2019 ජුනි 15 වන සෙනසුරාදා

අද සැබෑ වෙන ඇන්.ඇම්.ගේ අනාවැකි

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 392

හරියටම මීට වසර හතරකට පෙර 2015 ජූනි මාසේ 16 වැනිදා කොළඹ ජයික් හිල්ටන් හිදී විද්වත් සමුළුවක් පැවැත්වුණි. එහිදී ප්‍රධාන දේශනය පවත්වා තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු කාගේත් පිළිගැනීමට ලක්වූ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ආචාර්ය ජයන්ත ධනපාලය. මේ සමුළුවට නිමිත්ත වී තිබුණේ 19A ව්‍යවස්ථා සංශෝධනයයි. එහිදී දිගු කතාවක් කළ ආචාර්ය ධනපාල එම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි නගාසිටුවීමේ ඓතිහාසික වෙනසක් වශයෙනි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ට පියවරක් වනු ඇති බවටද ඔහු අනාවැකියක් පළ කළේය.

කෙසේ වුවද ආචාර්ය ධනපාල එම කතාවේදී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා 1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ගෙන ආ යෝජනාව ගැන කළ කතාවද සිහිපත් කළේය. ඇන්.ඇම්. එම කතාවේදී විධායක ජනාධිපති ක්‍රමයකින් රටට සිදුවිය හැකි පල විපාක පිළිබඳව කර තිබූ බරපතළ අනතුරු ඇඟවීම් ගැනද කතා කළ ආචාර්ය ධනපාල 19A ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා කඩයිමක් බවද සඳහන් කර තිබුණි. ඇත්තටම 19A ව්‍යවස්ථාව ගෙන ඒම එම ප්‍රශ්නවලට පිළිතුරක්ද නැත්නම් ඒ ප්‍රශ්න තවත් අවුල් කර දැමීමක්ද යන්න ලිහාගත නොහැකි ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. අද රටේ ඇතිවී තිබෙන ජනාධිපති සහ අගමැති අතර ගැටුම ඊට හේතුවය.

මේ රටට ආගන්තුක වූ විධායක ජනාධිපති ක්‍රමය හදිසියේම පාර්ලිමේන්තුව හරහා ගෙනෙන යෝජනාවකින් කඩිමුඩියේ සම්මත කර ගැනීමට ජේ.ආර්. දැරූ උත්සාහය ඇන්.ඇම්. ගේ තියුණු ඇසට හසුවී තිබිණි. &විවේචනාත්මක විශ්ලේෂණයක් වශයෙන් පසු කලෙක හඳුන්වා දී තිබූ ඇන්.ඇම්. ගේ එම සුප්‍රකට කතාවේදී මේ රටේ එතෙක් එනම් 1977 තෙක් පැවැති ශක්තිමත් ආණ්ඩුවල අවසානය මේ විධායක ජනාධිපති ක්‍රමය සමඟ හඳුන්වාදෙන සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ සිදුවනු ඇති බවට අනාවැකි පළ කළේය. මෙතැනින් පසුව පාර්ලිමේන්තුවේ පිහිටුවන ආණ්ඩු ස්ථාවර ආණ්ඩු නොවනු ඇති බවත් එසේම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර අනාගතයේදී ප්‍රබල මතභේද හටගැනීමට ඉඩ තිබෙන බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයා එක් පක්ෂයකිනුත් අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් තෝරාගනු ලැබුවහොත් ඇතිවිය හැකි පල විපාක ඔහු සඳහන් කළේ 2015න් පසුව සිදුවන දෑ පිළිබඳ අනාගත දැක්මකින් යුතුවදැයි කෙනකුට සිතෙන තරමට ඒ කතාව අදට ගැලපෙන බව පැහැදිලිය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා තමන් එදා කියූ දේ අද වනවිට සත්‍ය බවට පෙරළී තිබෙනු දකින්නට ජීවතුන් අතර නැත. එහෙත් ආචාර්ය ජයන්ත ධනපාලට නම් එදා 2015 ජූනි 16 වැනිදා එනම් අද වැනි දවසක 19 වැනි ව්‍යවස්ථාව ගැන කියූ කරුණු එලෙසම ඉටුවී ඇතිදැයි මැන බැලීමට හරියටම වසර 04කට පසුව අද අවස්ථාවක් උදා වී තිබේ. එහෙත් ඒ ගැන ඔහු කිසිත් නොකියන බව සහතිකය. 

එදා ජේ.ආර්. ගෙන ආ විධායක ජනාධිපති ක්‍රමය රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු බිම දමනු ඇති බවට ඇන්.ඇම්. කළ විවේචනයට වසර 40කට ආසන්න කාලයක් පිළිතුරක් තිබුණේ නැත. ක්‍රමය වෙනස් කරන්නට පොරොන්දු දී ජනාධිපති පදවියට පත් සියලු දෙනා එය වෙනස් කිරීමට කවදාවත් ක්‍රියා කළේ නැත. ජනාධිපති පුටුවේ හරි බරි ගැසී වාඩිවී එවැනි බලතල සිත් සේ භාවිත කළා මිස එය වෙනස් කිරීමට පියවරක් ගත්තේ නැත. ඇන්.ඇම්. ද එදා කතාවේදී ප්‍රකාශ කළේ මේ පනතට අනුව ජනාධිපතිවරයකු සතුවන බලතලවල රස විඳින කිසිම පුද්ගලයකු එම රසය අතහැරීමට කවදාවත් පෙළඹෙන්නේ නැති බවය. මේ කතාවම වරක් ජේ.ආර්. ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි ද වෙනත් වචනවලින් කියා තිබිණි. විධායක ජනාධිපති පදවිය වෙනස් කරන පුද්ගලයා එම පුටුවේ වාඩිවී පැය 48ක් ගතවීමට පෙර එය සිදුකළ යුතු බවය. පැය 48කින් පසුව කවදාවත් එම බලතල වෙනස් කිරීමට කිසිවකු හෝ නොපෙළඹෙන බවය.

හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එයට වඩා වෙනස් විය. ඔහු හේතුව කුමක් වුවත් විධායක ජනාධිපති පදවියේ බලතල වෙනස් කිරීමට ලබාදුන් පොරොන්දුව යම් තරමකට ඉටුකිරීමට ක්‍රියා කළේය. ඇන්.ඇම්. තමන්ගේ කතාවේදී විධායක බලතලවල දැඩිභාවය පෙන්වන එක් මිනුම් දණ්ඩක් වශයෙන් පෙන්වා දී තිබුණේ වසර 06ක ධූර කාලයයි. එය වෙනස් කිරීමට කිසිදු ජනාධිපතිවරයකු කටයුතු නොකරනු ඇති බවද කී ඔහු මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර කලක් යනවිට එදිරිවාදිකම් හටගැනීම් වළක්වාගත නොහැකි වනු ඇති බවද කියා තිබිණි.

මෛත්‍රීපාල ජනාධිපති පදවියට පත්වූ ගමන් වසර 06ක ධූර කාලය වසරකින් අඩුකරන බව ප්‍රකාශ කළේය. එය පොරොන්දුවකට පමණක් සීමා නොකළ මෛත්‍රීපාල තමන් මින්පසුව ජනාධිපතිවරණයට තරග නොකරන බවද ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශ දෙකම රටේ ජනතාවගේ මහත් වූ ප්‍රසාදයක් දිනා ගත්තේය. මේ සියලු වෙනස්කම් මෛත්‍රීපාල සිදුකළේ අගමැති රනිල්ගේ සහයෝගය සහ අනුමැතිය ඇතිවය. කොටින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන තිර අධිෂ්ඨානයක සිටිමින් රනිල් මුල සිටම ක්‍රියා කළ බවද පෙනුණේය.

19A ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මේ සියලු කාරණා ඉටුකර ගැනීමටය. එහෙත් විධායක ජනාධිපති පදවියේ රැඳී තිබූ දැඩි, මජර ගතිය උදුරා දැමීමේ අරමුණට බැහැර යමින් එම සංශෝධන පනත තුළ වෙනත් කාරණාද ඇතුළත් වී තිබීම නිසා එය ගොඩදා ගත්තේ බොහෝ වෙනස්කම් සිදුකිරීමෙන් අනතුරුවය. මේ නිසා 19A සම්මත වූයේ විධායක ජනාධිපති ක්‍රමයේ එතෙක් ගෑවී තිබූ කළු පැල්ලම් එකක් දෙකක් හැර අන් සියල්ලම ඉතිරිව තිබියදීය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ඇන්.ඇම්. කියූ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දමන ගතිලක්ෂණ එසේම තිබීමත් ආචාර්ය ධනපාල පෙන්වාදුන් පරිදි එය ප්‍රජාතන්ත්‍රවාදී ගමනේ මං සලකුණක් බවට පත් නොවීමත්ය. විනාශකාරී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට යම් යම් පියවර කිහිපයක් ගැනීමට පුරෝගාමී වූ ජනාධිපති මෛත්‍රීපාලටත් අගමැතිටත් අද එකම ආණ්ඩුවක මුහුණ මුහුණ නොබලා කටයුතු කිරීමට සිදුවී ඇත්තේ එම වැරුද්ද නිසා විය හැකිය.

මෙහෙම වෙන්නේ ව්‍යවස්ථාවේ වැරුද්ද නිසා විතරමද? එහෙම කියන්නත් අපහසුය. මේ රටේ ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය පිළිබඳ ඉහළම දැනුමක් ඇති බවට සැලකෙන නායකයාද වන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය. පාර්ලිමේන්තුව තුළදී ඔහු සමඟ සම්ප්‍රදායය, ස්ථාවර නියෝග, නීති රීති සමඟ හැරෙන්නටත් කෙනකුට බැරිය. තමන්ගේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවිට ඊට කලින් තේරීම් කාරක සභාවක් පත් කිරීම ඊට ආසන්නම උදාහරණයයි. අද යූ.එන්.පී. ආණ්ඩුව ජනාධිපතිවරයා සමඟ ඇතිකරගෙන තිබෙන ගැටුමේදී එම තේරීම්කාරක සභාව දේශපාලන මෙවලමක් හැටියට භාවිත වන බව පෙනෙන්නට තිබෙන්නේද එනිසාය. එහෙත් ප්‍රායෝගික භාවිතයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වඩාත් සූක්ෂමය. ඔහු තම වාග් ප්‍රහාර දේශපාලන මෙවලමක් බවට හරවාගෙන සිටී. කෙසේ වුවද මේ සියලු දෙයින් පෙනී යන්නේ ආණ්ඩුවේ තුන්වැනි යාමය ගෙවෙමින් පවතින විට ආණ්ඩු කිරීම මුළුමනින්ම ෆේල් වී තිබෙන බවය. පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කොට විධායක ජනාධිපති ක්‍රමයට මාරැ වීම රටට කිසිම සුගතියක් උදා නොකරනු ඇති බවට එදා ඇන්. ඇම්. කියූ අනාවැකිය ද ඒ අනුව සැබෑ වෙමින් තිබේ.

ජේ.ආර්. රටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ රටට ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බවට ප්‍රබල තර්කයක් ගෙන එමිනි. එහෙත් 1977 අවසන් වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට පෙර පැවැති ආණ්ඩු ගණනාවක් පැවතියේ ස්ථාවර මට්ටමකය. 1948 සිට 1959 අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනය සිදුවන තුරැ පැවැති ආණ්ඩු ද ඉන්පසුව 1965 සිට 1977 දක්වා පැවැති ආණ්ඩුද ස්ථාවර මට්ටමකින් තිබිණි. ඒවා පැරදුණේ ඒ ඒ කාලවකවානු තුළ සිදු වූ ඔවුන්ගේම වැරදිවලින් මිස ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවේ වැරුද්දකින් නොවේ. ඒ ආණ්ඩු සියල්ලේම සිටියේ තනි නායකයෙකි. 65 ආණ්ඩුව හත් හවුලක් වශයෙන් පැවතිය ද එහි අගමැති වූයේ ඩඩ්ලිය. 70 ආණ්ඩුව තුන් හවුලක් වුවද එහි අගමැති වූයේ සිරිමාවෝය. 77 ආණ්ඩුව ද ජේ.ආර්. අගමැති වශයෙන් සිටියත් තොණ්ඩමන් සමඟ හවුලක් තිබිණි. මේ තත්ත්වය වෙනස් වූයේ එයින් අවුරැද්දකට පසුව පාර්ලිමේන්තුවට ගෙන ආ පනතකින් එතෙක් පැවති පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කොට විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීමත් සමඟය. එයින් ජේ.ආර්. අගමැති වශයෙන් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට ඇවිත් පළමු විධායක ජනාධිපති වශයෙන් නිකම්ම පත්විය. ප්‍රේමදාස අගමැති විය.

විධායක ක්‍රමය ආණ්ඩුවට ස්ථාවර බවක් සහ රාජ්‍ය ආරක්ෂාවට විශාල හයියක් බව පුන පුනා කිව්වත් එතැන් පටන් සිදුවූයේ රටේ ආණ්ඩු තුළ විවිධ අර්බුද ඇති වීමය. ත්‍රස්තවාදී යුද්ධ දෙකක්ද ඇති වී රටට මහත් විනාශයක් ගෙන දුන්නේය. විධායක ජනාධිපති වශයෙන් ජේ.ආර්. සිටියදී අගමැති වශයෙන් සිටි ප්‍රේමදාස කිව්වේ මේ ආණ්ඩුවේ මම පියන් කෙනකු කියාය. එහෙත් මේ ආකාරයේ හැලහැප්පීම් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය යටතේ පැවැති ආණ්ඩුවල දකින්න තිබුණේ නැත. බැලූ බැල්මට පෙනෙන්නේ රට ස්ථාවර කිරීමට ගෙන ආ විධායක ජනාධිපති ක්‍රමය විසින් රට ක්‍රම ක්‍රමයෙන් දැඩි අස්ථාවර භාවයකට ඇදගෙන ගොස් තිබෙන බවය. එකිනෙකා කතා නොකර දෙදෙනාම වෙන වෙනම රටට කතා කරන ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු රටට ලැබීම එහි අලුත්ම ප්‍රතිඵලයක් බව පෙනෙන්නට තිබේ.

ඇන්.ඇම්. එදා කියූ තවත් කතාවක් වූයේ විධායක ජනධිපති ක්‍රමය යටතේ යළි කවදාවත් පාර්ලිමේන්තුවේ ස්ථාවර රජයක් බිහිකර ගැනීමට නොහැකි වනු ඇති බවය. කොයිතරම් උත්සාහ කළත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ බිහිවන ආණ්ඩු හවුල් ආණ්ඩු වන බවත් මේ ක්‍රමය හරහා මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම් සිදුවිය හැකි බවත් ඔහුගේ කතාවේ සඳහන් විය. අද සිදුවෙමින් පවතින්නේ ඇන්.ඇම්. එදා පෙන්වා දුන් කරැණු කාරණාය. ඒවා වෙනස් කිරීමට නම් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බවට නැගුණු හඬ 2015 ඡන්දයේ හැරවුම් ලක්ෂය විය. එහෙත් ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් නොවී එයට එහෙන් මෙහෙන් අණ්ඩ දැමීමට යාමෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙන බව යථාර්ථයයි.

තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින එක් අපේක්ෂකයකු හෝ විධායක ජනාධිපති ක්‍රමයෙන් යළි පාර්ලිමේන්තු ක්‍රමයට යා යුතු බවට ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. සියලු දෙනාටම අවශ්‍ය බව පෙනෙන්නේ වැඩිම බලයක් අතේ රඳවා ගැනීමටය. එහෙත් ජේ.ආර්.ගේ මරැමුස් විධායක ජනාධිපති ක්‍රමය වඩාත් ජනතා හිතවාදී ක්‍රමයකට ලිහිල් කිරීමෙන් පසු බිහි වූ ආණ්ඩු ඇතුළේ ඇති වී තිබෙන අර්බුදයත් රට ඇතුළේ පවතින සෙසු අර්බුදත් සලකා බලන විට එදා ඇන්.ඇම්. ගේ අනාවැකි ඉදිරි අනාගතයට ද බලපානු ඇතැයි අවිශ්වාස කිරීමට හේතුවක් නැත.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00