2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කතිරෙට ඉව ඇල්ලීම

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 171

බජට් එක පාස් කරගන්න ආණ්ඩුවට නොහැකි වූයේ නම් ආණ්ඩුව බලයෙන් පහවෙනවද? එය එසේ වෙන්නේ නැත. පවතින ව්‍යවස්ථාවට අනුව එය යළිත් වරක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ඉඩකඩ සලසා තිබේ. එසේත් නොමැති නම් අමාත්‍යවරයාගේ විෂය මාරුකොට යළිත් අයවැය ඉදිරිපත් කළ හැකිය. බජට් එක පැරැද්දුවත් ආණ්ඩුව වැටෙන්නෙ නැත්නම් පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) කට්ටිය ශ්‍රීලනිපයේ ඡන්ද ටික බජට් එකට විරුද්ධව පාවිච්චි කරවා ගන්නට මේ තරම් මහන්සියක් ගත්තේ ඇයි? 

ඒකට හේතුව ආණ්ඩුව වට්ටවා අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට නොව ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිස පොහොට්ටුවේ අණට කීකරැ කරවාගෙන ශ්‍රීලනිපයට අවශ්‍ය දේ නොව පොහොට්ටුවට අවශ්‍ය දේ ශ්‍රීලනිපය ලවා කරවා ගැනීමටය. සිකුරාදා (05) ඡන්දය විමසීමේදී ශ්‍රීලනිපය බජට් එකට විරුද්ධව ඡන්දය දුන්නත් ටී.එන්.ඒ. ඡන්ද ටිකේ සහාය ඇතිව ආණ්ඩුව එය සම්මත කරගන්නා බව පොහොට්ටුවේ නායකයෝ දැන සිටියහ. එසේ වුවත් ශ්‍රීලනිපයේ මන්ත්‍රී කණ්ඩායම තමන්ගේ අණසකට ගැනීම පොහොට්ටුවේ නායකයන්ගේ අදහස වූ බව පැහැදිලිය. එය ශ්‍රීලනිපය සම්බන්ධ කර ගනිමින් පිහිටුවීමට යෝජිත සන්ධානයේ දී ඉදිරි ක්‍රියාමාර්ගවලදී ඔවුන්ට පහසුවකි. එවැනි සන්ධානයක් හැබෑවටම පිහිටුවනවා නම් ශ්‍රීලනිපයට එහිදී හිමිවන්නේ සම තත්ත්වයක් නොවන බවට මෙය පැහැදිලි ඉඟියකි.

ජනාධිපතිවරණයට පෙර සන්ධානයක් පිහිටුවා ගැනීම පොහොට්ටුවේ අවශ්‍යතාවක් නොවන බව ඔවුන් දිගින් දිගටම ප්‍රදර්ශනය කර තිබේ. පොහොට්ටුව මේ ස්ථාවරය ගන්නේ මීට අවුරුද්දකට පමණ කලින් පැවැති පුංචි ඡන්දයේ ප්‍රතිඵල මත පිහිටා බව පැහැදිලිය. ඒ අවස්ථාවේදී ප්‍රතිශත මට්ටම පසෙකින් තැබුවත් මුළු රට පුරාම ජයගෙන තිබුණේ රටේ අලුතින්ම බිහිවූ පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ය. මේ රටේ ඉතාම කෙටි කලකින් නමට වඩා සලකුණින් හඳුන්වන දේශපාලන පක්ෂය බවට පත්වූයේ පොහොට්ටුව බවට විවාදයක් නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා පොහොට්ටුව නම ජනතාවගේ කටට හුරුවීමට වැඩි කලක් නොගියේ එම පුංචි ඡන්දයේ ප්‍රතිඵලයත් සමඟය. එය කොතරම්දැයි කියනවා නම් යූ.එන්.පියේ අයට අලියා ලාංඡනය හුරැවී ඇති තරමට ශ්‍රීලනිපයේ බොහෝ දෙනකුට අද හුරුවී ඇත්තේ අත නොව පොහොට්ටුව නම් ලාංඡනයයි. බුලත් කොළය (එජනිස)ටත් වඩා වාමාංශික ඡන්ද දායකයන්ට පුරුදු වී ඇත්තේ පොහොට්ටුවයි. මේ තත්ත්වය යටතේ පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ගහන සන්ධානයේ අපට මොනවා වනු ඇතිදැයි ශ්‍රීලනිප පාක්ෂිකයන්ට කල්පනා නොවෙනවා නම් පුදුමය. 

මොන දේ වුණත් ශ්‍රීලනිපය අතහැර පොහොට්ටුවට යන මන්ත්‍රී පිරිසක් සිටින බව ජනාධිපතිවරයා ද දැන සිටියි. නල්ලතන්නියේ දී පොහොට්ටුවට එකතු වීමට පෙරැම් පුරාගෙන සිටි ඩිලාන් කන්ද පාමුලදීම පොහොට්ටුවට එකතුවන බව බජට් එකට පෙර සිටම කියූ කතාවලින් පැහැදිලි විය. පක්ෂය කුමන තීරණයක් ගත්තත් තමා අයවැයට එරෙහිව ඡන්දය භාවිත කරන බව ඩිලාන් කිව්වේ ඊට කලින් දවසේ (04) ය. අයවැය දෙවැනි වර කියැවීමේදීද ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් සිව්දෙනකු එයට විරුද්ධව ඡන්දය භාවිත කළ බවද මන්ත්‍රීවරයා කියා තිබිණි. ඒ එක්කම ඔහු කියා තිබුණේ අයවැයේ දී ඡන්දය භාවිත කරන ආකාරය මත ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා බිඳවැටෙන්නේ නැති බවය.

කෙසේ වුවද එම මාධ්‍ය හමුවට සහභාගි වී සිටි එස්.බී. දිසානායක ප්‍රකාශ කර තිබුණේ ඡන්දය විමසන අවස්ථාවේ එය බලාගමු කියාය. පක්ෂය සමඟ එක්ව සිටීම තමන්ගේ අපේක්ෂාව වුවත් එක්ව සිටිය නොහැකි අවස්ථාද තිබෙන බවත් ඔහු කීය. එහෙත් මේ සියලු කතා අවසානයේ දී වෙනස් වූයේ අයවැය ඡන්දය විමසන අවස්ථාවට පෙර ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට ගත් තීන්දුව සමඟිනි. එය මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සහාය දක්වමින් සිටි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම දෙකට කැඩෙන බවට පෙරනිමිත්තක් විය.

ශ්‍රීලනිපය තවදුරටත් තමන් කියන ආකාරයට කටයුතු නොකරන්නේ නම් පොහොට්ටුව ඒ ගැන නිහඬව නොසිටින බවට සැකයක් නැත. ඔවුන් සන්ධානය ගහන සාකච්ඡා පවා ලබන 10 වැනිදාට යොදාගත්තේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ කීකරුකම බලාගැනීමට බව පැහැදිලිය. මේ ගත් තීන්දුවේ ප්‍රතිඵලය එම සාකච්ඡාව තුළදී සලකා බැලෙනු ඇත. කොහොම වුණත් අවුරුදු කටේ පැවැත්වෙන මේ සාකච්ඡාවේ දී වැඩි යමක් සිදුනොවනු ඇත. එහෙත් ඊළඟට එළඹෙන්නේ තීරණාත්මක කාලයකි.

විපක්ෂ නායක සහ පොහොට්ටුවේ නොනිල නායක මහින්ද රාජපක්ෂ පසුගියදා කියා තිබුණේ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කව්දැයි ලබන ජූනි මාසයේ දී ප්‍රකාශයට පත් කරන බවය. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව එළඹෙන්නේ වෙසක් මාසයයි. මහින්දගේ භාෂාවෙන් කියනවා නම් තව හරියට පෝය දෙකකින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කව්දැයි ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මහින්දම කියා තිබෙන පරිදි ජූනි මාසයේ දී එම නම ප්‍රකාශයට පත් නොවුණොත් එයින් පැහැදිලි වන්නේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පොහොට්ටුව තුළ උග්‍ර මත ගැටුම් පවතින බවය. ජූනි මාසයෙන් පසුව ජනාධිපතිවරණය තෙක් ඇත්තේ මාස 05ක පමණ කාලයක් පමණි. ඒ නිසා නිල වශයෙන් අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කිරීම තවදුරටත් කල්දැමිය නොහැක. කල්තබා කිව නොහැකි පොදු අපේක්ෂකයකු නොවන්නේ නම් නම ප්‍රකාශ කිරීම කල්යාමට හේතුවක් නැත.

නිල වශයෙන් නොකිව්වත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය බව දැන් සියලුදෙනාම දැන සිටී. ගෝඨාභය අමෙරිකාව බලා යාමට පෙර හමුවූ තම සමීප හිතමිතුරන්ට පවසා තිබුණේ තමාට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම පිළිබඳ ගැටලුවක් නැති බවය. ඔහු ලබන 12 වැනිදා ආපසු පැමිණීමට නියමිතය. අවුරුදු දිනය රාජපක්ෂ පවුලේ සොහොයුරන් එකට හමුවන අවස්ථාවකි. මෙවර ඔවුන්ගේ මාතෘකා අතුරින් ප්‍රධාන වනු ඇත්තේ ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය බවට සැකයක් නැත.

ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වීම පොහොට්ටුවේ සියලුම සාමාජිකයන්ගේත් පොහොට්ටුවට සහාය දක්වන සියලුම මන්ත්‍රීවරුන්ගේත් කැමැත්ත ඉටුවීමක් බව සැබෑවකි. එසේ වුවත් ශ්‍රීලනිපයේ සිටින ජනාධිපතිවරයාට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායමේ කැමැත්ත එයමදැයි ඇත්තේ සැකයකි. එපමණක් නොව මහින්දගේ මන්ත්‍රී කණ්ඩායමේ කුමාර වෙල්ගම දිගටම ගෙනයන ගෝඨාභය විරෝධය කොතැනින් කෙළවර වේ දැයි කීම අමාරුය. දැනට දැනගන්නට තිබෙන්නේ නිසැකවම ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා නම් වෙල්ගම තවදුරටත් මහින්ද සමඟ රැඳී නොසිටින බවය. වෙල්ගම ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයකු වීමත් පක්ෂය විවිධ හැලහැප්පීම්වලට ගොදුරු වනවිට එය අත නොහැර සිටිමින් කළුතර ඉතා ජනප්‍රිය දේශපාලනඥයකු වශයෙන් හිස එසවීමත් නිසා මහින්දට ඒ ගැන නොදැක්කා සේ සිටින්නටත් හැකියාවක් නැත. අඩුම තරමින් ගෝඨාභය සහ වෙල්ගම හමුවකට මඟපාදා දීම හෝ කළ හැක්කේ මහින්දට පමණි.

බජට් එකට ඡන්දය දුන් ආකාරය පමණක් සලකා ශ්‍රීලනිපය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම පොහොට්ටුවට අපහසු වනු ඇත්තේ මේ නිසාය. දැනට රටේ පවතින වාතාවරණය අනුව බැලූ බැල්මට ආණ්ඩුවේ ජනප්‍රියත්වය පවතින්නේ පිරිහී ගිය මට්ටමකය. එහෙත් ඒ පිරිහී ගොස් ඇති මට්ටමේ තරමට විපක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ නැග තිබේද යන්න නම් විශාල ගැටලුවකි. මහින්දට රට තුළ තිබෙන ජනප්‍රියත්වයේ පරිමාව පක්ෂයේ සෙසු නායකයන්ට නැත. මේ දිනවල පවතින විදුලිය කැපිල්ල හේතුවෙන් ආණ්ඩුව තවදුරටත් පල්ලම් බසින බවත් පැහැදිලිය. එහෙත් පොහොට්ටුව පසුගිය වසරේ පැවැති පුංචි ඡන්දයේ ප්‍රතිඵල මත පමණක් පිහිටා ගණං හැදීම වැරදි ගණනාවකට මුල පිරීමක් විය හැකිය. වෙල්ගම සාධකය ඊට එක උදාහරණයක් පමණි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුව තවම අතහැර නැත්තේද ඒ නිසාය. පොහොට්ටුව සමඟ පොදු සන්ධානයකට යා නොහැකි නම් ඔහු ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ අභිලාෂය ප්‍රකාශ කිරීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී පොහොට්ටුවේ මතයට විරුද්ධව යාමට හේතුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ දෙකේ ප්‍රශ්නය නොවන බවත් පැහැදිලිය. පොහොට්ටුවේ මතයට හිස නැමීම මේ අවස්ථාවේදී දේශපාලන වශයෙන් හරාකිරි කර ගැනීමක් හැටියට ජනාධිපතිවරයා දැක්කා නම් ඒ ගැන පුදුම නොවිය යුතුය.

ජනාධිපතිවරණය සහ අපේක්ෂකයා ගැන ප්‍රශ්න ඇත්තේ පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ පමණක් නොවේ. යූ.එන්.පී. ඇතුළේද පිටට නොපෙනෙන බරපතළ සංවාදයක් ඒ ගැන පවතින බව දැනගන්නට තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ කැමැත්ත පෙන්වා තිබුණත් යූ.එන්.පී.යේ ජ්‍යෙෂ්ඨයන් වැඩිදෙනකුගේ මතය ඊට වෙනස් වීමට ඇත්තේ ලොකු ඉඩකි. බොහෝ දෙනකුගේ අදහස මේ අවස්ථාවේදී ෆ්‍රෙෂ් මුහුණක් සමඟ ඡන්දයට ආවොත් ගෝඨා තම පක්ෂය ඇතුළේත් සුළු ජාතික ඡන්ද ගැනීමේදීත් මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක හොඳ සටනක් දීමට හැකිවන බවය. නමුත් මේ අදහස රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සමීප සියලුදෙනාම බැහැර කරන මතයකි.

කෙසේ වුවත් අයවැය ජනාධිපතිවරණ අපේක්ෂක සටන තවදුරටත් උණුසුම් කර තිබේ. හරියට බැලුවොත් ශ්‍රීල.නි.ප.යේ, යූ.එන්.පී.යේ සහ පොහොට්ටුවේ නායකයන් ඔක්කොම ඉන්නේ ගෙස් එකේය.

 ශශීන්ද්‍ර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00