2019 මාර්තු 02 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

බැසිල් - ගම්මන්පිල වාග් සංග්‍රාමයක 

ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර නායකයන් අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී උදය ගම්මන්පිල සහ බැසිල් රාජපක්ෂ අතර ඇති වූ තදබල බහින්බස් වීමක් නැවැත්වීම සඳහා මැදිහත් වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායක මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ සහ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ අතර මෙම උණුසුම් බහින්බස් වීම සිදු වූයේ පළාත් පාලන ආයතන මන්ත්‍රී පුරප්පාඩුවක් ඇතිවූ විට එය පිරවිය යුතු ක්‍රමය පිළිබඳ මතු වූ ගැටලුවක් හේතුවෙනි. එවැනි අවස්ථාවක මන්ත්‍රී ධූරය හිමිවිය යුත්තතේ කාටදැයි උදය ගම්මන්පිල මහතා විමසීය. මහින්ද රාජපක්ෂ මහතාගේ සරළ පිළිතුර වූයේ මරණයකදී හෝ ඉල්ලා අස්වීමකදී හෝ පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය හිමිවිය යුත්තේ එකී මන්ත්‍රීවරයා නියෝජනය කළ පක්ෂයට බවය.

කෙසේ වුවද මෙතැනදී ප්‍රශ්නය මතු වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂයක් නොවූ අවස්ථාවක් වීමය. ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාවේ එම නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප්‍ර වූ බවය. එහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වූයේ මියගිය මන්ත්‍රීවරයා පොහොට්ටුවේ සාමාජිකයකු නම් පුරප්පාඩුවට පත් කළ යුත්තේ පොහොට්ටුවේ සාමාජිකයකු බවය. 

මහින්ද රාජපක්ෂ මහතා ඊට මැදිහත් වෙමින් මේ බහින්බස් වීම වහාම නවත්වන්නැයි කීය. විශේෂ තත්ත්වයක් පවතින අවස්ථාවලදී එවැනි පුරප්පාඩුවක් පිරවීම පක්ෂ නායකයන් අතර එකඟත්වයකින් සිදු කළ හැකි බවද ප්‍රකාශ කෙරිණි. 

රුස් වූවන්ගේ නළල රුලි ගැන්වූ උණුසුම් සංවාදයට එතැනින් තිත තැබිණි. මේ අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතා දැරෑ ස්ථාවරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණු නායක වාසුදේව නානායක්කාර මහතා සහාය දැක්වීය.

- සන්ඩේ ටයිම්ස් 

ජනපති - මෛත්‍රී, අගමැති - රනිල් සහ ඇමැති මංගල

ආණ්ඩු පක්ෂ - විපක්ෂ සියලු නායකයන් එකට අසුන් ගැන්වූ අවස්ථාවක් පසුගිය බ්‍රහස්පතින්දා (28) සිදුවිය. මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවය එම අවස්ථාව විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එහිදී අමාත්‍ය මංගල සමරවීර සමඟ එකට අසුන් ගෙන සිටියහ.

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් දෙදෙනාම එහිදී ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ආරක්ෂා කරගැනීමට සහ නිදහස සහ සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා දරණ උත්සාහය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා අගය කරමින් කතා කළහ.
මංගල සමරවීර මහතා සමඟ ප්‍රථම වතාවට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාව එහිදී ජනාධිපතිවරයා සිහිපත් කළේය. දශක ගණනාවක් විහිදී ගිය අන්‍යෙන්‍ය මිත්‍රත්වයේ ආරම්භය එය වූ බවද ඔහු සඳහන් කළේය.
මා සැම විටම සිතන්නේ මංගල සමරවීර සහ මම වගේ පාර්ලිමේන්තුවට මුලින් තේරී පත්විය යුත්තේ විපක්ෂ මන්ත්‍රීවරැන් හැටියට බවයි. දේශපාලනඥයකුගේ වීම සහ දේශපාලනය තුළ බහුල අත්දැකීම් සම්බන්ධයෙන් ඉගෙනගත හැක්කේ එවිටයි. වේගයෙන් ඉදිරියට යන දේශපාලනඥයකු වීමට අවස්ථාව උදාවන්නේ එහෙමයි. මංගල සමරවීර මහතා මේ ඔප්පු කර ඇත්තේ ඒ යථාර්ථයයි. යැයි ජනාධිපතිවරයාගේ කතාවේදී සඳහන් විය.

අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ සමරවීර මහතා සැමවිටම ජාතිකත්වය සංහිඳියාව, සාධාරණත්වය සහ සමානත්වය වෙනුවෙන් පෙනී සිටි බවය. ඔහු යූ. එන්. පීය තුළ මේ පරමාදර්ශ වෙනුවෙන් සටන් වැදුණා. බොහෝ කාලයකට පෙර ඔහු අපේ පක්ෂයට අප කැඳවාගත්තේ ඒ අවබෝධය හේතුවෙන්* යැයිද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

- ඩේලි එෆ්. ටී

මහජන බැංකුවේ නව සභාපති නිශ්ශංක නානායක්කාර

මහජන බැංකුවේ සභාපති පදවියට පත්කරනු ලැබූ ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා පසුගිය බ්‍රහස්පතින්දා (28) වැඩ බාරගත්තේය.

නානායක්කාර මහතා එජාපයේ නීති ලේකම් වශයෙන් කටයුතු කරන අතර පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුවේ සාමාජිකයෙක් ද වෙයි. ඔහු ලිට්‍රෝගෑස් සමාගම් සභාපති ධූරය ද උසුලයි.

මහජන බැංකු මූලස්ථානයේදී පැවැති එම අවස්ථාවට මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ හේෂා විතානගේ මන්ත්‍රීවරු, ලංකා බැංකු සභාපති රොනල්ඩ් සී. පෙරේරා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් සහ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්/ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් පතිරගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

- ඩේලි එෆ්. ටී