2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

දහනවයේ ආදීනව

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 108

19 වැනි සංශෝධනය මා විසින් බිහිකරන ලද සුජාත දරුවෙක්. යහපාලනය උදෙසා මා එදා බිහිකළ ඒ සුජාත දරුවා මේ වනවිට අපචාරයට ලක් වී ඇති බව කනගාටුවෙන් වුවත් සඳහන් කරන්න වෙනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේදී මෙහෙම කිව්වේ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කල් තැබීමේ විවාදයට එක් වූ අවස්ථාවේය. මේ විවාදය පැවැත්වෙන බව මුලින් සඳහන් වූ අවස්ථාවේ ඊට සහභාගි වන බවක් ජනාධිපතිවරයා කිව්වේ නැත. මාස තුනකට පමණ පසුව මීට සති කිහිපයකට පෙර මැතිසබයට පැමිණ විවාදයකට සහභාගි වෙමින් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ව්‍යවස්ථා සභාව ගැන සිදුකළ කතාබහට අගමැතිවරයා පසුව පිළිතුරු දුන්නේය. ජනාධිපතිවරයා යළිත් පාර්ලිමේන්තුවට පැමිණියේ එයට උත්තර දීමේ අරමුණින්දැයි හරිහැටි පැහැදිලි නැතත් ඔහු කළේ ඒ සියල්ල එකට ගෙන පත අට එකට සිඳුවා තිත්ත කසායෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළට පහර ගැසීම බව පැහැදිලිය.
19 වැනි සංශෝධනය අපචාරයට ලක් වී ඇති බව අද කියන මෛත්‍රීපාල ජනාධිපතිවරයා එය සම්මත කරගත් 2015 දී ඒ ගැන කිව්වේ මමයි අගමැතිතුමයි එකතුවෙලා හොදි හලාගන්නෙ නැතුව ගැටේ ලිහාගත්තා කියාය. ඒ වෙලාවේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා හැර අනෙක් සියලුම මන්ත්‍රීවරැන්ගේ ඡන්දයෙන් සම්මත වූ 19 වැනි ව්‍යවස්ථාව යහපාලන ආණ්ඩුව දිගටම ශක්තිමත්ව පවත්වාගෙන යාමට ආධාර වනු ඇතැයි එදා බොහෝ දෙනකු සිතුවාට සැකයක් නැත. එහෙත් අද එම ව්‍යවස්ථා සංශෝධනයම ආණ්ඩුවේ කිළුටු රෙදි එළියේම සෝදන තත්ත්වයට වැටී තිබේ. ආණ්ඩුව ඇතුළේ ඇති විරසක බව 19 වැනි ව්‍යවස්ථාව හරහා එළියට ඇදීම ගැන දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගන්නා බවද පෙනෙන්නට තිබේ. මේ දෙපාර්ශ්වයටම වැදගත් ජනාධිපතිවරණයට මාස කිහිපයක් පමණක් තිබියදී මෙහෙම සිදුවීම දේශපාලන දෛවය ආපසු හැරීමක් බව පැහැදිලිය.

දෛවය ආපසු කැරකෙමින් තිබීමේ වේගය කොතරම්දැයි කිව්වොත් 2014 දී පොදු අපේක්ෂකයා වශයෙන් රටේ ජනාධිපති පදවියට පත් වී තමා යළිත් ජනාධිපතිවරණයකට තරග නොකරන බව ප්‍රකාශ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් යළිත් අපේක්ෂකත්වය ලබාගෙන තරග කිරීමට කැස කවයි. දේශපාලනයේ විය නොහැකි දෙයක් නැති බව පෙන්වා දෙමින් සිරිසේන මහතා මෙවර අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නේ එදා තමන්ට එරෙහිව තරග කළ මහින්දගෙනි. 19 වැනි ව්‍යවස්ථාව අපචාරයට ලක් වී ඇතැයි ජනාධිපතිවරයාට දැනීමට එය එක් හේතුවක්දැයි කීමට අපහසුය. නමුත් ආණ්ඩුවෙන් තමන්ට එල්ල කෙරෙන පීඩනයේ තරම ජනාධිපතිවරයාට තදින්ම දැනෙන බවද ඔහු එදා පාර්ලිමේන්තුවේදී කළ කතාවේ මේ කොටසින් පැහැදිලි කරගත හැක.

මේ කටයුතුවලදී විනිවිදභාවයක් පෙන්නුම් කර නැහැ. ඊට දේශපාලන හස්තයක් බලපා තිබෙනවා. අද උදේ සිට පාර්ලිමේන්තුවේ පැවැති මේ විවාදයේදී මා මීට පෙර දිනකදී කළ කතාවක් වැරැදි විදියට අර්ථ ගන්වා තිබෙනවා. දැනට පත්කර සිටින විනිසුරැවරැන් ගැන මා කිව්වේ නැහැ. මේ හදන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හා මා තරහ කරන්නයි. මා කතා කළේ ව්‍යවස්ථා සභාවට නම් ඉදිරිපත් කර එහිදී ප්‍රතික්ෂේප වූ අය ගැනයි.

මේ විවාදය පැවැති අවස්ථාවේදී අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළගේ කතාවේ සඳහන් වී තිබුණේ මෙසේය.

කතානායකතුමා ගැන මේ වෛරය ඇතිවුණේ නීති විරෝධී ආණ්ඩුවකට ඉඩ නොදුන් නිසයි. රටේ ක්‍රියාත්මක වූ ඒකාධිපති වියරැව නිසා වත්මන් ජනාධිපතිතුමා බිහි වුණා. දිසා අධිකරණයකවත් නොසිටි විනිසුරැවරැ ඉහළට යවන්න කියනවා. ඉහළට යවන්න ඕනෑ කියන නඩුකාරවරයෙක් නඩු 53ක තීන්දු දීලා නැහැ. අපි උසස්වීම් දීමේදී විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය වගේම ස්වාධීනත්වයත් කාර්යක්ෂමතාවයත් බලනවා. ජනාධිපතිතුමා එවපු නම් වලින් ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ හතරක් විතරයි.

තලතා වගේම රාජිත ද මේ විවාදයේදී කතා කර තිබුණේ ජනාධිපතිගේ අදහසට පරස්පර වන ආකාරයටය. ව්‍යවස්ථා සභාවේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක වැරදියි කියන අයට මම කියන්නේ එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරපු විදිය හරිද? එදා විනිසුරුවරුන් පත් කළේ සුපර් මාකට් වලදීයි. 2015 ජනවරම තවම ඉවර වී නැහැ. එදා අඩි අටක් පොළොව යටට යවන්න හැදුවා කිව්වා. කිව්වේ අපි නොවෙයි. අද ඒ දෙගොල්ලොම එකතුවෙලා රාජිත එසේ කෙළින්ම පහර දෙන්නේ ජනාධිපතිවරයාගේ අදහස් වලටය.

මේ දෙපිරිසම විනිසුරුවරුන් සම්බන්ධයෙන් වචන හරඹවලට පැටලීම ආරම්භ කළේ ඔක්තෝබර් 26 අර්බුදයෙන් පසුව බව පැහැදිලිය. නමුත් මේ දෙපිරිසම විනිසුරැවරැන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු තීරණවලින් සමහර ඒවා තමන්ගේ දේශපාලනය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට ගනු ලැබූ බව අමතක කර දමා තිබේ. ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේදී රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය සහ මොහාන් පීරිස් හිටපු අගවිනිසුරු ඉවත් කිරීමේදී යහපාලන ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය මේ සඳහා හොඳම උදාහරණයයි. මීට අමතරව ජේ.ආර්. පාලන සමයේදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැන්ගේ නිවෙසේ කොට්ටම්බා ගසට ගල් ගැසීම... කළු ලකීගේ පෙළපාළිය වැනි සිදුවීම්ද තිබිණි. එසේම නෙවිල් සමරකෝන් හිටපු අගවිනිසුරු සිය පදවියෙන් සමුගෙන එතෙර යාමද මේ හා සමාන කරුණු සමඟ බැඳී පවතී. විනිසුරුවරුන් ඇතුළු අධිකරණය සම්බන්ධ කටයුතුවලදී මේ සියලු රෙජීම වලට ඇත්තේ හොඳ අතීතයක් නම් නොවන බව පැහැදිලිය.

කෙසේ වුවත් 19 වැනි සංශෝධනය ගෙනැවිත් ඒ යටතේ ව්‍යවස්ථා සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පිහිටු වූයේ එවැනි වැරුදි යළි යළිත් සිදුවීම් වළක්වා ගැනීමටය. එහෙත් ඒ වෙනුවට රටේ මහජනතාව දකින්නේ ව්‍යවස්ථා සභාව මැදිකර ගනිමින් ආණ්ඩුවේ විධායකය සහ ව්‍යවස්ථාදායකය කඹ ඇදිල්ලක යෙදී සිටින බවය. මේ තත්ත්වය රටේ ජනතාවගේ බලාපොරොත්තු පැහැදිලිවම බිඳ දැමීමකි.

මේ සියලු හැලහැප්පීම්වල කෙළවර මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය කරා යොමුවන බව පැහැදිලිය. මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා වන්නේ කවුද යන්න ප්‍රධාන පාර්ශ්ව දෙකටම විසඳාගත යුතු ප්‍රශ්නයක් වී තිබේ. මේ පාර්ශ්ව දෙකේම නිශ්චිතවම ඉදිරිපත් වන්නේ කුමන අපේක්ෂකයා ද යන්න ගැන තීරණයක් නැති බව මතුපිටින් පෙනෙන්න තිබෙන තත්ත්වයයි. බැලූ බැල්මට යූ.එන්.පී. එකෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති බවට ලකුණු පහළ වෙමින් තිබේ. කරැ ජයසූරිය, සජිත් ප්‍රේමදාස යන නම් ද ඉදිරියට පැමිණියත් පක්ෂ නායකත්වයේ සියලු හැසිරීම්වලින් පෙනෙන්නට තිබෙන්නේ ඉදිරිපත් වෙන්නේ රනිල් බවය. පසුගිය සතියේ රනිල් උතුරේ දින 04ක සංචාරයක නිරත වූයේත් එහි ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කොට තොරතුරැ සොයා බලා රැස්ව සිටි ජනතාව අතරට ගොස් සෙල්ෆිද ගැසුවේත් නිල කටයුත්තකට පමණක් විය නොහැකි බව බොහෝ දෙනාගේ මතයයි. 

එහෙත් අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට පෙර යූ.එන්.පියේ බොහෝ වෙනස්කම් සිදුවිය යුතු බවට ජ්‍යෙෂ්ඨයන් අතර ප්‍රබල මතයක් පැතිරෙමින් තිබේ. ඔවුන් බොහෝ දෙනකුගේ අදහස වන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තමන්ට නොදන්වා වැදගත් තීන්දු තීරණ ගන්නා බවය. දින 52 කලබැගෑනියෙන් පසුවද එම තත්ත්වය වෙනස් නොවී තිබීම ඔවුන්ගේ බලවත් කනස්සල්ලට හේතු වී තිබේ. ජනාධිපතිවරණය පිළිබඳ ඉදිරියේදීද සියලු තීරණ ගැනීම ඒ ආකාරයටම සිදුවුණොත් එහි ප්‍රතිඵල යූ.එන්.පියට එතරම් යහපත් නොවනු ඇත. ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව යටපත් වී යාමට එක් හේතුවක් වූයේද එයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු බොහෝ පිරිසකගෙන් පැමිණි විරෝධය බවද මෙහිදී අමතක කළ නොහැකිය.

රජය සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යූ.එන්.පියේ තත්ත්වය එසේ වනවිට මහින්දලාගේ පාර්ශ්වයේද පවතින්නේ සැනසිල්ලේ තීන්දු ගත හැකි මට්ටමක නොවන බව පෙනෙන්නට තිබේ. මෙහිදී අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන තීරකයා වන්නේ මහින්ද බව පැහැදිලිය. ඒ සඳහා බැසිල්ට බලපෑම් කළ හැකි වුවද එසේ බලපෑම් කළ හැකි ප්‍රමාණය කොතරම්දැයි කීම අපහසුය. මේ සියලු කතාබහ මැද ජනාධිපති අපේක්ෂකත්වයට වඩාත් කිට්ටු වී සිටින්නේ ගෝඨාභය බවට සැකයක් නැත. සීයට ගණනින් බැලුවොත් එය අනූවක් තරම් බව පෙනෙයි. රාජපක්ෂවරුන් එසේ සිතුවත් ගෝඨාභයට එකහෙලා සියලු පක්ෂවල සහාය ලැබෙයි ද යන්න නම් සැක සහිතය. මේ සම්බන්ධයෙන් කුමාර් වෙල්ගම වැනි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් තුළ පමණක් නොව විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි ඒකාබද්ධයේ පක්ෂ නායකයන් තුළද පවතින්නේ පරස්පර විරෝධී අදහස් බව පෙනෙන්නට තිබේ. මේ පරස්පරතා ගෝඨාභයට ඍජුවම සම්බන්ධව නොවුවත් ඒවා බොහෝවිට බැසිල් සමඟ පැටලෙන ස්වභාවයක් දකින්නට තිබේ. බැසිල් කොහොමත් මුල සිටම පෙන්නුම් කරන්නේ පොදුජන පෙරමුණු (පොහොට්ටුව) සම්බන්ධව ගන්නා වැදගත් තීන්දු තීරණ සියල්ල තමන් තනිවම හෝ තමන්ට ඉතාම සමීප කිහිපදෙනකු සමඟ සාකච්ඡාවෙන් පසුව හෝ ගන්නා බවකි. ඇතැම් අදහස් ඔහු ප්‍රකාශ කරන්නේද ගහෙන් ගෙඩි එන්නාක් මෙනි.

බැසිල් අලුතින්ම කී කතාව වූයේ පොහොට්ටුවට ශ්‍රීලනිපය නැතුව වුවද ඡන්ද ජයග්‍රහණය කිරීම ගැටලුවක් නොවන බවය. පක්ෂ දෙක අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කතාබහ සිදුවන අතරේ බැසිල් මේ කියන්නේ ඡන්දයකදී තමන්ට ශ්‍රීලනිපය වැදගත් පක්ෂයක් නොවන බවය. ඒ කියන්නේ සන්ධානය අවශ්‍ය වන්නේ තමන්ට නොව ශ්‍රීලනිපයට බවය. ජනාධිපති අපේක්ෂකයා තෝරන සටනේදීත් බැසිල් මෙහෙම කතාවක් කිව්වොත් කුමක් වනු ඇත්දැයි බලා සිටිය යුතුය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම මේ ආකාරයට සංකීර්ණ ප්‍රශ්නයක් වනවිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නාමමාත්‍රික ජනාධිපති පදවියක් ඇතිකර සියලු විධායක පාලන බලතල අගමැති ප්‍රමුඛ ආණ්ඩුවකට පැවරෙන ව්‍යවස්ථා සංශෝධනයකට සියලු ප්‍රධාන පක්ෂ එකඟ වීමට ද ඉඩ තිබේ. එවැනි ක්‍රමයක් මහින්දට, රනිල්ට පමණක් නොව මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ද වාසිදායක වීම ඊට හේතුවය. මේ නිසා 19 වැනි සංශෝධනය අපචාරයෙන් ගලවාගැනීමට තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ආවොත් ඒ ගැනත් පුදුම වීමට දෙයක් නැත. නමුත් කරුමය නම් මේ හැම සංශෝධනයකින්ම දේශපාලනඥයන්ගේ ප්‍රශ්නවලට මිස මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් නොලැබීමය.

I ශශීන්ද්‍ර 
 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00