2019 ජුනි 01 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

අගමැති ධම්මිකට දොර වසයි

මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කරන්න යන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරාද?

යූ.එන්.පී නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉකුත් සතියේ දිනක අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී මේ ප්‍රශ්නය විමසුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් විසිනි.

මොන පිස්සුද? යන්න අග්‍රාමත්‍යවරයාගේ පිළිතුර විය. ඔහු මෙසේද ප්‍රකාශ කළේය. මේ අවුරුද්දෙ පෙබරවාරි මාසේ දැක්කට පස්සේ මම එයාව හමුවුණේ නෑ.

මලික් සමරවික්‍රම සහ රවි කරුණායක ඇමැතිවරුද මේ අවස්ථාවේ එහි සිටියහ. ව්‍යාපාරිකයා අපේක්ෂකයකු වීම සම්බන්ධයෙන් මලික් දැඩි විවේචනයක් කළේය. කෙසේ වුවද රවි කරුණානායක ද වචන කිහිපයක් කියා ඇති නමුත් ඒ වචන නොඇසුණු බව එතැන සිටි අය කියති.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීමට ඉඩ ඇත්තේ ධම්මික පෙරේරා බවට වන කතා සමාජ මාධ්‍ය ඔස්සේ පට්ට ගසා තිබේ. සමහර මාධ්‍ය ධම්මික පෙරේරා උපුටා දක්වමින් කියා තිබුණේ මේ රටට හොඳ නායකයන් අවශ්‍ය බවත් තමා ජනාධිපති අපේක්ෂකයා වනු ඇත්ද යන්න ගැන මේ අවස්ථාවේ කිසිවක් නොකියන අතර ඒ ගැන කිසිවක් ප්‍රකාශ කිරීමට තව කාලය අවශ්‍ය යැයි පැවසූ බවත්ය. මෙය සමාජ මාධ්‍යවල වහලුන් බවට පත්ව සිටින පිරිස අතරේ වඩාත් වේගයෙන් සංසරණයවන ප්‍රවෘත්තියක් බවට එසැණින් පත්විය. පදනමක් නැති කතාවලට ද ඒ පිරිස විශ්වාසය රඳවා ගනිති.

ධම්මික පෙරේරා තව කාලයකින් පසුව හෝ කුමක් කිව්වත් එක් දෙයක් පැහැදිලිය. යූ.එන්.පී. ජනාධිපති අපෙක්ෂකයා වන්නේ ඔහු නොවන බවය. අඩුම වශයෙන් දැනට රනිල් වික්‍රමසිංහ හැර වෙනත් නමක් ඒ සඳහා නැත.

 රවුෆ් හකීම් මේ රුස්වීමෙන් පසුව පාර්ලිමේන්තුවට පැමිණි වහාම ඇමැති මංගල සමරවීර හමුවී තමන් ලද අත්දැකීම විස්තර කළේය. ඔහු මටත් කිව්වා එයාට ධම්මික අන්තිමට හම්බවුණේ පෙබරවාරි මාසෙ කියලා. මංගල කීය. මංගල ද වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් කැන්වස් කරමින් සිටී.

මහින්ද රාජපක්ෂගෙන්ද ධම්මික පෙරේරාට ප්‍රතිචාරයක් ලැබිණි. ව්‍යාපාරිකයන් අනුන්ගේ කොන්ත්‍රාත් බාර නොගත යුතුයැයි මහින්ද කියා තිබිණි. ධම්මික පෙරේරා රාජපක්ෂ පාලනයේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් වශයෙන් ද කටයුතු කළේය.

- සන්ඩේ ටයිම්ස්

සංචාරක පොඩ්ඩා එයි

අවිධිමත් සංචාරක කේෂත්‍රයේ හිමිකාරයන්ට පාස්තු ඉරිදා ප්‍රහාරයෙන් සිදුවූ හානිය අවම කරගැනීම සඳහා සහාය වීමට සංචාරක පොඩ්ඩා නමින් පොලී රහිත ණයක් ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. කුඩා හෝටල් සහ ආගන්තුක නිවාස සඳහා රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් මේ ක්‍රමය යටතේ ඔවුන්ට ලබාගත හැක. මේ මගින් භාණ්ඩාගාරයට රැපියල් බිලියන 1.5ක් වැයවනු ඇතැයි සැලකේ.

මේ අතර 2019 වසරේ මුල් කාර්තුව තුළදී සංචාරක ව්‍යාපාරය මගින් ලබා ඇති ආදායම ඩොලර් බිලියන 1.3ක් බවත් එය 2018 වසරේ එම කාර්තුවට සාපෙක්ෂව 4.6%ක වැඩිවීමක් බවත් මහ බැංකුව මගින් නිකුත් කර ඇති දත්ත මගින් හෙළිවෙයි.

මේ වසරේ මාර්තු මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම ගිය වසරට සාපේක්ෂව 4.7%ක වර්ධනයක් පෙන්වා ඇති බවද එම දත්ත හෙළිකරයි. මාර්තුවේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,44,328කි. ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, චීනය, ජර්මනිය සහ ප්‍රංසය යන රටවලින් මෙවර පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම මේ වර්ධනයට හේතු වී තිබේ.

- ඩේලි එෆ්.ටී.