2019 ජුනි 22 වන සෙනසුරාදා

කුණාටුවක පෙරනිමිති

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 248

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම මේ රටේ ආර්ථිකයට එල්ල කළේ දරුණු පහරකි. එම සිද්ධියෙන් ජීවිත 250කට අධික සංඛ්‍යාවක් මියගොස් ඊටත් වඩා පිරිසකට තුවාල සිදුවිය. රටේ සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටුණි. රටේ තිබූ සාමකාමී බව, නිදහස් හැඟීම්, මේ සියල්ල තැලී පොඩි වී ගියේය.

ඉන්පසුව අවස්ථා කිහිපයකදී ඇතිවූ මුස්ලිම් ජාතිකයන්ගේ දේපොළවලට හානි සිදුකිරීම් ඇතුළු ගැටුම් නිසා තත්ත්වය තවත් අඳුරු විය. ඒ කෙසේ වුවත් ආරක්ෂක අංශවලින් සිදුකෙරුණු මෙහෙයුම් හේතුවෙන් රටේ ආරක්ෂක තත්ත්වය බොහෝදුරට සාමාන්‍ය අතට හැරුණි. ලංකාවට එරෙහිව එල්ල වී තිබූ ජාත්‍යන්තර පීඩනයද ලිහිල් විය. බෝම්බයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ පල්ලිය හමුදාවේ සහායද ඇතිව යළි ඉදි වී බැතිමතුන් සඳහා විවෘත විය. ඒ සඳහා ආසිරි ගැන්වීමේ ප්‍රථම පූජාවට මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සමඟ බෝම්බ ප්‍රහාරයේ බරපතළ තුවාල ලබා සිටි කිහිප දෙනකුද සහභාගි වී සිටීම එම ඛේදවාචකයේ තරම පෙන්වාදීමක් විය. ඉන්පසු ඉරිදා දිනක ඉන්දීය අගමැති මෝදි ලංකාවට පැමිණි අවස්ථාවේ එම පල්ලියට යාම ප්‍රධාන මාතෘකාවක්ද වී තිබුණි. මේ බෝම්බ සිද්ධියේ එක් පැත්තක් යළි ජීවය ලබන කතාවේ සාරාංශයයි.

මේ පැත්තට අමතරව තවත් පැත්තක් බෝම්බ ප්‍රහාරයේ බලපෑමට දැඩිව හසුව තිබේ. එය රටේ දේශපාලනයයි. බෝම්බය පිපිරැමත් සමඟම ආණ්ඩුව ඇතුළේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ඒ වනවිටද ඇවිලෙමින් තිබූ අළු යට ගින්න දළු දමමින් පුපුරා ගියේය. එතෙක් හැංගිහොරා වෙස් බඳින ආකාරයේ ගැටුම් පැවතුණත් එය ප්‍රසිද්ධියේ එළියට ආවේ බෝම්බ ප්‍රහාරයෙන් පසුවය. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා බල අරගලයත් සමඟ ජනපති සහ අගමැති අතර එතෙක් අමාරුවෙන් පැවැති සහයෝගිතා ගමනට තිත තැබුණි. දවස් 52 ආණ්ඩුවේ අවසානය සමඟ යළිත් ඇරැඹි සහයෝගීතාව සීමා වී තිබුණේ නිකම් වචනයට පමණක් බව පැහැදිලිව පෙනුණි. රනිල් වික්‍රමසිංහට අගමැතිකම නොදෙන බව පුන පුනා කිව්වත් අවසානයේ ජනාධිපතිවරයාට සිදුවූයේ යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීමට ඉඩ දෙමින් අගමැති පදවිය යළි රනිල් වික්‍රමසිංහට ලබාදීමටය. හැබැයි ඊට පසුව තත්ත්වය තිබුණාටත් වඩා නරක් විය. අප්‍රේල් 21 වැනිදා බෝම්බ පුපුරා ගියේ රටේ දේශපාලනය එවැනි තත්ත්වයක පවතිද්දීය. ඒ අනුව බැලුවොත් මේ රටේ දේශපාලනයේ ගමන් මග වෙනස් කළ දවස් දෙකක් වශයෙන් 2018 ඔක්තෝබර් 26 සහ 2019 අප්‍රේල් 21 ඉතිහාසයට එක් වී තිබේ.

ඔක්තෝබර් බල අරගලයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා එළිපිටම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගැටුණේය. ඇමැති පදවි ලබාදීමේදී අගමැතිවරයාගෙන් අදහස් විමසා එය කළ යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් වුවද ජනාධිපතිවරයා එහෙම කළේ නැත. නීතිය හා සාමය අමාත්‍ය ධුරය තමන් සන්තකයේ තබාගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය එයට එක් උදාහරණයකි. තවමත් එම ඇමැති පදවිය අගමැතිගේ ඉල්ලීම අනුව යූ.එන්.පී.යට ලබාදීමක් සිදුවී නැත. නමුත් අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ඇමැති පදවිය තමන් සන්තකයේ තබා ගැනීම ගැන ජනාධිපතිවරයා පසු නොතැවුණා නම් පුදුමය.

කෙසේ වුවත් බෝම්බ ප්‍රහාරයත් සමඟ කැළඹී ගිය රටේ දේශපාලනය තවම යථා තත්ත්වයට පැමිණ නැත. ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින්නේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමය. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය මේ අවස්ථාවේ තීරණාත්මක සාධකයක් විය. එය ආණ්ඩුවට පහර ගසා බිම වට්ටාගැනීමට විපක්ෂය කළ සැලැස්මක් වුවත් සියලුම ඇමැතිවරුන් ඇමැති ධුරවලින් ඉවත්වීම සමඟ තත්ත්වය වෙනස් අතකට පෙරළුණේය. ඇත්තම කිව්වොත් එය විපක්ෂයේ බලාපොරොත්තුව ඉටුවීමක් නොව කඩවීමක් විය. මුස්ලිම් දේශපාලනඥයන්ගේ කිසිම දායකත්වයක් නැතුව ජාතික මැතිවරණයකදී බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගැනීම අපහසු බව විපක්ෂනායක මහින්ද ඇතුළු සෙසු නායකයන් නොදන්නවා නොවේ. මේ නිසා මේ අවස්ථාවේදී ඔවුන් පත්ව සිටින්නේ හා කියන්නත් බැරි බෑ කියන්නත් බැරි තත්ත්වයකටය.

ජාතික දේශපාලනය තුළ මුස්ලිම් නායකයන් වෙනම සංවිධානය වීම අතීතයේදී පවා සිදුව තිබෙන නමුත් ඔවුන් සියලු දෙනා එකට එකතු වීම කිසිවකුත් අපේක්ෂා කළ දෙයක් නොවූ බව පැහැදිලිය. කොටින්ම ඇමැති ධුර යළි ලබාගනිමින් රටට ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවය ලබා දෙන්නැයි මහනාහිමිවරුන් විසින් ඉල්ලීමක්ද කෙරිණි. මේ හේතුවෙන් තත්ත්වය තවදුරටත් සංකීර්ණ වීමට තිබූ ඉඩකඩ වළක්වා ගැනීමට හැකි තත්ත්වයන් නිර්මාණය විය. කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යළි ඇමැති ධුර ලබාගැනීමට ඒ හේතුවෙන් පාර කැපුණේය.

මුස්ලිම් ඇමැතිවරැන් ඇමැති ධුර අත්හැරීමේදී එක්ව ක්‍රියාකළත් යූ.එන්.පී. ඇමැතිවරැන් දෙදෙනා පමණක් යළිත් ඇමැති ධුර ලබාගැනීම නිසා මුස්ලිම් නායකයන් අතර ඇතිවෙමින් තිබූ සහයෝගීතාව බිඳී ගොස් තිබේ. දැනට පෙනෙන්නට තිබෙන්නේ සෙසු හිටපු ඇමැතිවරැන් යළි පදවි බාර නොගන්නා බවයි. රිෂාඩ් බදියුදීන් කියා තිබුණේ තමන්ට එරෙහිව තිබෙන චෝදනා පිළිබඳ පරීක්ෂණ නිමාවනතුරු ඇමැති ධුරයක් ලබා නොගන්නා බවයි. හකීම් තවමත් මේ ගැන ප්‍රකාශයක් කර නැත. සෙසු නියෝජ්‍ය ඇමැති සහ රාජ්‍ය ඇමැතිධුර දැරෑ මුස්ලිම් මන්ත්‍රීවරුන්ද දැනට සිටින්නේ නිහඬවය. එහෙත් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යළි ඇමැති ධුර බාරගැනීම ඔවුන්ගේ සතුටට හේතු නොවූ බව නම් පැහැදිලිය.

ආණ්ඩුවේ පවතින තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වූයේ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව පත්කිරීම හේතුවෙනි. මේ කාරක සභාව කෙළින්ම තමාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාකරනු ඇතැයි ජනාධිපතිවරයාගේ පිළිගැනීම විය. ඒ සඳහා ප්‍රමාණවත් හේතු කාරණා තිබිණි. ඔහු තේරීම් කාරක සභාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ එම තත්ත්වය බැරෑරුම් වීමට කලින්ය. කැබිනට් රුස්වීම් නොපවත්වන තීරණය හමුවේ යූ,එන්.පී.යටද අඩියක් පස්සට ගැනීමට සිදුවිය. මේ ආකාරයට රටේ පාලනය ගෙන යා නොහැකි බව කාටවත් තේරැම් ගොස් තිබිණි. මෙය කෙළින්ම රටේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් බවට පත්විය. පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවිය යුත්තේ කථානායකවරයාගේ විධාන මත පමණක් බවත් විධායකයට ඊට බලපෑම් කළ නොහැකි බවටත් දැඩි මතකය සිටියත් යූ.එන්.පී.යට අවසානයේ සිදුවූයේ ජනාධිපතිවරයා සමඟ කිසියම් එකඟත්වයකට පැමිණීමටය.

ඒ අනුව තේරීම් කාරක සභාවේ කටයුතුවලට යම් සීමාවන් පනවාගෙන තිබේ. සේවයේ යෙදී සිටින බුද්ධි නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවට නොකැඳවීමටත් සේවයේ යෙදී සිටින සෙසු නිලධාරීන් විසින් සිදුකරන සංවේදී තොරතුරැ හෙළිකරන අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමත් එවැනි තීරණ දෙකක් බව දැනගන්නට ඇත. තේරීම් කාරක සභා සභාපති සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පාර්ලිමේන්තුවේදී මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පසුගිය දිනවල පැවැති තේරීම් කාරක සභා සාක්ෂි විමසීම් පිළිබඳව සිදුකළ සමාලෝචනයකින් පසුව මේ තීරණවලට එළඹුණු බවය. මින්පසුව සාක්ෂිදීම සඳහා කැඳවන ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ නම් ගම් කිසිවක් කල්තබා ප්‍රකාශ නොකිරීමටද තීරණය කළ බවත් ඔහු කියා තිබිණි. කෙසේ වුවද පසුගිය බ්‍රහස්පතින්දා තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබුණේ ලංකා තව්හිද් ජමාත් සංවිධාන ලේකම් අබ්දුල් රසීක්ය.

කොහොම කිව්වත් තේරීම් කාරක සභාවේ කටයුතුවල වෙනස්කම් සිදුවූයේ ජනාධිපතිවරයා සමඟ ඇතිකරගත් එකඟත්වයට අනුව බව පැහැදිලිය. මේ නිසා සතියක් ඇනහිට තිබූ කැබිනට් ඇමැති රුස්වීම් යළි ආරම්භ විය. එහෙත් මේ හේතුවෙන් සියලු දේශපාලනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී නැත.

කෙසේ වුවද එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ කතාබහට මේ වනවිට තටු ලැබී තිබෙන බවත් පෙනෙන්නට තිබේ. මෙහිදී කැපී පෙනෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශය. පසුගිය කාලය තුළදී යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට වටින්ගොඩින් කියා සිටියත් ඔහු ඉන්දියාවට ගිය අවස්ථාවේ ඉඟි කර තිබුණේ තමන් ඉදිරිපත් නොවන බවය. එහෙත් පොහොට්ටුව සමඟ සාකච්ඡා දිගටම පවත්වාගෙන යාමටද ගත් තීරණයේ වෙනසක් නැත. එම සාකච්ඡාවලට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යන ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ප්‍රකාශ කරන්නේ මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා බවත්ය. නමුත් පොහොට්ටුවේ නායකයෝ කියන්නේ මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති සහ අගමැති අපේක්ෂකවරුන් දෙදෙනාම එන්නේ පොහොට්ටුවෙන් බවය. එසේම දයාසිරි පසුගියදා කියා තිබුණේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් මීළඟ කැබිනට්ටුවේ රාජපක්ෂවරැන් අට දෙනකු සිටිනු ඇති බවය. මේ කතාවලින් පැහැදිලි වන්නේ ශ්‍රීලනිප සහ පොහොට්ටු කතා කිසිම පලදැරීමකින් තොරව අවසන් වනු ඇති බවය. මොන කාරණා ඉදිරියට දැම්මත් මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ජනාධිපති අපේක්ෂකකම මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාගැනීම වීම ඊට හේතුවය.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වය එසේ වනවිට අගමැතිවරයාගේ එ.ජා. පෙරමුණද ජනාධිපතිවරණ කතා හේතුවෙන් බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව පැහැදිලිය. වෙන කවදාටත් වඩා එළිපිටම යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය වෙනස් විය යුතු බව ප්‍රකාශ කරන අතර සජිත්ට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමිය යුතු බව ප්‍රකාශ කරති. එපමණක් නොව මේ ගැන සාකච්ඡා කිරීමට කෘත්‍යාධිකාරී කමිටුව කැඳවන ලෙසට ඉල්ලීම්ද පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉදිරිපත් වෙමින් තිබේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර සහාය ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාටය. ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නේද කෘත්‍යාධිකාරී කමිටුවයි. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන්ට කියා තිබුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතා කිරීමෙන් වළකින ලෙසටය. එහෙත් එම ඉල්ලීමට සියලුදෙනාගේ එකඟත්වය නොලැබෙන බවක්ද පෙනෙන්නට තිබේ.

සජිත්ගේ භූමිකාව මෙහිදී වැදගත් වන්නේ මේ පසුබිමේය. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ බල අරගලයේදී සජිත් දිගටම කොන්දේසි විරහිතව සහාය ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටය. ජනාධිපතිවරයා කොතරම් ඇරියුම් කළත් සජිත් අගමැති පදවිය බාරගත්තේ නැත. ඒ අවස්ථාවේදී රනිල් වෙනුවෙන් සංවිධානය වූ රැස්වීම්වලදී සජිත් සක්‍රීය චරිතයක් වී සිටියේය. අවසානයේ රනිල්ට අගමැති ධුරය ලබා දුන් ජනාධිපතිවරයා එහිදී දැඩි විවේචනාත්මක කතාවක් කරද්දී තත්ත්වය සන්සුන් කළේද සජිත්ය. එතැන් පටන් සජිත් සහ ජනාධිපතිවරයා අතර දැඩි මිත්‍රත්වයක් ඇතිවූ බව පෙනුණි.

ඉන්පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවූ ව්‍යාකූල තත්ත්වයේදී සජිත් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළේය. එසේම රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුව හරහා ගෙන ඒමට තැත්කළ ප්‍රති ත්‍රස්ත පනතට එළිපිට විරෝධය පළ කළේය. එසේ කළේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් එකී පනතට සහාය පළකළ අවස්ථාවකදීය.

මේ සමඟ සජිත් සහ ජනාධිපතිවරයා කිසියම් අවබෝධයකින් කටයුතු කරන බවට දැඩි මතයක් කරළිය ආවේය. මේ මතයට යූ.එන්.පී.යේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් පණ පෙවූ බවද දකින්නට තිබුණි. ජනාධිපතිවරයා වරක් ප්‍රකාශ කර තිබුණේ යූ.එන්.පී.යෙන් පිළිගත හැකි නායකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවය. මේ පිළිගත හැකි නායකයා රනිල් නොව සජිත් බව පැහැදිලිය. කබීර් හෂීම් මහතාට යළි ඇමැති ධුරය බාරගන්නැයි ඇරියුම් කළේද සජිත්ය. කබීර් හෂීම් ඇමැති පදවි බාරගන්නා බව රනිල් නොදැන සිටියත් සජිත් දැන සිටි බවද පෙනෙන්නට තිබේ.

කරැ ජයසූරිය මහතාගේ නමද මෙහිදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට යෝජනා වෙමින් තිබේ. සජිත් සමග විරසකව සිටින රවි කරැණානායක මෙහි ලොකු භූමිකාවක් කරන බව පෙනෙන්නට තිබේ. කෙසේ වුවද කරැ ජයසූරිය ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ එකමතික තීන්දුවක් අනුව යෝජනා වන්නේ නම් එම ජාතික වගකීම ඉටුකිරීමට තමන් සූදානම් බවයි. එහෙත් සජිත් නම් තමන්ට ලැබෙන ඇරියුම ගැන දක්වන්නේ දැඩි නිහඬ බවකි.

සජිත්ගේ මේ නිහඬ බව ඉදිරියේදී ඇති විය හැකි දේශපාලන කුණාටුවක් පෙර නිමිත්තක්දැයි දැන්ම කීම අපහසුය.

 ශශීන්ද්‍ර