2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සටන් මැද සටන්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

මේ රටට විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේ යූ.එන්.පී.යයි. 78 ජේ.ආර්.ගේ එම ව්‍යවස්ථාව යටතේ යූ.එන්.පී. ජනාධිපතිවරැන් මහජන ඡන්දයෙන් තේරී පත්වූයේ දෙදෙනකු පමණි. ඒ ජේ.ආර්. (1982) සහ ආර්. ප්‍රේමදාස (1988)ය. ප්‍රේමදාස මහතා ඝාතනය වීමෙන් පසුව එවකට අගමැති ධුරය දරමින් සිටි ඩී.බී. විජේතුංග ජනාධිපති පදවියේ දිව්රුම් දුන්නේ ව්‍යවස්ථාවට අනුව ධුරය පුරප්පාඩු වූ අවස්ථාවකදී ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයට අනුවය. ඉන්පසුව චන්ද්‍රිකා (1994 සහ 1999) මහින්ද රාජපක්ෂ (2005 සහ 2010) මහජන ඡන්දයෙන් ජනාධිපති තනතුරට පත්වූ අතර 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ පොදු අපේක්ෂකයකු වශයෙන් මිස යූ.එන්.පී. අපේක්ෂකයා වශයෙන් නොවේ. එහිදී භාවිත වූ ඡන්දයෙන් අති බහුතරය යූ.එන්.පී. බව සැබෑවක් වුවද ඒ තුළ ශ්‍රීලනිප ඡන්ද කුඩා ප්‍රතිශතයක්ද තිබිණි. ඒ උතුරු නැගෙනහිර දමිළ සහ මුස්ලිම් ඡන්දවලට අමතරවය.

ඒ අනුව බැලුවොත් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී ගෙවී ගිය වසර 41 තුළදී යූ.එන්.පී. ජනාධිපතිවරයකු මහජන ඡන්දයෙන් තේරී පත්වී එම ධුරයේ කටයුතු කර ඇත්තේ වසර 15ක් පමණි. අනෙක් වසර 26 පුරාම රටේ ජනාධිපති ධුරය දරා ඇත්තේ ශ්‍රීලනිප නායක නායිකාවන් විසිනි. පවතින තත්ත්වය පිළිබඳව යූ.එන්.පී. පාක්ෂිකයන් තුළ කලකිරීමක් හටගැනීම ගැන පුදුම විය යුතුද? අඩුම තරමින් තමන්ගේ පාලනය යටතේ තමන්ව දැඩි පීඩනයකට හසු වී තිබීම ගැන යූ.එන්.පී. පාක්ෂිකයන් තුළ බලවත් නොසන්සුන්කමක්, කැළඹීමක් ඇතිවීම ගැන ප්‍රශ්න කළ යුතුද?

ඒ ගැන සොයාබැලීමට නම් මේ දවස්වල යූ.එන්.පී.ය ඇතුළේ ඇරුඹී තිබෙන රවි - සජිත් වාග් සංග්‍රාමය ඇතුළේ ප්‍රකාශිත කරුණු ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. ටික කලක් නිහඩව සිටි රවි හදිසියේ පසුගියදා මඩකලපුවේ පැවති රැස්වීමකදී නම නොකියා සජිත්ට පහර දුන්නේය. දෙමව්පියන්ගේ නම් විකුණා දේශපාලනය කිරීම වැරැද්දක් බවත් අවශ්‍ය වෙලාවලදී පමණක් ප්‍රබල සටන්කරුවකු වී අනෙක් වෙලාවට අහක බලාගැනීම සහ වන් මෑන් ෂෝ දේශපාලනයට ඉඩක් නොදෙන බවත් රවි කියා තිබුණි. සජිත් මේ ප්‍රකාශයට උත්තර දුන්නේ ලුණුගම්වෙහෙරේ පැවැති මහජන හමුවකදීය. දේශපාලනයේදී ඇතැම් වසලයන් තමන් බ්‍රාහ්මණයන් යැයි සිතා බ්‍රාහ්මණ ක්‍රියාවල නිතරව සිටින පුද්ගලයන්ට මඩ ප්‍රචාර එල්ල කරන බවට චෝදනා කළ සජිත් බැංකු කඩපු මනුස්සයා ඇත්තවශයෙන්ම වසලයකු නොවේදැයි ප්‍රශ්න කර තිබිණි. බැංකු කඩලා, කොමිස් ගහලා, තමන් හෝ තමන්ගේ භාර්යාව හෝ යොදලා අල්ලස් ගැනීම බ්‍රාහ්මණ ක්‍රියාවක් නොවන බවද වසලව ක්‍රියාකළ පුද්ගලයා ගියොත් එතැන ඉවරයිද ආලෝකය බලාපොරොත්තු වන ජනතාවට ලැබෙන්නේ අන්ධකාරය බවද සජිත් දැඩිව ප්‍රකාශ කර තිබිණි.

මේ වාග් සටන දිගටම ඇදී යද්දී යූ.එන්.පී.යේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබුණේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා සහ උපනායකයා මෙසේ ප්‍රසිද්ධියේ බැණ ගැනීම පක්ෂයේ පැවැත්මට හොඳ නැති බැවින් මේ දෙදෙනා අතර සමගියක් ඇතිකරන ලෙසටය. ලබන සතියේදී රවි සහ සජිත් අතර පවතින ගැටුම සමථයකට පත්කරන බව ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා කියා තිබිණි. දැනට මේ දෙදෙනාගේ වාග් සටන් නැවතී තිබෙන බවක් පෙනුණද එහි තවමත් අළු යට ගිනි ඇවිලෙන බවක්ද පෙනෙන්නට තිබේ.

මෙසේ ප්‍රසිද්ධියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බැණ ගැනීමෙන් පක්ෂයට කිසිදු යහපතක් සිදු නොවන බව යූ.එන්.පී. පසුපෙළ මන්ත්‍රීවරැන්ගේ පමණක් නොව පක්ෂ සාමාජිකයන්ගේත් මතය බවට සැකයක් නැත. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද රට තුළ පවතින්නේ යහපත් මතයක් නොවේ. කොටින්ම ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහෙමින් පවතින බව රටේ බොහොමයක් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. එවැනි මට්ටමක කටයුතු කරද්දී පක්ෂයේ නායකයන් මෙසේ එළිපිට කුළල් කා ගැනීම පක්ෂයේ සමීපතමයන්ගේ කලකිරීම උග්‍ර කරවන බව පැහැදිලිය. මේ ගැටුම්වලට රුකුල් දෙන පිරිස් පක්ෂය ඇතුළේම සිටිය හැකි බවත් ඔවුන්ගේ අපේක්ෂාව මෙවැනි ගැටුම් ඇතිකර ආණ්ඩුව හෝ පක්ෂය හෝ මුහුණ දෙමින් සිටින බරපතළ ප්‍රශ්න වෙනතකට හැරවීම බවත් තවත් පිරිසකගේ මතයයි.

මේ ආකාරයේ ගැටුම් ඕනෑම පක්ෂයකට පොදු විය හැකි වුවද ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වන්නේ කවුද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නොමැති අවස්ථාවක මෙසේ සිදුවීම බොහෝ දෙනා තුළ සැකයක් ඇතිකර තිබේ. යූ.එන්.පී.යේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව වරින්වර ප්‍රකාශ වූ බවත් අග්‍රාමාත්‍යවරයා තම කැම්පේන් එක පවා සැලසුම් කරගෙන යන බවත් ප්‍රකාශයට පත්විය. පක්ෂයේ මහලේකම් අකිල විරාජ් ඇමැතිවරයා කෙළින්ම ප්‍රකාශ කර තිබුණේ තම පක්ෂයේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් අමරතුංග ඇමැතිවරයාද සති කිහිපයකට උඩදී ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා කියාය. එසේ වුවද පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් සහ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මේ පිළිබඳව කිසිම අදහසක් ප්‍රකාශ කරන්නේ නැත. සමහරුන් කියන්නේ මෙම ජනාධිපතිවරණය පිළිබඳව නිල ප්‍රකාශයක් නැති බැවින් අපේක්ෂකයා කවුදැයි කීම නිෂ්ඵල බවය.

මේ කෙසේ වුවත් යූ.එන්.පී.යේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි විමසන විටදී සජිත්ගේ නමද සඳහන් වන බව රහසක් නොවේ. කරැ ජයසූරියගේ නමද ඒ සමඟ සඳහන් වෙයි. එහෙත් මේ දෙදෙනා අතරින් සජිත්ගේ නම පක්ෂයේ වඩාත් ජනප්‍රිය තීරණය බවට පත්වීමට ඇත්තේ වැඩි ඉඩකි. සජිත් මේ සම්බන්ධයෙන් එළිපිට කිසිම අදහසක් ප්‍රකාශ කර නැත. පක්ෂනායක රනිල් හමුවූ අවස්ථාවලදී ඔහු මේ පිළිබඳව දක්වා ඇති අදහස්ද දැනගැනිමට නැත. යූ.එන්.පී.ය තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව අභ්‍යන්තර මත ගැටුමක් තිබෙන බවත් රවි - සජිත් වාග් සටනට එයද එක් හේතුවක් බවත් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා දැනට ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබෙන සත්‍යයයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන ගැටලුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිටින්නේද තීරණාත්මක අවස්ථාවක බව පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නේ කවුද ඔහු පොහොට්ටුවේ අපේක්ෂකයා වන බවට සැකයක් නැත. එහෙත් ගෝඨාභය සම්බන්ධයෙන් පොහොට්ටුවේ අභ්‍යන්තරයෙන් සහ බාහිර පාර්ශ්වවලින් එල්ල වුණු දැඩි බලපෑමට මහින්දට හිස නැමීමට සිදුවූ බව පෙනෙන්නට තිබූ තත්ත්වයයි. ගෝඨාභය නම් කරනවාද නැද්ද යන ගැටලුවට එක එල්ලේ පිළිතුරක් නොදී තිබුණද ගෝඨාභයට සහාය දක්වන පාර්ශ්ව දිගින් දිගටම එල්ල කළ බලපෑම් හමුවේ ඔහුගේ නම නිල නොවන මට්ටමින් ප්‍රකාශට පත් කිරීමට මහින්දට සිදුවූ බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතයයි. ගෝඨාභය අමෙරිකානු සංචාරයකට ගියේ එම පසුබිම තිබියදීය.

එසේ වුවද ගෝඨාභයගේ අමෙරිකානු ගමනින් දැන් පොහොට්ටුව අනපේක්ෂිත ප්‍රශ්නයකට මුහුණ දී සිටී. එනම් ඔහුට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පවරා ඇති නඩු දෙකයි. මෙයින් එක් නඩුවක් අධිකරණය ඉදිරියේ පසුගියදා විවෘත කර තිබිණි. ඒ අනුව එදින සිට ඉදිරියට සති තුනක කාලයක් තුළදී ගෝඨාභය හෝ ඔහු වෙනුවෙන් නම් කෙරෙන නීතිඥ කණ්ඩායමක් විසින් හෝ පිළිතුරු බැඳිය යුතුව තිබේ. තමා එම නඩු විභාගයට පෙනී සිටින්නේද නැද්ද යන්න එහිදී ප්‍රකාශ කිරීම අවශ්‍යය. නඩු විභාගයකට පෙනී සිටිනවාද නැද්ද යන්නට වඩා ගෝඨාභයට අදාළ වන්නේ මේ ක්‍රියාදාමය ඉදිරි මාස කිහිපය තුළදී අවසන් කර ගැනීමට හැකියාව තිබේද යන්නය. අඩුම තරමින් ලබන ඔක්තෝබර් මාසයට පෙර ඒ ගැන නිශ්චිත අදහසක් ලබාගැනීමට නොහැකි නම් එය ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නම්කරනු ලැබීමට බලපෑ හැකිය. එහෙත් එසේ වන්නේ නඩු කටයුතු හේතුවෙන් ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙළ ඇන හිටියොත් පමණි. ඒ ගැන අවසන් තීරණය ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අතේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද මහින්ද රාජපක්ෂ මහතා සමඟ දිගින් දිගටම සබඳතා පවත්වා ගනිමින් සිටින්නේ පවතින මේ පසුබිම පිළිබඳ මනා හැදෑරීමක් කරමින් බව පැහැදිලිය. තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට අවස්ථාවක් තමන්ට තිබෙන බව ඔහුට නොදැනෙනවා නම් එය පුදුමය. ජනාධිපතිවරණය මේ කිහිපදෙනා අතරේ සංගීත පුටු තරගයක තත්ත්වයට පත්ව තිබෙන්නේ මේ හේතු නිසාය.

I ශෂීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00