‍රියා කළ යුතු යැයි පෙන්වා දුන්නේය. ‘රට පාලනය කරන්නේ විධායක ජනාධිපති නොවේ. කැබිනට්ටුව සහ ආණ්ඩුවයි ඊට විරුද්ධව කිසිවකුට යා නොහැකි බැවින් ජනාධිපතිගේ විධායක බලය ඉවත් කළ යුතුයි.’ වැඩිදුරටත් පැවසූ වික්‍රමසිංහ මහතා තමන්ට ජනාධිපතිවරයා නැගූ අවලාද තමන් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන්නේ යැයි පැවසීය.
ජනාධිපතිවරයා සහ එ.ජා.පය අතර තිබූ සබඳතාව ඉතා බරපතළ ලෙස කඩාවැටී තිබේ. ඒ නිසා මින් ඉදිරියට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකළ යුතු බව ඇතැම් එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෝ පවසති. එසේම පසුගිය 05දා පාර්ලිමේන්තු රැස්කර එහිදී විශේෂ යෝජනාවක් සම්මත කිරීමට නියමිත විය. මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව විශ්වාසභංග සම්මත වී ඇති බැවින් ඒ අනුව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීම මෙම යෝජනාවේ අරමුණ විය. එහෙත් අවසන් මොහොතේ එ.ජා.පය තීන්දු කළේ මන්ත්‍රීන් 7 දෙනකුගේ අත්සනින් ඉදිරිපත් කළ යෝජනාව සම්මත කරගෙන ජනාධිපතිවරයාට යැවීම නිෂ්ඵල කාර්යයක් බවය. එබැවින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අදාළ යෝජනාව 05දා ඉදිරිපත් නොකර ඉවත් කරගන්නා බව කතානායකවරයාට දැන්වීය. ජනපති හා කරන සාකච්ඡා සහ ලිපි යැවීම් නවතා ඒ වෙනුවට ලබන 14දා ජනතාව කොළඹට කැඳවා ජනබල මෙහෙයුමක් පවත්වන්නටත් එමගින් එ.ජා.පයේ ජනබලය ජනාධිපතිවරයාට පෙන්වීමටත් එ.ජා.පය සැලැසුම් කළේ ඉන් පසුවය.
දේශපාලනයේ පසමිතුරන් වුවත් පෞද්ගලික සබඳතා සමඟ එය ගාවා නොගන්නා මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය බ්‍රහස්පතින්දා සවස දැනගන්නට ලැබුණේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා දැඩි ලෙස රෝගාතුරව රෝහල්ගත කර තිබෙන බවය. එය දැනගත් වහාම මහින්ද රාජිතගේ දුරකතනයට ඇමතුමක් ගත්තේය. පිළිතුරු දුන්නේ රාජිතගේ බිරිඳ වෛද්‍ය සුජාතා සේනාරත්නය. ‘සුජාතා මට දැනගන්නට ලැබුණා රාජිත හදිස්සියේ අසනීප වුණා කියලා. ඒකයි කතා කළේ..’ කියා මහින්ද කී විට ‘ආ.. අනේ නෑ සර් එයාට උණ හැදිලා ටිකක් අසනීප වුණා.. මේ ළඟ ඉන්නවා..’ කියා සුජාතා සිය ජංගම දුරකතනය රාජිතට දුන්නේය. ‘සර්.. මට උණ හැදිලා ටිකක් වැඩි වුණා... ඒකයි වුණේ.’ කියූ රාජිත තමන් සිටින්නේ ඉස්පිරිතාලේ යැයි කතාවක් ගිහින් තිබුණද ප්‍රතිකාර ගන්නේ නිවෙසේ සිටම බවද සඳහන් කළේය. ‘කොහොමද මේක ඔබතුමා දැනගත්තේ’ කියා රාජිත ප්‍රශ්න කළ විට ‘අපිටත් එක එක ආරංචි එනවනේ.. හරි එහෙනම් ලෙඩ සනීප වුණාම කතා කරමුකො.. මම ඔබට සුබ පතනවා..’ යැයි කී මහින්ද රාජපක්ෂ මහතා දුරකතනය විසන්ධි කළේය.
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර