විදුලිය සම්බන්ධයෙන් ලංකාවට ඇත්තේ මහ අපලයකි. වෙනත් රටවල නම් විදුලිය බිඳවැටීම්වලට හේතු වන්නේ වැඩිපුරම ස්වාභාවික හේතුය. මහ ගංවතුරක්, නායයාමක්, සුළි කුණාටුවක් හෝ දැඩි නියඟයක් වැනි එක් කාරණයක් හෝ කාරණා කිහිපයක් එයට හේතු වෙයි. නමුත් ලංකාවේ නම් එවැනි බොහෝ කාරණා අවශ්‍ය නැත. නොරොච්චෝලේ එක් යන්ත්‍රයක ක්‍රියා විරහිත වීම රටේ පළාත් කිහිපයක්ම අඳුරේ තබයි. එම ක්‍රියා විරහිත වීම් කාලයක් තිස්සේ දිගටම සිදුවීම මේ රටේ මහත් කතාබහට ලක් විය. පසුව එම තත්ත්වය යථා තත්ත්වයට පත්කළ බව ප්‍රකාශ කෙරිණි. එහෙත් යළිත් වරක් පසුගියදා නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් ක්‍රියා විරහිත විය. ප්‍රතිඵලය රටේ තැන් තැන්වල විදුලිය කපා හැරීමය.
නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවැනි අදියරේ සිදුවී තිබූ කාර්මික දෝෂයක් මීට හේතු වූ බවත් පසුගිය බදාදා (20) අලුයම වනවිට එය යථා තත්ත්වයට පත්කළ බවත් බලාගාරයේ බලධාරියෙක් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඊට පසුවදාත් රටේ තැනින් තැන විදුලිය බිඳවැටී තිබිණි. එය කාගේ වරදක් නිසාදැයි නොදන්නා නමුත් ඒ හේතුවෙන් රටේ ජනතාව තාමත් සිතන්නේ නොරොච්චෝල තවමත් ලෙඩ ගානේ දුවන බවය. එය එසේ නොවන බව කීමට රජයේ බලධාරීන්ගේ කටක් හෙල්ලුණේ නැත.
වරින්වර ඇතිවන හදිසි බිඳවැටීම් මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට හුරැපුරැදුය. එහෙත් දින ගණනාවක් එකදිගට වරින්වර විදුලිය නොමැතිව සිටීම අමාරු වැඩකි. ලෝකයේ විදුලිය බිලට වැඩිම මිලක් ගෙවන ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට එය අසාධාරණ සේවා සැලසීමකි.
නොරොච්චෝල බලාගාරයද කාලයක් තිස්සේ වැදූ මවත්, අහස් කුසත් සේ එකදිගට ඇණුම් බැණුම්වලට ලක්විය. එහි ස්ථාපිත කෙරුණු බලාගාරයේ සවිකෙරැණු යන්ත්‍ර චීනයෙන් ගැලවූ පරණ යන්ත්‍රවල කොටස් බවටද චෝදනා එල්ල විය. එහි සිසිලන පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බවද ප්‍රකාශ විය. මේ සියලු චෝදනා පසුව රජයේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. නමුත් රටේ ජනතාවට මේ චෝදනා සහ ප්‍රතිචෝදනා වලින් පලක් නැත. ඔවුන්ට අවශ්‍ය කෙරෙන්නේ අඛණ්ඩව සිදුකෙරෙන විදුලිය සැපයුමකි. අඛණ්ඩව අවශ්‍ය වූවාට මේ බොහොමයක් පාරිභෝගික නිවෙස්වල පත්තු වෙන්නේ යන්තම් බල්බ් එකක් හෝ දෙකකි. සමහරැ ශීතකරණ රාත්‍රී කාලයේ නිවා දමති. මේ සියල්ල බිල්පතේ ගණන අඩුකර ගැනීම සඳහා මිස ඇමැතිවරයා කියන නිසා හෝ විදුලිය අපතේ යාම වැළැක්වීමට හෝ නොවන බව තේරැම් ගැනීම අවශ්‍යය.
මේ රටේ හතර වටේම ජලය තිබුණත් ජලවිදුලිය ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය වෙන්නේ නැත. ජලවිදුලිය ප්‍රමාණවත් වන්නේ රටේ විදුලිය අවශ්‍යතාවෙන් 40%ක් පමණක් සපුරා ගැනීමට පමණක් බවද ප්‍රකාශ වෙයි. මේ නිසා නියං කාලය අධික වනවිට දිග්ගැස්සෙන විට එම 40% ද තවත් පල්ලම් බසී. නොරොච්චෝලෙට වැඩ වැඩිවීමට එයද හේතුවකි. මේ නිසා රට තුළ විදුලිය බෙදාහැරීම බැලන්ස් කර ගැනීම අපහසු වන බවද නොරොච්චෝල බලාගාර තුනෙන් එකක් හෝ ක්‍රියා විරහිත වුණොත් මේ ආකාරයට ලයිට් කැපීම සිදුවන්නේ ඒ නිසා බවද කියති. එසේ නම් අපේ රටේ විදුලිය උත්පාදන සැලසුම් හරිහැටි ක්‍රියාත්මක නොවන බව සිතාගැනීමට සිදුවෙයි.
ජලවිදුලිය යනු නිෂ්පාදන වියදම අඩුම ක්‍රමය බව සඳහන්ය. ඩීසල් සහ ගල්අඟුරු බලාගාර නිෂ්පාදන වියදම අධික බවත් ලංකා විදුලිබල මණ්ඩලය අධික පාඩු ලැබීමට එය හේතුවක් බවත් සඳහන්ය. අනාගත සැලසුම්වල බරපතළ අඩුපාඩුවක් මෙහිදී පෙන්වා දීම අවශ්‍යය. අපේ රට සූර්යාලෝකය නොඅඩුව ලැබෙන රටකි. එසේ තිබියදීත් සූර්ය ශක්තිය විදුලි ශක්තිය බවට පත්කර ගැනීමේ ක්‍රමවේදයකට රට තවම සූදානම් කර නැත. ලොව පුරා සූර්යාලෝකය හොඳින් ලැබෙන බොහොමයක් රටවල් තම විදුලිය උත්පාදනය එමගින් සිදුකර ගන්නා බව නොරහසකි. සල්ලි ඇති ධනවත් රටවල්වලට එය එතරම් ප්‍රශ්නයක් නොවන බව කිව යුතුය. එහෙත් ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් පවතින රටකට එය ඔරොත්තු නොදෙන තරම් වියදමක් විය හැකිය. නමුත් එතරම් ධනවත් නොවන අප්‍රිකාවේ පවා ඇතැම් රටවල් වෙනත් රටවල් සමඟ සම්බන්ධ වෙමින් සූර්ය කෝෂ විදුලිය උත්පාදන ක්‍රමයට නැඹුරැ වී සිටියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල් තබාම සැලසුම් කිරීමය. එහෙත් අපේ රට හිරැ එළියෙන් විදුලිය නිපදවීමේ ජාතික වැඩපිළිවෙළකට ක්‍රමානුකූලව පිවිස නැත. එවැනි වැඩපිළිවෙළක් දේශපාලනඥයන්ට පමණක් දියත් කළ නොහැක. ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් සහ යෝජනා ද සැලකිල්ලට ගැනීම අවශ්‍යය.
සූර්ය බලශක්ති උත්පාදනය ගැන අපට සිතන්නට තිබුණේ මීට බොහෝ කාලයකට පෙර සිට බව අපගේ වැටහීමයි. ජලවිදුලිය සහ ඩීසල් බලාගාර, ගල්අඟුරු බලාගාර ගොඩනැගී තිබියදී ශ්‍රී ලංකාවට නොමිලයේම ලැබෙන හිරු එළියෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වීමේ වන්දිය අපි අද ගෙවමින් සිටිමු. ඒ ලෝකයේ වැඩිම මුදලක් ගෙවන විදුලි බිල්පත් පාරිභෝගිකයන් වශයෙනි. පෞද්ගලික බලාගාර හරහා ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබාගැනීම වැනි නාස්තිකාර වියදම් යෙදෙන්නේ ඒවායේ ප්‍රතිඵල හැටියටය. විදුලිබල මණ්ඩලයේ අනාගත සැලසුම් තුළ සූර්ය කෝෂ විදුලිය නොතිබිණිදැයි යන ගැටලුවද ඒ අනුව පැන නගී. එසේ නැතහොත් දේශපාලනඥයන්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් හේතුවෙන් ඒ අවස්ථා ගිලිහී ගොස් තිබේ.
මේ රජය බලයට පත්වූ මුල් අවධියේ ජනාධිපතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් සූර්ය කෝෂ විදුලිය උත්පාදනයට ජාතික වැඩපිළිවෙළක් ආරම්භ විය. ඒ තුළ බලාපොරොත්තු රුසක් තිබිණි. එහෙත් වසර හතරක් ගතවීමෙන් පසුවද තවම ඇත්තේ බලාපොරොත්තුම පමණි. එක්කෝ එය කවුරුන් විසින් හෝ සිතාමතා කඩාකප්පල් කර ඇත. නැතහොත් ඒ ගැන පසු විපරමක් නොමැති වීමෙන් වැඩේ හබක් වී ඇත. නොරොච්චෝලේ කරච්චලය ඉවරයක් නොවෙන්නේ මෙවැනි අදූරදර්ශී වැඩ හේතුවෙන් බව කිව යුතුය.