2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

මම දැනගත්තෙත් සෝෂල් මීඩියා එකෙන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා (26) මෙරට පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන් හමුවිය. උදෑසන 8.45ට පමණ ඇරුඹුණු මේ හමුව පැය දෙකක පමණ කාලයක් පැවැති අතර අවසානයේ උදෑසන භෝජන සංග්‍රහයක්ද විය. එහිදී ජනාධිපතිවරයා ප්‍රහාරයේ වගකිම රජය බාරගත යුතු බව ප්‍රකාශ කළේය. එම වගකීමෙන් තමාද නිදහස් නොවන බවද ජනාධිපතිවරයා කීය. විශේෂයෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන් හිරේ යැවූ අයත් මර්දනය කළ අයත් මත මේ වගකීම පැටවෙන බවද ඔහු කීය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළ කරුණු කිහිපයක් මෙසේය.

කලින් ලැබුණු ඉන්දීය වාර්තාව

පසුගිය අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවෙන් මෙරට රාජ්‍ය බුද්ධි අංශ වෙත ලැබුණු දීර්ඝ ලිපියක මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් වී තිබුණා. දේවස්ථාන, හෝටල්, රෝහල් වැනි මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන එහිදී ඉලක්ක විය හැකි බවත්, බෝම්බ ප්‍රහාර, තුවක්කු සහ ස්නයිපර් තුවක්කු මේ සඳහා යොදාගත හැකි බවත් එහි සඳහන් වී තිබෙනවා. ආරක්ෂක ලේකම් සහ පොලිස්පති දෙදෙනා මේ සම්බන්ධයෙන් මට කිසිම දැනුම්දීමක් කළේ නැහැ. මම රට ගියේ 16 වැනිදායි. නමුත් මට මේ තොරතුරු දැනුම් දුන්නේ නෑ.

සිද්ධිය මුලින් දැනගත්තේ ‍සිංගප්පූරුවේදී

මා දින 04ක් ඉන්දියාවේ සිට සිංගප්පූරුවට ගියා. සිද්ධිය දැනගත්තේ සිංගප්පූරැවේ දී සෝෂල් මීඩියාවලින්. ඉන්පසුව සෝෂල් මීඩියාවල ප්‍රචාරය කෙරුණු පොලිස් නිලධාරියකු විසින් යවන ලදැයි කියූ ලිපියද මා දැක්කා. මට සමහරු චෝදනා කරනවා රට යනවිට ආරක්ෂක ඇමැති ධුරයේ වැඩබැලීමට කිසිවකු පත් කළේ නෑ කියා. නමුත් මීට පෙර සිටි ජනාධිපතිවරුත් පිටරට යනවිට වැඩබැලීම සඳහා ආරක්ෂක ඇමැතිවරයකු පත් කළේ නැහැ. එසේම මීට පෙර සිටි සෑම විධායක ජනාධිපතිවරයකුගේ කාලයේදීම මේ රටේ බෝම්බ පිපිරැණා. ඒවා සිදුවූයේ එල්.ටී.ටී.ඊ. යුද්ධය කාලේ බවත් පැවසිය යුතුයි. මෙවර පිපිරීම් සිදුවුණේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් නිසයි. නමුත් මේ නිසා සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස සැකයෙන් බැලිය යුතු නෑ. සර්ව ආගමික සමුළුවට පැමිණි ගාල්ලේ මෞලවිතුමා තම දරුවා පාසලට යැවීමට පවා නොහැකි වන බව කියා හැඬුවා. ඔහු අස්වැසීමට කාටත් බැරිවුණා.

රජය සමඟ ඇති ප්‍රශ්නය

පසුගිය වසර දෙකක පමණ කාලයක සිට මා සහ රජය අතර ගැටලු ආරම්භ වුණා. ඒකට හේතු වුණේ මේ ආණ්ඩුවේ ඉන්න මානව හිමිකම් බාස්ලාගේ කටයුතුයි. සියල්ලම ඒ අයට ඕනෑ හැටියට ඒ අයගේ ප්‍රමිතිවලට කරන්න අවශ්‍ය වුණා. බුද්ධි අංශ දුර්වල කළා. හමුදා නිලධාරීන් සිරගත කිරීම්වලට මම විරැද්ධ වුණා. එදා ඒ දේවල් කළ මානව හිමිකම් බාප්පලාට අද යන එනමං නැතිවෙලා. හමුදා නිලධාරීන්ටත් මේ රටේ නීතිය වලංගුයි. ඒ අයට වැරදි කරන්න බැහැ. එසේ වුවත් අල්ලස් කොමිසම එක දවසට හමුදාපතිවරැ දෙතුන් දෙනා උසාවි ගෙන යනවාට මම විරුද්ධ වුණා. ඒවා එහෙම කියනකොට අල්ලස් කොමසාරිස්වරිය ඉල්ලා අස්වුණා.

බුද්ධි අංශ නිලධාරීන්

ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානීන් එක එක තැන්වලට මාරැ කිරීමට පියවර ගෙන තිබුණා. මේ සමහරැ මා හමුවීමට ඇවිත් තානාපති අංශයේ රැකියා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළා. සුරේෂ් සලේ වැනි ප්‍රධාන පෙළේ බුද්ධි නිලධාරීන්ට සිදුවුණේ එවැනි තැනකට වැටෙන්නයි.

කුඩුවලට එරෙහි ක්‍රියාමාර්ග

පසුගිය කාලය තුළ මම මෙරට කුඩු ජාවාරමට එරෙහිව දැඩිව කටයුතු කළා. ඒ එක් වැඩසටහනකට කාදිනල්තුමා හාරදහසක පමණ පිරිසක් රුගෙන විත් සහභාගි වුණා. මා හිතන්නේ මෙයත් මේ ප්‍රහාරවලට එක් හේතුවක් වෙන්න පුළුවන් බවයි.

පාර්ලිමේන්තු වීරයෝ

පහුගිය දවසක මම දැක්කා පාර්ලිමේන්තුවේදී සමහරැ වීරයෝ වගේ කතා කළා. ඒ ගොල්ලන්ටත් එකපාර ඔක්කොම කරන්න බැරිවුණා. අමෙරිකාව, එංගලන්තය, යුරෝපය, ප්‍රංශය, නවසීලන්තය, ඉන්දියාව වගේ රටවල් වලටත් මේ වගේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණා. ඒ වගේ ප්‍රබල රටවල් වලටත් මේ ප්‍රහාර වළක්වා ගන්න බැරිවුණා.

බ්‍රේකිං නිව්ස්

මේක ජාතික ප්‍රශ්නයක්. ඒ වුණත් බ්‍රේකිං නිව්ස් කියලා ඒ වගේ නිව්ස් බලාගෙන වැඩකරන ඇතැම් මාධ්‍ය රටම කලබල කරනවා. මේ නිව්ස් මහා නිෂ්ඵල ඒවා. එහෙම කරන්න එපා කියලා මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. වට්ස්ඇප්, වයිබර්, යූ ටියුබ් තහනම ඉවත් කරන්න හිතුවත් ඒ තීරණය මේ බ්‍රේකිං නිව්ස් වැඩේ නිසා ප්‍රමාද කරන්න වෙනවා.

මෙම සාකච්ඡාව ආරම්භ කෙරුණේ යුද හමුදාපති සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මුස්ලිම් අන්තවාදය, තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ ඉදිරිපත් කළ විග්‍රහයකින් පසුවය. ඒ සඳහා වීඩියෝ දර්ශනද උපකාරී කරගනු ලැබීය.