2017 මාර්තු 04 වන සෙනසුරාදා

අශ්වයා පනින්නට පෙර

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

කළුතර උසාවියට සිරකරුවන් රැගෙන යමින් සිටි බන්ධනාගාර බස්රියට වෙඩි තැබීමේ උණුසුම මැකී යන්නටත් ඉඩක් ලැබුණේ නැත. ගිනි අවි දෙකක් සහ උණ්ඩ 10ක් සහිත පාර්සලයක් ගල්කිස්ස උසාවියෙන් මතුවිය. කළුතර බන්ධනාගාර බස් රියට ප්‍රහාර එල්ල වූයේ අතරමඟ මහ පාරේදීය. ගල්කිස්ස උසාවියෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවන්නේ අධිකරණයේ බංකුවක් අසල බිම වැටී තිබියදීය. එම සොයාගැනීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් අධිකරණයේ කටයුතුද අත්හිටුවීමට සිදු වී තිබිණි. 

උසාවි ආසන්නයේ ගිනි අවි භාවිතය සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ. වරක් ගල්කිස්ස උසාවි බිමේ මිනී මැරුමක්ද සිදුවිය. කොළඹ අළුත්කඩේ උසාවි අසළ වරින් වර ගිනි අවි සොයාගැනීම් සහ භාවිත කිරීම් සිදුවී තිබේ. එහෙත් එක සතියක් තුළ රටම තිගැස්සෙන ආකාරයට ගිනි අවි පරිහරණය එක පිට එක සිදුවීම නම් කාටවත් එකඟ විය හැකි කරුණක් නොවන බව කිව යුතුය. පාතාලයන් අතරේ හුවමාරුවන ගිනි අවි උණ්ඩවලට අහක සිටින අහිංසකයන් ගොදුරු වීම ගැන වගකියන කෙනකු නැත. කළුතරදී තම රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මීට හොඳම නිදසුන්ය. ඔවුන් දෙදෙනාගේ මරණ වෙනුවෙන් අපිද කනගාටු වෙමු. 

ගල්කිස්ස උසාවිය ඇතුළේ බිම තිබී හමුවූ ගිනි අවි පත්තු වූයේ නම් එම උණ්ඩ කවුරැන් සොයා යනු ඇතිදැයි කිසිවකුටත් කල් තබා කිව නොහැකිය. නමුත් එම ඉලක්කය සොයා යන්නට පෙර අහිංසකයන් ඊට ගොදුරැ වීමට වැඩි ඉඩකඩක් පවතින බව පමණක් කිව යුතුය.

කළුතර “සමයං”, අංගොඩ “ලොක්කා”, ගොනාකෝවිලේ “රොහා”, කඹුරුපිටියේ “මධුෂ්” යනු පසුගිය දිනවල මාධ්‍ය වල නිතර සඳහන් වූ නම් කීපයකි. මේ නම් ඉදිරියෙන් සහ පසුපසින් කියැවී තිබුණේ අහගෙන ඉන්න තරම් ප්‍රසන්න කරුණු නොවේ. මොවුන් පාතාලයේ කෙරුමන් බව කියති. විවිධ වර්ගයේ භයානක සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවත්, මිනීමැරුම්, කුඩු ජාවාරම් ඒ අතර වන බවත් සඳහන් වේ. කෙසේ වෙතත් පොලීසියේ නීති කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ පාතාලය කියා දෙයක් නැති බවය. මේ නමින් හැඳින්වෙන්නේ සංවිධානගතව භයානක අපරාධ සිදුකරනවුන් බවය. එය පොලීසියේ අදහස විය හැකිය. නමුත් රටේ පොදු මහජනතාව නම් දැන් පාතාලය යන වචනයට පවා බියක් දක්වති. පොලීසියේ සැබෑ වගකීම වන්නේ අහිංසක, සාමය ගරුකරන ජනතාවගේ සිත් සතන් තුළ “පාතාලය” කෙරෙහි පිරී පවතින මේ බිය, සැක දුරුකිරීමට වහාම පියවර ගැනීමය. ඒ සඳහා පාතාලය මර්දනයට වහාම පියවර ගැනීම අවශ්‍යය. කළුතර සහ ගල්කිස්සේ සිදුවීම් ඒ පිළිබඳව ප්‍රබල සිහි කැඳවීමක් කර ඇති බව අපගේ හැඟීමය. 

ගල්කිස්සේ උසාවියේ සිදු වූයේ කාල බෝම්බයක් පුපුරන්න ඔන්න මෙන්න කියා තිබියදී නිෂ්ක්‍රීය කළාත් වැනි සිදුවීමකි. කාගේත් වාසනාවට උසාවි කටයුතු සිදුවෙමින් තිබියදී එක් අයකුගේ අතේ තිබුණු පාර්සයක් බිම වැටෙනු තවත් පුද්ගලයකු දැකීම හේතුවෙන් වෙන්න ගිය මහා විනාශයක් වැළකුණේය. ගිනි අවි ගෙන ආ පුද්ගලයා හෝ පුද්ගලයන් සොයා ගැනීම නොහැකිවීම මේ සිද්ධියේ තවත් භයානක පැත්තක් පෙන්නුම් කරයි. ගිනි අවි පත්තු වුණා නම් එහි ඉලක්කය විය හැකිව සිටි බව කියන “ගොනාකෝවිලේ රොහා” නැමැත්තාද ඒ අවස්ථාවේ අධිකරණ සිරමැදිරියේ බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවනු ලැබ සිටියේය. ඔහු පාතාල නායකයකු සහ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියති. නමුත් ඔහු සිටි ආසන්නයටම පාර්සලයක එතූ ගිනි අවි 2ක් සහ උණ්ඩ 10ක් රැගෙන ඒමටත් එය අත හැරී ගිය අවස්ථාවේ ඒවා ගෙන ආ තැනැත්තාට කිසිවකුටත් අසු නොවී පැන ගැනීමට හැකි වීමත් අනුව මේ යොදා තිබූ විශේෂ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කිරීමට සිදුවෙයි. 

නඩු අසන දිනවලට උසාවියක් ඇතුළට පහසුවෙන් කිසිවකුටත් ඇතුළු විය නොහැක. බඩ, පපුව ඇතුළු මෙකී නොකී සියලු ස්ථාන අත ගා බැලීමෙන් පසුව පමණක් උසාවියට යාමට හැකියාව ලැබේ. එසේ යන විට තම අනන්‍යතාවද එහි සඳහන් කළ යුතුය. නමුත් ගල්කිස්ස සිද්ධියෙන් පෙනෙන්නේ උසාවි ගේට්ටුවෙන් පෑන්, පැන්සල්, මොබයිල් ෆෝන්, වැනි භාණ්ඩ ගෙන යා නොහැකි වුවද ගිනි අවි සහ උණ්ඩ ගෙන යා හැකි තත්ත්වයක් තිබෙන බවය. එවැනි සුවිශේෂ හැකියාවලින් යුත් පුද්ගලයන් සිටින බවය. අපට පොලීසියෙන් සහ බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගෙන් අසන්නට තිබෙන්නේ තුවක්කු සහ උණ්ඩ උසාවි බංකුව උඩටම ගෙන යා හැකි නම් එදා ලබාදී තිබූ බව කියන දැඩි ආරක්ෂාව කුමක්ද යන්නය. එම දැඩි ආරක්ෂාවේ තැන තැන හිල් තිබී ඇති බව නම් කාටත් පැහැදිලිය.

සමහර පාතාලයන් ක්‍රියාත්මක වන්නේ ඇතුළෙන් ලැබෙන අනුග්‍රහ සහ ආධාර අනුබල හේතුවෙන්ය යන්න ප්‍රසිද්ධ රහසකි. කළුතර බන්ධනාගාර බසයට වෙඩි තැබීමේ සිද්ධිය හොඳින් විමර්ශනය කරන්නකුට එකී සිද්ධියේ ආරක්ෂාවේ තිබූ හිඩැස් ඕනෑ තරම් හඳුනාගත හැකිය. දරුණු ගණයේ අපරාධකරුවන් උසාවි රුගෙන යාමේදී සහ ආපසු ගෙන ඒමේදී අවි රැගත් බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන් යෙදවීම පමණක් ප්‍රමාණවත් නැත. පිටතින් මරාගෙන මැරෙන තරම් පාතාල ප්‍රහාරයක් එල්ල කෙරෙන විට මේ නිලධාරීන් ඔවුන් සමඟ සටනට යනවාට වඩා ඉක්මන් වන්නේ තම ජීවිත බේරා ගැනීමටය. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් පැවරීමෙන් පළක් නැත. ඔවුහු මුහුණට මුහුණලා සිදුකෙරෙන සටන්වලට පුරුදු පුහුණු වූ අය නොවෙති. ඊට වඩා සැලසුම් සහගතව බුද්ධි අංශවල සහාය ඇතිව සිදු කෙරෙන ශක්තිමත් ආරක්ෂක ජාලයක් ඇති කර ගැනීම අවශ්‍යය. එසේම උපක්‍රමශීලි බවද අවශ්‍යය.

මේ කිසිවකට අවස්ථාවක් නැත්නම් දරුණු ගණයේ ඕනෑ වෙලාවක මහමඟදී ප්‍රහාරයට ලක්විය හැකි අපරාධකරුවන් මහ මඟ රැගෙන යාමෙන් වැළකිය යුතුය. උසාවියට ඉදිරිපත් කිරීම පවා වෙඩි ප්‍රහාරයකට ලක්වීමට තරම් අවදානමක් නම් එවැනි සැකකරුවන් වෙනුවෙන් වෙනම විශේෂ උසාවි පිහිටුවීම වුවද සලකා බැලිය යුතුය. පාතාලයේ සමයං ලා, රොහාලා, ලොක්කලා හේතුවෙන් අහිංසක ජනතාව හෝ නිලධාරීන් හෝ තම ජීවිත වලින් වන්දි ගෙවිය යුතු නැත.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00