2019 මාර්තු 09 වන සෙනසුරාදා

සීතල යුද්ධය

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 202

“ජිනීවාවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට මගේ නියෝජිතයන් තුන් දෙනකු සහභාගි කරවනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගසා ඇති ගැටය ලිහාගන්නේ කොහොමද කියලා ඒ අය එහෙදි සාකච්ඡා කරයි.”

පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පසුගිය බදාදා (06) ජනාධිපති මන්දිරයේ පැවැති හමුවේදී මෙහෙම කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. තමන්ගේ නියෝජිතයන් වශයෙන් ආචාර්ය සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා සහ උතුරේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ඒ සඳහා සහභාගි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය. 

මෙහිදී මාධ්‍ය ප්‍රධානියකු ප්‍රශ්න කර තිබුණේ මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරද්දී ජනාධිපතිවරයාගේ නියෝජිතයන් පිරිසක්ද ඊට සහභාගි වීම ගැටලුවක් නොවේද කියාය. එහෙත් තමන්ගේ නියෝජිතයන් පිරිසක් සැසිවාරයට සහභාගි කරවීමේ කිසිදු වරදක් නැති බව ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

ජනාධිපතිවරයාගේ විෂය පථයට විදේශ අමාත්‍යාංශය අයත් නැත. දැනට විදේශ ඇමැති ධුරය දරන්නේ තිලක් මාරපන මහතාය. එසේ වුවත් ජනාධිපතිවරයා එහිදී කියා තිබුණේ රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ වගකීම ඇත්තේ රාජ්‍ය නායකයාට බවය. එය එසේ නම් විදේශ ඇමැතිවරයකු පත්කර විදේශ අමාත්‍යාංශයක් පවත්වාගෙන යාමේ අරමුණ කුමක්දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. එසේම ජනාධිපතිවරයා එහිදී කියා තිබූ තවත් කරුණක් වූයේ තමාට තිබෙන බලතල අනුව තබාගත හැක්කේ අමාත්‍යාංශ දෙකක් වුවත් ආයතන 500ක් වුවද එම අමාත්‍යාංශ දෙක යටතට ගැසට් කළ හැකි බවය. එසේ නම් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ අරමුණ කුමක්ද කියාත් කෙනකුට ප්‍රශ්න කළ හැකිය. නමුත් මෙතැනදී වඩාත් වැදගත් වන්නේ ජනාධිපතිවරයා මෙහෙම කියන්නේ ඇයිද යන කාරණයයි.

පැහැදිලිවම පෙනෙන්න තිබෙන්නේ ආණ්ඩු‍ව සහ ජනාධිපතිවරයා අතර පවතින විරසකභාවය තවදුරටත් බරපතළ තත්ත්වයට පත්වෙමින් තිබෙන බවය. දවස් 52 අර්බුදයෙන් පසුව රටටම පෙනෙන්නට තිබූ එම විරසක බව දැන් ජාත්‍යන්තරය දක්වා ගෙන යන තත්ත්වයකට පත්ව තිබේ. ආණ්ඩුවක් ඇතුළේ එකම කාරණයක් සම්බන්ධයෙන් මතගැටුම් පැවතිය හැකිය. එය ඕනෑම ආණ්ඩුවකට පොදුය. එහෙත් ජාත්‍යන්තරය හමුවේ එකම ආණ්ඩුවකට විදේශ ප්‍රතිපත්ති දෙකක් තිබිය නොහැක.විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කිරීමේදී එය ඍණාත්මක ලෙස බලපෑමක් කිරීමටද ඉඩකඩක් තිබේ. ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන 22 සහ 23 දිනවලදී ජනාධිපතිවරයාගේ නියෝජිත පිරිසකුත් ආණ්ඩුවේ නියෝජිත පිරිසකුත් වෙන් වෙන්ව අදහස් පළ කිරීමට යාම රටේ ප්‍රතිරෑපයට හොඳ නැත. 

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ සිදුවෙමින් තිබූ දැඩි බලපෑම් තරමකට හෝ තුනී වී ගියේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බව කිසිවකුටත් අමතක විය නොහැක. ඉන්පසුව ජිනීවා සැසියේදී අමෙරිකාව ප්‍රමුඛව ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වීම කැපී පෙනුණු සන්ධිස්ථානයකි. එසේ සම අනුග්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙන බව සැබෑවකි. එහෙත් එම වෙනස හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වෙමින් තිබූ ජාත්‍යන්තරයේ දැඩි බලපෑම් ලිහිල් විය. යුරෝපා කොමිසමෙන් පනවා තිබූ වෙළෙඳ තහංචිද ඉවත් විය. ශ්‍රී ලංකාව ගනුදෙනු කරන බටහිර සහ යුරෝපා රටවල් සමඟ ජාත්‍යන්තර සබඳතා දියුණු කර ගැනීමටද එයින් අවස්ථාව පෑදුණේය. මේවා ආණ්ඩුව ජයග්‍රහණ වශයෙන් සැලකුවේය. රටට එසේ පෙන්වා දුන්නේය. එම ජයග්‍රහණ ලබාගත්තේ ජනාධිපතිවරයා වෙනමත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වෙනමත් නොවේ. එසේ නම් දැන් මේ හදිසියේම මතවාද දෙකක් ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යාමේ අදහස කුමක්දැයි පැහැදිලි නැත.

කෙසේ වුවද ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීමෙන් පසුව ඇතිවූ ජාත්‍යන්තර වෙනස්කම්වලින් නිසි ප්‍රයෝජන ගැනීමට ආණ්ඩුව සමත්වූයේ නැත. යුරෝපයෙන් පනවා තිබූ භාණ්ඩ අපනයන සීමාව ඉවත් වුවද එතැනින් එහාට ගොස් එම රටවල් සමඟ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හරහා අපනයනය වැඩිකර ගැනීමට හෝ එම රටවලින් ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට හෝ ආණ්ඩුවට හැකි වූයේ නැත. එවැනි පුළුල් ජාත්‍යන්තර විවෘත වීමක් සිදුවූ විට ඒ පිළිබඳව කටයුතු කිරීමට, කළ හැකි දේ අධ්‍යයනය කිරීමට රජය ප්‍රමාණවත් තරමින් කටයුතු කළේ නැත. දේශපාලන තීන්දු ගැනීම් වලින් පමණක් මෙවැනි අවස්ථාවලින් ප්‍රයෝජනයක් අත් නොවේ. ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව විශිෂ්ටයන් සමඟ රජයට ගනුදෙනුවක් නොතිබීම විශාල අඩුවක් විය. ජනාධිපතිවරයා ඒ කාලයේ ඒ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුකළ බවක් පෙනෙන්නට නොතිබිණි. මහබැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කටයුතු කිරීම පමණක් රටේ දියුණුවට ප්‍රමාණවත් නොවන බව වටහා නොගැනීම මෙහිදී ලොකු අඩුපාඩුවක් විය. අනෙක් අතට අග්‍රාමාත්‍යවරයා තමන්ට සමීප ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ පමණක් ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කටයුතු කරන්නට යාමෙන් කිසිම සෙතක් වූයේද නැත. දැන් අවසානයේ ඉතිරිව ඇත්තේ ආණ්ඩුව ඇතුළේ විරසකභාවය පමණි. මෙතෙක් රට තුළට සීමාවී තිබූ එම විරසකභාවය දැන් ජාත්‍යන්තරයටද එබිකම් කරමින් සිටී.

දැන් උද්ගත වී තිබෙන තත්ත්වයේ බැරෑරුම්කම තේරැම් ගැනීමට ආණ්ඩුව මගින් පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද නිවේදනය පමණක් ප්‍රමාණවත් වෙයි. ඒ නිවේදනය නිකුත් කෙරැණේ ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් සහ කතුවරුන් සමග පැවැති හමුවේදී කළ ප්‍රකාශයෙන් අනතුරුවය. 

එම නිවේදනයේ මුලින්ම සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන බවය. මේ ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක් වීමද විශේෂත්වයකි.

දින වකවානු සහිතව නිකුත් කර ඇති එම දීර්ඝ නිවේදනයේ ශ්‍රී ලංකාව රජයක් වශයෙන් මෙවැනි තීන්දුවක් ගනු ලබන්නේ ඇයිද කියා විස්තර කර තිබේ. මේ උපාය මාර්ගය හරහා ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වළක්වා ගැනීමට හැකිවනු ඇතැයි එම නිවේදනය විශ්වාසය පළකර තිබේ. 2015 යෝජනා සම්මතය සහ ඊට පසුගාමීව ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්නය, 2009 දී මෙරට සංචාරයක කළ එවක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා වෙත එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් දෙන ලද ප්‍රතිඥාවල අනුක්‍රමික ඵල බව කියන එම නිවේදනය එකී සංචාරය අවසානයේ ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ අවසන් ඡේදයද උපුටා දක්වා තිබේ. කෙසේ වුවද මෙහිදී රජය සහ ජනාධිපතිවරයා අතර තිබෙන ගැටුම පෙන්නුම් කරන්නේ එම නිවේදනයේ අවසන් ඡේද දෙකිනි. එහි සඳහන් වන්නේ මෙසේය.

“කල් ඉල්ලා සිටීමේ යෝජනා සම්මතයට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීමට එරෙහිව නැගෙන චෝදනා වනාහී මහජනතාව නොමග යැවීමටත්, අයුතු දේශපාලන වාසි ලබා ගැනීමටත් කරන්නා වූ ව්‍යාපාරයේම කොටසකි. 2015දී රජය බලයට පත්වූ ආකාරයත්, සිදුවන්නට තිබූ ජාත්‍යන්තර විනාශයක් ඒ අවස්ථාවේදී යෝජනා සම්මතයට සම අනුග්‍රහය දැක්වීමෙන් වළක්වා ගැනීමට එය සහය වූ ආකාරයත් මේ රටේ ජනතාව දනිති.

වර්තමාන පියවර වනාහී, සංහිඳියාව, සාමය ගොඩනැංවීම සහ ජාතික සමෝධානය සම්බන්ධ ගැටලුවලට පිළියම් යෙදීම පිණිස ශ්‍රී ලංකා රජයට වැඩිපුර කාලය ඉල්ලා සිටීමක් විනා වෙන යමක් නොවේ. උදාහරණයක් හැටියට, 2018 ඔක්තෝබර් 26 වැනි දින ඇතිවූ කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය හේතුවෙන්, අවශ්‍ය කර තිබූ ඇතැම් නීති සම්පාදන අවසන් කිරීමට ශ්‍රී ලංකා රජයට නොහැකි විය. රට ගලවා ගැනීමට අවශ්‍ය අවස්ථාවකින් නිර්ලජ්ජී ලෙස ලාභ දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කරන්නෝ අපගේ මාතෘ භූමියේ සැබෑ ද්‍රෝහියෝ වෙති.”

මෙහි අවසන් වගන්ති කිහිපය ආණ්ඩුව ඇතුළේ ගැටුමේ බරපතළකම හොඳින්ම පෙන්වා ඇති බව පැහැදිලිය. මෙවැනි තත්ත්වය පවතිද්දී කැබිනට් මණ්ඩල රැස්වීම් පවා තව කොපමණ කාලයක් පවත්වාගෙන යා හැකිදැයි කෙනකුට සිතුණොත් පුදුම විය යුතු නැත. මේ සියල්ල යට දැඩි බල අරගලයක පෙරනිමිති සටහන්ව තිබේ. ජනාධිපතිවරයාගේ වැයශීර්ෂ පරදවන කතා යූ.එන්.පී.යේ පසුපෙළ මන්ත්‍රීන්ගෙන් ඇසෙන්නේද මේ පසුබිමේය.

අවසානයේ මේ සියලු කරුණු කේන්ද්‍රගත වෙන්නේ මේ වසරේ නිසැකවම පැවැත්වෙන ජනාධිපතිවරණයටය. ජනාධිපතිවරයා කතුවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන් හමුවේදී ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙන බව ප්‍රකාශ කළ අතර මහමැතිවරණයක් පැමිණිය හැකි බවත් සඳහන් කළේය. ඉන්පසුව පසුගිය බ්‍රහස්පතින්දා (07) පැවැති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර ඇමැතිවරයාද කියා තිබුණේ සමහර විට මහමැතිවරණය පැවැත්වීමට ඉඩකඩ තිබෙන බවය. මහ මැතිවරණයක් මේ වසරේ තැබීමට නම් ව්‍යවස්ථා වෙනස්කමක් සිදුවීම අවශ්‍යය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සාකච්ඡා තවමත් සිදුවන්නේ ඉතාම උදාසීන ආකාරයකට බව පෙනේ. අවසන් වරට පසුගිය බදාදා (06) මෙවැනි සාකච්ඡාවක් පැවැතියේ හිටපු ජනපති මහින්ද සහ ජවිපෙ නායක අනුර කුමාර ඇතුළු දූත පිරිසක් සමඟය. එහෙත් එතැනදී සිදුවූ කතාබහ කිසිදු නිශ්චිත තීන්දුවකින් අවසන් වී නොතිබිණි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා 13 වැනි ව්‍යවස්ථාවත් ඡන්ද ක්‍රමයත් වෙනස් විය යුතු යැයි එහිදී මහින්ද කියා තිබුණි. නමුත් මහින්ද මීට පෙර කියා තිබුණේ රටේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා 13+ ලබාදීමට වුවද සලකා බැලිය යුතු බවය. මේ පරස්පර අදහස්වලින් පැහැදිලිව පෙනෙන්නේ මෙය දැන්ම නම් නොකෙරෙන දීගයක් බවයි.

ජිනීවා සැසිය සමඟ වෙනදා රත්වෙන්නේ ජාත්‍යන්තර ප්‍රජාවය. එහෙත් මෙවර රත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවය. ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමේ අදහසින් ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරන බව කෙනකුට සිතෙන්නට පුළුවන. ජිනීවා සැසිය ගැන ජනාධිපතිවරයා මෙවර දක්වා ඇත්තේ මහින්ද ජනාධිපති පදවියේ සිටියදී දැරූ අදහස්වලට සමාන අදහසකි. එහෙම කරන්නේ මහින්දගේ ආශීර්වාදයෙන් යූ.එන්.පී.යට එරෙහි පොදු සන්ධානයක පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන්දැයි කියන්නත් බැරිය.

►  ශශීන්ද්‍ර