►එ.ජා.ප.ය ජන බලය පෙන්වන්න සූදානම්
►ජනපති තනි තනිව පක්ෂ නායකයන් කැඳවයි
►පක්ෂ තීන්දුවෙන් පසු මහින්ද ඉවත්වෙයි
►නඩු තීන්දුවෙන් පසු පෙරැළි පෝලිමක්
►තොණ්ඩමන් ගන්නවාට ‘මනෝ’ ‘දිගා’ ගේ දැඩි විරෝධය
►දෙමළ සන්ධානය හා එ.ජා.ප.ය තමන්ට හොඳ සටන් පාඨයක් දුන් බව මහින්ද කියයි
රජය විසුරුවා හැරීමට එරෙහිව පාර්ශ්වකරුවන් 13 දෙනකු විසින් පවරා තිබූ නඩුවට අදාළ පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව රජය විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ. ඒ සමඟ ඊට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු වෙයි. නැවතත් පැවති පාර්ලිමේන්තුව රැස්වන අතර එ.ජා.ප.යේ බහුතරය නම්කළ තැනැත්තා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතු බව එ.ජා.ප.ය කියයි. තමන් එ.ජා.ප.යට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සතුටු නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය තනතුරින් ඉවත් වීමත් සමඟ අගමැතිවරයකු පත් කර ගැනීම තවදුරටත් අර්බුදයට යන ලකුණු පහළ වී තිබේ.
මේ ගැන එ.ජා.ප.යේ මත ගණනාවක් ඇතැයි වාර්තා වෙයි රනිල්ට හැර වෙනත් කිසිවකුට අගමැති ධුරය ලබා නොගත යුතු යැයි කියන පිරිස බහුතරය බව පැහැදිලිය. එහෙත් ඇතැම් පසුපෙළ නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ විකල්ප නමක් හෝ ඉදිරිපත් කර රජය පිහිටුවා ගත යුතු වගය. ඊට හේතුව කවුරුන් කෙසේ සඳහන් කළත් අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ පත්වීම් බලධරයා වන්නේ ජනාධිපතිවරයා නිසාය. මේ ගැන එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවද කියැවේ.
ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය අවලංගු කරමින් නිකුත් කළ ගැසට්ටුව අවලංගු කිරීමත් සමඟ එ.ජා.පය ප්‍රමුඛ පක්ෂ එම ජයග්‍රහණය සැමරීය. රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුම මගින් ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරුකර ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව කීය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ට්විටර් ගිණුම හරහා කියා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිගෙන ඒ අනුව ක්‍රියා කරන බවය. ඒ අතර ශ්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් ජනපතිවරයා මුණගැසුණේ නඩු තීන්දුවෙන් පසුවය. එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ එ.ජා.පය සමඟ තවදුරටත් ජාතික ආණ්ඩු නොකරන බවය. සඳුදා නව කැබිනට්ටුවක් පත් කරන බවද කීය. එහෙත් තමන් මෙතෙක් කරගෙන ආ සටන අතනොහරින බව පැවසූ ජනාධිපතිවරයා ඊට සිය මන්ත්‍රීන්ගේ හා පාක්ෂිකයන්ගේ සහාය ඉල්ලා සිටියේය. ඒ අතර මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ප්‍රකාශ කර තිබුණේ සිකුරාදා දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන කැබිනට්ටුව තහනම් කරමින් නිකුත් කළ නියෝගයට අදාළ ඇපෑලේ තීරණයෙන් පසු තීන්දුවක් ගන්නා බවය. උදය ගම්මන්පිල ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයා කීවේ තීන්දුව අනුව එ.ජා.පයට රට බාරදී ආණ්ඩුවෙන් බැස යන බවය.
පසුගිය සතියේ රජය විසුරුවා හැරීමට එරෙහි නඩු විභාගය අවසන් වුවත් එකී තීරණය ලබාදෙන දිනය අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළේ නැත. එය තවදුරටත් කල්යනු ඇතැයි ආරංචි පැතිර යද්දී ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් පසුගිය ඉරිදා වෙන වෙනම කැඳවා සාකච්ඡා කළේය. ඒ සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතා කැඳවා නොතිබිණි. වාසුදේව, දිනේෂ්. විමල්, ගම්මන්පිල ආදී පක්ෂ නායකයන් වෙන වෙනම ජනාධිපතිවරයා කැඳවා විමසා සිටියේ රට වැටී තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් ගොඩගත යුත්තේ කෙසේද කියායි. ඒ ඒ පක්ෂ නායකයන් එලෙස කැඳවා ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් හට පක්ෂ නායකයන් නිදහසේ හමු වී කතා කළ යුතු නිසා මෙසේ කැඳවූ බවය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඊට නොකැඳවීම ගැන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ එතරම් සතුටට පත්ව නොසිටියහ.
කෙසේ හෝ තනි තනිව පක්ෂ නායකයන් කැඳවා කළ සාකච්ඡාවට පසුදා දහවල් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සියලු පොහොට්ටු නායකයන් ද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ද ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා කැඳවා තිබිණි. මහින්ද රාජපක්ෂ මහතාට අමතරව දිනේෂ් ගුණවර්ධන, වාසුදේව, විමල්, උදය, මහාචාර්ය ජී.එල්. පීරිස්. බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් පොහොට්ටුව වෙනුවෙන් එක්වෙද්ද ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත සහ දයාසිරි ජයසේකර ද ඊට එක්ව සිටියහ. එහිදී මුලින්ම සාකච්ඡා වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවූ මැතිසබය විසුරුවා හැරීමේ නඩුව ගැනයි. එහි තීරණය අප්‍රමාදව ලබාගත යුතු බව හැමෝම ප්‍රකාශ කළහ. ඒ සමඟ ජනාධිපතිවරයා කියා සිටියේ තමන් අද දින නීතිපතිවරයා කැඳවා විශේෂ මෝසමක් මගින් නඩු තීන්දුව කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට අදහස් කරන බවය. නඩු තීන්දුවෙන් පසුව කළයුතු දේ ගැන අවධානය දැක්විය යුතු යැයි නිමල් සිරිපාල මහතා ප්‍රකාශ කළේ ඉන් අනතුරුවය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් තවමත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්ව නැති නමුත් ජනාධිපතිවරයා ඒ ගැන ගන්නා තීරණය අනුව ක්‍රියාකරන්නට සූදානම් බවය. තමන් ව්‍යවස්ථාවට, ප්‍රජාතන්තවාදයට හා අධිකරණයට සෑමවිටම ගරුකරන බැවින් ජනාධිපතිතුමා ප්‍රමුඛ පක්ෂ නායකයන්ගේ මතය අනුව ක්‍රියාකරන්නට සූදානම් යැයි මහින්ද කීය. “මේ ගැන මට පෞද්ගලික මතයක් නැහැ. පොදු තීන්දුව තමයි මගේ තීන්දුව.” මහින්ද නැවතත් කීය. “ඒක තමයි මම කිව්වෙ අපිට වාසියට තීන්දුව ආවොත් ඡන්දයට සූදානම් වන විදිහත් අවාසියට තීන්දුව ආවොත් ක්‍රියාකරන විදියත් දැන්මම තීන්දු කරන්න ඕනෑ කියල...” නිමල් සිරිපාල නැවතත් මතක් කළේය. එවිට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේ මේ වෙලාවේ අපි නඩුව පරාදයි කියල තීන්දු කළොත් අපේ අයගෙ මානසිකත්වය වැටෙනව. අනික අපි තීන්දුව ගැන දන්නෙත් නැහැ. ඒ නිසා තීන්දුව ආපු ගමන් අපි රැස්වෙලා කතා කරන එකයි හොඳ....” යනුවෙනි.
මේ කතා සියල්ල අසා සිටි මහින්ද රාජපක්ෂ කියා සිටියේ “අපි කල් තබා නීතිපති වගේම පෞද්ගලික නීති අංශයේ ප්‍රවීණයන් මුණගැහිල මේ ගැන ඉදිරියට කළ යුතු දේ සඳහා සූදානම් වීම වැදගත්. අපි ඒක කරමු. ”කියායි. හැමෝම ඒ අදහස පිළිගත් අතර ඒ අනුව ක්‍රියා කිරීමට තීන්දු කෙරිණි.
එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී පසුගිය සඳුදා සවස සිය මන්ත්‍රීන් මුණගැසුණේය. එහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තමන් සතු ජනබලය පෙන්වීම සඳහා කොළඹට ජනතාව කැඳවා පවත්වන්නට සූදානම් කර තිබූ ජනබල මෙහෙයුම ලබන 17දා දක්වා තල් තැබීමට තීන්දු කළ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලැබෙන තෙක් එය කල් තැබීම සුදුසු යැයි තමන් සිතන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. මෙහිදී රනිල් වැඩිදුරටත් කියා සිටියේ මැතිසබයේ බහුතර මතයට අධිකරණ තීන්දුවට හා ව්‍යවස්ථාවට එරෙහිව විධායකය ක්‍රියාකරන්නේ නම් ජනතාව කොළඹට පමණක් නොව ප්‍රධාන නගරවලටත් කැඳවා ජනබලය පෙන්වන බවය. පක්ෂ පාට නොබලා මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට සමාජයේ විවිධ ජන කොටස් මෙන්ම සිවිල් සමාජ කණ්ඩායම් රාශියක් ඉදිරිපත්ව සිටින බවද කීය. ඒ අතර කොළ පැහැයෙන් කොළඹ වටා අලවා තිබූ පෝස්ටරයකින් ප්‍රශ්නකර තිබුණේ කව්ද අගමැති කියාය. එසේම එ.ජා.ප. සම්මේලනය වහා කැඳවනු කියාත් එම පොස්ටරයේ සඳහන් කර තිබිණි. එය එ.ජා.ප.යේම රැඩිකල් කණ්ඩායමකගේ වැඩක්ද නැතිනම් පක්ෂ කටයුතු අවුල් කිරීමට විපක්ෂ කණ්ඩායමක් කළ දෙයක්දැයි පැහැදිලි නැත.
පසුගිය බදාදා පාර්ලිමේන්තුව රැස්වූ අතර ඊට පෙර දෙමළ ජාතික සන්ධානය හා එ.ජා.ප.ය අතර වෙනම සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබුණේ එ.ජා.ප.යට මැතිසබා බහුතරය සකසා ගැනීමට දෙමළ සන්ධාන සහය ලබා ගැනීමටයි. එහිදී දෙමළ සන්ධානය සිය සහාය ලබාදීමට නම් කාරණා ගණනාවක් ඉටුවිය යුතු බව ප්‍රකාශ කළ බව කියැවිණි. එහෙත් එම කරුණු මොනවාදැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නැත. දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨයකු වන ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම කියා සිටියේ දෙමළ ජනතාවට මහින්ද රාජපක්ෂ විශ්වාස කළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ විශ්වාස කළ හැකි බැවින් තම පක්ෂයේ සහය රනිල්ට ලැබෙන බවත්ය. කෙසේ හෝ ඒ වනවිට දෙමළ සන්ධානයෙන් ඉවත්ව ගොස් නියෝජ්‍ය ඇමැති පදවියක් ලබා සිටි වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා මෙන්ම කඳුකරයේ තොණ්ඩමන් කණ්ඩායමේ සහාය එ.ජා.ප.යට දිනාගන්නට අවශය කටයුතු තිරය පිටුපස සිදුවෙමින් පැවති බව කියැවිණි. එහෙත් තොණ්ඩමන් එ.ජා.ප.යට ගැනීමට එරෙහිව මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන එ.ජා.පෙරමුණ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහතාට සිය දැඩි විරෝධය පළකර තිබූ බව කියැවිණි.
බදාදා සවස මැතිසබය රැස්වූ විට සජිත් ප්‍රේමදාස එ.ජා.ප. නියෝජ්‍ය නායකයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා බහුතර අනුමැතිය ඉල්ලා සිටියේය. ඒ ගැන පැවති විවාදයෙන් පසු සිදුකළ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට කැමැත්ත පළකළ මන්ත්‍රීන් ගණන 117කි. ඒ අනුව බහුතර මැතිසබා මන්ත්‍රීන් රනිල් අගමැති ධුරයට පත් කිරීම අනුමත කර තිබිණි. එහෙත් මෙම යෝජනාවේදී ජනතා විමුක්ති පෙරමුණ රනිල් අගමැති කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළේ නැත. මෙදින මැතිසබා රැස්වීමට මෙන්ම ඊට පෙර පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිසිවෙක් සහභාගී නොවූහ. ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ලැබෙන තෙක් මැතිසබය වර්ජනය කිරීමට තීන්දු කර තිබෙන බැවින් ඊට සහභාගි නොවූහ.
අලුත්කඩේ අධිකරණය වෙත නඩු පිට නඩු ගොඩගැසෙන කාලයක් උදා වී තිබේ. මේ සියල්ල දේශපාලන නඩුය. මේ සතියේ පැවරුණු එක් නඩුවක් ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පරීක්ෂා කරන්නැයි නියෝගයක් ඉල්ලා තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා රජය සමඟ ගිවිසුම්ගත ව්‍යාපාර කරන බව කියමින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි තවත් නඩුවක් ගොනුකර තිබිණි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීම වැරදි බව කියන පෙත්සමක් මේ සතියේ කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණය එය ජනවාරිය දක්වා කල් දැමීය. අධිකරණය මැතිසබය විසුරුවා හැරීමේ ගැසට්ටුවට පමණක් අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබියදී මැතිසබය කැඳවීමෙන් කතානායකවරයා අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් තවත් නඩුවක් ගොනු කැරිණි.
මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් මුණගැසීමට රුක්මලේ පන්සලට පැමිණියේය. එහිදී මහානායක හිමියන් මුණගැසුණු රාජපක්ෂ මහතාට නාහිමියන් ප්‍රකාශ කළේ මැතිසබයේ පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් මේ රටටත් ජාතියටත් ආගමටත් බරපතළ ලෙස හානිකර වූ වගයි. ගිහියන් පමණක් නොව භික්ෂූන් වහන්සේලා පවා අද වේදිකාවල දෙපිල බෙදී වාද විවාද කරගන්නා බව පැවසූ ඉත්තෑපාන හිමියෝ කිසිදු පක්ෂයකට වාසියක් සිදුවෙතැයි තමන් නොසිතන වග සඳහන් කළහ.
මහ නාහිමියන්ගේ අනුශාසනාවෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සිදුවූ සියලුම සිදුවීම්වලට කතානායකවරයාගේ ක්‍රියා කලාපය බලපෑ බවය. තමන්වත් නොදැන තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ බව පවසා ඒ සැණින් කටහඬින් ඡන්දය ගෙන එය සම්මත වූ බව කී බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා මේ සිද්ධිය ගැන තමන්ට අපූරු අදහසක් පුංචි දරුවකු විසින් කියන ලදැයි පැවසීය. ඒ දරුවා කීවේ රටේ ප්‍රධානීන්ට සංවර ජාතකය උගැන්විය යුතුය කීවේ යැයි මහින්ද තවදුරටත් මහ නාහිමියන්ට කීය.
එ.ජා.ප.යේ මන්ත්‍රී කණ්ඩායම මේ සතියේ වාර දෙකක් පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි. එහිදී මන්ත්‍රීන් ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ මන්ත්‍රීන්ට කියා සිටියේ පාර්ලිමේන්තු වාද විවාදවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බැණ වැදීම හෝ දොස් පැවරීම තවදුරටත් නොකරන ලෙසය. රනිල්ගේ කතාවෙන් පසු එ.ජා.ප.යේ තරුණ මන්ත්‍රීන් ගණනාවක්ම අදහස් දක්වන්නට වූහ. ඔවුන් කාගේත් පොදු මතය වූයේ එ.ජා.පෙරමුණ සමඟ එක්ව ඉදිරියේදී දේශපාලන ගමනක් යන්නට සූදානම් කවර හෝ පක්ෂයක මන්ත්‍රීවරයකු සිටිනවා නම් අගමැති ධුරය සඳහා රනිල්ට පක්ෂව කෙරෙන ඡන්ද විමසීමේදී ඊට ඡන්දය දිය යුතු බවය. එසේ නොකර පසුව එ.ජා.ප. රජයකට බැඳෙන්නට එන කිසිවෙකුට ඇමැති ධුර ලබා නොදිය යුතු බවත් ආසන සංවිධායක ධුරයන් නොදිය යුතු වගත් පසුපෙළ වෙනුවෙන් වේගවත් කරුණු දැක්වීමක් කළ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කෙසේ හෝ කතානායක කරු ජයසූරිය මහතා පසුගිය බදාදා සවස ජනාධිපතිවරයාට යොමුකළ විශේෂ ලිපියක් මගින් අවධාරණය කළේ එදින පැවැති මැති සභා රුස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයේ මන්ත්‍රීන් 117 දෙනකුගේ විශ්වාසය හිමිකරගෙන තිබෙන බවයි. එය මැතිසබා බහුතරය බවද කතානායකවරයා ජනාධිපතිවරයාට දැන්වූ බව සඳහන්ය. එම ප්‍රතිඵලයම එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන රවි කරුණානායක මන්ත්‍රීවරයාද ලිඛිතවම ජනාධිපතිවරයාට භාරදීමට සැලසුම් කර තිබිණි.
දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විවාදාත්මක රැස්වීම් ගණනාවක් පැවැත්වීය. එම අවසන් රැස්වීමට පක්ෂ මන්ත්‍රීන් 4 දෙනෙකු සහභාගි නොවීමත් විශේෂ කරුණක් විය. මෙම රැස්වීම්වලදී සෙල්වම් අඩෛක්කලනාදන් හා ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ එ.ජා.ප.යට සහාය පළකිරීමේදී තමන්ට ලැබෙනා ඉල්ලීම් ලිඛිතවම ලබාගත යුතුය කියායි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙබරවාරියට පෙර ගෙන ඒම, බලය බෙදාහැරීම, දේශපාලන රැඳවියන්, හමුදා කඳවුරු සීමා කිරීම, යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා සමුළුව කියන ආකාරයේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම ආදී කරුණු මෙහිදී සඳහන් කළ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීහු ඒවාට එ.ජා.ප.යේ ප්‍රතිචාර ලිඛිතවම ලබාගත යුතු යයි සඳහන් කළහ. එවිට පක්ෂනායක සම්පන්දන් මහතා කීවේ තම පක්ෂය එ.ජා.ප. අගමැති අපේක්ෂක රනිල්ට සහාය පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්විය යුතු බවය. ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායම බදාදා උදෑසන ජනාධිපතිවරයා මුණගැසීමට නියෝග කළේය. එහිදී තම තීන්දුව සම්පන්දන් මහතා දැන්වූ විට ජනාධිපති යෝජනා කළේ කිසිදු පක්ෂයකට සහය නොදක්වා ඡන්දයෙන් වළකින ලෙසයි. එහෙත් දෙමළ සන්ධානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එවිට ජනාධිපති විමසුවේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් ඔබලාගේ ඉල්ලීම් ඉටුකළ හැකි යැයි විශ්වාස කරනවාද කියායි. ඒ ගැන විශ්වාසයක් ඇතැයි ඔවුන් පැවසූ පසු සාකච්ඡාව හමාර විය.
ඒ අතර ආණ්ඩුව නියෝජනය කළ ඒකාබද්ධ ප්‍රධානීන් හා ජනපති අතර හමුවක්ද වෙනම පැවැත්වුණි. එහිදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාන්ත ආණ්ඩුවක් විසුරුවා හැරීම ගැන දුන් නඩු තීන්දුව විග්‍රහ කරමින් ලංකාවේද පවත්නේ එම තත්ත්වය යැයි පෙන්වා දුන්නේය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ප්‍රශ්නයේදී ජනාධිපතිගේ නියෝජිතයා වන ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ තීන්දුවට තමන්ට මැදිහත් විය නොහැකි යැයිද ප්‍රකාශ කර තිබිණි. එවිට විහිළුවෙන් මෙන් ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා මෙහේ අයට ඔය උපදෙස් දෙන්න ගම්මන්පිල කෙනෙක් එතන නැහැනේ යැයි කීය.
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 117 බහුතරය ලබා ගන්නට දෙමළ සන්ධාන ඡන්දය ලබාදුන් පසු මහින්ද සිය මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් මුණගැසුණේය. “දැන් තිබෙන තත්ත්වය අනුව ඉදිරියට බහුතරය අනුව පත්වන ආණ්ඩුව අපි හඳුන්වන්නේ යූ.ඇන්.පී. - ටී.එන්.ඒ. ආණ්ඩුව හැටියටයි. ඒ වගේම ආණ්ඩුවට ටී.එන්.ඒ. සහය පළකරනවා නම් විපක්ෂනායක ධුරය දරමින් ආණ්ඩුවට සහය දෙන්න බැහැ. ඒකත් අපි ඔය ප්‍රජාතන්ත්‍රවාදී කතානායකතුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි.” පැවසූ විට ඒ අසල සිටි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ “සර්... විපක්ෂයයි ආණ්ඩුවයි දෙකම නියෝජනය කරන පක්ෂයක් ලෝකෙ කොහේවත්ම නැතුව ඇති” කියායි... එවිට මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ “අපිට ඉතාම හොඳ සටන් පාඨ ටිකක් ලබාදුන්නාට එයාලට අපි ස්තූති කරන්න ඕන... අපි ලබන සතියේ සිට මේ යූ.ඇන්.පී. - ටී.එන්.ඒ. ආණ්ඩුවේ පක්ෂ දෙක අතර තිබෙන එකඟතා ගැන පොරොන්දු ගැන රට පුරා ජනතාව දැනුවත් කරන රැස්වීම් මාලාවක් ආරම්භ කරන්න ඕන... ඒ මගින් මේ දෙපක්ෂය රටටත් ජනතාවටත් කරන්න යන දේ ගැන හෙළිදරව් කිරීමට අපේ මුළු කාලයම කැපකළ යුතුයි.” කී මහින්ද රාජපක්ෂ මහතා ඊට අදාළ සැලසුම ලබන සතියේ සාකච්ඡා කරමු යැයි සඳහන් කළේය. ඒ අතර මාධ්‍යයට ප්‍රකාශයක් කළ දිනේෂ් ගුණවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට මැතිසබා මන්ත්‍රීන් 117 දෙනකුගේ සහය ලැබුණද එ.ජා.ප.යේ මන්ත්‍රීන් 103ක් පමණක් ඡන්දය දී තිබෙන බැවින් ඒකාබද්ධය මෙම ඡන්ද ප්‍රතිඵලය නොපිළිගන්නා බව පැවසීය.
පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුවිය. ඒ ප්‍රකට ව්‍යාපාරික මෙරිල් ජේ. ප්‍රනාන්දුගේ නිවසේ පැවති සාදයකදීය. ගෝඨා සමඟ ජී.එල්. ද සිටි අතර රනිල් සහ ගෝඨා කතා කළේ ස්ථාවර රජයක් පිහිටුවීම ගැනයි. තමුන් මැතිසබා බහුතරය පෙන්වා ඇති නිසා තමන්ට ආණ්ඩුව භාරදිය යුතු යැයි ගෝඨාට රනිල් කීය. එහෙත් ඊට පෙර මහ මැතිවරණයට ගොස් නැවුම් ජනවරමක් ලබාගැනීම වැදගත් නැත්දැයි ගෝඨා රනිල්ගෙන් විමසුවේ ඒ සමඟය. එවිට රනිල් පැවසුවේ “මම ජනබලය මැතිසබා බලය පෙන්වලා ඉවරයි. ඒ නිසා දැන් නැවුම් ජනවරමක් ගන්න ඕන ජනාධිපතිතුමයි. ඔයාල කැමැති නම් අපි ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි දෙකම එකට තියමු. ඒ ඡන්ද දෙකටම අපි සූදානම්” යනුවෙනි. එහෙත් දෙදෙනාගේ දේශපාලන යෝජනා ප්‍රතිවිරුද්ධ තත්ත්වයක තිබුණ නිසා ඒ කතාබහ එතරම් දුරදිග ගියේ නැත.
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර