“ද්විත්ව පුරවැසිභාවය කෙනකුගේ පෞද්ගලික දෙයක්. අවශ්‍ය නම් ඒක මට ඉවත් කරගන්නත් පුළුවන්. නැත්නම් තියාගන්නත් පුළුවන්. ඒක අනෙක් අයට ප්‍රශ්නයක් නොවෙයි. කිසිම පුද්ගලයකුව බලෙන් අල්ලලා තියාගන්න බෑ. අමෙරිකාව කියන්නෙ තමන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පියා කියලයි. ඉතිං ඒ අය කෙනකුගේ පෞද්ගලික අයිතියට බාධා කරයිද මොනම හේතුවකටවත්. ඒ අයට බෑ.”
මේ කතාව පසුගිය බ්‍රහස්පතින්දා (17) මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ ප්‍රකාශ කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. විශේෂ මහාධිකරණ උසාවි භූමියේදී අධිකරණ කටයුතු අවසන් වී එළියට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන්ට ගෝඨාභයගෙන් අසන්නට තිබුණු වැදගත්ම ප්‍රශ්නය එය බව පෙනුණි. අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තාද යන ප්‍රශ්නයත් එය ඉවත්කර ගැනුමට ඉඩ නොදෙනු ඇති බවට ප්‍රචාරය වන වාර්තා ගැනත් මාධ්‍යවේදීන් කළ විමසීමට ඔහුගේ පිළිතුර එය විය. ඊළඟට ඔවුන් ඇසුවේ ජනාධිපතිවරණයට තරග කරනවාද යන්නයි. “මම සූදානම් කියලා දැනටමත් කියලනේ තියෙන්නේ.” ඔහුගේ පිළිතුර විය.
ගෝඨාභය මේ දවස්වල දේශපාලන කරළියේ චරිතය බවට පත්ව සිටී. අමෙරිකාවේ මාසයකට ආසන්න කාලයක් (දෙසැම්බර් 12 වැනිදා සිට ජනවාරි 11 දක්වා) රැඳී සිටි ගෝඨාභය පැමිණි වහාම පැවැති “වියත් මග* රැස්වීමේදී ප්‍රකාශ කළේ “ඔබලා සූදානම් නම් මමත් සූදානම්” යනුවෙනි. මේ සූදානම කුමක්ද? මේ වසර තුළදී නියත වශයෙන්ම පැවැත්විය යුතු ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වීමය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) එජනිසත් එකතු වී සෑදීමට නියමිත බව පැවසෙන පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය වීමට හොඳටම ඉඩ තිබෙන බව මේ මුළු කතාවේම සාරාංශයයි.
ඒ කොහොම වුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) ජනාධිපති අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන වන බවට එජනිස බලවත් දේශපාලනඥයන් දෙදෙනකු වන මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශය තවම ඉවත් කරගෙන නැත. මේ හේතුවෙන් එජනිස සහ පොහොට්ටුව අතර ඇතිවීමට නියමිත පුළුල් දේශපාලන සංධානය පිළිබඳ මතභේද හටගනිමින් තිබේ. එජනිස කියන්නේ තමන්ගේ සන්ධානය යූ.එන්.පී. ප්‍රමුඛ දේශපාලන බලවේගයේ ප්‍රතිවාදියා බවය. පොහොට්ටුව එසේ කියන්නේ නැත. එහෙත් පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් කියා ඇත්තේ මේ වසර අවසන් වීමට පෙර පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු බිහිවන බවය. ගෝඨාභය අද හෙට පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනු ඇතැයි ප්‍රකාශ වූයේද ඒ අතරේය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පුළුල් සන්ධානයකින් යුතුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. එසේ වුවත් පොහොට්ටු නායකයන් හෝ මහින්දට සහාය දක්වන එජනිස මන්ත්‍රී කණ්ඩායම හෝ මෛත්‍රීපාල මහතාට කිසිම සහායක් දක්වන බවක් පෙනෙන්නට නැත. පොහොට්ටුවේ ප්‍රබල කථිකයන් දෙදෙනකු වන කාන්චන විජේසේකර සහ රොෂාන් රණසිංහ ප්‍රසිද්ධියේම කියා තිබුණේ මෛත්‍රීපාල මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට විරුද්ධ බවය. මේ හේතුවෙන් ජනාධිපතිවරණයේදී පොහොට්ටුව නම් කරන අපේක්ෂකයාට සහාය දක්වනවා හැරෙන්නට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහ ඔහුට සහාය දක්වන සෙසු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ගතහැකි වෙනත් ක්‍රියාමාර්ගයක් නැත. සමහරවිට ජනාධිපතිවරයා දිගටම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන තදින්ම ප්‍රකාශ කරන්නේ මේ නිසා විය හැකිය. පළාත් සභා ඡන්දය පවත්වා ගැනීමට හැකිවූවොත් එජනිස සහ පොහොට්ටු පාක්ෂිකයන් අතරට ගොස් ඡන්ද වේදිකාවේදී ඔවුන්ගේ අවධානය දිනාගැනීමට ඔහුට කදිම අවස්ථාවක් ලැබෙයි. මහින්දලා සමඟ වඩාත් කිට්ටු සබඳතාවක් ඇතිකර ගැනීමටත් යූ.එන්.පී.යට හතර අතින්ම නෙළීමටත් එය අවස්ථාවක් කරගැනීමට ද ජනාධිපතිවරයාට හැකිය. එහෙත් පළාත් සභා ඡන්දය පැවැත්වීම යථාර්ථයක් වෙයිද?
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නම් පසුගිය බ්‍රහස්පතින්දා (17) මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේ ජනතාවගේ ඡන්ද අයිතිය නැතිවීම ගැන ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ඡන්ද බලය වෙනුවෙන් පෙනී සිටින කෙනකු විදියට තමා හදවතින්ම කනගාටු වන බවය. පළාත් සභා මැතිවරණය නමැති ගැටය ලිහිය හැක්කේ පාර්ලිමේන්තුවට බවද ඒ ගැටය කැඩිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවද ඔහු කියා තිබිණි. එජනිස නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍ය හමුවූ අවස්ථාවේදී ඔහු පළකළ මේ අදහස තුළ ඇත්තේ පළාත් සභා ඡන්දය දැන්ම නොපැවැත්වෙන බවට වන ප්‍රබල ඉඟියක් බව පැහැදිලිය. කොටින්ම ආණ්ඩුවට සැබෑ උවමනාවක් නැත්නම් පළාත් සභා ඡන්දය තවදුරටත් කල්යාම ස්ථිරය.
මේ පසුබිමේ කියැවෙන ඇත්ත කතාව නම් සෑම දේශපාලන පක්ෂයකටම ජනාධිපතිවරණයට මේ වසර තුළදී මුහුණදීමට සිදුවන පළමු මැතිවරණය වීමට ලොකු ඉඩක් ඇති බවය. එසේ නම් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කළේ සැලැස්මක් ඇතුවද? එය එසේ වීමට බොහෝදුරට ඉඩ ඇත්තේ කාරණා කිහිපයක් හේතුවෙනි.
මහින්ද විපක්ෂනායක ධූරයේ වැඩ බාරගැනීම පසුගිය සිකුරාදාට (18) යෙදී තිබීම එක් හේතුවකි. මෙවැනි අවස්ථාවක තිබෙන දේශපාලන වටිනාකම මහින්ද තරම් හොඳට දන්නා වෙනත් විපක්ෂ නායකයකු නම් නැත. ගෝඨාභය තමන්ගේ අභිලාෂය ප්‍රකාශ කර සතියකට පසුව මාධ්‍ය හමුවකදී ඒ ගැන අදහස් පළකිරීමට මහින්ද අවස්ථාවක් හිමිවිය. එහෙත් එතැනදී ගෝඨාභය සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරණය ඇතුළු වෙනත් මැතිවරණ සම්බන්ධයෙන් හෝ මහින්ද කතා නොකිරීම කැපී පෙනිණි.
ගෝඨාභයගේ ප්‍රකාශය රටේ බහුතරයකට අලුත් ආරංචියකට වඩා ඔවුන් තුළ තිබූ අදහස සනාථ වීමත් හැටියට හැඳින්විය හැකිය. එය නිල වශයෙන් සිදුවූ ප්‍රකාශයක් නුවූවද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ වැඩිදුර කතාවලට නැංගුරමක් දැමීමට හේතුවූ බව පෙනෙන්නට තිබේ. එය හොඳින්ම පෙනෙන්නේ ජනාධිපතිවරයාට සහාය දක්වන ශ්‍රීලනිප පිරිසේ කිසිවකුත් ගොඨාභයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළකිරීමෙන් වැළකී සිටීමය. එපමණක් නොව මේ ඇතැම් දෙනකු තමන් කලින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. එය පසුගිය බ්‍රහස්පතින්දා (17) පුංචි බොරැල්ලේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවෙසේ පිහිටි මාධ්‍ය හමුවකදී පැහැදිලි විය.
එහිදී කතා කළ මහින්ද - මෛත්‍රී දීගයේ ප්‍රධාන “කපුවා” බව කියන එස්.බී. කිව්වේ ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය පක්ෂ නායකයන් එක්වී ගන්නා තුරැ සෙසු පිරිස් ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවය. ඉදිරිපත් වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාද මහින්ද රාජපක්ෂ මහතාද, ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ චමල් රාජපක්ෂ මහතාද යන්න වැදගත් නැතැයි ද ඉදිරිපත් වන අපේක්ෂකයා සමඟ ඉදිරියට යායුතු යැයි එස්.බී. කිව්වේය. ශ්‍රීලනිපයේ පිරිසක් දිනපතා උදේ සිට රෑ වනතුරු අපේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී බව ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරැන් කලබල වී ආරවුලක් ඇතිවීම පමණක් බවද ඔහු කියා තිබිණි. මෙහිදී එස්.බී. පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන් “ෂේප්” කරගැනීමේ න්‍යාය භාවිතා කළ බවද පෙනෙන්නට තිබුණේය. ගොඩනැගීමට යන පුළුල් සන්ධානය හදාගැනීම අමාරු වැඩක් බවත් ඔහුගේ කතාවල සඳහන් විය.
මේ සියලු කතාබහ මැද පොහොට්ටුවේ නායකයන් ද ගෝඨාභයගේ අභිලාෂය ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින බව පෙනේ. එහෙත් පොහොට්ටුවට සහාය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගණනාවක් කියා තිබුණේ ගෝඨාභය මහතා තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා වන්නේ නම් තමන් සියලුදෙනා ඔහුට සහාය පළකරන බවය.
කෙසේ වුවද ගෝඨාභයට හරස් වන තවත් කාරණා ගණනාවක් ද වෙයි. තම අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබේද යන ප්‍රශ්නයට ඔහු කෙළින්ම පිළිතුරක් ලබා නුදුන් බව පැහැදිලිය. පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාළ ලියකියැවිලි සියල්ල භාරදී ඇති බවද එය ඒ ආකාරයට සිදුව ඇති බවට විශ්වාසය පළ කෙරැණත් ඔහුට විරුද්ධ දේශපාලන කරළියේ කතාබහ වන්නේ ගෝඨාභයට අවශ්‍ය වූ පමණින් අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම අසීරැ බවය. ඇතැම් විට ඒ සඳහා මාස ගණනාවක් ගතවනු ඇති බවද ඔවුහු කියති. ගෝඨාභය එදා විශේෂ මහාධිකරණ භූමියේදී එම කතාවලට පිළිතුරැ දීමට නොගියද එය ලොකු ප්‍රශ්නයක් හැටියට සැලකූ බවක් පෙන්නුවේ නැත.
මේ අතර තවත් පිරිසකගේ මතය වී ඇත්තේ ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දයක් ඉදිරියට ගැනීමට කටයුතු කරද්දී ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම් කතාවක් කියන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක වන නඩු විභාග හේතුවෙන් බවය. රජය මගින් පිහිටවූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගෝඨාභය ඇතුළු හත්දෙනකුට එරෙහිව පවරා ඇති ඩී.ඒ. රාජපක්ෂ ස්මාරක නඩුව ලබන 22 වැනිදා සිට එක දිගට විභාගයට ගැනීමට තීරණය කර තිබේ. එම ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි 03කට අධික මුදලක් අවභාවිත කර ඇතැයි එම නඩුව පවරා තිබේ. මේ හැර ඉදිරියේදී තවත් නඩු ගණනාවක කටයුතු ඇරුඹෙනු ඇති බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිවලට දැනගැනීමට තිබේ. මේ සම්බන්ධව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර සාකච්ඡා වුණාදැයි දැනගන්නට නැත.
මේ සමඟ පෙනෙන්නට තිබෙන්නේ ජනාධිපතිවරයාත් අගමැති ප්‍රමුඛ රජයත් අතර පවතින විරසකභාවය දිගින් දිගටම පවතින බවය. රාජ්‍ය ආයතනවලට ලොක්කන් පත්කිරීමේ ක්‍රමවේදය ජනාධිපතිගේ අතට ගැනීම යූ.එන්.පී. ඇමැතිවරැන්ගේ බලවත් අකැමැත්තට හේතුවී තිබේ. ඒ අතර යූ.එන්.පී. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ උදහසට ලක්වී සිටින ඇමැතිවරැන් කිහිපදෙනකුට එහි බලපෑමක් නොවීමද ඔවුන්ගේ කතාබහට ලක්වී තිබේ. එසේම කිරිඇල්ල ඇමැතිවරයාට විෂය පැවරීමේදී සිදුවූ බව කියන අසාධාරණයට තවම පිළියම් ලැබී නැත. යූ.එන්.පී ඇමැති කණ්ඩායම තුළ මතභේද ඇති කිරීමේ අරමුණින් මෙවැනි ඇතැම් පියවර ගන්නා බවට ඔවුන් තුළ බලවත් සැකයක් පහළ වෙමින් තිබේ. මෙහෙම යන්න බෑ යැයි පවසන යූ.එන්.පී. මැති ඇමැතිවරු විශාල පිරිසක් වෙති. තමන් මොන වැඩේ කළත් ජනාධිපතිවරයා තමන්ගේ කකුලෙන් ඇදීමට සූදානමින් සිටින බව ඔවුන්ගේ අදහස වී තිබේ. මේ තත්ත්වය ඇතිවූයේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමඟ එකතුවීමෙන් පසුව බව ඔවුන්ගේ මතයයි. එසේ නම් කළයුතු වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සම්මතයකින් මහමැතිවරණයකට යාමට කටයුතු කිරීමය. එහෙත් යූ.එන්.පී.ය තුළ ඊට සැබෑ සූදානමක් තිබේද යන්න ගැටලුවකි. එවැනි සූදානමක ආණ්ඩුව නොසිටින බව නම් පැහැදිලිය. විශේෂයෙන්ම අයවැය ගෙන ඒමට පෙර ඡන්දයක් ගැන තීන්දුවකට ආණ්ඩුව නොයනු ඇත.
එසේ නම් ආණ්ඩුව ද සියලු දේ කරන්නේ ජනාධිපතිවරණය දෙස බලාගෙන බව පෙනෙන්නට තිබේ. නව ව්‍යවස්ථාවකට අදාළ යෝජනා කඩිමුඩියේ ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන්නේද ඒ නිසා බවට මත පළවෙමින් තිබේ. ජනාධිපතිවරණයකදී සුළු ජාතික ඡන්දවලට තීරණාත්මක බලපෑමක් කළ හැකි වීම ඊට හේතුවය. උතුරේත් නැගෙනහිරත් පමණක් නොව කොළඹ ඇතුළු ප්‍රධාන නගර ගණනාවකම ඇති දමිළ ඡන්ද සහ මුස්ලිම් ඡන්ද මෙහිදී ප්‍රධානම සාධකයක් වනු ඇත. සුළු ජාතික ඡන්දවල බලපෑම එකහෙලා ප්‍රතික්ෂේප කොට දකුණේ ඡන්ද මත පමණක් බලාපොරොත්තු තැබීමට මහින්දලාටද හැකියාවක් නැත. එය බරපතළ අවදානමකි. 2015 දී සිදුවූයේ කුමක්ද යන්න මහින්ද හොඳින් ගණන් බලා ඇත්නම් එය අවබෝධ කර ගැනීම අපහසු නැත.
කෙසේ වුවද යූ.එන්.පී.යද සුළු ජාතික ඡන්ද පමණක් පදනම වශයෙන් සලකා ඡන්දෙට ගියොත් එයද ලොකු අවදානමකි. පසුගිය දේශපාලන අර්බුදයේදී යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව ලබාගත් ගැම්ම ආපසු හැරෙන්නට පෙර ආණ්ඩුව ඊළඟ පියවර තැබීම අවශ්‍යය. එහෙත් ආණ්ඩුවේ ගමන් මග ජනාධිපති හරහා වැටී තිබීම බරපතළ ගැටලු ඇති කරන බව පෙනේ. ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ දෙස සැලකිල්ලෙන් බැලුවොත් අරමුණු තේරුම් ගැනීම අපහසු නැත.
ජනාධිපති සිරිසේනත් හිටපු ජනපති මහින්දත් අතර ඇතිවූ දේශපාලන එක්වීම අගමැති රනිල්ටත් වඩා හානිකර ඇත්තේ ජනාධිපති සිරිසේනට බව මේ අනුව පෙනෙන්නට තිබේ. මහින්ද සහ ගෝඨාභය එකතු වී ගමනක් ගියොත් රනිල්ට නම් එය හොඳ සටනක් වනු ඇත. එහෙත් ජනාධිපතිවරයාට නම් තම දේශපාලනයේ හංස ගීතය වීමට හොඳටම ඉඩ තිබේ.
I ශශීන්ද්‍ර