මාසෙකට රුපියල් කෝටි අටසිය හැට එකක් පාඩුවෙන ආයතනයක් තිබිය හැකිද? එම අලාභය ලොකු ගාණක් නොවෙයි කියන නිලධාරින් සිටිය හැකිද? ඇත්තටම එවැනි ආයතන තිබේ. එවැනි නිලධාරීහුද සිටිති. වෙනත් රටක නොවේ. මේ ශ්‍රී ලංකාවේමය.
මේ කියන ආයතනය ලංකා විදුලි බල මණ්ඩලයයි. මිලියන අටදහස් ගාණක් (කෝටි අටසිය ගාණක්) කියන්නේ ලොකු ගාණක් නොවේ. යනුවෙන් ප්‍රකාශ කර තිබුණේ ලංවිම අයත්වන විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩය. අපගේ සහෝදර පුවත්පතක් වන අද පත්‍රය මගින් විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පිළිබඳව සිදුකළ විමසීමකදී ඔහු එසේ කියා තිබිණි.
විදුලි බල මණ්ඩලය පාඩු ලැබීම කැස්සක් තරමට හෝ ගණන් නොගන්නා තත්ත්වයකට පත් වූයේ අද ඊයේ නොවේ. කාලයක සිටම ලංවිම කිව්වොත් ඊළඟට ඇසෙන්නේ අච්චර පාඩුයි, මෙච්චර පාඩුයි කියන කතාය. මේ ආකාරයේ පාඩු සිදුවී තිබුණේ ද සුළු පටු ගණන්වලින් නොවේ. මහා පරිමාණයෙනි. නමුත් ඒ කාලයේ මේ ආකාරයට පාඩු ලැබීමට විශාල හේතුවක් තිබිණි. එය ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන්ය. එය අපේ රටට පාලනය කළ හැකි තත්ත්වයක් නොවේ. තෙල් බැරලය ඩොලර් සියයේ ඊට වඩා ඉහළට ගිය බොහෝ කාලයක් තිබිණි. එසේ වන විට ඩීසල් බලාගාර මගින් සැපැයුණු විදුලියට අධික මිලක් ගෙවීමට සිදුවිය. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී මෙගා වොට් 900ක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වූ විට එම බර තරමක් සැහැල්ලු විය. ඉන්පසුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස්සේය. එයින් තත්ත්වය තවත් සැහැල්ලු විය යුතුව තිබිණි. නමුත් දැන් පෙනෙන්නේ යළිත් පරණ තත්ත්වයම උදාවී ඇති බවය.
විදුලිය උත්පාදනය ජල විදුලි බලාගාර හරහා සිදුකෙරෙන විට වියදම අවම බව ප්‍රකාශිතය. ඊළඟට ගල් අඟුරු බලාගාර අඩු නිෂ්පාදන වියදමක් සහිත ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඔරොත්තු දෙන විදුලිය උත්පාදන ක්‍රමයයි. ඩීසල් විදුලි බලාගාර වැඩිම වියදමක් සහිත විදුලිය උත්පාදන ක්‍රමයයි. නමුත් ඉල්ලම තිබෙන්නේ එතැනය. මේ නිසා හදිසි අවස්ථාවක් නැත්නම් හදිසි අවස්ථාවක් මවාපාමින් හෝ ඩීසල් විදුලි බලාගාරවලින් සේවය ලබාගැනීමට සැදී පැහැදී සිටින නිලධාරීහු එදාත් සිටියහ. අද ද සිටිති. අනාගතයේදී වුවද එවැනි කල දුටු කල ඉල්ලම ගොඩ දාගන්නා නිලධාරීන් නොසිටින බවට කිසිදු සහතිකයක් නැත.
ලංවිමට විදුලිය නිපැයුම ඉල්ලුමට සරිලන සේ සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථා මතුවන බව නොරහසකි. ඊට ස්වභාවික හේතු සේම තාක්ෂණික හේතු ද බලපාන්නේය. නියඟය හේතුවෙන් ජලාශවල ජල ධාරිතාව අඩුවන විට ජල විදුලිය නිපදවීම පහළ යාම එක් ස්වභාවික උපද්‍රවයකි. එවිට ඇතිවන සැපයුමේ හිඩැස පිරැවිය යුතු වන්නේ පිටින් ලබාගන්නා විදුලියෙනි. පිටින් කියන්නේ පිටරටින් නොවේ. විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ ද පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක වන පෞද්ගලික ඩීසල් විදුලි බලාගාර ඊට එක් විකල්පයකි. ඔවුන්ගේ විදුලිය මිලදී ගැනීමේදී ඒකකයකට ගෙවිය යුතු මුදල සඳහන් කිරීම බරපතළ කම්පනයක් ඇතිකළ හැකි බැවින් එය නොකියා සිටීම වඩා සුදුසුය. එහෙත් මණ්ඩලය මගින් විදුලි ඒකකයක් පාරිභෝගිකයාට අලෙවි කරන මුදල මෙන් තුන් ගුණයකටත් වඩා අධික මිලක් ගෙවා පෞද්ගලික ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා බව පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත්ය.
විදුලිබල මණ්ඩලය ලාබ ලබන ආයතනයක් නොවීම හේතුවෙන් පාඩුවක් පිළිබඳව පැවැසීම අමාරු බව කියන අමාත්‍යංශයේ ලේකම්වරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති මත මණ්ඩලයේ ලැබීම් තීරණය වන බවද සඳහන් කර තිබුණේය. වියළි කාලගුණයක් පැවැතීම හේතුවෙන් ඩීසල් බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරවීමට සි දුවූ බවද මේ ආකාරයේ වියදම් වැඩිවීමක් සිදු වී තිබෙන්නේ මේ නිසා බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. නමුත් ගැටලුව වී තිබෙන්නේ ලොකු ගාණක් නොවන බවට ලේකම්වරයා සඳහන් කරන මාසෙකට රුපියල් කෝටි 861ක් පමණ වන මුදල රටේ මහජනතාවට මහ බරක් වීමය. එය තම බදු මුදලින් ගෙවා දැමීමට සිදුවී තිබීමය. ඔහු තවදුරටත් කියා තිබුණේ මේ තත්ත්වය පිළිබඳව භාණ්ඩාගාරය සමඟ තමන් සාකච්ඡා කරන බවය. කොතරම් සාකච්ඡා කළත් විනාශ මුඛයට යන්නේ මහජනතාවගේ යහපත පිණිස යෙදවිය හැකි මුදල් වීම ලොකුම අවාසනාවය.
මේ තරම් අධික පාඩුවක් පිළිබඳව ලංවිම සඳහන් කරන විට විෂය භාර අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ට මේ පිළිබඳව කිසිවක් වාර්තා වී නොමැති බවය. එය නම් පුදුම තත්ත්වයකි. මාසයකට රුපියල් කෝටි 861ක් විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව විෂය භාර අමාත්‍යවරයා දන්නේ නැත. රටේ ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ පවතින බවට සිදුකෙරෙන ප්‍රකාශ මුසාවක් නොවන බවට මේවා හොඳ උදාහරණය. අඩුව වශයෙන් මෙවැනි පාඩුවක් සිදුවන විට එය වළක්වා ගැනීමට කුමක් හෝ පියවරක් ගැනීම අවශ්‍යය. නමුත් එයද ඉටු වී නැත.
රටට අඛණ්ඩව විදුලිය සැපයීම ලංවිම සතු වගකීමය. නමුත් එම සේවාව ලබාදීමේදී මේ තරම් විශාල ජාතික ධනයක් විනාශ වීම මහත් කනගාටුවකි. ලංවිම ඉන්ජිනේරු සංගමයේ සභාපති ඉන්ජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කර තිබුණේ මණ්ඩලය සතු ඩීසල් සහ දැවිතෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමට අමතරව පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී අධික මුදලක් වැයවන බවය. මීට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම පැහැර හැර දිගින් දිගටම ඩීසල් බලාගාර මත යැපීම බවද මාසිකව බිලියන 8කට වඩා පාඩුවක් සිදුවන්නේ මේ නිසා බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. රටට අවශ්‍ය කරන සැලසුම්වලට වඩා තමන්ගේ මඩිය තර කෙරෙන සැලසුම් ගැන සැලකිලිමත් වනතුරු කවදාවත් මෙවැනි පාඩු වළක්වා ගත නොහැකිය. ඒ සඳහා නිලධාරීන්ට පමණක් නොව දේශපාලනඥයන්ටද උවමනාව තිබීම අවශ්‍යය. කෝටි බිලියන ගණනින් මාසිකව පාඩු ලැබීම දේශපාලනඥයන්ට සහ ඇතැම් නිලධාරීන්ට නම් ලොකු ගාණක් නොවිය හැකිය. එහෙත් අපට නම් එය මහා ජාතික අපරාධයකි.