එ.ජා.ප.ය නැවතත් ජාතික රජයකට සැරසෙයි.
ජනපති නිවාඩුවට තායිලන්තයට
රාජ්‍ය බැංකු අයිතිය රවිටද? මංගලටද?
මහින්ද ලබන සතියේ විපක්ෂනායක පදවියේ වැඩ අරඹයි
පොහොට්ටුව සමඟ එක්වනවාට ශ්‍රී.ල.නි.ප. සංවිධායක පිරිසකගේ විරෝධය
කට වරද්දාගත් තිදෙනෙක් රහසේ ජනපතිට කනගාටුව පළ කරති
දේශපාලන කුණාටු සමය හමාරවී සන්සුන් නිවාඩුවක් ආරම්භ වී තිබේ. ලබන මස දෙවැනි සතිය දක්වා මැතිසබය කල්ගොස් ඇති බැවින් මැති ඇමැතිවරු බොහොමයක් නිවාඩු කාලය සඳහා විදේශගතව සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පස්දින පෞද්ගලික සංචාරයක් සඳහා සිය පවුලේ සාමාජිකයන්ද සමඟ තායිලන්තය බලා පිටත්ව ගියේය. එම නිසා මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම කල්ගිය අතර 2019 ජනවාරි 02දා නව වසර වෙනුවෙන් පැවැත්වෙන මුල්ම අමාත්‍ය මණ්ඩල හමුව සිදුවන බව ප්‍රකාශිතය.
ජනපතිවරයා විදේශගතව සිටින නිසා අමාත්‍ය මණ්ඩලයේ විෂය කාර්යයන්ට අදාළ ගැසට්පත්‍රය ප්‍රකාශයට පත්කර නැත. එය ජනාධිපතිවරයාගේ පෞද්ගලික අනුමැතියකින් තොරව නිකුත් නොකරන ලෙස ඔහු සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇතැයිද සඳහන්ය. විශේෂයෙන්ම පසුගිය වාරයට වඩා රාජ්‍ය ආයතන කිහිපයක් ජනාධිපතිවරයා භාරයේ තබාගන්නට ඔහු තීන්දු කර ඇතැයි දැනගන්නට තිබේ. රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක්, රජයේ මුද්‍රණාලය, පොලිස් දෙපාර්තමේන්තුව මෙසේ ජනපති භාරයට පත්වීමට ඉඩ ඇති ආයතන බව නිලනොවන ආරංචි මාර්ග කියයි.
එ.ජා.ප.යෙන් විදුලිබල හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වීම් ලද රවි කරුණානායක මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර මතගැටුමක් නැවතත් හටගෙන ඇතැයි වාර්තා වේ. ඒ රාජ්‍ය බැංකුවල අයිතිය සම්බන්ධයෙනි. රාජ්‍ය බැංකු ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට යටත්කොට රවිට පවරන ලෙස ඔහු ඉල්ලා ඇති අතර, මංගල පවසන්නේ රාජ්‍ය බැංකු දීර්ඝ කාලයක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවති බැවින් ඒවා තමන්ගේ විෂයපථයට අයත් විය යුතු වගය. මේ මතගැටුම දැන් රජය අභ්‍යන්තරයේ ලොකු සටනක් බවට පත්ව ඇතැයි එ.ජා.ප. ආරංචි මාර්ග කියයි. මෙකී ගැටලුව දැන් ජනාධිපතිවරයා දක්වා ගොස් ඇත. ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවරන්නේ කාටද යන්න ගැනත් තමන් තීන්දුවක් ගන්නා බව ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.
පසුගිය කාලයේ ජනාධිපතිවරයා විවේචනය කිරීම නිසා සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය පදවියක් ලබාදීම ජනපතිවරයා ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ස්ථාවරය වූයේ ෆොන්සේකාට තනතුරක් ලබාදෙන්නට නම් ඔහු තමන් කළ කතා සම්බන්ධයෙන් තමන්ගෙන් සමාව ගත යුතු බවය. එහෙත් ෆීල්ඩ්මාර්ෂල්වරයා ජනාධිපතිවරයාගේ යෝජනාව තරයේම ප්‍රතික්ෂේප කළේය. ඔහු මාධ්‍ය හමුවේ කියා තිබුණේ පසුගිය රජය කාලයේ තමන් සිරගත කළ අවස්ථාවේද සිරෙන් නිදහස ලබාගන්නට නම් හිටපු පාලකයාගෙන් සමාව ඉල්ලා සිටින්නැයි යෝජනා කළ නමුත් තමා හිරේ හිටියා මිස සමාව ගත්තේ නැති බවය. මෙවරද ඒ ස්ථාවරය එසේම යැයි කී හෙතෙම තමන් කී දෙයක් නැවත ඉල්ලා අස්කර ගන්නේ හෝ සමාව ගන්නේ නැතැයි ප්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකා මහතා එසේ කීවද එ.ජා.ප.යේ සිටිමින් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළ තිදෙනෙක් වාර තුනකට පෞද්ගලිකව පැමිණ පසුගිය කාලයේ තමන් කී කතා සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කොට ජනාධිපතිවරයා සමඟ සුහදතාව ඇතිකරගත් බව වාර්තා විය. තමන් ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ලෙස පිළිගන්නා බවත් සිතාමතා ඔහුව අපහාසයට ලක් නොකළ බවත් මොවුන් කියා තිබිණි. සිතා හෝ නොසිතා මේ අය කළ කතා තමන් දුටු බව එහිදී පවසා ඇති ජනාධිපතිවරයා පසුව ඔවුන් සමඟ සුහදව කතා කර ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.
එක්සත් ජාතික පක්ෂය මේ දිනවල මහන්සි වන්නේ දෙමළ ජාතික සන්ධාන සහාය නොමැතිව මැතිසබයේ 113 දෙනාගේ බලය රඳවා ගැනීමටය. එහෙත් ශ්‍රී.ල.නි.ප.යෙන් එ.ජා.ප. ආණ්ඩුවට පනින කිසිවකුට තනතුරු ලබා නොදෙන බව පැවසූ ජනපති ෆවුසි, පියසේන ගමගේ හා මනුෂ නානායක්කාරට ඇමැති තනතුරු නොදී ඔවුන්ගේ නම් කැබිනට් නාමලේඛනයෙන් කපා දැමීය. ඔවුන් ශ්‍රී.ල.නි.ප. සාමාජිකත්වයේ සිටින තාක් කල් ඒ අයට ඇමැති තනතුරු නිර්දේශ කිරීමට එ.ජා.ප.යට කිසිදු බලයක් නැත යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව කියැවිණි. කෙසේ හෝ 113 දෙනාගේ බලය තහවුරු කරගත නොහැකි නම් විපක්ෂය නගන යූ.ඇන්.පී. - ටී.එන්.ඒ. ආණ්ඩුව යන චෝදනාවෙන් නිදහස් වීමට කඩිනම් මහ ඡන්දයකට යා යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් රැසකගේ මතය වී ඇත. එ.ජා. පාක්ෂිකයන්ගේ උනන්දුව දැල්වී ඇති මොහොතක ඡන්දයට යාම වාසිසහගත බව ඔවුන්ගේ මතයයි. රනිල් වික්‍රමසිංහ මහතාද ඒ බව ගාලු මුවදොර රැලියේදී ප්‍රකාශ කර තිබිණි. නමුත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන සජිත් ප්‍රේමදාස මහතා සහ එ.ජා. පෙරමුණේ ප්‍රධානීන් වන චම්පික රණවක, රාජිත සේනාරත්න ආදීන් හදිසි ඡන්දයකට එකඟ නැත. ඔවුන් ප්‍රකාශ කරන්නේ ජනතාවට අයවැයෙන් සහන ලබාදී රජයේ ඉදිරි වැඩ කටයුතු අරඹා ඡන්දයකට යාම වඩාත් සුදුසු බවය. නමුත් එ.ජා.ප.ය සමඟ සිටින මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ගේ මතයද කඩිනමින් ඡන්දයකට යා යුතු වගය. විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ජ.වි.පෙ. නායක අනුර දිසානායකද හදිසි ඡන්දයකට එකඟ නායකයෙකි. මේ අය පවසන්නේ ආණ්ඩුවට බහුතරයක් නැතිනම්, ජනපති හා ආණ්ඩුව අතර කඹ ඇදිලි පවතී නම්, කළ යුත්තේ වහා ඡන්දයකට යාම බවය. එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවරදී කීවේ මෙවර අයවැයෙන් ජනතාව නොසිතූ සහන ඔවුන්ට ලබාදෙන බවය. රජය ස්ථාවර බවත් අස්ථාවර යැයි කියන්නේ ඇතැම් මාධ්‍ය පමණක් වගත් කිරිඇල්ල සඳහන් කර තිබිණි.
පසුගිය එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රනිල් වික්‍රමසිංහ මහතා 2019 වසර සඳහාත් පක්ෂ නායකත්වයට තෝරාගනු ලැබීය. 2019 ජනාධිපතිවරණය පැවැත්වෙන වර්ෂයයි. එ.ජා.ප. කෘත්‍යාධිකාරියේ තීන්දුවෙන් පැහැදිලි වන්නේ 2019 ජනාධිපති අපේක්ෂකත්වයට එ.ජා.ප.ය ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවය. නමුත් එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් තිරය පිටුපස සිට කියා සිටින්නේ අපි අලුත් අපේක්ෂකයෙක් ගේනවා යනුවෙනි. ඔවුන් ගෙන එන්නට උත්සාහ කරන්නේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා විය හැකි බවටද ඉඟි පළව තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නව වසරේ දේශපාලන කාරණා ගණනාවක් උදෙසා සැලසුම් සකස් කරමින් සිටී. “යූ.ඇන්.පී. - ටී.එන්.ඒ. ආණ්ඩුව පරදවමු” තේමාවෙන් දීපව්‍යාප්ත ජනහමු මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරේ. ඒ අතර සතිපතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන රටට අහිතකර යැයි තමන් කල්පනා කරන කැබිනට් පත්‍රිකා ගැන ජනතාව දැනුවත් කිරීම ඊළඟ සැලසුමය.
පොහොට්ටුව හා ශ්‍රී.ල.නි.ප.ය ඉදිරි මැතිවරණවලට එකම සන්ධානයකින් තරග කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේ ප්‍රකාශ කළේය. ඊට විරුද්ධවන්නන් වෙතොත් ඔවුන් ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුරවලින් ඉවත් කර දමන බවද ඔහු ප්‍රකාශ කළේය. පසුගිය නත්තල්දාට පෙරදා පැවති ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. කවර තත්ත්වයක් යටතේවත් එ.ජා.ප.ය ශක්තිමත් කරන්නට තම පක්ෂය අදහස් නොකරන අතර එවැන්නක් අවශ්‍ය සංවිධායකවරයකු සිටින්නේ නම් ඔහු හෝ ඇය පක්ෂයෙන් ඉවත්ව ඒ කටයුත්ත කළාට කමක් නැතැයිද පැවසීය. මෙහිදී දුමින්ද දිසානායක ජාතික සංවිධායකවරයාට හිතවත් සංවිධායක පිරිසක් ජනපතිගේ යෝජනාවට දැඩි ලෙස විරෝධය පළකරමින් අදහස් දැක්වූහ. ඔවුන්ගේ මතය වූයේ රටේ දැවැන්ත පක්ෂයක් වන ශ්‍රී.ල.නි.ප.ය තනිව දේශපාලන ගමනක් යා යුතු වගය. මෙම සංවිධායක පිරිස පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ගණනාවකටද තමන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා ස්වකීය ස්ථාවරය කිසි ලෙසකින් හෝ වෙනස් නොකරන බව සඳහන් කිරීම නිසා සංවිධායක හමුව කළින්ම අවසන් විය.
රජයේ අමාත්‍ය මණ්ඩලයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඇතුළත්ව 30 දෙනකුගෙන් සමන්විත වන නිසා ඒ දෙදෙනාට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරැන් දෙදෙනකු පත්කළ හැකි බවට ඇතැම් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ පසුගිය දිනවල ප්‍රකාශ කළහ. එවිට ජනපති හා අගමැතිද සමඟ කැබිනට්ටුව 32ක් බවට පත්වෙයි. ඊට නීතිමය අවකාශයක් තිබේද යන්න නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි පසුගිය දිනවල වාර්තා විය. එහෙත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව නිහඬ ස්ථාවරයක් අනුගමනය කරන වගය. මේ ගැන නිලවශයෙන් නීතිපතිගෙන් උපදෙස් පැතීමක් කර ඇතිද නැතිද යන්න පවා තමන් නොදන්නා බව නීතිපති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යන නමින් එ.ජා.ප.ය පුළුල් ජාතික සන්ධානයකට සූදානම් වන්නේ 2019 පැවැත්වෙන ඡන්ද ඉලක්ක කරගනිමිනි. දැනටමත් පක්ෂය සමඟ හවුල් වී සිටින දේශපාලන පක්ෂවලට අමතරව තවත් පක්ෂ හා සිවිල් සංවිධාන ගණනාවක් නව සන්ධානයට එක්කර ගන්නා බව එ.ජා. පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෝ පවසති. දෙමළ ජාතික සන්ධානයද ඊට හවුල් කරගත යුතු බවට ඇතැමුන් යෝජනා කර ඇතත් බහුතරයක් ඊට එකඟ නැති බවද කියැවේ. දෙමළ ජාතික සන්ධානයද එම යෝජනාවට ඒ හැටි කැමැත්තක් දක්වා නැත. ඔවුන් දැනටත් ප්‍රකාශ කරන්නේ අගමැති ධුරය ලබාගන්නට රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදුන්නද මින් ඉදිරියට තමන් මැතිසබයට ඉදිරිපත් වන යෝජනාවෙන් යෝජනා වෙන වෙනම සලකා බලා අවශ්‍ය දේශපාලන තීන්දු ගන්නා වගය.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ලෙස කතානායකවරයා නම් කළත් හිටපු විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා විපක්ෂනායක කාර්යාලයෙන් ඉවත් නොවීම නිසා රාජපක්ෂ මහතාට රාජකාරි ආරම්භ කිරීම ජනවාරිය දක්වා කල් තබන්නට සිදුවිය. ඒ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මහින්ද විපක්ෂනායක ලෙස නොපිළිගන්නා ලෙස ඉල්ලමින් එ.ජා. සංවිධානයටත් යුරෝපා සංගමයටත් සංදේශ යවා ඇතැයි කියැවේ. ඔහුගේ පක්ෂයේ නායකයා තවමත් රජයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා වන බැවින් රාජපක්ෂ මහතාට විපක්ෂනායක පදවිය දැරීමට හැකියාවක් නැතැයිද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී දැනුම් දී ඇතැයි වාර්තා වී ඇත.
උතුරු පළාතේ ජනතාව අධික ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටිති. දස දහස් ගණනක් උතුරේ ජනතාව මෙලෙස විපතට පත්ව සිටීම ගැන විදේශගත වීමට පෙර සොයා බැලූ ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට නියම කළේ අවශ්‍ය සහන වහා සලසන ලෙසය. ඒ අතර අග්‍රාමාත්‍යවරයාද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධරයන්ට උතුරේ ජනයාට සහන ලබාදෙන ලෙස දැන්වීය. මෙම විපතේදී උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ඔහුගේ දේශපාලන සගයන් දිගින් දිගටම ජනසහන කටයුතුවල නිරත වූ අතර උතුරට ආධාර එවන්නැයි ඔහු මුළු ජනතාවගෙන්ම ඉල්ලීමක් කර තිබිණි. හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුලතිව් හා කිලිනොච්චිය ප්‍රදේශයට ගියේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. නාමල් මෙහි අවතැන් ජනතාව වෙසෙන කඳවුරු ගණනාවකට ගොස් රෙදිපිළි, වියළි ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කළේය. එසේම අවතැන් ජනයාට සහන සැලසීම ගැනත් ඔවුන්ට බලපාන ප්‍රශ්න ගැනත් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාද වව්නියාව හා කිලිනොච්චි ප්‍රදේශවල අවතැන් ජනයාගේ සුවදුක් විමසීම සඳහා උතුරට පැමිණියේය. ඔහුද දිසාපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන් සමඟ සාකච්ඡා කොට ජනසහන කටයුතු වේගවත් කරන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා විය.
අලුතින් පත්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරැණානායක මහතා විදුලිබල මණ්ඩල සභාපති ධුරය සඳහා මෙරට සිටින ඉහළම පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතාට ආරාධනා කළ බව වාර්තා විය. ධම්මික රවිගේ නව පදවියට සුබ පතන්නට කතා කළ මොහොතේ එම ආරාධනය කළ බවද දැනගන්නට ලැබිණි. විදුලිබල මණ්ඩලය බාරගන්නා ලෙස ධම්මිකගෙන් රවි ඉල්ලීමක් කළද එම ඉල්ලීම ඒ මොහොතේම ධම්මික පෙරේරා විසින් ප්‍රතික්ෂේප කළ බව පොලිටිකල් රහස් තීරයට වාර්තා වෙයි. ධම්මික එම තනතුර ප්‍රතික්ෂේප කළ නිසා රවි කරුණානායක අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතාටම තවදුරටත් එම තනතුර දරන්නැයි ආරාධනා කර ඇති බව කියැවේ.
එ.ජා.ප.යේ පසුපෙළ තරැණ මන්ත්‍රීන් ගණනාවකට අඩුම තරමේ නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ ලබාදෙන ලෙස පක්ෂ නායකත්වය වෙත ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි සමාජ ජාලා වෙබ්අඩවි ගණනාවක් වාර්තා කළේය. හර්ෂණ රාජකරුණා, එස්.එම්. මරික්කාර්, ආශු මාරසිංහ සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇතිබව දැනගන්නට තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ලංකාවට පැමිණි පසු ජනවාරි මස මුල් සතියේ රජයේ ඉතිරි නියෝජ්‍ය අමාත්‍ය පදවිවල පුරප්පාඩු පිරවීමට නියමිතය. එහිදී තරුණ මන්ත්‍රී පිරිසට අවස්ථාවක් ලබාදෙන ලෙස යට කී ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි.
ඉදිරි වසර සඳහා අයවැය සැකසීම මුදල් අමාත්‍යාංශය විසින් ලහිලහියේ ආරම්භ කළ යුතු වුවත් මේ වනතෙක් අමාත්‍යාංශයට ලේකම්වරයකු පත්කර නැත. වසර 15කට අධික කාලයක් මුදල් අමාත්‍යාංශයේ අයවැය සැකසුමේ ප්‍රධාන භූමිකාව ඉටුකළ හිටපු මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා නැවතත් මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කරන ලෙස ජනාධිපතිවරයා නියම කළත් ආටිගල මහතා එම තනතුර බාරගැනීමට අකැමැත්ත පළ කළේය. ඔහු මුදල් අමාත්‍යාංශයේ සේවය කළේ ද්විතීයනය පදනම මතයි. එබැවින් තමන් මහ බැංකුවේ හිමි නිල තනතුර වන නියෝජ්‍ය මහ බැංකු අධිපති ධුරය බාරගන්නට මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්ව යන බව ආටිගල මහතා ප්‍රකාශ කර තිබේ. එහෙත් තවමත් මුදල් අමාත්‍යාංශයට ජනාධිපතිවරයා විසින් ලේකම්වරයකු පත් නොකිරීම හේතුවෙන් අයවැය සැකසුම ප්‍රමාද වෙමින් පවත්නා බව දැනගන්නට ඇත.
ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යළි ආරම්භ කළ ගම්පෙරළිය වැඩසටහනට හෝ එක් මන්ත්‍රී ආයතනයකට රුපියල් කෝටි 30ක පමණ සංවර්ධන අරමුදල් සපයන ලෙසයි. මෙලෙස දිවයිනේ මැතිවරණ කොට්ඨාස 196 සඳහා සංවර්ධන අරමුදල් වෙන්කරන ලෙස මුදල් අමාත්‍යවරයාට දැනටමත් අගමැතිවරයා උපදෙස් දී ඇත. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ මාස 2කට ආසන්න කාලය තුළ ගම්පෙරළිය වැඩසටහන නවතා දමා තිබුණි. එනිසා ගම්පෙරළියට වෙන්කළ මුදල් නැවතත් මහා භාණ්ඩාගාරයට කැඳවූ බවද සඳහන් විය. කෙසේ හෝ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ නිදහස් ලංකාවේ පත්වූ කිසිම රජයක් ග්‍රාමීය සංවර්ධනය සඳහා වෙන් නොකළ තරමේ මුදලක් වත්මන් රජය ගම්පෙරළියට ලබාදුන් බවයි. අයවැය එනතුරු අතුරුසම්මත ගිණුම මගින් ඊට අදාළ මුදල් සපයන බවද මංගල සඳහන් කර තිබිණි.
2018 වසරේ ගෙවී ගිය පෙරළිකාර දේශපාලන ක්‍රියාවන් හමාර වී 2019 නැවතත් මැතිසබය ආරම්භ වන්නේ ජනවාරි මස දෙවැනි සතියේය. නව වසරේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ එ.ජා.ප.ය මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අල්සහීර් මවුලානා මහතා සමඟ ගිවිසුමකට එළැඹී අලුතින් ජාතික රජයක් ආරම්භ කළ හැකිදැයි උත්සාහ කර බලනු ඇතිබව සඳහන්ය. යම්හෙයකින් එලෙස ජාතික රජයක් ඇතිකර ගතහොත් කැබිනට් අමාත්‍ය ධුර ගණන පෙර පරිදිම 45කට පමණ ඉහළ නංවාගත හැකිවනු ඇත. එහෙත් එක් මන්ත්‍රීවරයකු පමණක් බඳවාගෙන ජාතික රජයක් සෑදීම ගැන පොහොට්ටුව කණ්ඩායම මෙන්ම ජ.වි.පෙ. ද මේ වනවිටත් විරෝධය පළකර ඇත.
►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර