මේ දවස්වල ලංකාවේ මාතෘකාව සේනා දළඹුවා බවට පත්ව තිබේ. ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධ කතාබහ ද මේ නිසා මදක් යටපත්ව ගොසිණි. සාමාන්‍යයෙන් මහජනතාව අතර පවතින ප්‍රශ්නයක් දේශපාලනඥයන් අතට පත්වී මැතිසබයේ මාතෘකාවක් බවට පත්වන විට එය ජනතාවගේ ප්‍රශ්නයක තත්ත්වයෙන් ජාතික ප්‍රශ්නයක මට්ටමට මාරැ වෙයි. සේනා දළඹු කතාව ද ඒ අනුව අද ජාතික ප්‍රශ්නයකි.
දළඹු ප්‍රශ්නය කොතරම් බරපතළ මට්ටමක පත්වී ඇතිදැයි කිවහොත් ජනාධිපතිවරයා පසුගිය සතියේ අදාළ නිලධාරීන් කැඳවා උපදෙස් ලබා දී තිබුණේ යුද්ධයක ආකාරයට සූදානම් වී සේනා දළඹුවා මර්දන කටයුතු ඇරුඹිය යුතු බවටය. ඒ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ද පිහිටුවා තිබෙන අතර නිශ්චිත කාල රාමුවක් තුළදී සේනා දළඹුවාගෙන් රටේ කෘෂිකර්මාන්තයට සිදුවන හානිය වළක්වා එම උවදුර මුළුමනින්ම පිටුදැකීමට කටයුතු කළ යුතු බව බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති කාර්ය සාධන බලකායට නිලධාරීන් පමණක් නොව මැති ඇමැතිවරැ ද ඇතුළත්ව සිටිති. සේනා දළඹු ප්‍රහාරයේ බරපතළකම එයින්ම මැන ගත හැකිය.
සේනා දළඹුවා සැලකෙන්නේ සම්පූර්ණයෙන් මර්දනය කිරීමට අපහසු අධික ලෙස බෝවෙන, ඉවරයක් නැති බඩගින්නකින් පෙළෙන සතකු වශයෙනි. රටට සිදුවී ඇති හානිය සහ ඉදිරියේදී සිදුවනු ඇති බවට ගණන් බලා ඇති හානිය සලකා බලන විට මේ අවස්ථාවේදී මෙකී දළඹුවාගේ ජාතකය සෙවීම වැදගත් නොවනු ඇතැයි කෙනකුට චෝදනා කළ හැකිය. නමුත් සතා හරියටම කර මුලින් අල්ලා සුන්නද්දූලි කර දැමීමට නම් උගේ ජාතකය සොයා ගැනීම ද වැදගත් බව කිය යුතුය. සතා විනාශ කළ හැකි රසායනිකයක් හෝ උගේ ජීවන චක්‍රයේ මැදට ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ එමගින් කිසියම් මගපෙන්වීමක් ලබාගත හැකි වීම ඊට හේතුවය. මේ සඳහා දේශපාලන තීන්දුවලට වඩා විද්‍යාඥයන්ගේ තීන්දුවලට මුල්තැනක් දීම අවශ්‍ය බව පෙන්වා දෙමු.
දැනට ප්‍රකාශ වන්නේ සේනා දළඹුවා ලංකාවට සංක්‍රමණය වූයේ ඊසාන දිගින් රට තුළට හමන සුළං ප්‍රවාහය ඇසුරින් විය හැකි බවය. දිනක් ඇතුළත කි. මීටර් 100ක් පමණ එක දිගට පියාඹා යා හැකි තරම් හැකියාවක් තිබෙන සලබයා සේනා දළඹුවාගේ ජාතකයේ ලොකු පුරුකක් බව සඳහන්ය. එවැනි සලබයන් කිහිපදෙනකුගෙන් මෙතරම් විනාශකාරී දළඹු හමුදාවක් බිහිවූ බව කියන්නේ එකී සලබයා වරකට බිත්තර 1500ක් පමණ දැමීම හේතුවෙන් බවය. මෙයද දින 07කදී සිදුවන බවත් කියති. ඒ අනුව සේනා දළඹුවා ගැන දැන හඳුනාගන්නා විට ඌ රටේ ප්‍රදේශ කිහිපයකටම හෙණයක් වී තිබීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ මේ කියන ආකාරයට හදිසියේම රට තුළට දළඹු සලබයන් සේනාවක්ම කඩා වැදුණේ කෙසේද කියන එකය. තවත් සමහරැන්ගේ මතය වරින් වර ලංකාවට ගෙනෙනා බඩඉරිඟු බීජ තොගයකින් දළඹුවා රටට පැමිණි බවය. කෘෂිකර්මාන්තයේ ඉහළ නිලධාරීහු නම් ඒ මතය එකහෙළා ප්‍රතික්ෂේප කරති. මුලින් උවදුර මර්දනය කටයුතු කළ යුතු බව සැබෑය. එහෙත් දළඹුවා මේ රටට ගෙන ඒමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කවුරැන් හෝ මූලික වූවානම් ඒ සම්බන්ධයෙන් වහාම සොයාබැලීම ද අවශ්‍ය බවත් කියමු. එය අනාගතයට වැදගත් වනු ඇත.
සේනා දළඹුවාගේ ආක්‍රමණයක් සිදුවිය හැකි බවට පසුගිය වසරේ මුල් කාලයේදී අනතුරැ ඇඟවීමක් කර තිබූ බවද සමහර බලධාරීහු කියති. එහෙත් දළඹුවා අම්පාර පැත්තේ බඩඉරිඟු වගාවට බැටේ දෙනතෙක් නිසි පරිදි ජනතාව දැනුවත් කිරීමට කිසිම පියවරක් නොගත් බව යථාර්ථයයි. දළඹු ආක්‍රමණය ගැන දැනගත් වහාම කෘෂිකර්ම අමාත්‍යංශය ඒ පිළිබඳ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළ බවත් දැන්වීම් පවා පළකරමින් දළඹුවන් සිටින ප්‍රදේශ ගැන තමන්ට දැනුම් දෙන්නැයි ඉල්ලා සිටි බවත් අපට මතකය. එහෙත් මෙහිදී නිලධාරීන්ට වඩා දළඹුවා ඉක්මන් වූ බව පෙනෙන්නට තිබේ.
මෙවැනි වසංගතයක් පැතිරෙන විට මුලින්ම කළ යුත්තේ අදාළ වගාව සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කිරීම බව ඇතැම් බෝග වගාකරැවන්ගේ මතයයි. ඒ හේතුවෙන් සිදුවන හානිය වෙනුවෙන් වගාකරැවන්ට රජය වන්දි ලබා දීම ද අවශ්‍යය. එහෙත් කුමක් හෝ ප්‍රශ්නයක් හේතුවෙන් මේ දේ සිදු කෙරැණේ නැත. දැනට තදින්ම ප්‍රහාරයට ලක්ව තිබෙන බඩඉරිඟු වගාවෙන් හානි වී තිබෙන්නේ සීයට 30ක් පමණක් බව ප්‍රකාශ කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ. අනෙක් අතට රජයේ නිලධාරීන් හෝ මැති ඇමැතිවරැන් හෝ මෙවැනි ව්‍යසනයකදී ලබා දෙන ගණන් හිලව් සම්බන්ධයෙන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැත. මේ කියන හානිය පමණක් සිදු වී තිබේ නම් ඉතිරි 70%ක බඩඉරිඟු අස්වැන්න බේරා ගැනීමට මෙතෙක් ගෙන ඇති පියවර ගැන දැන ගැනීමට ද රටේ ජනතාව කැමැත්තෙන් සිටින බවද සඳහන් කළ යුතුය.
සේනා දළඹුවා දැන් සෙසු වගාවන්වලට ද ව්‍යාප්ත වෙමින් සිටින බවද දැන ගන්නට තිබේ. එය තත්ත්වය තවත් භයානක අතට හැරෙන බවට පෙරනිමිත්තකි. එය මහා ජාතික ආපදාවක් බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට සේනා දළඹුවාට එරෙහිව වහාම යුද ප්‍රකාශ කළ යුතු තත්ත්වයක රට සිටින බව සඳහන් කරමු.