2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 109
විදේශ අමාත්‍යංශය හෙල්ලූ රාඝවන්ගේ කෙරුවාව
 
උතුරු පළාතේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් විසින් ජිනීවා සැසියට සහභාගි වීමෙන් පසුව සිදුකරන ලද ප්‍රකාශයට විදේශ අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් දැඩි ලෙස විරෝධය පළවී තිබේ. ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයකු වූ රාඝවන් පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් තැබීය. නිලධාරීන්ගේ විරෝධයට හේතු වූ ප්‍රකාශය ඔහු සිදුකළේ තමා විසින්ම කැඳවන ලද එකී මාධ්‍ය සාකච්ඡාවේදීය.
 
දූත පිරිසේ සාමාජිකයකු පමණක් වූ ඔහු එහිදී ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය තමන් විසින් කොමිසමට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැරැදි තිබිණි යැයි පිළිගත් බවය. දූත කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවකදී එම වැරදි සිදුකළ බවට ඇය තමන්ගේ නිලධාරීන් දෙදෙනකුට දොස් පැවරූ බවද ඔහු කියා තිබිණි. 
 
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අදාළ ප්‍රකාශය දැනගත් වහාම විදේශ අමාත්‍යංශ නිලධාරීන්ගේ පළමු විරෝධය මතුවිය. විදේශ අමාත්‍යංශයේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ එකී සාකච්ඡාව සම්බන්ධයෙන් පැවැසීමට යමක් තිබුණා නම් එය සිදුකළ යුතුව තිබුණේ දූත පිරිස මාර්ගයෙන් හෝ විදේශ අමාත්‍යංශය මාර්ගයෙන් බවය. නිලධාරීන් පෙන්වා දෙන්නේ රාඝවන් මහතා දූත පිරිසක එක් සාමාජිකයකු පමණක් බවයි.
 
තවත් දේ සිදුවිය. එ.ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මිෂෙල් බැචර්ලට් නිල නිවේදයක් නිකුත් කරමින් රාඝවන් මහතා විසින් පවසන ලද කරුණු ප්‍රතික්ෂේප කළාය. ඒවා ගොතන ලද කරුණු වශයෙන් ඇය හඳුන්වා තිබිණි.
 
රාඝවන් මහතා ඊළඟට කළේ කුමක්ද? ඔහු කියා සිටියේ තමන් විසින් ප්‍රකාශ කරන ලද කරුණු මාධ්‍ය මගින් වැරදි ලෙස උපුටා දක්වා ඇති බවය. එතැනින් නොනැවතී ඔහු මහ කොමසාරිස්වරිය සහ ඇයගේ කාර්යයන් ප්‍රශංසාවට ලක් කළේය. මෙයින් කියන්නේ ඇය විසින් ඉදිරිපත් කළ වාර්තාව ඔහු දැන් අනුමත කරන බවද? විදේශ අමාත්‍යංශයේ ප්‍රවීණයන් සඳහන් කරන්නේ සුළු දැනුමක් තිබීම භයානක බවය. බොරු පුවත් මවා ප්‍රචාරක වාසි ලබාගෙන එය වැරදීමෙන් පසුව මාධ්‍යයට වැරැද්ද පැටවීම මෙවැනි පුද්ගලයන්ගේ සිරිතය.
 
- සන්ඩේ ටයිම්ස්
 
ලයිට් කැපිල්ලෙන් අපට පමණක් නොව අපේ මෑණිවරුන්ටත් ජනතාව බණිනවා යැයි ජනපති කියයි.
 
ඉකුත් සතියේ අඟහරුවාදා (26) පැවැති කැබිනට් රුස්වීම උණුසුම් කළ එක් මාතෘකාවක් වූයේ විදුලිය කැපීමය. කලින් දැනුම් දීමකින් පසුව සිදුකළ විදුලිය කැපීම් මෙන්ම කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව විදුලිය කැපීම හේතුවෙන් ජනතාව පීඩනයට පත්වූ ආකාරයද එහිදී සාකච්ඡාවට භාජනය විය.
 
මහජනතාව තුළ මේ හේතුවෙන් ඇතිවූ අප්‍රසාදය සහ දැඩි කලකිරීමේ ප්‍රමාණය වටහාදීම සඳහා එම රැස්වීමේ මුලසුන දැරෑ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නගරවලත් ගම්වලත් ජනතාවට ආණ්ඩුවේ නායකයන්ට පමණක් නොව ඔවුන්ගේ අම්මලාටද බණින බවය.
 
කෙසේ වුවද දශක ගණනාවක් තිස්සේ එම පුත්‍රයන්ට කාලගුණය පිට වැරැද්ද පටවනවා හැරෙන්නට විදුලිය කැපීම මඟහරවා ගැනීමට කිසිම විසඳුමක් සොයාගැනීමට නොහැකි වී තිබේ. මීට කලින් දැඩි නියං කාලය තුළදී රාජ්‍ය ආයතනවල භාවිතයට පිටරටින් ගෙන්වාගත් ජෙනරේටර්වලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ක්‍රියාවිරහිතව පවතින බවද සඳහන්ය.
 
ජනාධිපතිවරයා මේ කැබිනට් රුස්වීමට සහභාගී වීම සඳහා පොළොන්නරැවේ සිට හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු භූමියට පැමිණි අතර එතැන් සිට නිල රියෙන් කැඳවාගෙන යනු ලැබීය.
 
- සන්ඩේ ටයිම්ස්
 
ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ලබන මාසේ යළි සමීක්ෂණයට
 
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරැව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම ලබන මැයි මාසයේදී නැවත සමීක්ෂණයට භාජන වනු ඇතැයි සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. එම නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකව පවතින බවද එසේ වුවත් ගිවිසුම පිළිබඳව නැවත සමීක්ෂණයක් සිදුකෙරෙන බවද ඔහු සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා - සිංගප්පූරැ නිදහස් වෙළෙඳ ගිවිසුම 2018 ජනවාරි 12 වැනිදා අත්සන් කරනු ලැබීය. ඒ පිළිබඳ දෙරට අතර සාකච්ඡා ඇරැඹුණේ 2016 වසරේ ජූලි මාසයේ 13 වැනිදාය. සාකච්ඡා වට 06ක් පවත්වා තිබිණි. මෙකී ගිවිසුම ශ්‍රී ලංකාව සම්බන්ධ වන එවැනි ආකාරයේ 06 වැනි ගිවිසුමයි.
 
කෙසේ වුවද ගිවිසුමේ ඇතුළත් ඇතැම් කරැණු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කළේය. එහි වාර්තාව පසුගිය දෙසැම්බර් 10 වැනිදා ජනාධිපතිවරයාට බාරදෙනු ලැබීය. කොළඹ සරසවියේ හිටපු උප කුලපතිවරයකු වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව එම වාර්තාව මගින් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර තිබිණි.
 
- ඩේලි මිරර්