2019 මාර්තු 23 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

දිනේෂ් සහ ලැප්ටොප්

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ඉකුත් සතියේ පාර්ලිමේන්තුව තුළදී ප්‍රබල විරෝධයක් පෑවේය. තමන් ඉල්ලා සිටි ව්‍යවස්ථාවේ පිටපත ලබාදීම සඳහා තමාගෙන් පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් රුපියල් 400ක් අය කිරීම ඔහුගේ විරෝධයට හේතු වී තිබිණි.

මම පාර්ලිමේන්තුවට ආවේ 1983දී. මීට පෙර කවදාවත් පාර්ලිමේන්තුව තුළදී ව්‍යවස්ථාවේ පිටපතක් ඉල්ලූ විට මගෙන් ඒ සඳහා රුපියල් 400ක ගාස්තුවක් අය කරලා නෑ. මොන ලැජ්ජාවක්ද? යැයි බදාදා දිනයක් වූ එදින අයවැය කාරක සභා විවාදයේදී කතාකරමින් ඔහු ප්‍රකාශ කළේය. 

ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් ඒ සැමවිටම ව්‍යවස්ථාවේ පිටපත් රුගෙන එන්නේ නැති බවය. මේ නිසා පාර්ලිමේන්තු නිලධාරීන් එම පිටපත් ගාස්තු අය කිරීමකින් තොරව මන්ත්‍රීවරැන්ට ලබාදිය යුතු බවත් දිනේෂ් ප්‍රකාශ කළේය.

කෙසේ වුවද දිනේෂ් ගුණවර්ධන මහතාගේ එකී පැමිණිල්ලට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල විය. ඔවුන් බොහෝ දෙනෙකු කියා තිබුණේ අන්තර්ජාලය හරහා කිසිදු ගාස්තුවකින් තොරව ව්‍යවස්ථාව බාගත කිරීමට හැකි බවය. පාර්ලිමේන්තුව මගින් සියලුම මන්ත්‍රීවරැන්ට නොමිලයේ ලැප්ටොප් ලබාදී, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඕනෑම ස්ථානයකින් නොමිලේ වයිෆයි පහසුකම් ලබාගැනීමට පහසුකම් සලසා තිබියදී ව්‍යවස්ථාව බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබා ගැනීමට මන්ත්‍රීවරුන්ට නොහැක්කේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

&එක්කෝ ඔහු ඒ ගැන සැලකිලිමත් වෙලා නෑ. එහෙම නැත්නම් මුද්‍රිත පිටපත් අරං ගිහින් කිලෝව රුපියල් 17 ගානේ විකුණගන්න අවශ්‍ය වෙලා යැයි එක් ට්විටර් පණිවුඩයකින් කියැවිණි. තවත් සමහරු ගුණවර්ධන මහතාට එය මිලදී ගත නොහැකි නම් ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කළහ.

- සන්ඩේ ටයිම්ස්

ආර්ථිකයේ දෙකොන මාරු කතා

• රජය ආර්ථික වර්ධනයට සහ රැකියා උත්පාදනයට ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුයි

 - ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා

• අධික විදෙස් ණය වාරික ආපසු ගෙවීමට තිබෙන පසුබිමක ප්‍රමුඛත්වය දිය යුත්තේ පොදු ආදායම් ශක්තිමත් කර ගැනීම සඳහායි

- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

• ආර්ථික වර්ධනය අරමුණු කර ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවට ඉහළ ආදායම් තත්ත්වයක් කරා ළඟාවීමට තව වසර 100ක්වත් ගතවේවි

- ධම්මික පෙරේරා

• පොදු ආදායම් ශක්තිමත්ව පවත්වා නොගත්තා නම් පෞද්ගලික අංශය අද වනවිට නරකම තත්ත්වයට වැටිලා

 - රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පරස්පර විරෝධී මේ අදහස් ප්‍රකාශ වූයේ පසුගිය 19 වැනිදා කොළඹදී පැවැති &Fireside Chat* නම් සම්මන්ත්‍රණයේදීය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, සීමා ආයතනය සහ ඩේලි එෆ්.ටී. පුවත්පත ඒකාබද්ධව මේ ආර්ථික සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි. එහි ප්‍රධානම කථිකයන් දෙදෙනෙකු වූයේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ධම්මික පෙරේරා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

ධම්මික පෙරේරා මහතා එහිදී අවධාරණය කළේ ඉහළ ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගන්නා ප්‍රතිපත්ති මගින් ශ්‍රී ලංකාවට විදෙස් ණය ආපසු ගෙවීම පහසු වනු ඇති බවත් මැදි ආදායම් උගුලෙන් ගැලවීමට මාර්ගය පෑදෙනු ඇති බවත්ය. ඔහුට අනුව අපේක්ෂිත ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගෙන ඒකපුද්ගල ආදායම් අමෙරිකානු ඩොලර් 12,000ක් ඉක්මවා ඉපැයීමට නම් වාර්ෂිකව රැකියා 1,20,000ක් උත්පාදනය කළ යුතුය.

අමෙරිකාවේ මෙන් නව රුකියාලාභී පරපුරක් ඇති කිරීම සඳහා ආධාර කිරීමක් හැටියට බදු ගෙවන්නන්ට දිරිගැන්වීම් ලබාදෙන්නැයි ඔහු රජයට උපදෙස් දුන්නේය. එමගින් රටේ අඩාල වී තිබෙන ආර්ථික වර්ධනය වේගවත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමුකිරීමට පෙර ආදායම් ශක්තිමත් කර ගැනීම ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වඩාත් වැදගත් වන බවය.

- ඩේලි මිරර්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00