ලෝක බැංකුවේ ආර්ථික පර් යේෂණ අංශයේ ප්‍රධානියා වූ චීන ජාතික ජස්ටින් ලින් මගේ මිතුරෙකි. ඔහු “සංවර්ධනයට අදාළ ආර්ථික විද්‍යාව” නැමැති විෂයයේ ආරම්භක ලෝක පූජිත ආර්ථික ශාස්ත්‍රඥයෙකි. ඔහුගේ පොත පත ලෝකයේ සෑම උසස් විශ්ව විද්‍යාලයකම පාහේ නිතර භාවිතාවෙයි. දැනට ඔහු බීජිං නුවර ආර්ථික විද්‍යාව පිළිබඳ පර්යේෂණ ආයතනයක ප්‍රධානියා වශයෙන් සේවය කරනවා පමණක් නොව චීන ජනාධිපතිතුමා හා චීන කොමියුනිස්ට් පක්ෂයේද උපදේශකවරයකි. නිවාර්ඩ් කබ්රාල් අධිපතිව සිටි අවධියේ ජස්ටින් අප මහ බැංකුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වූයේය. ඔහුගේ රචනා වල අවධානය යොමු වන්නේ දුප්පත් රටවල් ඉක්මනින් සංවර්ධනය වන්නේ කෙසේද යන පැනයටයි.
චීනය ලෝකයේ ඉක්මනින් ආර්ථික බලවතෙක් වූයේ කෙසේද යන්න ගැන ඔහු පොතක් ලියා තිබේ. ෂැංහයි නගරය කර්මාන්තකරණයට ලක්වූ සැටිත් ෂෙන්ගන් නැමති ආර්ථික කලාපය තුළින් චීනය ලොවම ජයගත් හැටිත් ඔහු විස්තර කර තිබේ. ඩෙං ෂෙවෝ පීංගේ ආර්ථික දර්ශනය අනුගමනය කරන ජස්ටින් ලින් චීනයේ කර්මාන්තකරණය පිළිබද දක්වන අදහස ලංකාවේ අපටත් අතිශයින් වැදගත්ය.
ෂැංහයි නගරය දියුණු වූයේ අධිරාජ්‍යවාදී මර්මස්ථානයක් හැටියටයි. වෙසෙසින්ම අබිං ජාවාරම ඔවුන් මෙහෙයවූයේ ෂැංහයි නගරය තුළිනි. ඉන්දියාවෙන් අපනයනය කරන ලද අබිං බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සුදු වෙළෙන්දන් විසින් චීනය පුරාම බෙදා හරිමින් මුළු රටම දුප්පත් නිද්‍රාශීලී රටක් බවට පත් කළෝය. අබිං වෙළදාම තුළින් සූරා ගන්නා ලද ධනය යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසීන්ගේ අධිරාජ්‍ය තවත් ශක්තිමත් කිරීමටය. අබිං කෑමේ පුරුද්ද චීන අධිරාජ්‍යයාගෙන් පටන් උසස් නිලධාරීන් හා පොදු ජනතාව පවා ගිල ගත්හ. ඒ මත දේශීය “කොම්ප්‍රදෝරැ පන්තියක්”ද දාමරික හොර කල්ලිද රට තුළ ඇති වූයේය. සුදු අධිරාජ්‍යවාදීන්, වෙළෙන්දන් හා මැර කල්ලි අතර සන්ධානයක් පැවති අතර ඔවුන් කොමියුනිස්ට් විරෝධී චියැං කයිෂෙක් ජනාධිපතිවරයා සිය අතකොලුව ලෙස යොදා ගත්තෝය.
අධිරාජ්‍යවාදීන්ගේ කර්මාන්ත ශාලාද බහුල වශයෙන් පිහිටා තිබුණේ ෂැංහයිවලයි. අවට ගම්වලින් වැල නොකැඩී නගරයට පැමිණි අසරණ චීන ජාතිකයෝ එම කර්මාන්තශාලා වල හා නගරය වටා ඇතිවූ රැකියා වල සුළු පඩියක් සඳහා තම දහඩිය වැගුරුවෝය. නගරය තුළ ජීවත් වීම කෙතරම් කටුක වුවද එය දුර්භික්ෂය උරැම කරගත් ගම්බද පළාත්වලට වඩා සුවදායක බව ඔවුහු දැනගෙන සිටියෝය. චීනයේ කලක් විසූ පර්ල් බක් නැමති ලේඛිකාව මෙකී අත්දැකීම් මුල්කර ගෙන “ගුඩ් අර්ත්” නම්වූ ප්‍රසිද්ධ නවකතාව රචනා කළාය. එම නවකතාව මුලින්ම සිංහලට පෙරළන ලද්දේ අප සමඟ පේරාදෙණියේ සිසුවකුව සිට පසුව සිංහල අංශයේ පූජනිය මහාචාර්යවරයෙක් වූ හේමපාල විජේවර්ධන විසිනි. විජේවර්ධන සිය සිංහල පරිවර්තනය නම් කළේ “සාරභූමි” යනුවෙනි. අලුතින් බිහිවූ සමන් මුද්‍රණාලයෙන් සුන්දර නිමාවකින් යුත් ග්‍රන්ථ දෙකක් මුලින්ම පිට කරන ලදී. ඒ “සාරභූමි” හා ගුණදාස අමරසේකරගේ “කරුමක්කාරයෝයි*. ජාත්‍යන්තර ප්‍රමිතියන්ට අනුකූලව සකස් කළ මේ පොත් දෙක සරසවි සිසුන් වශයෙන් ආසාවකින් කියවපු හැටි තවමත් මගේ සිහියට නැගේ. සමන් මුද්‍රණාලයේ ඊළඟ ප්‍රකාශනය වූයේ සිරි ගුණසිංහගේ “මස් ලේ නැති ඇට" යි.
කර්මාන්ත පුරයක් වූ ෂැංහයි මාවෝ සේතුං සැමදාම සැලකුවේ විප්ලවය පිළිබඳව තමන්ගේ මතයට අභියෝග කරන්නක් හැටියටය. චියැං කයිෂෙක්ට විරැද්ධව මාවෝ කඳුකරයේ හා ගම්දනව් තුළ ‘ගරිල්ලා’ සටන් දියත් කළ අතර තම පක්ෂයේම කොමියුනිස්ට් පඬිවරුන් නිතර කීවේ ඔහු වැරදි මතයක් දරන බවත් ඔහු හුදෙක්ම ග්‍රාමීය සුන්දර වාදියකු වන බවත්ය. යෙනාන්හි ගල් ගුහා තුළ වුවද මේ මතවාදය ඇවිලී ගියේය. අවසානයේ මාවෝගේ මතවාදය ජයග්‍රහණය කළ අතර ඔහුට විරුද්ධ මත දැරූ ඇතැම් කොමියුනිස්ට්වාදීහු රුසියාවට පැන ගත්හ. එක් අතකින් මේ අත්දැකීම සමසමාජ පක්ෂයේ න්‍යායාචාර්යවරුන් වූ ඇන්.ඇම් හා කොල්වින්, විජේවීරට එරෙහිව එල්ල කළ තර්කවලට සමානය. සමසමාජ නායකයන් කීවේ විජේවීර “සුළු ධනේෂ්වර” මතධාරියෙක් බවත් ඔහු සී.අයි.ඒ. ඔත්තුකාරයෙක් බවත්ය. ඔවුන් විජේවීරව මාක්ස්වාදියෙක් හැටියට පිළිගත්තේ නැත.
තම රජය පිහිටුවීමෙන් පසු චීන නායකයන් සියලු දෙනාම ෂැංහයි කාර්මික නගරය සිය අණසක යටතට ගැනීමට මහන්සි ගත්තෝය. වරක් මාඕගේ වාග් ප්‍රහාරයට ලක්වු ඩෙං ශියාවෝ පිං වහාම බීජිං නුවරින් පිටත්ව ගොස් චීනයේ දකුණු දිශාවට යමින් ෂැංහයි හා කැන්ටන් නගරවල රුදී සිටියේය. දකුණේ යුද සෙනෙවිවරුන් ඩෙංගේ මිතුරන් වූ බැවින් ඔහුට ආරක්ෂාව සැපයිණි.
ජස්ටින් ලින් තර්ක කරන පරිදි නූතන ලෝකයේ දුප්පත් රටවල් දියුණු කළ හැක්කේ කෘෂිකර්මයෙන් නොව තමන්ට ඔරොත්තු දෙන කර්මාන්තකරණය තුළිනි. කෘෂි නිෂ්පාදන පවා මේ කර්මාන්තකරණයට පාදක කරගත යුතුය. කර්මාන්තකරණයේදී දුප්පත් රටවල් තම සමාජය හා පිහිටීම මගින් ලැබෙන “තුලනාත්මක වාසිය” (කොම්පැරටිව් ඇඩ්වාන්ටේජ්) ගැන සැලකිලිමත් විය යුතුයි. ඔහු කියන පරිදි චීනයේ තුලනාත්මක වාසිය වූයේ ඔවුන්ගේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන්ය. අඩු පඩියට වැඩියෙන් වැඩ කරන කම්කරු පන්තිය නියෝජනය කරන්නේ චීන කම්කරුවන්ය. ගමේ අසරණකමින් මිදීමට ඔවුන් නගරයට පැමිණ සුළු පඩියකට වුවද වැඩ කිරීමට කැමතිය. එපමණක් නොව ඔවුන් තුළ වැඩ කිරීමේ උනන්දුව ඔවුන්ගේ සංස්කෘතිය තුළින්ම විද්‍යාමාන වෙයි. තවද චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි කම්කරු පාලනයක් ඇති කළේය. වෘත්තීය සමිති තහනම් කරන ලදී. කම්කරුවන්ගේ දුක්ගැනවිලි නිරාකරණය කරන ලද්දේ පක්ෂය තුළින්ය.
මේ වාතාවරණය තුළ ජස්ටින් ලින් හඳුනාගන්නා අනෙක් සාධකය ඉක්මනින් ක්‍රියාත්මක වීම පුදුමයක් නොවේ. එනම් විදේශ ආයෝජනයයි. ලෝකයේම පොහොසත් ආයෝජකයෝ චීනයට පැමිණියහ. රජය පොදු සේවාවන් ලබාදුන් අතර නිෂ්පාදනය සඳහා පෞද්ගලික අංශයට දොර විවෘත කරන ලදී. එම ප්‍රතිපත්ති අනුව දශක දෙකක් තුළ චීනය ලෝකයේම ඉක්මනින් දියුණුවන ප්‍රබල ආර්ථිකයක් බවට පත්විය.