2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

මධූෂ් ඇල්ලූ පුවතින් කලබල වූවෝ

මාකඳුරේ මදූෂ් ඩුබායිවලදී අත්අඩංගුවට ගැනීමේ පුවත සුළු මොහොතකින් මෙරට බොහෝ බලධාරීන්ට දැනගන්නට හැකිව තිබිණි. මේ ආරංචිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන භාරව කටයුතු කරන ඉහළ පොලිස් නිලධාරීන්ගේත් දේශපාලන ක්ෂේත්‍රයේ බලවතුන් පිරිසකගේත් සතුටට හේතු වී තිබිණි. එහෙත් මේ ආරංචියත් සමඟ කලබල වූ පිරිසක්ද සිටින බවත් ඔවුන් අතර දේශපාලනඥයන් කිහිපදෙනකුද වන බවත් දැනගන්නට තිබේ.

පසුව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළිවූයේ මෙරට සිටින විවිධ තරාතිරමේ දේශපාලනඥයන් 80 දෙනකු මධූෂ් දැන හඳුනාගෙන සිටි බවය. ඒ අතර පාර්ලිමේන්තු මැති ඇමැතින් කිහිපදෙනකු සිටින බවද සඳහන්ය. කෙසේ වුවද දකුණේ ඇතැම් දේශපාලනඥයන් සඳහන් කළේ මධූෂ් තමන්ගේ දේශපාලන වැඩවලට සහාය ලබාදීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ පිරිස අතරේ එක් අයකු පමණක් බවය. ඔහු සමඟ දිගින් දිගටම තමන් සබඳතා නොපැවැත්වූ බවත් ඔවුන් තම සමීපතමයන්ට පවසන බවද දැනගන්නට තිබේ.

එහෙත් දේශපාලනඥයන් කිහිපදෙනකු මධූෂ් අත්අඩංගුවට පත්වීම පිළිබඳව සසල වී ඇති බවත් ඒ අතර පක්ෂ විපක්ෂ දෙපිරිසම සිටින බවත් කියැවෙයි. මධූෂ් ඩුබායි සිට මේ පිරිස සමඟ විවිධ පුද්ගලයන් සහ විවිධ මාර්ග හරහා සබඳතා දිගටම පවත්වාගෙන ගොස් තිබූ බවද ඩුබායි හෝටලයේ ඔහු පැවැත්වූ සුපිරි සාදයට ඇරියුම් ලබා එහි ගොස් සිටි කිහිපදෙනකු එවැනි පණිවුඩකරුවන් විය හැකි බවටද අනුමාන කෙරෙයි. ඉදිරියේදී සිදුකෙරෙන විමර්ශනවලදී ඒ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

කෙසේ වුවද මධූෂ් මෙතෙක් කාලයක් අතිනවීන ස්මාර්ට් දුරකතන භාවිත කරමින් ඩුබායි සිට මෙහෙයවූ කුඩු ජාවාරම්, මිනීමැරුම් ඇතුළු පාතාල ක්‍රියාවලට වැටක් බැඳී ඇති බවද සඳහන් වෙයි. එයට හේතුව ඔහු ඇතුළු සැකකරුවන් රඳවා සිටින්නේ ඩුබායිහි අතිවිශේෂ අධිආරක්ෂිත සිරගෙදරක වීමය. ශ්‍රී ලංකාවේ මෙන් එරට එවැනි සිරගෙදරකට දුරකතනයක් රුගෙන යාම කළ නොහැකි වීම ඊට හේතුවය. මධූෂ් තමන්ගේ අණ පරිදි මාතර පොල්වත්තක් මැද සිදුකළ මිනීමැරුමක් තම ස්මාර්ට් දුරකතනයෙන් ඩුබායි සිට සජීවී ලෙස නැරුඹූ බවද මීට වසර එක හමාරකට පමණ පෙර හෙළි විය.

අර්ජුන ඇලෝසියස් රෝහිතගේ පල්ලියේ උළෙලට එයි

මහ බැංකු වංචාවේ කේන්ද්‍රීය ආයතනය වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් පසුගියදා පැවැති රෝහිත සහ ටට්යානාගේ විවාහ මංගල්‍ය උළෙලට පසුව තිබූ පල්ලියේ උත්සවය සඳහා සහභාගි වීමට පැමිණ සිටියේය.

රෝහිත හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල පුතණුවන්ය. උත්සවය පැවැතියේ බම්බලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේය.

මහ බැංකු වංචාව හෙළිවීමට පෙර බොහෝ කාලයක සිටම අර්ජුන ඇලෝසියස් සහ රාජපක්ෂ පුත්‍රයන් හොඳ මිතුරෝ වෙති. එහිදී අර්ජුන විසින් රෝහිතට තෑග්ගක් වශයෙන් ලබාදුන්නේ රැසියානු ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටියෙකි.

සන්ඩේ ටයිම්ස්ලංකා බැංකුවට යළිත් රොනල්ඩ්

ලංකා බැංකුවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී. මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් සිදුකරන ලද මේ පත්වීම ජනාධිපති ලේකම්වරයා ප්‍රධානියා වශයෙන් ක්‍රියා කරන තේරීම් කමිටුව මගින්ද අනුමත කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ ව්‍යවස්ථා අර්බුදයට පෙරද ලංකා බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කළේ රොනල්ඩ් පෙරේරා මහතාය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 27 වැනිදා ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරැවා හරින ලදී.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධරයකු වන රොනල්ඩ් පෙරේරා නොතම්බ්‍රියා සරසවියේ ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එල්.එල්.එම්. උපාධිධරයෙකි. ඔහු 2012 වසරේදී ජනාධිපති නීතිඥයෙක් වශයෙන් දිව්රුම් දුන්නේය.

ඩේලි එෆ්.ටී.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00