2019 මාර්තු 23 වන සෙනසුරාදා

අපේක්ෂකයෝ - කථිකයෝ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

සිංහල බෞද්ධ ජනතාවගේ හැඟීම්වලට කන්දීම අවශ්‍යයි. ආණ්ඩු පෙරළෙන්නේ ඔවුන්ගේ ඡන්දවලින්...

මේ කතාව පසුගිය දවසක කිව්වේ නවීන් දිසානායක ඇමැතිවරයාය. ඔහු යූ.එන්.පියේ ජාතික සංවිධායක ද වෙයි. නවීන් මේ කතාව කිව්වේ නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ දායකාභිමානී ප්‍රණාම උළෙලේදීය. මේ උත්සව වේදිකාවේ ඔහු ළඟින්ම අසුන් ගෙන සිටියේ ගෝඨාභය රාජපක්ෂයි.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් පිළිබඳව උණුසුම් කතාබහ කරළියේ පැතිරෙද්දී නවීන් මේක අහම්බෙන් කී කතාවක් වීමට බැරිය. ඒ බව ඊළඟට ඔහු කළ සඳහන් කිරීම්වලින් පැහැදිලි වෙයි.

ජන නායකයකු ඕනෑම අවස්ථාවක බිහිවිය හැකියි. ඒක තීරණය කරන්නෙ ජනතාව. සුදුසුකම් එක්ක සුදුස්සාට තැන එනවා. මගේ පියා එතුමාට වයස 52 දී ජනාධිපති අපේක්ෂකයා බවට පත් වුණා. යැයි කී නවීන් දෛවය ගැනද කතා කළේය. ඔහු ගෝඨාභය රාජපක්ෂ හැඳින්වූයේ ජනාධිපති අපේක්ෂකතුමා වශයෙනි.

ගෝඨාභය කතා කළ අවස්ථාවේ මට ජනාධිපති අපේක්ෂක යැයි කීම ගැන ඔබතුමාට ස්තූතියි යැයි සඳහන් කළේය. පියාණන්ට කළ නොහැකි වූ දේ ඔබතුමන්ට කළ හැකි වේවායි ප්‍රාර්ථනා කරන බවද කී ගෝඨාභය ඔබතුමාගේ මාමණ්ඩිය ජනපති සටනට* එන බව ආරංචි යැයිද කීවේය.

නවීන්ට හදිසියේම ජනාධිපති අපේක්ෂකයකු වූ පියා, සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද, දෛවය, සුදුස්සාට සුදුසු තැන, මේ වගේ දේවල් මතක් වුණේ හදිසියෙන්ද? ඒ කරුණු ටික ගෝඨාභය ඉන්න වේදිකාවක දීම කියන්න විශේෂ හේතුවක් තිබෙනවද? මේ සියල්ලට පිළිතුරු ඇත්තේ මේ දවස්වල පවතින දේශපාලන වාතාවරණය තුළමය. දැන් මේ දේශපාලන වාතාවරණය කැරකෙන්නේ ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමිනි. තවම අපි මේ ගැන හිතලවත් නෑ කියා කුමන නායකයා කිව්වත් නායකයන් පමණක් නොව ඔවුන්ගේ ගෝලබාලයන් ද සමීපතම පවුල් සාමාජිකයන් ද මේ දවස්වල ජනාධිපතිවරණය පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවන බවට කතා දෙකක් නැත. මේ නායකයන් ඔක්කොම ටිකෙන් ටික තමන්ගේ හෝ තමන් සහාය දක්වන අපේක්ෂකයා වෙනුවෙන් හෝ කැම්පේන් එක දැනටමත් පටන්ගෙන තිබේ. හැබැයි ප්‍රධාන පක්ෂ දෙකේම මේ සම්බන්ධයෙන් බරපතළ ගැටලු ගණනාවක් පවතී. එකම වේදිකාවක නවීන් සහ ගෝඨාභය කළ ප්‍රකාශ එයට කිසියම් සමානකමක් දක්වන බව පෙනෙන්නට තිබේ.

නවීන් යූ.එන්.පියේ ප්‍රධාන සංවිධායක වුවත් ජනාධිපතිවරණය සම්බන්ධ කතාවලදී ඔහුගේ දායකත්වය ගැන සඳහන් වෙන්නේ කලාතුරකිනි. පක්ෂ නායක රනිල්, නියෝජ්‍ය නායක සජිත් සහ කතානායක කරැ ඉදිරියෙන්ම කියැවෙන නම් අතර වෙයි. එහෙම වුණත් සජිත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නවලදී එයට පිළිතුරැ දීම වුවමනාවෙන්ම මගහරින බව පැහැදිලිය. ඔහුගෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාදැයි ඇසූ කිසි අවස්ථාවක ඒ ගැන උනන්දුවක් නොදැක්වූ බව දැනගන්නට තිබේ. පෙනෙන්නට තිබෙන හැටියට සජිත් මේ වසර අවසානයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පක්ෂය වෙනුවෙන් ප්‍රධාන කථිකයා බවට පත්වනු මිස අපේක්ෂකයා නොවනු ඇත.

ඊළඟට කතානායක කරු ජයසූරියගේ නමද යූ.එන්.පී. ජනාධිපතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ මුලටම ඇවිත් තිබේ. පසුගිය අඟහරුවාදා (19) සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වය මගින් කරු ජයසූරිය මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව සම්මානයෙන් පුදනු ලැබීය. සම්බුද්ධ ශාසනය සහ ජාතිය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙය වෙනුවෙන් මල්වතු මහා විහාරය ලබාදෙන මේ සම්මානය ගිහියකුට ලබාදෙන ඉහළම ගෞරවයක් වශයෙන් සැලකෙයි. දේශපාලන ගමන් මගේ මේ සම්මානයට ලැබෙන්නේ ඉහළම පිළිගැනීමකි. යූ.එන්.පිය ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් කරු ජයසූරිය තෝරාගෙන ඇතැයි යන සැකය පැතිර යද්දී සිදුවූ මේ සම්මානය පුද කිරීම ඒ කතාවට උත්තේජනයක් ලබා දුන්නේය. එදා නවීන් සිටි වේදිකාවේදී ගෝඨාභය එළියට දැම්මේ එම සැකයේ කතාවය.

කෙසේ වුවද එළියට නම් පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ යූ.එන්.පියේ ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ ඉදිරියෙන්ම ඉන්නේ රනිල් බවයි. ඔහු උතුරැ පළාතට ගොස් නොනිල වශයෙන් තම කැම්පේන් එක ආරම්භ කළ අතර මේ දිනවල මේ වසර හතර තුළ නොකෙරුණු සංවර්ධන වැඩ විශාල ප්‍රමාණයකට අත ගසමින් සිටියි. සිරිකොත ගමට ගෙන යන වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති අතර අයවැයෙන් රටේ තරුණ කොටස්වල සහ උගත් තරැණ පරපුරේ ආකර්ශනය දිනාගැනීම සඳහා ප්‍රබල යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ ඇතැම් යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න ගැටලුවක් වුවද යෝජනා කිහිපයක් තරැණ පෙළේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බව පෙනේ. ඇතැම් වෙබ් මාධ්‍ය ආරංචි මාර්ග පසුගිය සතියේ සඳහන් කර තිබුණේ රනිල් යූ.එන්.පියේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවත් ඔහුගේ කැම්පේන් මැනේජර් වශයෙන් සාගල පත්කර ඇති බවත්ය. හැබැයි මේ සියලු කතා තවම ඇත්තේ තහවුරු නොකළ මට්ටමකිනි. මේ දේශපාලනය තුළ ඕනෑම තීරණයක් වෙනස් විය හැකිය. නවීන් අදහස් කළේත් ඒකමදැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත.

යූ.එන්.පියේ තත්ත්වය එහෙම වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රීලනිපය යන සියලු පක්ෂ ද ඉන්නේ ගැටලු සහගත තැනකය. ගෝඨාභය මේ සියලු බලවේග නියෝජනය කරන අපේක්ෂකයා බවට පසුගිය සති දෙක තුළදී පත්ව සිටියේය. ඔහු මේ බව ප්‍රසිද්ධ සභාවලදීද ප්‍රකාශ කර තිබිණි. නවීන් සිටි වේදිකාවේදී තමාට ජනාධිපති අපේක්ෂකතුමා යනුවෙන් කතා කිරීම ගැන ගෝඨාභය විරෝධය දැක්වූයේ නැත. එහෙත් පොහොට්ටුව ප්‍රමුඛ සියලු පක්ෂ ගෝඨාභය තම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පිළිගෙන ඇතිද යන්න නම් ප්‍රශ්නයකි.

ඒ බව වඩාත් පැහැදිලි වූයේ පසුගිය සති අන්තයේදී බොහොමයක් මාධ්‍ය හරහා ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් කෙරැණු සඳහන පිළිබඳව ඉන්පසුව විවිධ මත ප්‍රකාශ වීමෙනි. එය නිල නොවන ප්‍රකාශයක් බවටත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ගෝඨාභයගේ නම යෝජනා කිරීමක් නොවූ බවටත් අදහස් පළ විය. ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ගෝඨාභය නම් කෙරෙනවා නම් එය රාජපක්ෂ පවුලේ තනි තීන්දුවක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු නැති බව සමහරැන්ගේ අදහස වී තිබේ. මෙම තීන්දුව ජනාධිපතිවරයා රටින් බැහැරව සිටියදී ප්‍රකාශයට පත් කිරීම සැලසුම් සහගතව සිදුවූවක් බව තවත් මතයකි.

පොහොට්ටුවේ නොනිල නායක මහින්දටද ගෝඨාභයගේ නම යෝජනා කළ හැක්කේ ජනාධිපතිවරණය සඳහා ගොඩනැගෙන සන්ධානයක තීරණ ගන්නා විධායක කමිටුවකදීය. එවැනි කමිටුවක් සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන්ගෙන් සහ ඒ ඒ පක්ෂවල ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත වෙයි. එවිට යෝජනා ස්ථිරත්වයෙන් ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නිල වශයෙන් නම් කරගත හැක. එසේ සිදුවන තුරු කොයිතරම් ඉදිරියෙන් සිටියත් ගෝඨාභයට තම කඳවුර තුළින්ම විවිධ අභියෝග එල්ල වීමට තිබෙන ඉඩකඩ බැහැර කළ නොහැක.

කෙසේ වුවද අපේක්ෂකයා කවුදැයි හෙළිකිරීමට ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරැ බලා සිටිනවා යනු ප්‍රායෝගික නොවන තර්කයකි. විශේෂයෙන් අපේක්ෂකයා අලුතින්ම ඉදිරිපත් වන අයකු වනවිට ඔහු සම්බන්ධව මාස කිහිපයක දේශපාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වනු ඇත. ඒ සඳහා නිල පිළිගැනීමක් ලබාදීම අත්‍යාවශ්‍ය කොන්දේසියකි. එය දිගින් දිගටම මගහරින්නේ නම් ඒ කියන්නේ ඇතුළේ බරපතළ ගැටලු පවතින බවය.

මේ තත්ත්වය යටතේ ජනාධිපති සිරිසේන මහතා ද ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු තබාගෙන සිටීම ගැන පුදුම විය යුතු නැත. පොහොට්ටුවේ අපේක්ෂකයා තෝරා ගැනීම බරපතළ ගැටලුවකට යන්නේ නම් පොහොට්ටුව හා ශ්‍රීලනිප ඇතුළු සන්ධානයේ පොදු අපේක්ෂකයා වීමට තමන්ට අවස්ථාවක් ඇතැයි ඔහු සිතනවා විය යුතුය. මේ නිසා පොහොට්ටුවත් සන්ධානයත් අතර සාකච්ඡා පැවැත්වීම ගැන වඩාත් උනන්දුවෙන් බලා සිටිනවා ඇත්තේ ජනාධිපතිවරයාය. එසේම මහින්දත් ඒ ගැන විමසිල්ලෙන් සිටිනවා විය යුතුය.

කොහොම බැලුවත් මේ සාකච්ඡාවේදී නම් පොහොට්ටුව සහ ශ්‍රීලනිපය තම තමන් රවටා ගැනීම හැර වෙන යමක් සිදු නොවන බව පැහැදිලිය. කොතරම් කරුණුවලට එකඟත්වය පළ කළත් ඒ සියල්ල සිත නිවන කතා පමණි. ජනාධිපති අපේක්ෂකයා කව්ද යන ප්‍රශ්නයට ඇත්තේ එකම උත්තරයක් වීම ඊට හේතුවය. මේ උත්තරය ජනාධිපතිට පමණක් නොව මහින්දටද ප්‍රශ්නයක් වුණොත් ඊට ඇත්තේ එකම විසඳුමකි. එනම් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පාර හදා ගැනීමය. ඔක්තෝබර් 26ට පසුව ඇසට ඇස නොගැටී සිටි රනිල්ට ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනාධිපතිවරයා අනුමැතිය දුන්නේ ඒ නිසාදැයි කියන්නත් බැරිය.

- ශශීන්ද්‍ර