2019 ජුනි 22 වන සෙනසුරාදා

ඡන්ද සහ ත්‍රස්ත ක්‍රියා

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

පසුගිය කාලය පුරාවටම මෙරට ඡන්ද කල්දැමීම ගැන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විවිධ කතා කියා තිබේ. ඒවා බොහොමයක් මාධ්‍යවල පළවිය. පළාත් සභා ඡන්දය දිගින් දිගටම කල් දැමෙන විට ඔහු කීවේ මේ රටේ ජනතාවට ඒ සම්බන්ධයෙන් උසාවි යාහැකි බවය. තවත් වරක් ප්‍රකාශ කළේ ඡන්දය පැවැත්වීම ප්‍රමාන වනවිට තමන්ගේ හදවත කකියන බවය. ඡන්දය පැවැත්වීමට නොහැකි වුවොත් ඉල්ලා අස්වන බවක් ද වරක් කියා තිබිණි. එසේම හදිසි නීතිය යටතේවත් ඡන්ද කල්දැමීමට ඉඩක් නැති බවද ඔහු කීය. ඡන්ද කල්දැමීම සම්බන්ධයෙන් දේශප්‍රිය මහතා අවසානයට කියා තිබුණේ එය ද ත්‍රස්තවාදී ක්‍රියාවක් බවය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දයක් කල්දැමීම ත්‍රස්තවාදී ක්‍රියාවකට නොදෙවැනි බව කියන්නේ කට කහනවාට නම් විය නොහැක. වෙලාවට ඡන්දය නොපැවැත්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයට සිදුකරන විනාශය ඔහු දකින නිසාය. මේ කරැණු කොතරම් කිව්වත් කල්යමින් තිබෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගතයුතු වන්නේ ආණ්ඩුව විසිනි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හැටියට දේශප්‍රිය මහතාගේ වගකීම වන්නේ ආණ්ඩුව ප්‍රකාශ කරන ඡන්දය ප්‍රකාශ කරන දිනයට පැවැත්වීමය. ඒ සඳහා ඔහු සහ ඔහුගේ ටීම් එක රෙඩි බව කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සියලු කීම් බීරි අලින්ට වීණා ගායනා කිරීමක් වී තිබේ.

එසේ වුවද පළාත් සභා ඡන්දය මෙන් නොව මේ වසරේ දෙසැම්බර් මාසයේ 08 වැනිදාට පෙර පැවැත්විය යුතු ජනාධිපතිවරණය ද කල්දැමීමට කරළිය පිටුපස නොයෙකුත් අංචි ඇදෙන තිබෙන බවක් පෙනී යයි. ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව මේ වසරේ අදාළ දිනයට පැවැත්විය යුතු බව නියමයක් වුවද හදිසි නීතිය යටතේ හෝ ජනමත විචාරණයක් පැවැත්වීම හරහා හෝ එවැනි තීන්දුවකට එළඹීමට තිබෙන ඉඩකඩ ගැන ජනතාව අතර ද සැක පහළ වෙමින් තිබේ. පළාත් සභා ඡන්දය හේතුවක් නැතුවම කල් යාම නිසා බලාපොරොත්තු කඩ වී සිටින තත්ත්වයට වැටී සිටින රටේ ජනතාවට ජනාධිපතිවරණය ද කල් යැවිය හැකි බවට සැක පහළ වීම ගැන පුදුම විය යුතු නැත. මැතිවරණ කොමිසම් සභාපතිවරයාගේ ත්‍රස්ත කතාවට වැඩි බරක් වැටීමට ද මේ සැකය හේතුවෙයි.

අපේ රටේ මොන දේශපාලන නායකයත් විපක්ෂයේ සිටියදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ දෙවිවරුන් වගේය. එහෙත් කෙරැවාව ඊට වෙනස්ය. විපක්ෂයේ සිටියදී ප්‍රජාතන්ත්‍රවාදයේ, මානව නිදහසේ, මුර දේවතාවුන් වන මේ බොහෝ දෙනා බලයට පැමිණි වහාම හැසිරෙන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළපොතේ අකුරක් හෝ කියවා නැති ගාණටය. බලය ලබාගැනීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදයේ පතපොත පෙරළාගෙන සිටින මේ අය බලය ලබාගත් පසුව අතට ගන්නේ මකියාවේල්ලිගේ පොතය. කෙසේ හෝ බලය අල්ලාගෙන සිටීම හැර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කලට වේලාවට මැතිවරණ පවත්වා ජනමතයට අනුව කටයුතු කරන ලෙසට උගන්වන පාඩම් ඒ පොතේ නැත. දිගින් දිගටම ඡන්ද කල් දැමීම් ගැන කතා ඇසෙන විට වත්මන් නායකයන් කියවන්නෙත් ඒ පොතමදැයි සැක සිතීම සාධාරණය.

පළාත් සභා ඡන්දය නීතියට අනුකූලව නොපැවැත්වීම වරදක් බවට අප කතා කළත් පළාත් සභාවලින් ඉටු වන කෙංගෙඩියක් නැති බවද ඒ සමඟ කිව යුතුය. පාර්ලිමේන්තුවට යාගත නොහැකි පිරිසකට සියලු සැපපහසුකම් සහ වරප්‍රසාද ලබා දීමේ මාර්ගයක් වශයෙන් ක්‍රියාත්මක වන පළාත් සභාවලින් ඉටු කරන කෙරෙන කාර්යභාරය රේඛීය අමාත්‍යංශවලින් සහ පළාත් පාලන ආයතනවලින් ඉටුකර ගත හැකිය. පළාත් සභාවලින් සිදුවන්නේ රටේ මහජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වැයකොට සුදු අලින් බඳු ආයතන 09ක් නඩත්තු කිරීම පමණි. ඒවා ආරම්භයේදී රටේ තිබුණු තත්ත්වයට වඩා දැන් පවතින තත්ත්වය වෙනස්ය. පළාත් සභා ආරම්භයේදී ඒවා පිහිටුවීමට හේතු පාදක වූ අරමුණ ඉටුකර ගෙන තිබේදැයි සොයා බැලීමට පසු විපරමක් හෝ කවදාවත් සිදුවන්නේ නැත. මේ නිසා පළාත් සභා හැමදාම පවතිනු ඇත්තේ සුදු අලින්ම වශයෙන් පමණි.

එවැනි තත්ත්වයක් පැවතුණද නියමිත දිනවලදී පළාත් සභා ඡන්දය නොපවත්වා ඒවා කල්දැමීම සාධාරණීකරණය කිරීමට ඒ කිසිවක් හේතු වන්නේ නැත. ඒ සමඟම පැවසිය යුත්තේ ජනාධිපතිවරණය යනු පළාත් සභා ඡන්ද නොවන බවයි. එය මේ රටේ ප්‍රධානම මැතිවරණය වශයෙන් සැලකෙයි. රාජ්‍ය නායකයා තෝරාගනු ලබන්නේ මැතිවරණයේ ප්‍රතිඵල අනුව වීම ඊට හේතුවය. මීළඟ ජනාධිපතිවරණයෙන් තේරී පත්වන්නේ විධායක ජනාධිපතිවරයකු ද නාමික ජනාධිපතිවරයකු ද යන්න විවාද සම්පන්න මාතෘකාවක් බවට පත් වී තිබුණත් තවමත් මේ රටේ අංක එකේ මැතිවරණය ජනාධිපතිවරණයයි. එය කල් දැමීමට යන බවට ඇති කතා වේගයෙන් පැතිරෙන්නේ එබැවිනි.

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණයක් පැවැත්විය හැකිදැයි විමසන ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන් මතය විමසා ඇතැයි යන ප්‍රවෘත්තිය මේ සැකයේ පදනම වෙයි. ජනතාව සිතන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනමතය විමසීමට දරණ උත්සාහය ජනාධිපතිවරණය කල් දැමීමට සිදු කෙරෙන වැඩපිළිවෙළක මුල් පියවර විය හැකි බවය. ජනතාව තුළ එවැනි සැකයක් පවතින විට එය දුරැ කිරීම රටේ බලධාරීන්ගේ වගකීමය. එවැනි කරැණු පැහැදිලි කිරීමක් නිල වශයෙන් හෝ නිල නොවන වශයෙන් හෝ තවමත් සිදු වී නැත. 

එසේම දැනට බල පවත්වන හදිසි නීතියේ ප්‍රතිපාදන උපයෝගී කරගෙන ජනාධිපතිවරණය කල් දමනු ඇති බවට ද තවත් සැකයක් පවතී. එහෙත් හදිසි නීතිය යටතේ මැතිවරණයක් කල්දැමිය නොහැකි බවට FR512/1988 දරණ නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබේ. ඡන්දය කල් දැමීමට කිසියම් හෝ අදහසක් ඇත්නම් එයට ඉඩක් නොමැති බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ කල්යමින් තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම රජය වහාම පියවර ගත යුතු බවත් කිව යුතුය.